Thursday, October 13, 2016

බේබි මහත්තයාගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය

Share it Please
ගමේ ගොඩේ බේබිලා ලොකු මහත් වුනාම බේබි මහත්තුරු වෙති. අපේ තාත්තාත් නමින් බර්නාඩ් වුනත්, එයාගේ උපන් ගම වූ නයිනාමඩමේ දී නම් මෝනි ගම මහත්තයාගේ ලොකු පුතා වූ බේබි මහත්තයාම විය. ගෙදරට නම් නිකම්ම බේබි විය. නැන්දාටත් බාප්පලාටත් බේබි අයියා විය. එයා කාට බේබි වුනත් අම්මා නම් හැමදාම කිව්වේ බර්නාඩි කියාලාමයි.

බේබි මහත්තයා  මම අසා පුරුදු තරමින් කොළඹ කොටහේනේ සෙන්ට් බෙනඩික් කොලීජියටත්, නුවර කටුගස්තොට සෙන්ට් ඇන්තනීස් කොලීජියටත් අධ්‍යාපනික සම්බන්ධතා තිබුණු අයෙකි. ඉගෙන ගත්තා නොලියා මෙහෙම ලියවුනේ නම් තාත්තාගේ අධ්‍යාපනයක් ගැන හරියාකාර තොරතුරක් නොදන්නාකම නිසාමය. ඔය ඉස්කෝල වලින් අරගත්තු සහතිකයක්, අඩුම ගානේ අස්වීමේ සහතිකයවත් දැකලා නැති නමුත් කොටහේනේ සිට ට්‍රයම්ප් පුෂ් බයිසිකලය පැදගෙන නයිනාමඩමට ගෙදර එන කතාන්දරත්
නුවර කටුගස්තොට බෝඩිමේ කට්ටියම එකතු වෙලා කරාපු හොරමැර කම් ගැන කතාන්දරත් නම් අසා තිබේ.

මං ඉපදෙන කාලයේ තාත්තාගේ රස්සාව වී තිබුණේ කොළඹ ටකර් කොම්පැණියේ කාර් විකිණීමය. ඒ කාලයේ සිරිමත් චිත්තම්පලම් ගාඩිනර් (ගෝල්ෆේස් හෝටලය, සිලෝන් තියටර්ස් ආදි මුල්පෙලේ ව්‍යාපාරිකයකු වු) ගේ කොම්පැණියක් වූ මේ සමාගම ඔටෝඩ්‍රෝම් නමින් තවමත් ශේෂවී තිබේ.

ඔටෝඩ්‍රෝම් සමාගමේ ජාල අඩවිය -  http://www.autodrome.lk/history.php

විදේශ විනිමය හිඟ පරතරය පියවාගන්නට නොහැකියාවෙන් අළුත් වාහන ආනයන කර විකිණීමට 1960 දී තිත තැබූ නිසා, අපේ තාත්තාටත් රස්සාව වෙනස් කරන්නට සිදුවූ අතර එයාගේ මනාපය වූයේ ගමට ඇවිත් එයාගේ තාත්තාත්, අම්මාගේ තාත්තාත් දෙන්නාම වගේ කොහුමෝලක් හයි කරලා මෝල් කාරයෙක් වෙන එකය. තාත්තා ගේ ජීවිතයටම නොකල එකම දේත් නම් ඒකය.

මට මතක හැටියට බිස්නස් කියා තාත්තා කල කී දේවල් දෙකකි. එකක් නයිනාමඩමේ රා තැබෑරුම ය. අනික සීයාගෙන් ලැබුණු චවලට් ලොරිය හයර් කර වීමය. මේ දෙකම අතේ රෝල් බිස්නස් මිස වගතුවක් වුණු දේවල් නොවෙයි. එහෙම වුනා නම් හැම ජනේරුවේම ඉස්කෝලේ යන්න පොත් ගන්න පොත් ලැයිස්තුවත් අරන් සීයලාගේ ගෙදර යන්නට පුංචි අපට සිද්ධ වෙන්නේ නැත. කොටින්ම තාත්තා බිස්නස් කාරයෙක් නොවීය. තැබෑරුම් රේන්දය නැතිවුනාට පස්සේ තැබෑරුමේ ඉතුරු වුනු රා විනාකිරි කර බෝතල වල පුරවා බෝතල හය හත කඩවලට දැම්මාත් මට මතකය. ඒවායේ පිරිසිඳු පොල් විනාකිරි කියා ලේබල අැලෙව්වේ අපිය.

