Sunday, January 29, 2017

නිදහසේ ස්වර්ගය.....!

Share it Please

චිරාත් කාලයක පටන් අප බොහෝ දෙනෙකු විසින් ඉත සිතින් පැතෙන්නා වූ පැතුමක් තිබේ,
ඒ අපේ රට, අපේ බිම නිදහසේත්, නිවහල් බවේත්, ස්වර්ගයක් වී, නැණ ගුණ පිරි මිනිසුන්ගෙන් පිරී යේවා කියාය. ටිකක් නැවතී බැළුවොත්, අප විසින් පතනු ලබන්නා වූ අනේක විධ ප්‍රාර්ථනා රැසක සාරය මේ පැතුම තුල කැටිවී තිබේ. එය අපේ රටේ අප පමණක් නොව නානා විධ දේශයන්හි නානා විධ මිනිස් සමූහයන් බොහෝමයකගේ සිත් තුල උපදින ගැයෙන පැතෙන පැතුමක් වී තිබේ. බෙංගාලි මහා කවියාණෝ, රවින්ද්‍රනාත් ඨාකුරයෝ මේ පැතුම "ගීතාංජලි" යේ ඉංග්‍රිසි පෙරළුමේ 35 වැනි ගද්‍යය සේ සටහන් කරති.

අපේ නූතන මහ කවියා, සේකරයෝ එය සිංහලයට පෙරලා අමරදේවයන් ලවා ගයවති.



මේ ගීතය අමරදේවයන් ගයන්නේ හේමන්ත කුමාර්, සුධා මල්හොත්රා හා මන්නා දේ  1957 නාසි භගට් නම් හින්දි චිත්‍රපටයට ගැයූ 'දර්ශන් දෝ ඝණශ්‍යාම නාත මොරි' නම් භජන් ගීයේ තනුවකටයි කියා අදහසකුත් තිබේ. මේ සම්බන්ධව කතන්දරකාරයා ලියූ බ්ලොග් සටහනක් මෙතැන තිබේ. අමරදේවයන් හෝ සමකාලීනයෙක් පැහැදිලිව මේ 'කොපිය' ගැන සඳහනක් කර ඇද්දැයි නොදනිමි.





අපේ ගෙදර සංගීතය කටට කණට හුරු මානෙලුත් මේ ගීතය අහලා කිව්වේ නම් එයාගේ හිතටත් 'පටු අදහස්' එන බවයි. එසේ වුණත් මේ ගී තනු ද්වය 'එක වාගේ' මිස 'එකම නොවේ' ය යන නිගමනය මත මේ පටලැවිල්ල මේ ගීත දෙකම එකම උත්තර භාරතීය රාගයක් ඇසුරින් ලියවුනු තනුවලට ගැයෙන නිසා වන්නටත් පුළුවන් බව ඇගේත් අදහසයි.

මේ ගීය ඇතුලත් චිත්‍රපට කතාව තැනීමට මූලාශ්‍රය වූ 'නාසි  භගට්' යනු ගුජරාට යේ 'ආදි කවියා' ලෙස සැලකෙන්නාවූ නරසිංහ මේතාය. මේ සටහනේ මුලට ඇති සිතුවමේ දැක්වෙන්නේ ඔහු ගේ රුවයි. පින්තූරය ලැබුණේ ගූගල් පොත් අතර ඇති, නීලිමා ශුක්ලා භාත්, නරසිංහ මේතා ගැන ලියූ පොතේ කවරයෙනි.

"උදා හිරු ඈත ක්ෂිතිජයෙන් යන්තමින් එබී බලන තවමත් සිසිලසින් මදනල හමන උදාසනක ගුජරාටයේ ගම්මාන හරහා ඇවිද යන්නකුට අසබඩ වෙල් යායක පැසුණු ගොයමට නැවී සිය දෑකැත්ත මෙහෙයවන හුදකලා අස්වනු නෙලන්නියක ගේ මුවින් මතුවන ලයාන්විත ගායනාවක් ඇසිය හැකිය. ගීතයේ මාධූර්යය මෙනෙහි කරමින් ඉදිරියට යන මගියාගේ සවනට සිය නිවසේ මිදුල අමදින ලඳකගේ මුවිනුත් හෝ මග අසල තේ පැන් සලක දවසේ උදාසන වැඩ සටහන් ගුවන් ගත වන ගුවන් විදුලි යන්ත්‍රයකිනුත් හෝ මේ ලයාන්විත ගී තනුවම ඇසෙන්නට ඉඩ තිබේ. උදාසන පාසල් මිදුලක එක්වූ දරුවන් මුවිනුත් මේ ගී හඬම නැගෙනවා ඇසෙණු ඇත. සන්තානයෙහි රැව් දෙන්නට පටන් ගන්නා මේ හෘදයාංගම තනුව 'ප්‍රභාතය' අනුව ගැයෙන ගී බොහෝමයක් ගැනත්, පන්සිය වසරකට පෙර මේ මග මේ ගී ගයමින් සැරූ සුදොවත් නරසිං මේතා ගැනත් හමුවන මිනිසුන් බොහෝ දෙනෙකු විස්තර කියනු ඇත."

