Tuesday, June 3, 2025

හිතක් පපුවක් නැද්ද...!


 


සිංදු අහලා ඇති. රූප රාමු දැකලා ඇති. සිංදුවක් දැකලා රූප රාමු අහලා තියනව ද කවදාක හරි? ඇස්  දෙකෙන් හා කන් දෙකෙන් එක වර අහන්න එක වර දකින්න.


හිතක් පපුවක් නැද්ද වැස්සත් නුඹ වගේ... රිද්දුවයි...අවසරෙන් වැද්ද හිතම කුඩුපට්ටම් මගේ... මම නැගුවෙ නෑ.. හ්ම්ම් සද්ද නාඩා ඉන්නම් බලා ඉන්නම් නාඩා ඉන්නම් බලා ඉන්නම් එක දෙයක් මම අහන්නම් අනේ උඹට හිතක් පපුවක් නැද්ද ? නොදන්නා තව අයම කීයක් උඹේ හිත තුල ඇද්ද නොදන්නා තව අයම කීයක්... මේ තමා... මේ තමා... තක්කෙටම පෙම මට වගේ හිතිලම නැද්ද නාඩා ඉන්නම් බලා ඉන්නම් නාඩා ඉන්නම් බලා ඉන්නම් එක දෙයක් මම අහන්නම් අනේ උඹට හිතක් පපුවක් නැද්ද ? උඹෙ හිතේ මගෙ ඉඩම ඇත්තේ හෙනම ඩොටයක හද්ද උඹේ හිතේ මගෙ ඉඩම ඇත්තේ... අයිති නෑ... අයිති නෑ... සින්නක්කරම මට අනේ හති දැන් ගෙවලම බද්ද.. නාඩා ඉන්නම් බලා ඉන්නම් නාඩා ඉන්නම් බලා ඉන්නම් එක දෙයක් මම අහන්නම් අනේ උඹට... නාඩා ඉන්නම් බලා ඉන්නම් නාඩා ඉන්නම් බලා ඉන්නම් එක දෙයක් මම කියන්නම් පෙම් කරන්නට අයිති මොකටද අනේ..... රෙද්ද! Lyrics : Yashodha Adhikari යූටියුබ් වීඩියෝවේ සඳහන පහතින්. Vocals : Sashika Nisansala Lyrics : Yashodha Adhikari Music composed , arranged and produced by Senanga Dissanayake @BrickHouse Audio Production ----------------------------- Percussion : Nuwan Liyanage Acoustic Guitars : Dihan Kularatne Flute : Indika Rajintha Strings(Ceylon Quartet ) : Violin - DarshanaAmarasinghe, Sanduni Vishaka Viola - Manoj Wijayawardana Cello - Ravipathi Uthpala Kandage All keys : Senanga Dissanayake Recording Engineers : Amala Mihiranga , Senanga Dissanayake @BrckHouse Mixing & Mastering : Lahiru de costa @LAV studio Video Production ---------------------------- AMA VISUAL CONCEPTS (PVT) LTD Writer - Nimna Dewpura Director -Nimna Dewpura Cast - Akalanka Prabashwara Kanchana Malshani Kaushi Disanayake Shriyani Rupasinghe Cinematographer - Shihara Osha Production Designer - Nimna Dewpura Line Producer - Amapani Galmangoda Assistant Director - Chamara Sadaruwan 2nd Assistant Director - Kasun Ukwatte Editor & Colorist - Nerun Kalpajith Costume Dsigner - Amapani Galmangoda Makeup Artist - Madara Godage Art Director - Sadun Madurapperuma Art Department Assistant - Kamitha Chandula Production Manager - Champika Rathnasiri Coordinater - Shani Gamage Gaffer - Madushanka Piris Camera Assistant - Pulinda Kekulawela Focus Puller - Chulaka Saman Technician - K.G Munasinghe Still Photographer - Tharindu Viduranga Transportation Support - House Owner - Jagath Senanayeka Restaurant Alita Galle Sri Lanka Fire Brigade Sri Lanka Police Department Dimuthu Kumarasiri Galle Municipal Council Prauda Buwaneka Galmangoda Ransaka Galmangoda

Continue Reading...

Monday, May 19, 2025

හැත්තෑ පහේ සිට පණහක්

 


අද නවසිය අසූතු‌නේ දී බුරා ඇවිළුණු යුද්ධ‌ යේ අවසානය සටහන් වූ 2009 න් වසර දාසයකට මෙපිට රණවිරු සමරුව සැමරෙන දවසයි.
ඒ එසේ නමුත්, 2025 මැයි මාසේ දහනවවෙනිදා වන අද, මින් වසර පණහකට පෙර, මම කොළඹ සරසවියේ ගේට්ටුවෙන් ඇතුළු වූ දවස ද වෙයි. ඒ කොළඹ සරසවි විද්‍යා පීඨයටය. තවත් එකසිය ගණනක් වූ කොළු කෙල්ලන් සමූහයක් සමගය.
එදා මෙදා තුර මිත්‍රත්වයෙන් බැඳුණු අපෙන් සෑහෙන පිරිසක්, මා දන්නා ගණන් හිලව් අනුව නම් අසූවක් පමණ, මේ පණහක් පැරණි අපේ සරසවි අභිෂේකය සමරන්නට, ලබන සතියේ හමුවන්නට සැලසුම් කරගෙන සිටිමු.
ඉතින් එදා දවස අද වූ දින, එදා මතකය ගැන කලකට පෙර තැබූ සටහනක් මෙලෙස නැවත සටහන් කරන්නට සිතුවෙමි.
ජීවිතය චක්‍රාකාර වුවත්, රේඛීය වුවත් ගමනක්ම පමණක් බව පසක් වෙන වයසකට එළැඹ ඇති අප බොහෝ දෙනෙකුට මෙන්ම මට ද, අවුරුදු පණහකට එහා, එදා දවස, අපේ මේ ගමනේ වැදගත්ම කඩයිම පසුකල දවසය කියා සිතන්නට හැකියැයි මම සිතමි. 

ගමනක වටිනාම කොටස ගමනම මිස, අවසානය නොවේ.

විශ්ව විද්‍යාල පිවිසුම් ලැබ ඇතුලත් වීමේ ලිපි බලාපොරොත්තුව සිටි ඒ කාලයේ පංති මිතුරන් සමග විශ්ව විද්‍යාල තේරීම් ලේඛනය බලන්නට කොළඹ අධ්‍යාපන දෙපාර්තමේන්තු පරිශ්‍රයට අප ගිය ගමන් මට මතකය. වෙන්නප්පුවේ ජෝශප් වාස් විදුහලේ (දැන් ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය) සිසුන් වූ අපටත් උසස්පෙල ලිවීමෙන් පසු එළඹෙන ප්‍රතිඵල නිකුත්වීම හා විශ්ව විද්‍යාල තේරීම් තීරණ නිකුත්වීම අතර සංක්‍රාන්ති සමයේ සිටි බොහෝ දෙනෙකුට මෙන්ම, ඒ කාලයේ විනෝදය හෝ ආතල් එක වූයේ, ගමන් වියදම් හොයාගෙන, බසයක නැගී කොළඹ ගොස්, චිත්‍රපටියක් බලා, පුංචි පහේ රස්තියාදුවක යෙදීම ය.

ඒ අතරතුර මීගමුවේ ජර්මන් පංතියකට ගියාත් මතකය. මගේත් ජෙරම් ඇන්ටනි ගේත් දැන හැඳුනුම්කම් වැඩෙන්නේ එතැනදී ය. පාසලේදී සමාන්තර උසස් පෙළ පංති දෙකක ඉගෙනුම ලැබූ අප දෙදෙන, එකිනෙකා දැන සිටියද, ලඟ මිතුරු ඇසුරකට වැටෙන්නේ, උසස්පෙලින් සරසවි වරම් ලැබූ කාණ්ඩයට ගොනු වීමත් සමගය.

ජර්මන්, ප්‍රංශ භාෂා උගෙන විදෙස්ගත වීම හෝ, සංචාරක කර්මාන්තයට මුක්කුවක් ගැසීමේ යම් විදිහක බලාපොරොත්තුවකුත්, අපේ කාලයේ අපේ පැත්තේ තාරුණ්‍යයේ සිහිනයක්ව තිබුණේය. ඒක මීගමු වෙරල තීරය දිගේ සංචාරක හෝටල හා සංචාරක නිවාස ඉදිවෙමින් තිබුණු, රජය සශ්‍රිකවම සංචාරක ව්‍යාපාරය රටේ ආර්ථිකයේ ප්‍රධාන දායක තනතුරක තබා ප්‍රවර්ධනය කිරීම ඇරඹුනු යුගය ලෙස මගේ මතකයේ තිබේ.

