ජනවාරි 22 රාවය පුවත්පතේ පළවූ ලිපියකි. රාවයේ අන්තර්ජාල අඩවියෙන් උපුටාගන්නා ලදී. සියළු හිමිකම් රාවය සතුය.
http://ravaya.lk/?p=127255
රේඛා නිලුක්ෂි හේරත්
විල්පත්තු සටන ගැන අපි පසුගිය සතියේ ලීවෙමු. විල්පත්තුව කපා නැති බවත්, වැරදීමකින් රක්ෂිතයක් ලෙස ගැසට් කළ, මිනිසුන්ට අයත් ඉඩම් අවුරුදු තිහක් තිස්සේ කැලෑ වැවුණු පසු හෙළි කිරීමක් පමණක් සිදුව ඇති බවත් අපි කීවෙමු. අපි පසුගිය සතියේ මේ හෙළිකර ඇති ගම්මාන වෙත ගියෙමු. හෙළිකළ ගම්මාන අතරින් වැඩිපුර ඡායාරූප සහ වීඩියෝ හරහා පෙන්වූවේ මරිච්චිකට්ටු ගම්මානයටයි. අප මුලින්ම ගියේ ඒ ගම්මානයටයි.
මරිච්චිකට්ටුවේ බැසගත් අප තුන්හතර දෙනෙක් වටකර ගත්තෝය. අප අතේ කැමරාවක් විය. සියල්ලන්ගේ බැලුම් කැමරාව වෙතටය.
“හිරු ටීවී එකෙන්ද?” කෙනෙක් ඇසීය.
“නැහැ. පත්තරේකින්.” අපි පිළිතුරු දුන්නෙමු.
“එහෙනම් කමක් නැහැ. තරහ වෙන්න එපා නංගි. මාධ්‍ය එක්ක අපි තරහා නැහැ. ඔයාලාට ඇවිත් අපට බැනලා වුණත් ලියන්න පුළුවන්. හැබැයි අපි හිරු එක එනවාට නම් කැමති නැහැ. එහෙනම් කරුණාකරලා යන්න කියලා අපි ඉල්ලනවා.” අපව වටකර ගත් අය කියති.
අපි ආ කාරණය පැහැදිලි කළෙමු.
“අපි ආවේ ඇත්ත හොයලා ලියන්න. ඔයාලා ජීවත්වෙන්නේ නීති විරෝධී විදියට නෙවෙයි නම් ඒ බව ඔප්පු කරන්න අපට උදව් කරන්න.” අපි ඉල්ලුවෙමු.
මුලින්ම කතා කළේ මහරුෆ් හිල්මි නම් තරුණයාය.
“අපි කැලයක් කපලා මාර සැප විඳිනවා කියලා හිතනවාද? මම මගේ ගෙදර දෙන්නම්. සතියක් ජීවත්වෙලා බලන්න මේ දුක. කොළඹ සැපට ඉඳගෙන මාධ්‍ය සාකච්ඡා තියන නෝනලා මහත්තයලා දන්නවාද අපි විඳින දුක. මට නෝනා කෙනෙකුයි දරුවෝ දෙන්නෙකුයි ඉන්නවා. මම නීතිය කඩලා හිරේ ගියොත් මගේ ළමයින්ට වෙන්නේ මොකක්ද? මම නීතිය කඩන්නේ නැහැ. දුක් විඳලා හරි නීත්‍යනුකූලව ජීවත්වෙන්නයි අපට ඕනෑ.” හිල්මි කියයි.
මොහොමඞ් රාෆි පුත්තලමට ගියේ අවුරුදු 12 දීය. ඔහු අධ්‍යාපනය ලබා තිබුණේද පුත්තලමේය. දැන් රාෆි පුත්ලමෙන් පැමිණ ගොවිතැන් සහ ත්‍රීවිල් රස්සාව කරමින් මරිච්චුකට්ටුවේ ජීවත් වෙයි. ඒ ඔහුගේ පවුල සහ දරුවන් පුත්තලමේ නවත්වා සිටියදීය. දරුවන් පුත්තලමේ ඉගෙන ගන්නා නිසාත් මරිච්චුකට්ටුවට හරිහමන් ඉස්කෝලයක් තවම නැති නිසාත් දරුවන් පුත්තලමේය. එහෙත් ඔහුගේ බලාපොරොත්තුව මරිච්චුකට්ටුවේ ස්ථිර ජීවිතයක් අරඹන්නටයි. සිය ත්‍රීවිලරයෙන් අප ගම්මානයේ හතර මායිම වෙත එක්කාගෙන ගියේ රාෆිය.