ඇති හැකි පමණනින් මා සිංහලයට නැගුවේ නීලිමා ශුක්ලා භාත් ගේ පොතේ පෙරවදනේ ඡේදයකි. නරසිංහ මේතා, ගුජරාටයේ මුල්ම කවියා ලෙස සැලකුම් ලබන ජීවමාන සංස්කෘතික සංකේතයක් වෙයි. ක්‍රිෂ්ණා භක්තිය වටා ගෙතෙන මේ සුදොවත් ගුජරාටි කවියාගේ ආභාසය හා බලපෑම අදටත් ගුජරාටි සමාජය පුරා පැතිරී තිබෙයි. දුප්පත් ගොළු දරුවකු ලෙස උපත ලබන මේතා, දෙවියන් දැක, කවියකුව දේව ස්ත්‍රෝත ගයමින් වීදි ගතවන කථාව නාසි භගට් සිනමා පටයේ පිළිබිඹු වෙයි.

මේකුලක වර්ණය ගත් සිරුර නිසා අඳුරුවලාව යන අරුතැති ඝණශ්‍යාම් නම් අන්වර්ථ නාමය ලද ක්‍රිෂ්ණාට ගැයෙන මේ භජන් ගීය, නොපෙනෙන ක්‍රිෂ්ණා හැබැහින් දැකීමේ වාසනාව ඉල්ලා කෙරෙන්නාවූ ඇවටිල්ලකි.

"අහෝ ක්‍රිෂ්ණා,
ඔබේ දර්ශනයේ ආශිර්වාදය අපට දෙන්න
ආත්මයෙන් ආත්මයට සැරිසරන්නාණෙනි
අපේ හිත් දෙවොල් 
ඔබේ දසුනේ ආලෝකයෙන් පුරවන්න

සෑම දෙවොලකම ඔබේ පිළිරුවක් තිබෙයි
එහෙත් මගේ දෑස් ඔබේ දසුනෙන් වසන් වී සිටියි
කාලය ගෙවී අවසන් මොහොත ද ලඟාවී ඇත
ඔබේ වත දකින ඒ දිනය නම් තවමත් පැමිණ නැත

අහෝ ක්‍රිෂ්ණා ඔබ ඔබේ දසුන නිරාවරණය කල කල
ගොළුවෝද මිහිරි නාදයෙන් ගී ගයනු ඇත
අන්ධයින් දකිනු ඇත එක් පයක් වත් ඇත්තෝ
ඔබ වඳින්නට කාසි නුවරට දුව එනු ඇත

ස්වාමිනී, පිපාසයට මට ජලය ඇත
එහෙත් ඔබේ දර්ශනයම පතන දෙනෙතට
මා කියන්නේ කුමක් ද?
අහෝ ක්‍රිෂ්ණා, මගේ ආත්මයේ හිමිකරුවාණනි
එන්න මේ හැංගිමුත්තං ක්‍රීඩාව නිමකර
ඔබේ දසුනින් මා සනසන්න...."

ආදි වශයෙන් දෙවියන් දැකීමේ ලලාසාව පිළිබඳව ගැයෙන මේ ගීතය, මහ මග හමුවන ඇස් අන්ධ සිඟන්නෙකුට නම් ගැලපෙනම යාතිකාවක් වෙයි. නරසිංහ මේතා ගැයූ ගීත අදටත් දනන් මුවග රැඳුනත් ඔහුගේ කතාව කියවෙන චිත්‍රපටයේ එන මේ ගීතය ඔහු විසින් ගොතන ලද්දක් නොවේ.

