මතක හැටියට එක් දහස් නවසිය හැත්තෑ ගණන් මුල අට වෙනියේ නවවෙනි යේ උගන්නා කාලයේ අපේ බාප්පාගේ පත පොත අත පත ගෑමේ අතුරු ඵලයක් ලෙස මා අතට පත්වූ සිරි සීවලී හාමුදුරුවන්ගේ සිංහල ධම්මපදයේ පිටපතක් අදටත් මගේ අත දිග හරියේ ගැවසෙයි. මේ පොත් පිංච මෙතෙක් කලක් රැක බලාගෙන අතපත ගාන්නට 'වචනයක්' කියා සිරිසීවලී හාමුදුරුවන් එයට ලියන පෙරවදනේ වචන ටිකක් වඩාත් හේතු වූයේයි මම සිතමි.
"උපසම්පදා වෙද් දී සාමණේරවරුන්ට පාඩම් තිබිය යුතු බණ දහම් වලට ද ධම්මපදය ඇතුලත්ය. මට වයස දොළහ වෙද්දී මාගේ ආචාර්ය පාදයෝ ධම්මපදය පාඩම් කර වූහ. ඒ කාලයේ මට ඒ ගැන දැනුම් තේරුම් නැති විය. ඒ නිසා "ධම්මපදය පාඩම් කරවීම සඳහා මට බල කරන්නේ මන්ද?" යි දිනක් මම උන්වහන්සේගෙන් ඇසීමි.
"ඔය ධම්මපදේ තම යි බුදු බණ පිඬ! ඔය පොත පාඩම් තියෙනවා නම් වෙන මොකවත් ඕනැ නෑ! තමුසේ දැනමුතු උණා ම ඔය පොතෙන් තම යි බණට රජෙක් වෙන්නේ! උප සම්පදාවටත් ධම්මපදේ ඕනෑ කරනවා. උපසම්පදා වෙන දවසට තමුසේ ඔය පොතේ වර්ග විසි හය ම පාඩම් දෙන්න ඕනෑ!" යනුවෙන් ආචාර්ය පාදයෝ මට කරුණු පැහැදිලි කර දුන්හ."
පහු කලක දෙදාස් එකේදී දෙකේදී පමණ ලියවුණු පද වැලක් 'හිස් හිස්' වුණේ ත් මේ පුංචි පොත් පිංච නිසාමයි.
මේ ටික මෙහෙම ආපහු හිතට ආවේ පහුගිය මල්බර දෙරණක උපුල් ශාන්ත සන්නස්ගල හා සංඛ අමරජිත් අතර වූ සංවාද සටහන යූ ටියුබ් සබැඳියක් හරහා නිවී හැනහිල්ලේ එහා මෙහා ඇද ඇද අහන්නට බලන්නට අවකාශයක් ලැබුණු වෙලාවෙියි.
අවුරුද්ද අැරඹෙන මුල් සතියේ දෙදාස් දාහතේදී "අපි ලඟා කරගත යුතු සහ බැහැර කරගත යුතු" දේ ගැන කථා කරන සාකච්ඡාවක් වුණත්, දහ දොලොස් වතාවක්, නිෂ්පාදක වරයා 'මාතෘකාවට එන්න' 'මාතෘකාවට එන්න' කියමින් ඉල්ලනවායි කිව්වත්, ඇහුණු ප්‍රශ්න හා ලැබුණු උත්තර එක අතකින් උපුල් ශාන්ත මතු කරන්නට, හුවා දක්වන්නට උත්සාහ කල කරුණු කාරනා වඩාත් හොඳින් පැහැදිලි කලායි මට සිතෙයි.
මට හිතෙන හැටියට අද දවසේ මෙවැනි සංවාදයකට, විශේෂයෙන් ආරාධිතයා පෙන්වා ප්‍රශ්න විචාරකයා හඳුන්වා දෙන ජාතියේ සංවාදයකට, බුදුන් වහන්සේ හෝ ක්‍රිස්තුස් වහන්සේ පැමිණියත් වඩාත් වැදගත් ප්‍රශ්න වන්නේ, අනේ පිඬු සිටාණන් ජේතවනාරාමය දන් දීමේ ගනුදෙනුව හෝ කානා නුවර වයින් කල වතුර වලින් ඉතුරු එව්වා බාර් එකකට වික්කා ද වැනි ප්‍රශ්නම වන්නේය. අප ජීවත්වන්නේ අදහස් හෝ දැණුම මූලික වූ සමාජයකය යන මතය සීයට දෙසීයක දුර්මතයකි. නොඑසේ නම් දැණුම හා අදහස් යනු කුමක්දැයි අවබෝධ කර ගැනීමට තරම් දැනුමක් ඇත්තෝ ලංකාවේ මාධ්‍යවල නැත්තේ විය යුතුය.