අප ඇත ඇති කැමරාව දුටු කුඩා ළමයි “හිරු හිරු” කියමින් දුවගොස් සැඟවුණහ. කැමරාව යනු කන්නට නැතිව දුක්විඳින තමන්ගේ උන්හිටි තැනුත් නැති කරන ආයුධයක් බව කුඩා දරුවන්ද සිතන්නාක් මෙනි.
මුස්ලිම් ගම්මානයක්
මේ ප්‍රදේශවලට ඉන්නා, කිසිවෙකුට යන්නට නොදෙන අන්තවාදී මුසල්මානුවන් පිරිසක් දකුණේ මිනිසුන්ගේ සිත්වල චිත්‍රණය කර තිබුණත් අපට හමුවුණේ එවැනි පිරිසක් නොවේ. දකුණේ සිහින මුස්ලිම් ගම්මානය එයයි. හොරෙන් මන්ත්‍රණය කරන, ආයුධ හංගාගෙන සිටින මුසල්මානුවන් ගැන සුරංගනා කතා දකුණේ කොතෙකුත් ඇත. එවැනි අය කොහේ හෝ සිටිනවාදැයි අපි නොදන් නෙමු. මරිච්චිකට්ටුවේ නම් අපට හමුවුණේ අසීරු වූ ජීවිතය ගැටගසා ගැනීමේ සටනේ සිටින සිංහල, දෙමළ හෝ කතෝලික හෝ ඕනෑ ආගමක විය හැකි ඕනෑම තැනකින් මුණගැසෙන්නට හැකි දිළිඳු මිනිසුන් වැනි තවත් පිරිසක් පමණකි. ලංකාව මුස්ලිම් කොලණියක් කරනවා වැනි විකාරවලට ඔවුනට වෙලාවක් නොතිබුණි. දකුණ මේ මිනිසුන් චිත්‍රණය කර ඇත්තේ විශාල ගස් කපමින් ඒවා ටිපර්වල පටවමින් ලී ඉරමින් කාර්යබහුල වී සිටින අන්තවාදී මුසල්මානුවන් පිරිසක් ලෙස වුණත් අපට මුණගැසුණු මිනිසුන් හාත්පසින් වෙනස් පිරිසකි.
ගොවිතැන මූලික කරගත් දුෂ්කර ගම්මානයක සුහද, එහෙත් දුක්බර මිනිසුන් පිරිසක් අපට මුණගැසුණි. මේ දිනවල නියඟය නිසා මේ මිනිසුන්ගේ දුක් පිරිපත තවත් වැඩිවී ඇත. බොන්නට වතුර පොදක්, කන්නට බතක් නැතිකමින් මේ මිනිස්සු දුක්වෙති.
රාෆි සහ පසුව ඔහු සමඟ පැමිණි මොහොමඞ් කාමිල් අප රැගෙන ගොස් පරණ පාසල් ගොඩනැගිල්ල පෙන්වීය. පල්ලි කිහිපයක් පෙන්වීය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගම දෙපස යොදා ඇති සීමා පෙන්වීය. ඒ සීමාවලින් එහාට කැලය කපා නැති බව පෙන්වීය. සීමාවෙන් එහාට කැලෑව කපා නැතත් ඇතැම් තැන්වල සීමාව යොදා ඇත්තේ මිනිසුන්ට අයිති ඉඩම් මතින් බව ඔහු පෙන්වීය. පැරණි කනත්තද සීමාවට අසුවී ඇති අයුරු ඔහු පෙන්වූ අතර කනත්තේ තිබුණු ලී ස්මාරකවල මැකී යමින් තිබුණු අසූ ගණන්වල දින සටහන්ද පෙන්වීය.
වැව සහ වගා
මරිච්චිකට්ටු ගම්මානයේ පැරණි වැවක් ඇත. කාමිල් කියූ විදියට විලච්චියේ සිට ක්‍රමයෙන් වතුර ගලා එන වැව් පද්ධතියක් සමඟ මේ වැව සම්බන්ධ වී ඇත.
“මේ තරම් නඩත්තු කෙරුණ වැවක් රක්ෂිතයක තිබුණා කියලාද කියන්නේ. මේ බලන්න. මේ තියෙන්නේ අසූගණන්වල තිබුණු සොරොව්ව. ඒක කොටි කඩලා දාලා.” කාමිල් පැරණි සොරොව්ව, වැව් බැම්ම ආදිය පෙන්වීය.