මුඩුක්කුවක ඉපි ද, ජීවිතය තනා ගන්නට තතනන දරුවන් තිදෙනෙක් වටා ගෙතුණු නූතන සිනමා සිත්තම 'ස්ලම්ඩෝග් මිලියනර්'හි ජමාල්ට විසඳන්නට ලැබෙන එක් ප්‍රශ්නයක් මේ ගීතය ගැනයි.



ජමාල්ට ලැබෙන සෑම ප්‍රශ්නයක්ම මෙන්ම මෙයත් ඔහුගේ ජීවිත අත්දැකීමකටම සබැඳි ය.

මේ ගීතය ගැයිය හැකි දරුවන් තෝරා ඇස් අන්ධකර හිඟමනට යෙදවීම කලකට ඉහත ඔහුත් බිලිව සිටි හිඟන සමාගමේ එක් ක්‍රමයක් ව තිබුණි.


ප්‍රශ්නයේ උත්තරයට රුකුල ලැබෙන්නේ මේ ඇස් අන්ධ කරවීමේ මලේච්ඡ ක්‍රියාවෙනි. නිවැරදි පිළිතුර ලෙස කියවෙන සර්දාස් පසලොස්වන සියවසේ ක්‍රිෂ්ණා බැතිමතකු වූ අද සාන්තුවරයකු ගේ තත්වයට එසවුනු, දේව ස්තෝත්‍ර ගී රචනා දස දහස් ගණනකින් යුතු වූ යේයි සැලකෙන 'සර් සාගර්' නම් මහා ගී එකතුව ලියූ 'අන්ධ' කවියාය, ශුද්ධවන්තයාය.

මේ ගැලපීම කෙසේවෙතත් නවසිය පනස් හතේ නිපදවුනු නාර්සි භගට් චිත්‍රපටයට ඉහත ගීය රචනා කරන්නේ එක්දහස් නවසිය හැට හතරේදී මියගිය සිය පියාවූ ගෝපාල් සිං නේපාලි බව ඔහුගේ පුත්‍රයා පවසන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත වාර්තා කර තිබේ. ගායක වෘන්දයේ නම් ගම් හා සංගීතය නිර්මාණය කල රවි ශංකර් ෂර්මා (රවි) ගේ නම සඳහන් වුව ද මේ ගීතයේ රචකයාගේ නම නාසි භගට් චිත්‍රපටයේ කිසි තැනක සඳහන්ව නැති සෙයක් පෙනේ. බොහෝවිට මෙයට හේතුව මේ භජන් ගීතය චිත්‍රපටයට පාදක වූ නරසිං මේතාගේම රචනයක් සේ පෙන්වන්නට ගත් උත්සාහයක් වන්නට ද ඉඩ තිබේ.

දෙවියන් පෙන්වා මුදල් ඉපයීම හිඟන්නන්ට සීමාවූ කාර්යයක් නොවන බව අපි හොඳින්ම දනිමු.

සාධුවර නරසිං මේතා විසින් රචිත වඩාත්ම ප්‍රකට බජන් ගීතය නම් මෑත සමයේ සුප්‍රකටම ගුජරාටි පුත්‍රයා වූ මහත්මා ගාන්ධි විසින් දිනපතා යාතිකාවලදී ගායනා කලාවු වෛශ්නව-ජනතෝ ගීයයි. භාරතය පුරා නොමද ගරුසරු ලබන මේ ගීතය මෑත කාලයේ දී ලෝ පුරා අවධානයට ලක්වූයේ එය, රිචාඩ් ඇටෙන්බරෝ ගේ ගාන්ධි සිනමා සිත්තමේ අවසන් දසුනේ ගාන්ධි දේහය රැගත් අවමංගල පෙරහරේ පසුබිම් සංගීත ඛණ්ඩය ලෙස රවිශංකර් හා ජෝජ් ෆෙන්ටන් ගේ තේරීම නිසාය.