සරසවි තෝරා ගනිද්දී, අපේ එනම් ජෙරම්ගේත් මගේත් මෙන්ම අපේ බොහෝ දෙනෙකුගේ ප්‍රථම තේරීම වූයේ පේරාදෙණි සරසවියය. ඇත්ත වශයෙන්ම කොළඹ සරසවිය තියෙන්නේ කොහේ කොතැනක ද කියාවත් පැහැදිලි අවබෝධයක් මට නොතිබුණි. ඒ සම්බන්ධයෙන් නම් කොළඹ කියන්නේත් කොළඹම මිස, මග තොට දන්නා තැනක් ප්‍රදේශයක් නොවූ අතර, සාපේක්ෂව වෙන්නප්පුව, නයිනාමඩම පැතිවල නම් සෑම මග තොටකම බයිසිකලයෙන් සැරිසරා තිබූ මට, ඒ බොහෝ තැන්වල හිත මිතුරෝ ද සිටියහ.

අපේ සිතිවිලි ප්‍රාර්ථනා කුමනාකාර වූවද, අධ්‍යාපන අමාත්‍යංශයේ අවසාන නිර්දේශය වූයේ කොළඹය. මා සමග කොළඹ යනවායි මා දැන සිටි එකම අනෙකා වූයේ ජෙරම් ය. ජෝශප් වාස් විදුහලෙන් අප සමග තවත් සිසුවෙක් කොළඹ සරසවියට ඇතුලත් වූවායි මතකයක් ඇති මුත්, ටික දිනකින් වෙනත් සරසවියකට මාරුවී ගිය ඔහුගේ නම ගම මගේ මතකයේ ඉතිරිව නැත.

සරසවි තේරීම් ස්ථිර වූ පසුව, නවාතැනක් සොයා ගැනීමේ ගැටළුවට අපි දෙන්නාටම මුහුණ දීමට සිදුවිය. අපේ අම්මා, එවකට කළුබෝවිල ඉස්පිරිතාලයේ වෛද්‍යවරයකු වූ ඇගේ අයියාට මට නවතින්නට සුදුසු තැනක් සොයා දීමේ කොන්ත්‍රාත්තුව භාර දුන්නී ය. ඒ කතාබහ කෙළවර වූයේ මාමා මට ඔවුන්ගේ නිවසේ නවාතැන් දීමෙනි. මට වෙන්වූ කාමරය පිටතට දොරක් තිබූ, නිදහසේ ආගිය හැකි කාමරයක් වූ අතර, වැදගත්ම අංගය වූයේ, නවාතැන් ගාස්තුවක් නොතිබීම ය. මගේ සරසවි සිසු වසර හතරේම මගේ නවාතැන වූයේ මාමාගේ නිවසය.

ජෙරම්, පුවත්පත් දැන්වීම් හරහා කොළඹ බොරැල්ලේ නවාතැනක් සොයගත්තේය. එය බොරැල්ලේ වැඩිහිටි යුවලකගේ ගෙදරක කාමරයකි. ඉතින් අපි කොළඹ ආවෙමු.

පළමු දවස:

මාමාගේ වැඩිමල් පුත් ට්‍රැවිස්, එවකට කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවකු වූ අතර, මට විශ්ව විද්‍යාලය පෙන්වීමේ වගකීම පැවරුණේ ඔහුටය. කළුබෝවිල බර්නාඩ බොතේජු ආයතනය අසලින් බසයක නැගුණු අප, තර්ස්ටන් පාරේ විශ්ව විද්‍යාලය ඉදිරිපිටින් බසයෙන් බැසි වහාම, අප දෙදෙනාම ජේෂ්ඨයින් දෙදෙනෙකුගේ ග්‍රහණයට හසුවිය. ඔවුන්ගේ මුහුණු තවමත් මතක මුත් නම් ගම් නම් මතකයට නොඑයි.

තමුන් රාජකීය සිසුවෙක් බව ඒත්තු ගැන්වීමෙන් පසුව ට්‍රැවිස් නිදහස්වී ගිය අතර, බෙල්ලේ එල්ලාගත් සපත්තු කූට්ටමත් සමග තර්ස්ටන් කැන්ටිමේ මේසයක් මතට නැංගවුනු මට සිංදුවක් කියන්නැයි අණ ලැබිණි. කිසිදු ගායන හැකියාවක් නොතිබුණු මම, මා වැනි බිලින්දා හෝ එවැනි ළමා ගීතයක් ගැයුවේයැයි මතකය. මා සිගරට් බී තිබේදැයි ප්‍රශ්නයක් ආවේය. මම නැතැයි කීවෙමි. ඒ නිසාම මට පත්තුකල ෆෝඒස් සිගරට්ටුවක් ලැබුණේය. එය සතුටින් භාර ගත්තෙමි.

මිනිත්තු කිහිපයක මෙවැනි නීරස ක්‍රියාවන්ගෙන් පසුව, පීඨාධිපති කාර්යාලයේ ලියාපදිංචිය සඳහා මා තර්ස්ටන් පාර පැන සරසවියේ ප්‍රධාන ගොඩනැගිලි වෙත රැගෙන යන ලදී. ගේට්ටුවෙන් ඇතුළු වූ වහාම වාගේ හමුවන සල්ගහ මුලදී, සපත්තු යුගලය බෙල්ලේ එල්ලාන සරසවි ආ මා ගැන හෘදයාංගමව සානුකම්පිත වූ තවත් ජේෂ්ඨයෙක්, වහාම මාගේ සපත්තු නැවත පැළඳගන්නටත්, කමිසය නිසි පරිදි සකස් කරගන්නටත් උදව් කළේය. පසුකලෙක ඔහුත් එදා නවකයින් නිරුපද්‍රිතව බලා කියාගත් සියල්ලෝමත්, ා ශිෂ්‍ය සංගම් නිලවරණ සඳහා සූදානම් වූවන් ලෙස අපට හඳුනාගන්නට හැකි වූ බව මතකය.

අනතුරුව එලඹියේ, පීඨාධිපති කාර්යාලය ඉදිරිපිට පෝලිම් ගැසී බලා සිටීමේ කාලයයි. මා අසල සිටි අයගේ මුහුණු එකින් එක මා බලා සිටි අයුරු මට මතකය. බොහෝ සිසුවියෝ හඬන්නට ආසන්නව බලා සිටි අතර, දෙතුන් වරක් කඩින් කඩ නැගුණු හූ හඬත්, අවට රැස්ව සිටි ජේෂ්ඨයින්ගේ ඝෝෂාවත් අතර අප රැඳී සිටි කොරිඩෝවත් ටිකින් ටික ඝෝෂාකාරී වෙන්නට පටන් ගත්තේය.

මෙයින් ප්‍රකෝප ව සිය කාමරයෙන් හිස පිටතට දමා අපට දෝෂාරෝපණය කල කමල් ඩීන් ගේ මුහුණ අප දැක්කේ එවිටය.

පීඨාධිපති කාර්යාලයේ ප්‍රධාන ලේකම් වරයා වූ ඔහු, එදා ලියාපදිංචියේ කාර්යයන් කළ අතර, අප බොහෝ දෙනෙකු පීඨාධිපති (ඩීන්) ඔහුයැයි එදා රැවටුනු බව වටහාගත් දා සිට ඔහුගේ නම කමල් ඩීන් විය.

ලියා පදිංචියෙන් පසු, අප සියළු දෙනාම, නැවත පෝලිම්ගස්වා, පොත් ෆයිල් කවර හිස මත තබ්බවා, තර්ස්ටන් කැන්ටිම වෙත, උහත්සවාකාරයෙන් හූ හඬ මධ්‍යයේ කැඳවාගෙන එනු ලැබීය. මගේ මතකයේ හොඳින්ම සටහන්ව ඇත්තේ මට ඉදිරියෙන් ගිය, ක්ලාන්ත වෙන්නට ආසන්නව සිටි කෙල්ලකගේ රූපයය. කඳුළු මතුවුනු දෑසින් බියෙන් ගැහි ගැහී ගමන් කල ඇගේ මුහුණේ ඡායාව තවමත් මතක ඇතත්, ඒ කවුරුන්දැයි හරි හැටි අනුමාන කර ගැනීම නම් උගහටය.

තර්ස්ටන් කැන්ටිමේ දී, මේස වටා ඇවිදීම, දිවීම වැනි ක්‍රියාවන් දෙක තුනක් මිස, ඒ පොදු නවක වදයේ විස්තරාත්මක විස්තරයක් මට මතක නැත. එහෙත් එය සාමාන්‍ය සදාචාර සීමාවන් කිසිසේත්ම නොඉක්මවූ බව නම් ලියා තැබිය යුතුය.

මේ සියල්ල අවසන, බස් නැවතුමේ දී මගේ පාසල් පංති සගයෙකුගේ අයියා වූ මැකෝලි මුණ ගැසීම, යම් ආකාර සැහැල්ලුවක් ගෙන දුනි. උපාධිධාරී ගුරුවරයෙක් වූ ඔහු, වැඩිදුර හැදෑරීම් සඳහා පාඨමාලාවන් කිහිපයකට ලියාපදිංචි වීමට පැමිණ සිටියේය. අප දෙදෙනා කථාබහ කරමින් සිටින අතරතුර, ඔහු දැන හඳුනන තවත් තරුණියක් එතැනට පැමිණි අතර, ඈ පැමිණ සිටියේ එදා විද්‍යා පීඨයට ඇතුළු වූ ඇගේ නැගණිය කැටුව යන්නටය.

