Sunday, January 1, 2017

කවි බූන්දි | ප්‍රේමය - [රන්සිරිමල් ප්‍රනාන්දු]

Share it Please
වසරින් වසර පහුවුනත් කාලය
සිතුවම් තිබේ අව පැහැ නොගැන්වෙන
සිතිවිලි තිබේ බොඳ නොවන නොගිලිහෙන
නැවත නැවතත් දිදුල් දෙන එළිය වන...



ප්‍රේමය

බූන්දි, බදාදා, නොවැම්බර් 26, 2014 23:54:47
සූර්යයා තුළ ශක්තිය නිපදවෙන්නේ අධි උෂ්ණත්වයක් හා පීඩනයක් යටතේ ජලකර න්‍යෂ්ඨි හීලියම් බවට විලයනය වීමෙනි.

දැවී හළුවී නැසී මිස
කිසි දිනක දෝතට
තුරුළු කර ගත නොහෙන
සදාකාලික අග්නි ජාලාවකිය
බුර බුරා දැල්වෙන

මිරිකා තලා පාස්සා
ගිනියම් වූ ජලකර න්‍යෂ්ඨි
මුදා හැර ගිනි
ඇවිලි ඇවිලී දැවෙන
ඉමක් නැති හිස් කමක
ඉඩක් නැති ප්‍රේමයකි
සලකුණක් සටහනක් නැති
කක්ෂයක හරි මැද…
තනිව නැවතී සිටින

නිල්වනින් වියන් බැඳ
හරිතයෙන් පාවාඩ අතුරා
පුබුදුවා මල් කැකුළු
විහිදුවා සුවඳ පැන්
වසන්තය වැඩමවන

සසලවා සයුරු දිය
විසිරුවා පෙණ පොඩිති
තනා පා කර මේ කුළු
දවටා සුළං රැළි අග
වස්සාන වැසි වස්සන

කහ පාට රතු පාට කර
මල් හැලී හැදුණු ඵල
රත්තරන් සායමෙන්
කරල් බර ගොයමත් පාට කර
විහඟ තුඩු අග සොඳුරු ගී සර තබන

දැවී හළුවී නැසී මිස
කිසි දිනක දෝතට
තුරුළු කර ගත නොහෙන
සදාකාලික අග්නි ජාලාවකිය
බුර බුරා දැල්වෙන
සලකුණක් සටහනක් නැති
කක්ෂයක හරි මැද
තනිව නැවතී සිටින
ඉමක් නැති හිස් කමක
ඉඩක් නැති ප්‍රේමය 


http://www.boondi.lk/article.php?ArtID=4479 

No comments:

Post a Comment

Blogroll

About