වෛශ්නව ජනතෝ තේනේ කහියෙජෙ
පීඩ පරායී ජා නේ රේ
පර දුක්ඛේ උපකාරි කරේ තොයෙ
මන අභිමානනා ආ නේ රේ

විෂ්ණු අදහන්නා නම් අනුන් දුක් වේදනා හඳුනන්නාය. අභිමානයෙන් උදම් නොවී අනුනට යහපතම කරන්නාය

සකල ලෝක මා සහුනේ වන්දේ
නින්දා න කරේ කේ නී රේ
වාච කාච මන නිශ්චල රාක්හේ
දන දන ජනනී තේ නී රේ

ඔහු ජීවිතයේ කම් කටොළු ඉවසයි ලෝකය අගය කරයි පසසයි අනුන් නුගුණ නොසොයයි පොරොන්දු සුරකියි පිරිසිඳු සිතිවිලි ක්‍රියා ඇති එවැන්නකුගේ අම්මා නම් ආශිර්වාද ලද්දීම ය.

සම ද්රිශ්ඨි නේ තෘෂ්ණා ත්‍යාගී
පර ස්ත්‍රී ජේනේ මාත් තේ රේ
ජිව්හා තකී අසත්‍ය න බෝලේ
පර-දන නව් ජාලේ හාත් තේ රේ

සැම දේ සමතැන ලා සලකයි තණ්හාව ලෝභය බැහැර කරයි සියළු කාන්තාවන්ට සිය අම්මාට සේ ගරු කරයි දිව වෙහෙස වුවත් මුසාවක් නොදොඩයි අනුන් සතු කිසිවකට අත නොතබයි.

මොහ මායා ව්යාපේ නහි ජේනේ
ද්‍රෘඪ වයිරාග්ය ජෙන මන මා රේ
රාම් නාම් ෂූන් තාලි රේ ලාගී
සකල තිරථ තෙන තන් මා රේ

ලෞකික බන්ධනයන් හි නොඇලෙයි වෛරය කෝපය අතහරියි රාම දෙව් නාමය ඔහු උද්දාම කරවයි. ඔහුගේ සන්තානයම දෙව් මැදුරකි

වන-ලොභී නේ කපට-රහිත චේ
කාම ක්රෝද නිවාර්යා රේ
භානේ නර්සයියෝ තෙනු දර්ශන් කාර්තා
කුල එ්කෝතෙර තාර්යා රේ

තෘෂ්ණාවත් වංචාවත් බැහැර කරයි ආශාවේත් ක්‍රෝධයේත් නොඇලෙයි සිය සුගුණයන්ගෙන් පරපුරටම විමුක්තිය ළඟා කරදෙන එවන් පුද්ගලයන්ට නාසි කිවිඳුන් රුචිය.




නරසිං මේතා ගේ මේ ප්‍රාර්ථනය හෝ වෛශ්නවයා අර්ථ දැක්වීම සකලාකාරයෙන්ම සඵලව, මිහිතලය වෙෙශ්නව අනුගාමිකයින්ගෙන් පිරී ගියහොත් ජනිත වන්නාවූ ලෝකය ඨාකුරයන් යදින්නාවූ පටු අදහස් නම් පවුරින් නිදහස් වූ ලෝකයම  නොවන්නේ ද? අප බොහෝ දෙනෙකුගේ විශ්වය අපේ සන්තානයන් ගේ සටහන්ව අැති අප එකිනෙකා අතර ඇත්තාවූ සබදතාවන්ම වන්නේය. මේ සෑම ප්‍රාර්ථනයකම ගැබ්ව අැත්තේ අප පතන්නාවූ විශ්වය සාක්ෂාත් කර ගැනීමට නම් එ් සබඳතාවන්හී තිබිය යුතු සීමාවන් හා නීති රීතීන් මිස, භෞතික ලෝකයෙහි වෙනස් වීම් නොවේ.

එමෙන්ම මෙවන් ප්‍රාර්ථනා මිනිස්කම යැයි අප විසින්ම හඳුන්වනු ලබන්නාවූ නිරායාස වූද බොහෝවිට අප එකිනෙකා සිය ජානමය උරුමයන් ලෙස ලබන්නා වූද බැඳීම් බිඳ දමා දෙවියන් ලෙස අර්ථ දැක්වෙන්නාවූ සුපරිශුද්ධ ආත්ම භාවයක් බවට පරිවර්තනය වීමේ ලලාසාවකියි කියා ද කෙනෙකුට විග්‍රහ කල හැකිය. මේ සංකල්පය බන්ධන බිඳ දැමීමත් නිදහස ලැබීමත් පිළිබඳව වූව ද එය අත්‍යන්තයෙන්ම දෙවියන් නම් වූ උත්තුංග ආත්ම භාවයක් හා සදාකාලිකව බැඳීමක් පැතීම මිස සියළු බන්ධන වලින් මිදීමේ අරමුණක් නොවීමේ අන්තරාය මේ සිතුම් පැතුම් තුලම රැඳී තිබේ.