එව්වා එහෙම වුණත්, තාත්තා මං දන්නා කාලයේ හිටම වෙන්නප්පුව නගර සභාවේ මැම්බර්ය. යූ. ඇන්. පී. තරුණ සංවිධාන සංවිධායකය. ගොවිකාරක සභා ලේකම් ය. ඡන්ද රැස්වීම් වල කථාකාරයාය. සංවිධායක යාය. සෙනග රැස්කරන්නා ය. තරුණ සමාජයේ රැස්වීම් තිබුණේත්, අපේ ගෙදරය. තරුණ කාන්ඩයට ගෘහ කර්මාන්ත උගන්නන්නට පංති තිබුණේත් අපේ ගෙදරය. උඩහට වැහැලා කුඹුරු යට වුනාම ගිං ඔයේ මෝය කප්පවා වතුර බස්සවන්නට කියන්නට මිනිස්සු ආවේත් අපේ ගෙදරටය. ගඟේ ඉවුර දිගටම කොහුමෝල් වලින් කොහුබත් දාන සංගදිය බලන්නට ආපු ගිය  කච්චේරි නිලධාරින් ඔරු පාරු වල දමාගන ගඟ දිගේ ගෙනිච්චේත් අපේ තාත්තාය. එයාලා දවාලට කෑවේ හවසට තේ බිව්වේ අපේ ගෙදරය.

එහෙව් තාත්තා කෙනෙකුගේ පුතෙක් වීම හින් දා අපි කාටවත් කොළඹ ඉස්කෝලවල ඉගෙන ගන්න යන්න ලැබුණේ නැත. හතරවෙනිය  වෙනතුරු වෙන්නප්පුවේ හෝලි ෆැමිලි කොන්වන්ට් එකට අනුබද්ධව තිබුණු සාන්ත මරියා ප්‍රාථමිකයේ ඉගෙන ගත් අපේ අයියා ඊළඟට ගියේ පල්ලිය ලඟ ශාන්ත ජෝශප් පිරිමි පාසැල නැත්තං ඒ කාලේ කට වහරට කියාපු විදිහට සිංහල ඉස්කෝලෙට ය.

සිංහල ඉස්කෝලේ ආණ්ඩුවේ ඉස්කෝලයයි. හැටේ සිරිමා ආණ්ඩුව ඉස්කෝල ආණ්ඩුවට ගන්නා විට ආණ්ඩුවට ගිය පල්ලිය ලඟ සිංහල ඉස්කෝලයත්, මීගමුවේ මාරිස්ටෙල්ලාව තියාගන මාරිස්ට් සහෝදරවරු ආණ්ඩුවට දුන්නු වෙන්නප්පුවේ ජෝශප් වාස් විද්‍යාලයත්, කොන්වන්ට් එකේ කොටු තාප්පය ඇතුලේම තිබුණත් වෙනම ඉස්කෝලයක් හැටියට පවත්වාගන ගිය බාලිකා පාසැලත් වෙන්නප්පුවේ තිබුණු ආණ්ඩුවේ ඉස්කෝල විය. මේවා ගමේ ගොඩේ සාමාන්‍ය මිනිස්සුන්ගේ දරුවන් යන ඉස්කෝලය. ඉංග්‍රිසි ඉස්කෝල හැටියට ඒ වෙද්දී වෙන්නප්පුවේ ඉතුරුව තිබුණේ, හෝලි ෆැමිලි කොන්වන්ට් එක විතරය. කොල්ලන්ගේ ඉස්කෝලවලින් ලඟම තිබුණු ඉංග්‍රීසි ඉස්කෝලේ මීගමුවේ මාරිස්ටෙල්ලාවය. එතනින් එහා තුඩැල්ලේ ක්‍රයිස්ට් කින්ග්,  කඳානේ ඩි මැසනඩ්, මෝදර  සෙන්ට් බෙනඩික්, මරදානේ සෙන්ට් ජෝශප්, වැල්ලවත්තේ සෙන්ට් පීටර්ස් ආදි වශයෙන් තවමත් කතෝලික සභාව අත තිබුණු බාලක ඉංග්‍රීසි ඉස්කෝල සෙට් එකක් තිබුණි.