අතහැරිය යුතු දේවල් ගැන කතා කරන සන්නස්ගල එක් තැනක දී අද සමාජ යථාර්ථය හුවා දක්වමින්, "බුදුන් වහන්සේ සියළු දේවල් අත ඇරපු බෝධි රුක්ෂය පාමුල සියළු දේවල් දෙන්ඩ කියල ප්‍රාර්ථනා කරන" බව සඳහන් කරයි. මේ සරල ප්‍රකාශය බොහෝ දේ සම්පිණ්ඩනය කරන්නේයි මම සිතමි. වඩාත් සිත කලකිරෙන කාරණය වන්නේ, මෙසේ කරන්නේ බුදුන් දෙසූ සත්‍යය නිර්මලව රකින්නාවූ දේශයේ, ඒ කාරණයසඳහාම නොයෙක් අයුරින් සථප වන්නාවූ ජනතාවක් විසින්ම වීමය.
ධර්මය වනාහී දැණුමයි. දැණුම වනාහි අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක්ම මිස, විශ්වාසයෙන් හෝ ඇදහීමෙන් සුරැකිය යුත්තක් නොවේ. අවබෝධය හා ප්‍රත්‍යක්ෂය යන වචන අහලකවත් විශ්වාසය හෝ ඇදහීම තිබිය හැකි නොවේ. අවබෝධය නිරතුරුවම අවබෝධ කරගත් දෑ පවා ප්‍රශ්න කරයි. අවබෝධයේ ගැඹුර මැනෙන්නේ ඒ ප්‍රශ්න කිරීම තුලිනි.
ඉතින් අප බැහැර කළ යුතු දේ අවබෝධයෙන් බැහැර කරන්නේ නම් ලඟා කරගත යුතු දේ නිරණුමානයෙන්ම අමුතු වෙහෙසක් නොවීම ලඟාවෙයි. අවබෝධයෙන් බැහැර කරගත හැකි බොහෝ දේ මේ කතාබහ තුල තිබෙයි. ඒ අවබෝධය අවබෝධයක්ම මිස, සන්නා කියන දේ විශ්වාස කිරීමවත්, සංඛ කියන දේ ඇදහීමවත් නොකර ගැනීමේ අවබෝධය ඇතිකර ගැනීමත් අපේම වගකීමක් වෙයි.
මල්බර දෙරණ - 3 https://www.youtube.com/watch?v=7NDEZnLEdmA
මේ සංවාදයේ එක් තැනක අසනීපයකදී උපුල් ශාන්තට බෝධි පූජා පැවැත්වූ පිරිසකට ණය ගෙවීම පිණිස ඔහු විසින්ද බෝධි පූජාවක් පැවැත්වූ බව ඔහු පිළිගන්නවා. තමන් විශ්වාස නොකරනවා යැයි කියන දේම කිරීමට ඔහු පෙළබෙන්නේ ඔහු නිදහසට කියන පිළිතුරට වඩා, බුදුන් වදාල ඔබ විසින් ඉහත සඳහන් කරන ගාථා පාඨයෙන්ම විස්තර කරන බියෙන් තැති ගත් පුද්ගලයෙකු ගේ ලාමක හැසිරීමක් බවයි මගේ අදහස.
ReplyDeleteඉතින්...?
Deleteපොර කියන්නේ ණය ගෙවන්න ඒ ප්‍රතිසත්කාර පූජාව කළ බවයි. එදාම ළමයින්ට රෑ කෑම සංග්‍රහයක් සහ මිතුරන්ට මත්පැන් සාදයක් පවත්වා තියෙනවා නේද?
Deleteමේ සාකච්ඡාවේ අවසන් කොටස් (ප්‍රභාකරන් ගේ ශුක්‍රාණුව) කලින් නරඹලා තිබුණත් මුල් කොටස අද තමයි දැක්කේ. ස්තුතියි රන්සිරිමාල්.
ReplyDeleteනැගලා යන එව්වා තමයි කොහොමත් වැඩි අවධානයක් ලබන්නෙ.
Deleteමේක බලද්දි දිගින් දිගටම හිතුනේ මේ බොහෝ තැන් වලදි අපි අපේ හිතිවිලි කොයි තරම් නම් සංඛ ගෙ හිතිවිලි එක්ක සම්පාත වෙනවා ද කියන එකයි.
ජනාධිපතිවරණයට පෙර මරා, අනුරාධපුරේ මහ බෝ ගහ වඳින සීන් එකකට ඔය වගේ ගාථාවක් යොදා තිබුණා මතකයි!
ReplyDeleteආමි එකේ හිටපු අපේ මස්සිනා කියනවා යුද්ධෙ කාලෙ හමුදාවල ලොකු අය අනුරාධපුරේ වැඳලා පිරිත්නූල් බැඳලා ගියහැටි. ඇත්තටම අපි ධර්මය කියලා රකින්නේ මේ පුරාවස්තු විතරක්ම වෙලා නේ ද?
Delete//ඇත්තටම අපි ධර්මය කියලා රකින්නේ මේ පුරාවස්තු විතරක්ම වෙලා නේ ද?//
ReplyDeleteපුදුමයක්යැ? පහල පන්තිවලදි බුද්ධ ධර්මය කියල උගන්වන්නෙත් පුරා විද්‍යාවමනේ. අර චෛත්‍යයේ නිදන් කරලා තියෙන්නෙ මොන ධාතුවද වගේ.
එ් කියන්නේ වයස ගියත් තාම පහල පන්තිවල ඉගන ගන්නේ නේ ද?
Delete