එදා මගේ සරසවි දිවියේ පළමුදා මට මතක අවසාන සිදුවීම, මැකෝලි ගේ මිතුරිය ගේ නැගණිය, ප්‍රියංගනී කාරියවසම්, බසයකට ගොඩවෙන ගමන් හැරී “යන්නම්” කියා කිව් මොහොතය.

මතක හැටියට ඒ ඇස්වාට්ටුව පැත්තට ගිය 138 කි.



Continue Reading...

Sunday, May 4, 2025

මැයි මාර ප්‍රසංගය.....

 





මේ දවස් ඉතින්, ලබන සතියේ ඡන්දේ ගැන අරක වෙයි මේක වෙයි, මේක නං කෝමටත් වෙයි, ආදි වශයෙන් අර කඩතුරාව පිටිපස්සේ, මිනිස්සු ගෑණු කතිර ගහන විදිහ ගැන අනං මනං අනාවැකි, අනාගැනිලි, අනාත ගැහිලි ආදී වශයෙන් නා නා ප්‍රකාර බයිලා වාදනය වන දවස් ය.

හැබැයි, ගුණෙ අයියා එක්ක, ප්‍රසාද් සිරිවර්ධන, මන්ත්‍රී ආචාර්ය තුමා නැතහොත් ආචාර්ය මන්ත්‍රීතුමා ගේ මේ සංවාදය ඇහුවාට පස්සේ නම්, අර කලින් දොහක, අනුර කුමාර ජනාධිපති තුමා කිව්ව විදිහටම, මේ පාරත් නම් හෝදලම යනවාය කියන එක ටක්කෙටම ෂුවර් කතාවක් බව ආයෙත් හිතුණා ය.
Continue Reading...

පියාඹන තරුවක්....!

 



හරියටම කක්ෂයක නොරැඳී
එකම පාරක ආයෙ ආයෙත් නොයන
එකම එක... එකම එක
තරුවක්වත් තියෙන්නට බැරිද?

හිතු මනාපෙට හිතු මගක යන
හිතුනාම නැවතිලා සාමිචි දොඩන
යන්න හිතුනාම
යන්න සමු දුන්නත් නැතත් යන
ඉන්න හිතුනාම
යන්න දැන් කිව්වත්
කොහේවත් නොයන

තියෙන්නට බැරිද ඔය
කල්ප ගණන් මන්දාකිණි වල
එකම එක තරුවක් වත්
හරියටම කක්ෂයක නොරැඳී
එකම එක පාරක ආය ආයෙත් නොයන....!


#rsmpoems
දෙසැම්බර් 1, 2021

පින්තුරය ගැන:
Like the Milky Way, the nearby galaxy NGC 1300 is a barred spiral of stars stretching across more than 100,000 light-years. But our celestial neighbor is not an exact mirror image: studies indicate the Milky Way has four major spiral arms rather than two. Credit: NASA, ESA and Hubble Heritage Team (STScI/AURA)

Continue Reading...

Monday, March 31, 2025

මේකත් හෝදගෙනම එනවා හො‍‍ඳේ....!!!

 


අපේ ඉස්කෝලේ තිබුණේ බිත්ති කළුලෑලිය. බිත්තියේ කපරාරුවම කළුමැද සකස්කර තිබුණු මේ කාකවණ්න කඩතුරාව මත සුුුදු හුණු කූරුවලින් සිප් සතර රූගත කල අපේ ගුරුවර ගුරුවරියෝ, ඒ් කාර්යය අවසානයේ පුළුන් පුරවාපු රෙදි කොට්ටයකින් ඒ් දැණුම ගොනු කර පිසදා දැමූහ. මේ ලිවීමත් මැකීමත් එක්කම කළු ලෑල්ලේ කළුවද ටික ටික ගිලිහී යාම සොබා දහමය. උත්තරය, අවුරුද්දකට සැරයක් විතර, පංතියේ කොල්ලන් එකතු වී, බ්ලැක් බෝඩ් එක කළු මැදීම ය. කළු මැදිල්ලෙන් අළුත් කළුලෑල්ලක් ලැබෙන්නේ නැත. තියෙන, තිබුණු, එකම අළුත් කළුපාටකින් සුදිලෙයි. ඒ් කළුව, ලියවෙන සුදු හුණු සටහන් වල රේඛා, අකුරු, අළුත් සුවඳකින් උලුප්පා පෙන්වයි.

කළු මැදිල්ල කෙරෙන්නේ, පාන් දැලි, වැට එඬරු කිරිවලින් ඒදා, සුදු හුණු සාක්කි ඉවත් වෙනතුරු හොඳින් හෝදා වියලාගත් කළු ලෑල්ල මත සීරුවට ආලේප කිරිල්ලෙනි. වැටවල් දිගේ එඬරු ගස්වල කොල කඩ කඩා කිරි එකතු කිරිල්ලට සෑහෙන පිරිසක් සම්මාදම් වෙන නමුත්, බූමිතෙල් ලාම්පුවක් උඩ ටින් කබලක් මුනින් නවා පාන් දැලි එකතු කිරිල්ල එකෙක් දෙන්නෙකුට පැවරෙන ගින්දර එක්ක කරන සෙල්ලමක් වෙයි. අපි හයේ හතේ ඉන්නා කාලයේ, අපේ පන්තියේ හිටි පාන්‌ පෝරණුවක් තිබුණු ගෙදරක යාළුවෙක්, සේරටෝම ඇති වෙන්න පෝරණේ චිමිනියෙන් පාන්දැලි එකතු කරගෙන ආයේය. පාන් පෝරණුවේ පිච්චෙන කැලෑ දර වල දැලි වලින් හැදුනු ඒ්වා කළු පාටට වඩා දුඹුරු පාට බව කට්ටියට පෙණුනේ, එක සෙනසුරාදාවක, බිත්ති ලෑල්ල හෝදලා වේලලා, කළු මදින්න කළු හදන්න ඒ් පාර්සලේ ඇරපු වෙලාවේය. ඒ් අවුරුද්දේ අනික් හැම පන්තිවලම කළුලෑලි කළුවට තිබුණත් අපේ පන්ති ලෑල්ල දුඹුරු ලෑල්ලක්ව තිබුණේ ය.

මේ අතුරු කතාවල් මතක් වුනේ, මේ පලාත් පාලන ඡන්දයට මාලිමා අපේක්ෂකයින්ට සහාය පතා පැවැත්වෙන රැස්වීම් වල කතාබහ අහන අතරේ ය. ඇත්තටම මේ ඡන්දයෙත් හෝදගෙනම එන ඡන්දයක් විය යුත්තේ, එහෙමත් නැත්නම්, රටේ අහුමුළු හැමේකම පලාත් පාලන ආයතන වල වැඩි බලය මාලිමාවට හේත්තු කර දිය යුත්තේ ඇයිද කියන ප්‍රශ්නයට උත්තරයක් හොයන්නට හිතිවිලි මෙහෙයවන වෙලාවේ ය.

මා දකින විදිහට නම්, මොන තරම් කඩතොලු වල ගොඩැලි තිබුණත් සමස්ත චිත්‍රය දිහා ඈතට ගිහින් ඇස් පුංචි කරලා බලද්දී, පහුගිය වකවානුවක් පුරාම අප බලාහිටි ආකාරයේ, අප පතා හිටි ආකාරයේ කළු මැදිල්ලක්, අපේ රටේ දේශපාලන සංස්කෘතිය මත කෙරෙමින් පවතින බවත්, ඒ් කිරිල්ල, හුදෙක් කතා කිරිල්ලක් කස ඇඹරිල්ලක්ම නොව, හරියාකාර පාන්දැලි හදා, බිංදුව බිංදුව එඬරු කිරි එකතුකර ක්‍රමානුකූලව කෙරෙන කළු මැදිල්ලක්ය යන්න මගේ හිතිවිල්ලයි. ඉතින්, හැම ලෑල්ලම එකම ලස්සණකට කළු කිරිල්ල මිස, එදා අපේ පන්තියේ වගේ දුඹුරු ලෑලි තැන් තැන්වල එල්ලිල්ලේ වැරැද්ද කළ යුතුම නැත.

ඉතින් මේ හිතිවිලි ටික බුලට් පොයින්ට් වලට කැටි කලොත් මේං මේ ආකාරයට පෙලගැහෙයි.


දැනටමත් රටේ ඇරඹී තිබෙන දේශපාලන සදාචාර පරිවර්තනය, රටේ ජනතාවට දැනෙනාකාරයෙන් ස්ථාපිත වීමට නම් ප්‍රාදේශීය මට්ටමේත් මාලිමාවේ දේශපාලන සංස්කෘතිය ස්ථාවර කිරීම අත්‍යවශ්‍යය කාරණාවක් වෙයි.