පොතේ හැටියට නයිනමඩමේ මෝනි ගම මහත්තයාගේ පුතාත්, බෙරං ගම මහත්තයාගේ බෑණාත් වූ අපේ තාත්තා, තමුන්ගේ දරුවන් යැවිය යුත්තේ නම් ඔය කියාපු සෙට් එකේ ඉස්කෝලයකට ය. ඒ වෙන කොට ශාන්ත මරියාවේ හතරවෙනි පංතියේ හිටපු මට නං ආසාව තිබුණේ අයියා යන පල්ලිය ලඟ ඉස්කෝලෙට යන්නටය. ඒ වෙද්දීත් අයියා පංතියේ යාළුවන් එක්ක පොළට යන එකත්, එක එක තොරොම්බල් සෙල්ලම් බඩු ගෙදර ගේන එකත් ඉවසන්න බැරි වදයක් වී තිබුණි. දහයියා පුරවා හදාපු බෝලයකට රබර් පටියක් අවුනා හදාපු කොටන බෝලය මට තාම මතකය. මේකෙන් සෙල්ලං කරන්නේ රබර් පටිය කෙලවර ඇඟිල්ලක දවටා ගෙන් බිමට කොටා ආයෙත් උඩට එද්දී ආයෙත් බිමට යන්නට කොටා නමුත්, අයියාගේ පංතියේ කොල්ලෝ රබර් පටිය අතේ දවටාගෙන බෝලය ඔළුව වටේට කරකවපුවාම මහා භයානක හඬකින් මුළු පලාතම දෙදරන බව හොයාගෙන සිටියෝය. අයියා එක හවසක මේක කලේ අපේ ගෙදර සාලය මැද්දෑවේ හිටගනය.
මුළු ගේම දෙදරුම් කවාපු එදා හවස, කොච්චර ඉල්ලුවත් මට නම් ඒ ගැජට් එකෙන් සෙල්ලං කරන්න ලැබුණේ නැත.

බේබි මහත්තයාගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය මට අහන්නට ලැබුණේ  ඔවැනි කාලයක එක ඉරිදාවක වෙන්නප්පුව පල්ලියේ තෙළඹු ගස් දෙක යට දීය. අපේ පවුලේ ලඟම මිත්‍රයන් වූ ඩග්ලස් අංකල්ගේත් ක්‍රිස්ටබල් ඇන්ටිගේත් කට්ටිය එක්ක ඉරිදා පූජාවට ගිහින් තෙළඹු ගස් යට නවත්තාපු කාර් ලඟ සාමිචි කතා කරමින් ඉඳිද්දී,

"මොකක් ද බර්නාඩ්.....? මේ ළමයින්ව කොළඹ හොඳ ඉස්කෝලෙක බෝඩ් කරලා උගන්නන්නේ නැත්තේ ඇයි?" කියා ඩග්ලස් අංකල් ඇහූ ප්‍රශ්නයට අපේ තාත්තා කිව්වේ

"ගමේ යමක් කරන්න පුළුවන් කට්ටිය සේරමත් ළමයින්ව පිට ඉස්කෝල වලට යැව්වාම ගමේ ඉස්කෝල හැදෙන්නේ නෑ නේද ඩග්ලස්"  කියලාය.

හතරේ පංතියේ හිටි මට එදා ඒ කතාව හරියටම තේරෙන්නට ඇතිය මට හිතන්නට අමාරු නමුත්, ඒක වැදගත් දෙයක් හැටියට අද වෙනතුරු මතක තියෙන්නේ යමක් තේරුණු නිසාම විය යුතුයි.