වැව අයින දිගේ යද්දී නාවික හමුදාව විසින් කරන වගාවන් හමුවිය. නාවික හමුදා කඳවුර හමුවිය. නාවික සෙබළුන් වැවේ නාන අයුරු දක්නට ලැබිණ. මේ මිනිසුන් විල්පත්තුව කපා ඇත්නම් නාවික රණවිරුවන්ද කැලෑ කපා ඇත. නාවික හමුදාව ගැන කතා කරන්නට වීරයන්ගේ කටේ පිට්ටුය.
“නාවික හමුදාව වැව ගාවම තියෙන අපේ කුඹුරු ටික අරගෙන. අයිතිකාර අයට කරගන්න දෙයක් නැහැ. වැවේ වතුර ටික ගන්නේත් එයාලා. අපේ කුඹුරුවලට වතුර නැතිව ගොයම් මැරෙන්න යනවා. අපිට නාවික හමුදාවෙන් කරදරයක් නැහැ. ඒත් ප්‍රශ්නය තමයි අපේ මිනිස්සුන්ගේ කුඹුරු අල්ලාගෙන ඉන්න එක. කෙසෙල් වත්තම අක්කර 10 ක් තියෙනවා. වැවේ වතුර නැහැ. අපි තියෙන වතුර ටික ගන්නේ නැත්තේ මාළු බිත්තර විනාශ වෙයි කියලා. එහෙම වුණොත් ගමේ ඉන්න ධීවරයන්ට ප්‍රශ්නයක් වෙනවා. එයාලා වැව මැදට මෝටර් දාලා වතුර ගන්නවා. අපේ ගමේ සමහර අයට 1924දී විතර ඉංග්‍රීසීන්ගේ කාලේ තමයි ඔප්පු හම්බ වුණේ. අපේ මුත්තලාගේ කාලේ. වනජීවි එකෙන් අපේ ඉඩම් රක්ෂිතයක් විදියට 2012 ගැසට් කළ එක අපි දන්නේ නැහැ. අපේ ඉඩම් රක්ෂිතයක් විදියට නම් කළ එක තමයි ලොකුම ප්‍රශ්නේ.” කාමිල් අපට පැරණි ඉඩම් ඔප්පු පෙන්වීය.
“අපි දුප්පත් මිනිස්සු. නීතිය කඩලා කැලෑ කපන්න හයියක් අපට නැහැ. වනජීවී එක ඉන්නවා, වන සංරක්ෂණ එක ඉන්නවා, පොලීසිය ඉන්නවා, නේවි එක ඉන්නවා. මෙතැන වුණත් අපට ඕනෑ විදියට කැලෑ කපන්න බැහැ. මේ ගමේ කැලේට උදලු මිටක් කපාගන්න ගිය කෙනෙක්ව උසාවි දාලා දඩයක් ගැහුවා. මේ ගමේ වැවිලා තිබුණා හොඳම ලී වර්ග. ඒත් බලන්න, අපි දොරවල්වලට දාලා තියෙන්නේ ඒ ඉස්තරම් ලී වර්ගද කියලා. අපි දාලා තියෙන්නේ පිටින් ගෙනාපු බාල ලී. මේ ගමේ තිබුණු ලී දැව සංස්ථාවෙන් කපාගත්තා. දැන් අපි පොඩි කැලයක් සුද්ධ කරන්නත් බයයි. උඩින් කැමරාවක් එවලා වීඩියෝ කරලා කැලෑ කපනවා කියලා ටීවි එකේ දානවා.” රාෆි එසේ පවසයි.
කොටි තීන්දුව
මේ අයට ගම්මාන අත්හැර යන්නට සිදුවුණේ එල්ටීටීඊ තීරණයක් නිසාය. මුස්ලිම් ජනතාව එලවන්නට එල්ටීටීඊය තීරණය කළ පසු තමන්ට යන්නට සිදුවූ අයුරු මෙහෙර්බාන් අම්මා විස්තර කරයි.