- ⁠ලැබෙන්නට නියමිත අනාගත ආර්ථික ප්‍රතිලාභ නියමාකාරයෙන් සාධාරණව හා ප්‍රජාතන්ත්‍රවාදීීව සාමාන්‍්‍ය ජනතාව අතරට ගලා යන්නට නම් ප්‍රදේශීය පාලන ආයතනවල සංයුතිය තුල මාලිමා නියෝජනය ස්ථාවර කර ගැනීම අතිශයින් වැදගත් වෙයි.

- ⁠මේ අවශ්‍යතාවය තවදුරටත් තීව්‍ර වන්නේ, රටේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයන් තුලට ගොනු කර ගැනීමත්, ඒවා තවදුරටත් ශක්තිමත් කර හා ආරක්ෂාකර පවත්වාගෙන යාමේ වුවමනාවත් මේ පරිවර්තනයේ පදනම වන නිසාය.




Continue Reading...

Sunday, March 30, 2025

විසක් වූ ජීවිතය....!






විසක් වූ ජීවිතය....!

වැඩිමහල් සොයුරියගේ සැමියා අතින් දූෂණයට ලක්ව ගැබිනියක වී සිටින නොවැඩුණු එකොලොස් වියැති දැරියගේ ගබ්සාවට අධිකරණ අවසර පතයි - පුවතක්

තරුත් නෙත් වසාගත් රාත්‍රිය ගඟක් විය
වලාකුළු මුවා වේ හඳත් ගිණි සිලක් විය
වසන් විය සුදත් ගුණ ඇවිලවින ගිණි මැලය
අඟක් විය පිරිමි ඇඟ සිදුරු වූ ඉස් මොළය

තුරක් නොවු ලපල්ලක තටු සිඳුණු මලක් විය
පිනිත් වැකි නමුත් පෙති හැලී බිම කඳුළු විය
අතක් නොවදින තැනක රොන් සුණුත් වසන් විය
දිනක් නැත රැයක් මිස පහන් තරුවත් නිදිය

අදක් නැති වසන්තය හෙටත් නොඑනා සැටිය
හිතක් නැති ගතක් විය දිය සිඳුණු සාගරය
පණත් ඇති පණත් නැති පලක් නැති කඳුලකිය
කුසක් නොවු කුසක් තුල විසක් විය ජීවිතය

ඇදක් නැති ඉරි අඳින වගක් නැති පිහිතලය
රතක් ඇති ලේ බිඳක රහක් සොයනා සැටිය
ඉඩක් නැති ඉඩක් තුල හඬක් නැති සිදුරකිය
බිඳක් මුත් හඬක්මය හදක් හඬනා හඬය











Continue Reading...

Saturday, March 15, 2025

වීල් කිරිල්ලියෙ වීල් කිරිල්ලියෙ වීල් කුරුල්ලා කොයි...?


Captain Anusha Siriratne and Junior First Officer Madini Chandradasa were the first all-female crew, operating a flight from Colombo to Trichy and back on 1st November 2009. Each leg on an Airbus A320 aircraft took one hour.


"හෙටට යෙදෙන කාන්තා දිනය නිමිත්තෙන් අපේ අමාත්‍යංශයේ අමාත්‍යවරු තීරණය කරලා තියනවා ලංකා ගමනා ගමන මණ්ඩලයට ඒවගේම දුම්රිය සේවයටත් කාන්තාවන් බඳව ගන්න.. බස්රථ රියදුරුවරියන්, පයිලට්ලා, ගාඩ්ලා හැටියට කාන්තාවන් තව ටික දවසකින් බලා ගන්න පුලුවන් වේවි.. හෙටට යෙදෙන කාන්තා දිනය වෙනුවෙන් මේ තීරණය ගත්තා.. ඒ වගේම සිහිනයක් තියනවා පාසල් බස් රථ කාන්තාවන්ට භාර දෙන්න...." - ප්‍රවාහන අමාත්‍ය බිමල් 


 මේ අවුරුද්දේ  කාන්තා දිනයට පෙර දවසේ ප්‍රවාහන ඇමති බිමල් රත්නායක සහෝදරයා මැති සබය අමතා කල ඉහත ප්‍රකාශය, ලංකාවේ කාන්තාවන් වෘත්තියක් හැටියට වාහන පැදිල්ල පටන් ගත් දවස සලකුණු කරන්නේ නම්  නැත.අතීතය හාරා අවුස්සා බලන්නේ නම්, මට හිතෙන හැටියට, අපේ ගම් තුලාන් වල, ග‍‍ඟ‍ේ වැවේ ඔරු පාරු පැද්ද කෙල්ලන් ගැහැණුන් මෙන්ම, ගැල් සාත්තුවල කරත්ත දක්කාන ගිය ඇත්තියනුත් ගැන තොරතුරු විස්තර ඕනෑ තරම් සොයාගන්නට පුළුවන් වනු ඇත.

හැට හැත්තෑ ගණන්වල මා උස් මහත් වන වකවානුවේදීත් සිය වාහනය පදවාගෙන ගමන් බිමන් ගිය ප්‍රභූ පංතියේ නෝනලා එකා දෙන්නා සිටි අතර, ඒ කාලයේ ජනතා වාහනය වූ ෆුෂ් බයිසිකලයක් පැදපු කෙල්ලන් දිහා වුනත් එක විදිහකට බැලිල්ල අපේ සමාජයේ සිරිත වී තිබුණි. ඒ ගති සිරිත් දියාරු වී ගොස්, කෙල්ලක් මෝටර් සයිකලයක් පැදිල්ල හෝ වාහනයක් පදවාගෙන යෑම අරුම පුදුම දෙයක් නොවන කාලයකට අප පැමිණියේ මීට දශකයකට දෙකකටවත් එහා අවදියකදීය යන්න මගේ මතකයයි.

කපිතාන් අනූෂා සිරිරත්න, 2009 නොවැම්බර් පළමුවනෙිදා ඉතිහාසයේ පළමු වරට පූර්ණ කාන්තා ගුවන් සේවිකා කණ්ඩායමක් සමග ශ්‍රී ලංකන් ගුවන් යානයක් පදවාගෙනැවිත් අපේ රටේ ගුවන් ගමන් ඉතිහාසයේ  වාර්තාවක් පිහිටුවන්නීය.

නූතනයේ මේ රෝද කරකැවීමේ විජ්ජාව පුරුෂානුබද්ධ ශාස්ත්‍රයක් නොවන බව තේරුම්ගත් අපේ කෙල්ලන්, ගැහැණුන් පිළිබඳ විස්තර වාර්තා ඇති පදම් සොයාගන්නටත් ඇස් පනා පිට දැක ගන්නටත් හැකි හෙයින්, බිමල් සහෝදරයාගේ මේ සඳහනේ මහා අරුමයක් කෙනෙකුට නොපෙනෙන්නට පුළුවන් නමුත්, ඒ සටහනේ අරුත, මින් ඉදිරියට, කාන්තාවක් රේල්ලුවක් පැදවීම, බැකෝවක්, ට්‍රක් එකක් මතු නොව, ටුක් ටුක් එකක් හෝ පැදවීම, අභව්‍ය කාරණයක් නොවන බවත්, එය සමස්ථ ශ්‍රී ලාංකික සමාජයේ සම්මත පිළිගැනීමක් බවත් ස්ථිරසාරව සනාථ කිරීමය.

වෙනසක් වෙනසක් නොවන්නේ ඒ වෙනස අරුමයක් නොවන්නා වූ දිනයේ දීය.


වීල් කිරිල්ලියෙ වීල් කිරිල්ලියෙ වීල් කුරුල්ලා කොයි.....!

- "යක්ෂ ගෑණියෙක් තමයි. ඔය වීල් එකෙන් අර ඔත්පල මිනිහවයි ළමයි දෙන්නෙක්වයි රස්සා කරනවනෙ...."

අරලියා මලක සුවඳට සිත පිරුණු      යාමෙක
පියඹලා අහස හැමතැන හිත නැටුව   කාලෙක
කල්බලා පිපුණි සල්මල අත ගැටෙන   මානෙක
ඇස් වසා විඳිමි මියගිය මල් සුවඳ      හීනෙක

කෙල්ල වී මං උදේ කිරිකොක් රෑන      පිරිවරා
සෙල්ලමේ අපි එදා බස්පොල නිනව් ‍   දෙනතුරා
හිනැහුනා නුඹ ඇවිත් මතකයි අදත්     හිතපුරා
උන් වගේ ළමුන්ටයි මං ත්‍රී වීල්          රියැදුරා

මාවතේ දකින උදවිය දැක පුරුදු          මුහුණැති
ජීවිතේ කොහොම කොහොමැයි නුඹ ගැනත් විමසති
සවුදියේ කෙරුණු සැත්කම කොහ‍ොමටත්   දන්නැති
සෙයිලමේ අපට අපි මිස කවුරුවත් වෙන     නැති

මං වගේ උනුයි කොහොමත් දරදඬු යකඩ හිත් ඇති
හන්දියේ වීල් කට්ටිය ගැන දැන් හිතට බය    නැති
පෝලිමේ හයර් නොලැබෙන අගහිඟ කෙදර ආ නිති
හාමතේ නිදපු දවසුත් අපෙ හා පැටව් විඳ      ඇති

බැංකුවේ පොළිය අඩුවැඩි නොකර  පිරිමැහෙයි
හැංගුවේ ටිකයි ඒ ටික දූට දෙන        ටිකයි
පෙන්නුවේ නැතුව මුත් මගෙ හිතට දැන් සැපයි
චූටිගේ මගුල් ගෙදරට හරියටම සති    දෙකයි

වේලිලා ඉරි තැළුණු පොළවට වැහි කඳුළු බර    නැති
බිම් මලත් මලක් වුනු හිතකට මල් පොකුරු හිඟ නැති
නෑඬුවත් කෑ ගසා ඉකිබිඳ අද ලඟින් නුඹ         නැති
පාඩුවේ අඬමි ඉඳහිට විඳ රෑ සිහින            සුවඳැති

පසුසටහන: මේ කවියට පාදක වූයේ රාජගිරියේ ත්‍රී වීලයක් පදවන සුනේත්‍රා හේමමාලි පිළිබඳව අන්තර්ජාල පුවත්පත්වල පළවූ තොරතුරුය.