ලෝකෝත්තර වූ බලවේග පිළිබඳව තබන්නාවූ අසීමිත විශ්වාසයන් මත පදනම්ව නිර්වාණය, නිදහස, ගැලවීම ආදී කුමන හෝ වචනයකින් හැඳින්වෙන්නා වූ සත්‍යතාවයක් සොයා යන්නා සොයන්නේ, ලබන්නේ, පූර්ණ වූ නිදහසක් ද, ගැලවීමක් ද, යන ගැටළුව ද මේ නිසාම මතුවෙයි.

මහාත්මා ගාන්ධිත් රබින්ද්‍රනාත් ඨාකුරයනුත් මුල් පෙලේ නායකත්වයක් දුන් ඉන්දීය නිදහස් සටනට පණ පෙවුනේ ගැම්ම සැපයුනේ නරසිංහ මේතා ගේ මේ ගීතයත්, ඨාකුරයන්ගේ ගීතාංජලියේ සටහන් වූ මේ අභිප්‍රායත් වැනිම වූ ඉන්දීය සමාජය තුල කිඳා බැස ගිය දේව භක්තිය හා ඉන්දීය ජාතිකත්වය දවටා ගෙතුණු නිදහස පිළිබඳව වූ, සංකල්පනාවන්ගෙන් බව පෙනේ. තර්කානුකූලව සිතීමේත් වටහා ගැනීමේත් පරිකල්පන ශක්තියෙන් හෙබියවුනට මේ සිතිවිලි විනිවිද දැකීමේත් ඒ පසුපස ඇත්තාවූ 'සත්‍යය' යම් පමණකට හෝ නිරවද්‍යව දැකීමේත් හැකියාව හිමි වූව ද එදා භාරතීය සමාජයේ බහුතරය වූ නූගත් ජනකොටස් හා ආණ්ඩුවේ රස්සාව ගැලවීම කරගත් මධ්‍යම පාංතික ජන කොටස් වලට නම් මේ නායකත්වයේ මූලික ආකර්ශණය වූයේ සිය සංස්කෘතියට හා සන්තානයන්ට සමීප වූ දෙවියන් දැකීමේ හා දේවත්වයට ලඟා වීමේ සංකල්පම පෙරදැරි කරගැනීමම වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

මේ ඔස්සේ සිතන්නකුට ඉන්දීය නිදහස් සටන, මලේච්ඡ වූ හින්දු මුස්ලිම් ගැටුමකින් කෙලවර වන්නේත්, එකට එක්වී හිරු නොබසින අධිරාජ්‍යය දණ ගැස්සවූ දෙපිරිසක් අදටත් න්‍යෂ්ඨික යුධ අවි අමෝරාගත් ජාතීන් දෙකක් බවට  පත්ව ඇත්තේත් ඇයි ද යන්නට මේ දේවල ඇති යම් යම් සබඳතාවන් ද පෙනී යනු ඇත.

අපේ සන්තානයන්ට ග්‍රහණය නො වූ භෞතික හෝ ලෝකෝත්තර වූ බලවේගයන් තිබිය හැකිය. ගැටළුව වන්නේ ඒ සියල්ල හඳුනා දැන අවබෝධ කරගත්තවූන් සේ ක්‍රියාකරන්නට යෑමෙහි දී ය. විශේෂයෙන් විමුක්තිය, නිදහස, ගැලවීම වැනි සංකල්ප වල ඉදිරියෙන් දෘශ්‍යමාන හෝ අදෘශ්‍යමාන බලවේගයන් ගැට ගැසීමෙන් සිදුවන්නේ අපේ සිත් සතන් ඒ බලවේගයන්ගේ වහළුන් බවට පත්කිරීම මිස පතන්නාවූ නිර්වාණය සාක්ෂාත් කරගැනීමක් නොවේ. මෙය පෞද්ගලික මෙන්ම පොදු සමාජමය අපේක්ෂාවන් එල්ලෙහි දී වුවද එකසේම බලපාන්නේයැයි මම සිතමි. අප සෙවිය යුත්තේ විමුක්තිය මිස විමුක්තිය කැඳ බෙදන්නා සේ බෙදන දෙවියකු හෝ රහත් උතුමකු හෝ නොවේයැයිද මම සිතමි. කලකට ඉහත ඨාකුරයන්ගේ ගීතාංජලියේ සංකල්පනා තුලින් මට හැඟවෙන දේ ලියන්නට කල උත්සාහයේ දී, මේ තිස්පස් වන ගද්‍යය තුලින් ස්වර්ගීය පියාණන් බැහැර කරන්නට මා පෙළඹුනේද මේ හේතුවෙන්ම ය.

