Monday, January 16, 2017
ප්‍රිය දර්ශනී
මට අවුරුදු හත අට වූ කාලේ අපේ ගෙදරට මිටි කරගත් පුංචි රෝසපාට ඇඟිලි අස්සේ ලස්සණ හා ප්‍රීතිමත් වූ බොහෝ දේ හංගාගෙන පුංචි දේව දූතියක් ආවාය.
අපේ ගෙදර ළමයින් හතර දෙනාම මුලින්ම නිදාගත් සිඟිති කොටු ඇඳ අළුතෙන් රෝසපාට තීන්ත ගා අළුත් කර, අළුත් රෝසපාට මදුරු දැලක් එල්ලා තිබුණි. එතෙක් ඒ ඇඳ අයිතිව සිටි ලොකු නංගීට ලොකු කොටු ඇඳ අයිති වුනු අතර, මටත් අයියාටත් ඉස්සරහ කාමරයේ ඇඳන් දෙකක් සින්නක්කර ලැබුණි. ඉතින් ගෙදර පුරාම ආයෙත් බබා සුවඳ විය. මීගමුවේ රෝහලක උපන් හෙයින් අපේ අම්මාට මීගමු අළුවා කෑල්ල වූ මේ පුංචිම පුංචි කෙසඟ කෙල්ල නාවන වෙලාවට අත් උදව් කාරයා වූයේ මමය.
කවදා කෙලෙස මතක් කලත් ආදරණීය සතුටක් සමගම මතක් වෙන අපේ පුංචි නංගී ගැන මගේ මුල්ම මතකය එහෙමය. ඒ පුංචි රෝසපාට ඇඟිලි වල ඈ සඟවාගෙන පැමිණි ලස්සණ හා ප්‍රීතිමත් වූ බොහෝ දේ මගේ ළමා කාලය පුරාත් අද දවස පුරාත් විසිරී විහිදී තිබේ.
ඕ එදත් අදත් කවදාටත් ප්‍රිය දර්ශනී ම වුවා ය. අපේ මඟුල් දවසේ දෙවැනි මනාලිය වූ ඇගේ මේ මුහුණ, රටින් පිටවී පැමිණි දිනවල මා රැගෙන ආ මුහුණයි. ඒ පැමිණ දශක දෙකකට පසු දෙදාස් ගණන්වල ගිම්හාන සවසක ලියවුණු පහත පද ටික අදත් හැඟුම්බරව මසිතට දැනෙයි.
සුබ උපන් දිනයක් නංගී.
ජනවාරි 16, 2017
Subscribe to:
Post Comments (Atom)
Blogroll
About
Designed By Templateism | Seo Blogger Templates
No comments:
Post a Comment