Sunethra Hemamali- Times Report






























Continue Reading...

Tuesday, March 11, 2025

කතා කරන ගිනිදළු....!!

 



කෙදිනකවත් මුණගැසී හඳුනාගෙන නැතත්, සීතා රංජනී යන නම මුණ නොගැසුණු අය විරලය සිතමි. ඇගේ ලියකියවිලි තුලින්ම පමණක් ඈ දැන හැඳිනූ අය අතරටම එක්වන එකෙක් ලෙස වුව ද, ඈ කල කී දෑ ඇගයීම කළ යුතුම දෙයක් ලෙස දකිමි.

සීතා රංජනී ලියූ කියූ කල කී දේ ගැන ඇගේ "බ්ලොග් අඩවියෙහි" ඇති තරම් සාක්ෂි සටහන් තිබේ. ඔය අකුරු අතරින් ඔබටත් එහි යන්නට පුළුවන.

පහත ඇත්තේ, ආදරණීය තරු, සීතක්කා සමග කල සම්මුඛ සාකච්ඡාවක වාර්තාවකි. ඒක ගත්තේ තරුගේ බ්ලොග් අඩවිය, තරු රසි යෙනි.

මේ වචන අරගෙන ඇවිත් මෙතන අවුණන්න ඉඩ දීම ගැන තරුට තුති.

මහලු නොවනා ප්‍රේම පාරමිතාවක - තිත්ත කවි ලියූ ගැහැනියක්...

මේ වහින්නේ එදා මල් වරුසාවමයි

මහළු නොවනා පෙම්වතුන්ගේ

සොඳුරු මල් වරුසාවමයි

එදා මල් වරුසාවම යි...

මේ ගීතයේ එක පැතිකඩක් ප්‍රේමය. කාන්තාවක් විඳින ජීවිතය පිළිබඳ ලොකු කතාවක් මේ ගීතයේ තියෙනවා. ප්‍රේම කරන කාලෙ වැස්සත් නිකම්ම වැස්සක් නෙවි. මල් වරුසාවක්. එහෙම වැස්සක එක කුඩේ යටින් යන එක බොහොම සුන්දර අත්දැකීමක්. එක්කො දෙන්නම තෙමෙනවා. නැත්නම් දෙන්නම නොතෙමී එකිනෙකාව ආරක්ෂා කරමින් යනවා. නමුත් විවාහයෙන් කාලයක් යද්දි මේ එකිනෙකා කෙරෙහි වන ළෙංගතුකමඅනෝන්‍ය බැඳීම වෙනස් වෙනවා. මේ සිදුවීම අපි සමාජයේ  බොහෝ දෙනෙක් තුළ දකිනවා. මං කියන්නෙ ප්‍රේමය මහලු වෙන්න බෑ කියල. මහලු නොවනා පෙම්වතුන්ගේ සොඳුරු මල් වරුසාවමයි.’ කියල මං ලිව්වෙ ඒ නිසයි. කාලයක් යද්දි, ‘මට තෙමෙන්න බෑ. එක කුඩේ මදි’ කියල වැස්සට ආවරණයක් හොයාගෙන යනව නම්දෙන්න වෙන වෙනම ආරක්ෂාව හොයනව නම් මං හිතන්නෙ එතැන ආදරේ වෙනසක් වෙලා. මං කැමති ආදරයඑක කුඩේ යට එක්කෙනෙක් වැඩියෙන් ආරක්ෂා වෙන්න එහෙම නෙවෙයිදෙන්න සම සමව ජීවිතේ බෙදාගන්න. එක්කො තෙමෙනවා නම් දෙන්නම තෙමුණාවෙ. එක වහළක් යට කූඩු වුණාට පස්සෙ එක කුඩේ මදිවෙන්න බැහැ. කසාද බැඳල හෝ නැතිව හෝ නීතිමය බැඳීමක් ඇතිව හෝ නැතිව ආදරය මහලු වෙන්න බෑ කියලයි මට හිතෙන්නෙ.

මහලු නොවනා ප්‍රේමයක් පිළිබඳව ඒ පාරමිතා පුරන්නී සීතා රංජනීය. ඈ විසින් ලියන ලද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් හඬ මුසු කළ මේ වහින්නේ එදා මල් වරුසාවමයි’ ගීතය පිළිබඳ මවිසින් ඇසූ පැනයකට පිළිතුරක් ලෙස ඇය එලෙස අදහස් ගොනු කළාය. වසර 37 කට වැඩි කාලයක් මාධ්‍ය වේදිනියකසමාජ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළ සීතා රංජනීගේ සාහිත්‍ය -  සමාජ දායකත්වය ඇගයෙන සහෘද සංවාදයක් සීතා ඔබේ යෙහෙළිය - තිත්ත කවි ලියූ ගැහැනිය” නමින් සැප්තැම්බර් 06 වැනිදා සවස 3.00ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන අතරඇයගේ මෙතෙක් පළ නොවුණු ගී පද රචනා ඇතුළත් මල් වරුසා’ ගේය පද සංග්‍රහය ගොඩගේ ප්‍රකාශනයක් ලෙස එහිදී එළිදක්වන්නට නියමිතය. මේ සංලාපයට ආසන්නතම නිමිත්ත එකී සහෘද කතිකාවයි.

මෙවැනි සුන්දර ගී පබඳින්නට හැකියාවක් තිබුණු ඔබ ඉන් එහාට සෞන්දර්යාත්මකභාව ප්‍රකාශන මාධ්‍යයක් විදියට ගීතය එක්ක ගනුදෙනු කරල නැහැ. ඔබේ භාවිතය තුළ ගීතයත් එක් සමාජ වැඩක් විදියට නේද පෙනී සිටින්නෙ?

ගීතකවි හෝ වෙනත් ලියවිලි වුණත් මම නිකම්ම ලිව්වෙ නැහැ. යම්කිසි දැක්මක්අරමුණක් ඇතිවයි ලිව්වේ. රජරට ගුවන් විදුලියේ ඉන්න මුල් කාලෙ ලියවුණු ගීතවල යම් සෞන්දර්යාත්මක ගනුදෙනුවක් තිබුණා. රජරට සේවයෙ නිර්මාණාත්මක කටයුතුවලට වැඩි ඉඩක්නිදහසක් ලැබුණා. ඒ බොහෝ ගීතවලට මම ඇසුදුටුඅත්වින්ද මිනිසුන්ගේ ජීවන අත්දැකීම්සමාජ ප්‍රශ්න තේමා වුණා. ඒක ඉබේමයි සිද්දවුණේ.

නමුත් කොළඹට ආවට පස්සෙ මම ක්ෂේත්‍ර ගණනාවක වැඩ කළා. ඉඳහිට ගීත ලියවුණත් ඒවා නිර්මාණ විදියට එළිදක්වන්න ගායක ගායිකාවන් හමුවෙලා කතා කරන්නවත්බාර දෙන්නවත් ඉඩක් ලැබුණෙ නැහැ. ඒ අඛණ්ඩ ගනුදෙනුව නැතිව සංගීත ක්ෂේත්‍රයෙ ඉදිරියට යන්න අමාරුයි. ලියවුණු ගීත ගණනාවක්ම තියෙනවා ගායනා නොකළ. ඉදිරියට පළවෙන්නට නියමිත ගීත පොතට ඒව ඇතුළත්. මගේ ගීතයට සිදුවුණෙත් අනිත් නිර්මාණ කටයුතුවලට සිදුවුණු දේම තමයි. සමාජ දේශපාලන වැඩ එක්ක ගීතය වෙනුවෙන් යොදවන්න කාලය නැතිවුණා.

ඔබ ගැහැනියක්හුදෙකලාවම ජීවිත ගමන යන. සමාජ දේශපාලන භුමිකාවක ක්‍රියාකාරීව වැඩ කරන තනි ගැහැනියකට මුහුණ දෙන්න සිදුවන අභියෝග මොනවදඔබ ඒ අභියෝග ජයගත්තා යැයි සිතනවද?