“අපිට පැය විසිහතරෙන් මේ ගමෙන් යන්න කියලා එල්ටීටීඊ එක කිව්වාම අතට අහුවුණ ඒවා ෂොපින් බෑග්වලට දාගෙන අපි පයින් මේ පාර දිගේ ගියේ. සමහරුන්ගේ කකුල්වලට සෙරෙප්පු කෑලි දෙකක්වත් තිබුණේ නැහැ. මම 1954 ඉපදුණේ මේ ගමේ. මම දන්නා කාලයේ ඉඳන් මේ පල්ලිය මෙතැන තිබ්බා. එල්ටීටීඊ එක අපිට යන්න කිව්වාම මගේ දරුවෝ හයදෙනා එක්ක මම මේ ගමෙන් ගියේ පණ බේරගන්න.”
මහරුෆ් හිල්මි
හිල්මිගේ කතාව ඛේදජනකය. ඔහු අවුරුදු තිහකට ආසන්න තරුණයෙකි.
“මං මෙහේනෙ ජීවත්වෙන්න ඕනෑ. නැත්නම් මම කොහේද යන්න ඕනෑ. සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු යුද්ධය කළා. පැත්තක හිටිය මුස්ලිම් අපි අනාථ වෙලා අවුරුදු තිහක් දුක් විඳිනවා. මේවා පරණ ඉඩම්. ඔප්පු තියෙනවා අපට. අපි කාලයක් තිස්සේ ජීවත්වුණේ මේ ඉඩම්වල. මගේ උප්පැන්නයේ තියෙන්නේ මේ ලිපිනය. මගේ අයිඩෙන්ටි කාර්ඞ් එකේ තියෙන්නේ මේ ලිපිනය.
මට අවුරුද්දයි මෙහෙන් පිටවෙද්දී. අපේ අම්මාට මායි අක්කායි හිටියේ. දැන් අක්කා බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නවා. මම බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නවා. ඉස්සර දාහක් ගිය මිනිස්සු දැන් තුන්දාහක් විතර ඉන්නවා. පුත්තලමේ අපට ජීවත්වෙන්න ඉඩක් තිබුණේ නැහැ. මෙහෙ නැතිව අපි කොහේද ජීවත් වෙන්නේ.
ඒ කාලේ එල්ටීටීඊ එක අපි ලව්වා වැඩ ගන්නවා. එල්ටීටීඊ අයගේ කීම නොඅහපු තාත්තාට වෙඩි තියලා ගහක එල්ලලා ගම් පහේම අයට කතා කරලා ප්‍රසිද්ධියේ පෙන්නුවා. මට ඒවා ගැන මතකයක් නැහැ. මම පුංචිම කාලේ වුණේ. තාත්තා නැතිව, ගෙදරකුත් නැතිව අපි කොච්චර දුක්වින්දාද කියලා අපි තමයි දන්නේ. අපට කවුරුත් සහනාධාරයක් දීලා නැහැ. අම්මා පුත්තලමේ ගිහින් ඉස්සෝ ෆාම් එකේ වැඩකරලා තමයි අපව හැදුවේ. කූඩයක් ඔළුවේ තියාගෙන ඉස්සෝ ෆාම් එකේ අම්මා මඩ ඇද්දා. එහෙම මිනිස්සු අපි.
අපි දෙදාස් නවයේ ඇවිත් මේ ඉඩම් බලලා ගෙවල් හදාගන්න උත්සාහ කළා. ඒත් අපේ ඉඩම් රක්ෂිත කියලා ආණ්ඩුවෙන් කීවා. පස්සේ වන සංරක්ෂණ එකෙන් පිළිගත්තා මේ ඉඩම් එයාලාට අයිති නැහැ කියලා. ඉන් පස්සේ අපි ගෙවල් හදන්න පටන් ගත්තා. ඒ අතරතුරේ අපේ ඉඩම් නිදහස් කරන්නත් වන සංරක්ෂණ එකෙන් පටන් ගත්තා. මේ පාරවල් කැපුවේ අපි නෙවෙයි ආණ්ඩුවෙන්. කැලේ ලොකු ගස් ආණ්ඩුවෙන් කැපුවා. අනිත් කැලෑව අපි සුද්ද කරගත්තා.
දැන් මගේ වත්තේ බොන්න වතුර නැහැ. මම ගිහින් නේවි ටැප් එකෙන් තමයි වතුර ගෙනෙන්නේ. වැවේ වතුර අඩුයි. නාන්න වතුර නැහැ. මේ බලන්න මගේ කකුල්. ඇඟ පුරාවට දූවිල්ල.”
හිල්මිගේ කකුල්වල තිබුණේ බලන්නට අපහසු තරම් දරුණු ලෙස වැඩුණු වණයකි.