(35)

කැකුළු පෙති විහිදුවා පිබිදෙන
චින්තාව නිවහල්
සුවඳ විහිදන නැගී නොබියව
උදාරව නැණ පහන් සුදිලෙන
නිදහසේ තුඟු ස්වර්ගයයි...

නෙත් යොමා මම සොයන්නේ
සිතිජ කෙලවර සිහිනයේ...

හීන මානස පවුරු බැමි බිඳ
සත්‍යයයේ දිය බුබුළ පතුලත
ඉපිද විසිරෙන වදන් දිය බිඳු
රඳා දෙතොලත නැවුම් ගී සේ
සුසුදු පිරිපුන් මනුෂ්‍යත්වය
දෝත් විහිදා වැලඳගන්නා
මගේ නිවහල් දේශයයි

සම්ප්‍රදායේ කතර වැලිතල
නොසඟවන බුද්ධියේ සිහිලඹ
සිතැඟි සේ සිතුවිලිව පුබු දා
නැගි නැගී එන දිරිය දරුකැල
පෘථුල තැනිබිම සිසාරා
ජීවයේ සිසිලස පතුරුවන
මගේ නිවහල් දේශයයි

‍නෙත් යොමා මම සොයන්නේ
සිතිජ කෙලවර සිහිනයේ...

කැකුළු පෙති විහිදුවා පිබිදෙන
චින්තාව නිවහල්
සුවඳ විහිදන නැගී නොබියව
උදාරව නැණ පහන් සුදිලෙන
නිදහසේ තුඟු ස්වර්ගයයි...!
-.-

Where the mind is without fear and the head is held high;
Where knowledge is free;
Where the world has not been broken up into fragments by narrow domestic walls;
Where words come out from the depth of truth;
Where tireless striving stretches its arms towards perfection;
Where the clear stream of reason has not lost its way into the dreary desert sand of dead habit;
Where the mind is led forward by thee into ever-widening thought and action---
Into that heaven of freedom, my Father, let my country awake.


වෛශ්නව සමානාත්මක සංකල්පය පුළුල් ලෙස ඇදහූ මහත්මා ගාන්ධිගේ ජීවිතය සොරාගත් වෙඩි උණ්ඩ තුන විනායක් ගොඩ්සේ ගේ බෙරෙටා පිස්තෝල මුවින් නික්මුණේ එක්දහස් නවසිය හතලිස් අටේ ජනවාරි තිස්වෙනි දා ය.

අවුරුදු හැට නවයකට පෙර හෙට ඉරපායන දවස වාගේ දවසක දී ය.

ක්‍රිෂ්ණාවෝ  තවමත් හෝපළු වන පෙත් පුරා ගොපළු දැරියන් මන්මත් කරමින් සරති. වස් දඬුව වයති.
රාධාවෝ යමුනා ගංතෙර බලා හිඳිති.

චිත්‍රපටයක කතාවක් වුනත්, දෑස් අහිමි වූ ජමාල්ගේ ළමා මිත්‍රයා, මහල්ලෙක් ලෙස වුවද තවමත්, 'දර්ශන් දෝ ඝණශ්‍යාම නාත මොරි' ගයමින් දිල්ලි වීදී දිග සිඟමන් යදින්නේ යැයි මට සිතෙයි.

නරසිංහ මේතාගේ භජන් ගීය  යු ටියුබ් අඩවියෙන් ලොව පුරාම විසිරී ඇසෙයි.

අපි තවමත් මනුෂ්‍යත්වය සොයා වෙහෙසෙමු.

ජනවාරි 29, 2017


No comments:

Post a Comment

Blogroll

About