මම හිතන්නෙ තනිවම ජීවත්වීම මගේ වැඩවලට පහසුවක් වුණා කියලයි. ඒක මට අභියෝගයක් නෙවෙයි. වඩා නිදහස්ව වැඩ කරන්නසමාජ දේශපාලන වැඩවලට සම්පූර්ණ කාලය වැය කරන්න මට ඒක පහසුවක් වුණා. සමාජයේ අදහසක් තියෙනවා තනි ගැහැනියක් විදියට මේ වගේ ක්ෂේත්‍රයක වැඩ කරද්දි ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා කියල. මං ආව ගමන දිහා ආපහු හැරිල බලද්දි මට හිතෙනවා මම වැඩබිමට ආවෙ යම් හැකියාවක්දැක්මක් සහිතව නිසා මට කිසිම දෙයක් අභියෝගයක් වුණේ නැහැ කියල. විශේෂයෙන් මානව අයිතිවාසිකම්ජනවාර්ගික අයිතීන්කාන්තා අයිතීන්මාධ්‍ය නිදහසඅදහස් ප්‍රකාශ කිරීමේ අයිතියප්‍රජාතන්ත්‍රවාදය වගේ ක්ෂේත්‍රවල තමයි මම මාධ්‍ය හසුරුවල තියෙන්නෙ. ක්‍රියාකාරිනියක් විදියට වැඩ කරල තියෙන්නෙත් ඒ ක්ෂේත්‍රවල. තනියෙන් හිඳීම තුළ මට පැය විසිහතරම වුණත් වැඩ කරන්න නිදහස තිබුණා. පවුල් බැඳීමක් තිබුණෙත් නැහැනෙ. රෑ දවල් නැතිව මේ විදියට වැඩ කරන තනි ගැහැනියක් ගැන සමාජයේ  විවිධ අදහස් තියෙන්න පුලුවන්. මං ගැනත් එහෙම හිතන්න ඇති. මම ගණන් ගත්තෙ නැහැ. මට ඒවා අදාළ වුණේ නැහැ. හොයල බැලුවෙ නැහැ. ඒ නිසාම මට යම් බලයක් ගොඩනැගෙන්නත් ඇති.

රජ රට සේවයෙ වැඩ කරමින් ඉද්දිත් මට හොඳ මිත්‍ර සම්බන්ධතා තිබුණා. අදත් ලොකු ප්‍රශ්නයක්නෙ මේ තරුණ පිරිසට තියෙනමාධ්‍ය ක්ෂේත්‍රයෙ වෙන්න පුලුවන් වෙනත් සමාජ කණ්ඩායම් තුළ වෙන්න පුළුවන් යහපත් සම්බන්ධතා හමුනොවන එක. විශේෂයෙන් කාන්තාවක් වීම නිසා බලපාන ප්‍රශ්න තියෙනවා. දේශපාලනිකව පාවිච්චි කිරීමලිංගික බලපෑම් වගේ ගැටලු. එවැනි දේවල් ඉස්සරත් තිබුණා. මේ තරම් දියුණු සමාජෙක අද වුණත් තියෙනවා. නමුත් මට එවැනි බලපෑම් ආවෙ නැහැ. මම යම් හැකියාවක් එක්කදැක්මක් එක්ක වැඩ කරමින් හිටි නිසා වෙන්න ඇති. එවැනි නරක අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුනොවුණු එක මට දැන් හරි පුදුමයි. සමානත්වයෙන් සලකන හරිම සමීප මිත්‍ර සම්බන්ධතා මට එදත් තිබුණා. මම හිතින් පොහොසත් පුංචි කාලෙ ඉඳන්ම. මට මා ගැන විශ්වාසයක් තිබුණා. මම මාව පහළට දා ගත්තෙ නෑ කවදාවත්. මම ගැහැනියක් කියල මම මට වෙනස්කම් කරගත්තෙ නැහැ. මම කරන දේවල් එක්ක මම කෙළින් හිටියා. ලිවීමෙදි වුණත්වැඩවලදි වුණත් දක්ෂතාවයෙන්කැපවීමෙන් මම ඉදිරියෙන් හිටියා. ගමේදි ගෙදරදි වුණත් ස්වාධීනවනිදහස්ව හිතුවාවැඩ කළා. ඒ නිසාම මට තනි ගැහැනියක් විදියට ජීවත් වීම අභියෝගයක් වුණේ නැහැ.

ළමා වියත්යොවුන් වියත් අනුරාධපුරයෙ ගත කරලා ඔබ තාරුණ්‍යයෙදි කොළඹට සේන්දු වෙනවා. මේ විදියට ගමෙන් නගරයට සංක්‍රමණය වීම අද ඔබට දැනෙන්නෙ කොහොමද?

මට නගරයට එන්න සිද්දවෙන්නෙ මාධ්‍යවේදිනියක් විදියට. රජරට සේවයෙ 79 ඉඳල 86 දක්වා පිටපත් රචිකාවියක්නිර්මාණ ශිල්පිනියක් විදියට මම පුලුවන් උපරිමයෙන් මිනිසුන්ගෙ ප්‍රශ්නවලට සංවේදීවෙමින් වැඩ කළා. ඒ වැඩ කරන කාලයෙ මම සමාජ වැඩවලත් උන්නා. පාසල් ජීවිතයෙදිත් සාහිත්‍ය කලා කටයුතුවල වගේම ක්‍රීඩාවෙදිත් මම ක්‍රියාකාරී ශිෂ්‍යාවක්. ගමේ සමිති සමාගම්වලටත් සම්බන්ධ වෙලා ක්‍රියාකාරීව කටයුතු කළා. ඒ කාගෙන්වත් අත්දැකීම් ලබලවත්කවුරුවත් ඉල්ලීම් කරලවත් නෙවෙයි. ඒ විදියට හිතන්න පොළඹවන වටපිටාවක් තිබුණෙත් නැහැනෙ. මානව හිමිකම් සංවිධාන මොනවත්ම නොතිබුණු කාලෙක එහෙම වැඩ කළේ මිනිසුන්ගෙ ප්‍රශ්න මට දැනුණු නිසා. මම ඒවට සංවේදි වුණ නිසා. එහෙම වැඩ කරමින් ඉද්දි විවරණ’ සඟරාව පටන් ගන්නකොට එහි සංස්කාරක මණ්ඩලයට මට ආරාධනාවක් ලැබුණා.

ඒ වෙනකොට කොළඹ එන්න මට අදහසක් තිබුණෙ නැහැ. දවස් හතම රජරට සේවයට යමින් හොඳ ජවයකින් වැඩ කරමින් උන්නු කාලයක්. මට ගමේ ඉන්නම ඕන කියල ලොකු හැඟීමක් තිබුණෙත් නැහැ. ඉන්න තැන මට ප්‍රශ්නයක් නෙවෙයි. කරන වැඩෙයි වැදගත් වුණේ. ගමේ සුන්දරත්වය ගැන බොහෝ අය වර්ණනා කළත් මට එහෙම හැඟීමක් තිබුණෙත් නැහැ. මං උන්නෙ වියළි ගමක. පාරිසරික සුන්දරත්වයක් දකින්න තිබුණෙ නැහැ. ස්වාධීන පුද්ගලයෙක් විදියට ජීවත් වීමේ අවශ්‍යතාවයිවැඩ කිරීමේ උවමනාවයි විතරයි මට තිබුණෙ. ඒක කරන්න ගම දනගරය ද කියල හිතුවෙ නැහැ. කොළඹට ඇවිත් බෝඩිමක ගෙවුණු මුල් මාස කිහිපය දරන්න හරිම අසීරු වුණා. කොහොමවුණත් ගමේ හිටියෙ හරිම නිදහස් පරිසරයකනෙ. කොළඹ ආවම හැම පැත්තෙන්ම බිල්ඩින්. අහස දකින්න නෑ. බෝඩිං කෑම වුණත් හරිම අමාරුයි. මට දැනුණෙ සිරගත වුණා වගේ හැඟීමක්.

පළවෙනි මාසෙ වැඩ කරල නිවාඩු අරන් කෝච්චියෙ ගමට යද්දිපැතිරුණු නිල් අහස දකිද්දි මට හරි නිදහස් හැඟීමක් දැනුණා අද වගේ මතකයි. කාලයක් යද්දි මම මේ ජීවිතේට පුරුදු වුණා. විවරණ සඟරාවට අමතරව වෙනත් වැඩවලටත් සම්බන්ධ වුණා. ගමෙන් නගරයට සංක්‍රමණය වීම තුළ භෞතිකව සිරගත වීමක් වගේ දැනුණත් ක්‍රමයෙන් වැඩවල යෙදෙද්දි ඒ හැඟීම සාමාන්‍යකරණය වෙලාඉන්පස්සෙ වැඩ තමයි මගෙ ජීවිතේ වුණේ.

සමාජ දේශපාලන ක්‍රියාකාරිනියක ලෙස ඉස්මතු වීම නිසා ඔබ තුළ සිටි ලේඛිකාව අකාලයේ මියැදුණා කියල මට හිතෙනවා. ඒ නිර්මාණශීලීමානව හිතවාදී ලේඛිකාව අතරමඟ අත්හැරීම පිළිබඳව කතා කරමුද?