විල්පත්තු මිථ්‍යාව
මේ මරිච්චිකට්ටු ගම්මානය ගැන සටහනකි. විල්පත්තු මිථ්‍යාව ගැන මෙන්ම ඊනියා පරිසරවේදීන්ට නොපෙ නෙන ලංකාවේ සැබෑ පරිසර හානිය ගැනත් ඉදිරියේදී අපි ලියන්නෙමු.
මරිච්චිකට්ටු ගම්මානයට අමතරව මේ ගමනේදී අප දුටු දේ බොහෝය. අප පෙනී සිටින්නේ රිෂාද් සත්‍යය වෙනුවෙන්ය. අපට කියන්නට ඕනෑ වුණේ මේ මිනිසුන් දුක්විඳින බවයි.
මහපාරේ බල්ලන් වෙනුවෙන් පෙනීසිටින ඔටාරා ගුණවර්ධන වැනි අලුතෙන් පරිසර කැක්කුම් ඇතිවී තිබෙන කොළඹ හතේ නෝනාලාට ඒ බල්ලන් තරම්වත් මේ මිනිසුන්ගේ ජීවිත නොවටනේ විය හැකිය. ගංවතුරට හසුවුණ මිනිසුන් වෙනුවෙන් රොමෑන්ටික් ආධාර ව්‍යාපෘති ක්‍රියාත්මක කළවුන්ට යුද්ධයෙන් වසර තිහක් තිස්සේ අවතැන් වූ මේ මිනිසුන් ගැන කතා කරන්නට නොහැකිවා විය හැකිය. අප මොන තරම් හඬ නඟා සත්‍යය කීවත් මේ ඊනියා වීරයන්ගේ ඊනියා සත්‍යය තරම් අපේ හඬ නොඇසෙනවා විය හැකිය. සීයක් බොරු කියද්දී එක් අයෙකු විතරක් ඇත්ත කීවත් ඇත්ත ඇත්තමය.
මේ ගොඩනඟන මුස්ලිම් විරෝධය නිසා හෙට යළිත් මේ රට ගිනි ජාලාවක් කෙරෙනු ඇත. එයින් පසුව එහි පාපය මුස්ලිම් ජනතාව මත පැටවෙනු ඇත. පව්කාර දෙමළ ජාතියක් සහ පවුකාර මුස්ලිම් ජාතියක් සමඟ පවට සමාව දුන් සිංහල ජාතියක් ඉතිරිවනු ඇත. හෙට ගිනිගත්තොත් ගින්න හටගන්නේ බදියුදීන්ලාගේ හෝ අන්තවාදී මුසල්මානුවන්ගේ ජීවිත මතින් නොව මේ අහිංසක දුප්පත් මුස්ලිම් මිනිසුන්ගේ ජීවිත මතින්ය. අන්තර්ජාලයේ ගිනි තබන කොළඹ කේන්ද්‍රීය සිංහල අන්තවාදී ජීවිත මතින් නොව ගම්වල ජීවත්වන අහිංසක සිංහල තරුණ තරුණියන්ගේ ජීවිත මතින්ය. ඒ ගින්න ඇවිළුණාට පසුවත් යහතින් ජීවත් වන්නට නියමිත ඔබට ගිනි පුපුරු දැමීමේ පාපය ගැන කවුරු දොස් නොකීවත් ඔබ ඒ පාපයට කරගසා ඇති බව විල්පත්තු වීරයන්ට අපි කියා සිටින්නෙමු.
//හෙට ගිනිගත්තොත් ගින්න හටගන්නේ බදියුදීන්ලාගේ හෝ අන්තවාදී මුසල්මානුවන්ගේ ජීවිත මතින් නොව මේ අහිංසක දුප්පත් මුස්ලිම් මිනිසුන්ගේ ජීවිත මතින්ය. අන්තර්ජාලයේ ගිනි තබන කොළඹ කේන්ද්‍රීය සිංහල අන්තවාදී ජීවිත මතින් නොව ගම්වල ජීවත්වන අහිංසක සිංහල තරුණ තරුණියන්ගේ ජීවිත මතින්ය.//
ReplyDeleteඕක තමයි හැමදාමත් කටුක ඇත්ත
/////ඕක තමයි හැමදාමත් කටුක ඇත්ත//////
Delete+++++++++++++++++
කවුරුත් විසඳුම් හොයන්නේ "තමුන්ගේ" ප්රශ්න වලට විතරයි නේ ද?
Delete