මං කළ වැඩත් එක්ක මං හිතපු දේවල් ලියන්න බැරි වුණා. ඒක ඇත්ත. මගේ ජීවිත අත්දැකීම් පරාසයමගේ හැකියාවන් දන්න අය මාව උනන්දු කළාපෙළඹෙව්වා වැඩ අඩු කරල ලියන්න කියලා. නමුත් මට ලියන්න බැරිවුණා. මගේ වෙනස ඒක තමයි. සමහරු සමාජ ප්‍රශ්නමානව ප්‍රශ්න හැමදේම පැත්තක තියලඒවාට ක්‍රියාකාරීව දායක නොවී ගෙදරට වෙලා නිර්මාණකරණයේ යෙදෙනවා. මට එහෙම බැහැ. මම හැමවෙලේම රටේ වෙන දේවල් එක්ක සංවේදි වෙනවා. මානව අයිතීන්කාන්තා ප්‍රශ්නමාධ්‍ය අයිතීන්ජනවාර්ගික ගැටලුව වගේ කාරණා එක්ක මිනිසාගේ ජීවත්වීමට අහිතකර තත්වයන් මතුවෙද්දි මට නිහඬව ඉන්න බෑ. යුක්තිය වගේ පත්තරයක වැඩ කරද්දිත් පත්තරයකට වඩා වැඩි යමක්’ කියන එක තමයි අපේ තේමාව වුණේ. පත්තර කලාවෙන් ඔබ්බට ගිහින් අපි පත්තරය තුළිනුත් ක්‍රියාකාරීව වැඩකළා. සමාජ ව්‍යාපාර හැදුවා. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හැදුවා. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භයේ සිට අද දක්වා අඛණ්ඩවම ඉන්න ක්‍රියාකාරී සාමාජිකාව මම. සාමාජිකයත් මම. තනතුරුත් දරල තියෙනවා. දැනටත් කැඳවුම්කාරිනිය විදියට වැඩ කරනවා. යුතුකමක්වගකීමක් විදියට හිතල සමාජය වෙනුවෙන් වැඩ කරද්දි මගේ නිර්මාණ කටයුතු යටපත් වුණා. ඉඳහිට සාහිත්‍ය කලා නිර්මාණ රස විඳින්න අවස්ථාවක් ලැබුණම මගේ ඇතුළෙ ඉන්න සාහිත්‍යකාමී ගැහැනිය මතුවෙනවා. මටත් මෙහෙම දේවල් ලියන්න පුලුවන්නෙමේ අත්දැකීම් මටත් තියෙනවනෙ කියල හිතෙනවා. නමුත් ලියන්න වෙලාව නැහැ. ඒ දේවල් කරගන්න බැරි වුණා කියල දුක් වෙලා වැඩකුත් නැහැ. කරන්න බැරි වුණ බොහෝ දේවල් තියෙනවා.

ඔබ මාධ්‍යවේදිනියක්සමාජ දේශපාලන ක්‍රියාකාරිනියක් විදියට දන්නා හඳුනන සහෘද පිරිසෙන් බහුතරයක් ඔබේ සාහිත්‍ය කලා කටයුතු ගැන දන්නෙ නැහැ. ඒ සීතා රංජනී නම් වන සාහිත්‍යවේදිනිය සිදු කළ නිර්මාණ කාර්යයන් ගැන සිහිපත් කරනවනම්?

මගේ ආරම්භය කවිය. පාසල් වියේ මම ලියූ කවියකට අනුරාධපුර දිස්ත්‍රික්කෙන් පළමු තැන ලැබුණා. මම කවිය එක්ක බැඳෙන්නෙ එතැනදි. 1972 දි කවියට පළමු සම්මානය ලැබුණෙ. රජරට සේවයෙ ඉද්දි ගුවන්විදුලි නාට්‍ය පිටපත්ගී රචනා ගොඩක් ලියවුණා. ළමා නාට්‍යගීත නාටකවිචිත්‍රාංගකාන්තා වැඩසටහන් විශාල ප්‍රමාණයක් රචනා කළා. මේ හැම නිර්මාණයකම පිටපතක් මා ළඟත් තිබුණා. 88-89 භීෂණ කාලෙ මං කොළඹ ජනවාර්ගික අයිතීන්මානව අයිතීන් වෙනුවෙන් වැඩ කරමින් උන්නා. ගෙදර අය බයවෙලා කිසිම ඇහිල්ලක්බැලිලක් නැතිව මගේ සියලුම දේවල් ගිනි තියල තිබුණා. ඒ දවස්වල දුරකථන පහසුකම් තිබුණෙත් නැහැ. මගේ නිර්මාණ ජීවිතයේ මුල් අවදියෙ කළ සියලු වැඩ ගිනි දෙවියාට බිලි වුණේ එහෙමයි. මගේ උනන්දුවක් නැතිකම නිසාත් සමහර නිර්මාණ නැතිවුණා. දැන් ඉන්න ගෙදරට ගං වතුර දාලත් සමහර නිර්මාණ විසිකරන්න සිද්දවුණා. රජරට  සේවයෙ ප්‍රදර්ශනයකට තියන්න ළමා ගීකවිගුවන්විදුලි නාට්‍ය වගේ අත්පිටපත් පහක් විතර කරල තිබුණාඒ ටික මම කොළඹ එද්දි අරන් ආව නිසා ආරක්ෂා වුණා.

හැත්තැ ගණන්වල ලියමින් උන්නට 93 දි තමයි මගේ පළමු පොත පලවෙන්නෙ. ඒ පළමු කවි පොත කතා කරන ගිනිදළු’. 86 ඉඳන් 93 දක්වා සමාජ දේශපාලන වටපිටාව ඇසුරු කරගෙනඝාතන සංස්කෘතියට විරුද්ධව ලියවුණු කවි. ඒකත් සමාජ වැඩක්. මගේ වැඩවලම පිළිබිඹුවක්. කතා කරන ගිනිදළු’ කවිය රිචර්ඩ් ද සොයිසාගෙ ආදාහනයෙන් පස්සෙ කොළඹ කනත්තෙ ඉඳල ඒ අහසට නැගෙන ගිනි දළු දිහා බලන් ඉඳල ගෙදර ඇවිත් ලිව්ව කවිය. සංකලන කියල සංස්කෘතික සඟරාවක් කළා ජනවාර්ගික අර්බුදය පදනම් කරගත්ත. ඒකෙ සංස්කාරිකා සටහන කියල මං හැමවෙලේම ලිව්වෙ කවියක්. ඒ කවි තමයි මේ පොතට ඇතුළත් වුණේ.

එයට සමාන්තරව තව කවි පොතක් කළා දෝංකාරය - යුදබිමෙන් උපන් කවි’ කියල. ඒක දෙමළ කවි කිවිඳියන්ගෙ කවිවල පරිවර්තනයක්. මම ඒක කරන්නෙත් මගේ වැඩවල කොටසක් විදියට. දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සිංහල ජනතාව දැනුවත් කරන්නසංවේදී කරන්න සංකලන සඟරාවේ පළ කළ කවි එකතුවක්. දෙමළ කවි කිවිඳියන්ගේ නිර්මාණ හොයාගෙන භාෂාව ගැන දන්නා අයගෙන් උදව් අරගෙන බොහොම අමාරුවෙන් පරිවර්තනය කරගත් කවි තමයි මේ කෘතියට ඇතුළ් වුණේ. යක්කු’ කියන කෙටිකතා පොත එන්නෙත් එහෙම.

98 දි මං අසනීප වෙනවා. පැහැදැලිවම කියනවනම් පිලිකාවකට ගොදුරු වෙනවා. අදට වඩා දරන්න හරිම අමාරු කාලයක්. ඒ බරපතලම අභියෝගයට මං මුහුණ දුන්න විදිය තමයි තිත්ත කවියට පෙරවදනක්’ කියන ආඛ්‍යාන කාව්‍යය. එදා කිමියෝ තෙරපි කරල මං හොඳටම අමාරුවෙන් උන්නෙ. ගෙදරත් තනියෙන්. දැන් ඉතින් ඇති’ කියන හැඟීමෙන් තමයි එදා රැයේ මං ඇඳේ වැතිරුණේ. ඒත් එක්කම මට හිතුණා මේ විදියට උන්නොත් මට ආයෙ නැගිටින්න බැරි වෙයි කියල. මං ඉක්මණින් නැගිට්ටා. ලියනව කියල හිතාගෙන මේසෙ ළඟ වාඩි වුණා. කොලයක්පෑනක් ගත්තා. ඒ මහා වැස්සක් කඩාවැටුණු රාත්‍රියක්. මගෙන් ලියවුණේ කවියක්. මා තුළ ඉන්න කිවිඳියසමාජ ක්‍රියාකාරිනිය ඔක්කොම අවදිවෙලා ඒ කාව්‍යාඛ්‍යානය ලියන්න මාව පෙළඹෙව්වා.

රජ රට සේවයට ලියූ ගුවන් විදුලි නාට්‍ය එකතු කරල බැරි බර’ නමින් කෘතියක් කළා. යුක්තිය පුවත්පතට ලියූ කතාවක් තමයි රාමන්’. එය දෙමළ ගරිල්ලා භටයකුගේ කතාවක්. තංගම්මා’ කියල ළමා ගී පොතක් කළා. සාම ක්‍රියාවලියට දරුවන් සංවේදී කිරීමේ අදහසින් ලියවුණූ ගීත එකතුවක්. තංගම්මා එක්කල’ කියන ගීතය ලියවුණේ රජරට සේවයෙ ඉද්දි. ඒ ගීතය ජනප්‍රිය වුණා. ගොඩක් වැඩවලදි භාවිතා වුණා. පොත නම්වුණෙත් ඒ ගීතය අනුව.

මාධ්‍යයට අදාළව කළ සමීක්ෂණයක් ඇසුරු කරගෙන අදහස් ඝාතනයේ ගොදුරු’ කියල කෘතියක් කළා. ඒක සාහිත්‍ය කෘතියක් නෙවෙයි. සුනාමියට පසුව කාන්තාවන් මුහුණ දුන් අභියෝග පිළිබඳව සුනාමි කාන්තාවෝ’ කියල කෘතියක් කළා. මීට අමතරව සමාජමාධ්‍ය කටයුතුවලදි කළ පර්යේෂණ තියෙනවාතීරු ලිපි එකතුවක් තියෙනවා. තවම කෘති විදියට පළ කරන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. මීළඟට පළවෙන්නෙ සැප්තැම්බර් 06 වෙනිදා එළිදක්වන මගේ ගීත ඇතුළත් මල් වරුසා’ ගීත පොත.

තිත්ත කවියට පෙරවදනක්’ කාව්‍යාඛ්‍යානය ඔබ ලියන්නෙ ජීවිතයේ බරපතල කඩඉමකදි. දැන් ආයෙමත් ඔබ එවැනිම අභියෝගයකට මුහුණ දී සිටිනවා. මහා ධෛර්යයකින් ඔබ මේ සියල්ල දරාගන්නවා. ඒ ධෛර්යවන්ත ගැහැනිය උපදින්නෙ කොහොමද?

ඒක තමයිමීට කළින් කළ ගුවන් විදුලි වැඩසටහනකදි ඩබ්.ජයසිරිත් ඔය ප්‍රශ්නය ඇහුවා ඔයාට මේ ශක්තිය එන්නෙ කොහෙන්ද?’කියල. මගෙන් ගොඩක් අය අහනවා ඒක. මම තිත්ත කවියට පෙරවදනක්’ ලියනවා මගේ ජීවිතේ අමාරුම අවස්ථාවක. එදා මාව බලන්න එන අයගෙ ඇස්වල මාව මැරෙයි කියන බය මම දකිනවා. නමුත් මම ඒ මරණය බාරගන්න ලෑස්ති වුණේ නැහැ. මේ සමාජය වෙනුවෙන් තවදුරටත් වැඩ කරන්න ඕන කියන හැඟීම මට දැනුණා. මේ සමාජයෙ සිදුවුණ දේවල්සිද්දවෙන දේවල් මම ඒ කාව්‍යාඛ්‍යානයෙන් කියනවාඒ දේවල්වලට ප්‍රතිචාර දක්වන්න ජීවිතය එක්ක මං ඉන්න ඕන කියන හැඟීම තමයි එය ලියද්දි මට ප්‍රබලව දැනුණෙ. මුල්වරට අසනීප වෙලා දැන් අවුරුදු 18 ක්. එදා ප්‍රතිකාර නිමවීමත් එක්ක මම විවේක ගත්තෙ නැහැ. බොහොම අවිවේකී වැඩ රැල්ලක උන්නා. මානසික සහනයක් තිබුණෙ නැහැ. අපිට එහෙම ඉන්නත් බැහැ. සමාජ ක්‍රියාකාරීන් විදියට සහ සමාජ ගැටලුවලට සංවේදී කෙනෙක් විදියට අහක බලාගෙන ඉන්න බැහැ. ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් අපි කම්පනය වෙනවා. ඒවට විරුද්ධව සටන් කරනවා. ලියනවා. වැඩ කරනවා. පහුගිය කාලය තුළම අපි ගොඩක් මර්දනයන් එක්කනෙ ජීවත් වුණේ. ඒවත් එක්ක ලොකු ආතතියකින් වැඩ කළේ. කළින් අසනීපයම ඊටත් වඩා බරපතල විදියට දැන් මාව හොයාගෙන ඇවිත් තියෙනවා.

එදා මං අසනීප කාලය තුළ කාව්‍යාඛ්‍යානය ලිව්වා. අද සන්නිවේදනයේ දියුණුවත් එක්ක අසනීප වුණා කියල පැත්තකට වෙලා නිදහස්ව ලියන්න අවස්ථාවක් නැහැ. කම්පියුටර් එකත් එක්ක අදටත් මං වැඩවල යෙදිලා ඉන්නෙ. මේ සැරේ අසනීප වෙලා රෝහල්ගත වුණාමත් මම ලැප්ටොප් එක අරන් ගිහින් මාධ්‍ය නිවේදන නිකුත් කළානිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කාරිනිය විදියට. එදාට වඩා අද මාධ්‍යවේදීන්ට නිදහසක් තියෙනව තමයි. නමුත් මේ ආණ්ඩුව වුණත් අත්තනෝමතික විදියට වැඩ කරන අවස්ථාවලදි අපට නිහඬව ඉන්න බෑ. ප්‍රතිචාර දක්වන්න වෙනවා. එදාට වඩා අද හොඳයි කියල හිතල නිහඬව උන්නොත් තත්වය බරපතල වේවි. ඒ වගේම මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රති සංවිධාන කටයුතුප්‍රතිපත්ති සම්බන්ධයෙනුත් අපි යම් වැඩකොටසක් කරමින් ඉන්නවා. මේ සියලු කටයුතු එක්ක මට මේ සැරේ අසනීප වුණයි කියල විවේකයෙන් ඉන්න ඉඩක් ලැබුණෙ නැහැ. ඒ නිසාම නිර්මාණ කාර්යයක් සිදුවුණෙත් නැහැ. මේ වසරත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වගකීම ඉටුකරල ඉදිරියෙදි නිදහස් වෙන්න ලැබේවි. සමාජ වැඩවලින් අයින් වෙනවා කියල ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ. ජීවිතය මට තව කාලයක් ලබා දුන්නොත් මම නිර්මාණ කාර්යයේ මට මගහැරුණු අවස්ථා යම්තරමකින් හරි පුරවන්න බලාපොරොත්තු වෙනවා. මගේ ජීවිතේ හරස්කඩක්මගේ ජීවිතයේ අත්දැකීම් ලියන්න බලාපොරොත්තු වෙනවා. බලමු මට ජීවිතය තව ටිකක් කාලය දුන්නොත්.

මේ අවස්ථාවෙදි ඔබ විශේෂයෙන් සිහිපත් කරන්නට කැමති යමක් තියෙනවද?”

මට පවුල් බැඳීම් නැහැ. මගේ සහෝදර සහෝදරියන් උණත් ඉන්නෙ අනුරාධපුරයෙ. එයාලට නිතරම මාව බලන්න එන්න විදියක් නැහැ. කළින් අසනීප අවස්ථාවෙදි වගේම ඊටත් වඩා මේ මොහොතෙ මගේ ළඟින් ඉන්නෙ මගේ මිතුරු මිතුරියො. කාලයක් මා එක්ක වැඩ කළ අය වගේම වැඩවලදි මා එක්ක නොසිටියත්මාව තේරුම්ගත්ත සමීප පිරිසක් මගේ ළඟින් ඉන්නවා. ඒ මං කරන වැඩ අගය කරලාමගේ ජීවිතයට සංවේදී වෙලා මාව ජීවත්කරවන්න වෙහෙස දරන පිරිසක්. මේ මිත්‍ර සම්බන්ධතා මට ලොකු ශක්තියක්. තනිකඩ ගැහැනියක් වුණත් මං තනිවෙලා නැහැ කියල දැනෙනවා. මං සමාජයට යමක් දුන්න නම්සමාජය වෙනුවෙන් යමක් කළා නම් එය කොහෙන් හෝ පෙරළා මට ලැබෙනව. වැඩ කළා මිස අපි සල්ලි හම්බ කළේ නැහැනෙ. සමාජය වෙනුවෙන් කළ දේවලට පෙරළා මට ලැබෙන මේ ආදරයශක්තිය තමයි මා ඉතිරි කළ ධනය.

සීතා රංජනී සමඟ කළ සංවාදය නිමාවේ දී මසිත රැව් දුන් රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගී පද කිහිපයක් ඔබ හමුවේ තබන්නට සිත් වෙයි.

 “ලොව දුන්නු දේවල් අද අපට හෙට ලොවට පෙරළා දිය යුතුයි.

ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි.

සංවාද සටහන - තරුරසී ප්‍රනාන්දු

Continue Reading...

Blogroll

About