තාත්තා හිතාපු කියාපු විදිහටම අයියාත් මමත් හයේ පංතිය පටන් ගත්තේ ගමේ ආණ්ඩුවේ ඉස්කෝලය වුනු ජෝශප් වාස් විද්‍යාලයේයි. ඒ නවසිය හැට හයේ දී විතරය. එතකොට ජේවීසි ප්‍රින්සිපල්ව හිටියේ මාරිස්ට් නිකායේ සහෝදර තුමකු වූ බ්‍රදර් ස්ටැන්ලි ගුණවර්ධනය. කොල්ලන්ගේ වචන වලින් නම් චිම්පා ය. වයිස් ප්‍රින්සිපල් මිස්ටර් පීටර් ය.  මේ දෙන්නාගෙන් එක්කෙනෙක් වත් වේවැල අතේ නැතුව ඇවිදිනවා දකින්නට පුළුවන් වුනේ එහෙමත් වෙලාවකයි. දවල් ඉන්ටවල් එකට ඇලන්කන් බේකරියෙන් එන බනිස් ලොකු බෙලෙක් බින් දෙකක පිරවෙයි. මේ බින් දෙක මැද දිග වේවැලත් අතේ තියාගන චිම්පා හිටගෙන සිටී. අපි කොල්ලො පෝලිම් දෙකේ ගිහින් බනිස් ගන්නෙමු. මේ බනිස් කනවාට වඩා ප්‍රයෝජනවත් වුනේ ගුලි හදා එක එකාට ටකර ගහන්නටය. බනිස් ගුලියක් හරියට වැදුනොත් එතන දවසක් විතර පුපුරු ගහයි. හැබැයි මේ සෙල්ලම චිම්පාට නොපෙනෙන්ට කළ යුතු ගේමකි. නැත්තම් බනිස් ගුලි මාත්තුව වෙනුවට අල්ල හරහට රතුපාට වේවැල් පාර පුපුරු ගහයි.

බ්‍රදර් ප්‍රින්සිපල්ට පාලනය කරගත නොහැකි තරමට කෝපාවිෂ්ඨ වීමේ රෝගයක් තිබුණි. එහෙම පුපුරා ගිය විට කාට හෝ අතේ හිරි යන තුරු ගහන එක බ්‍රදර් ගේ සිරිතය. අපේ පංතියේ එක කාලයක මොනිටර් කම කලේ පංතියේ හිටි එකම කණ්ණාඩි දාන ළමයා වූ ලක්ෂ්මන් ය. මිනිහා මට මතක හැටියට මූදු කටුව පැත්තේ සල්ලිකාර පවුලක පුතෙකි. අවාසනාවකට ගුරුවරයෙක් නැති පීරියඩ් එකක, පංතියේ කොල්ලන්ගේ සංවාද මණ්ඩප වල ස්වර පරාසය ගංගා ඉවුරු බිඳගෙන ගලා ගිය මොහොතක, කයිය දීමේ ඔස්තාද් කෙනෙකු වූ ලක්ෂමන්ට ද සීමාව අමතක වී ගියේය. එදා පංති දෙකකට එහායින් පංතියක ක්‍රිස්තු ධර්මය උගන්මින් හිටියේ බ්‍රදර් ප්‍රින්සිපල් ය. එයා ගේ ප්‍රාදූර්භූත වීම ගුරු මේසය හරහා වැදුණු වේවැල් පාරේ සධ්ධය ඇහෙන තුරුම එක කොල්ලෙක් වත් දැක්කේ නැත.

පීරියඩ් දෙකක් එහා පන්තිය ඉස්සරහ කොරිඩෝර් එක දිගේ අපේ මුළු පන්තියම හිටියේ දණ ගසා ගෙනයි. දණ පෝලිම ඉස්සරහින්ම පංතියේ මොනිටර් ලක්ෂමන් ය. චිම්පා, ඒ පන්තියේ ගුරු මේසයේ වාඩිවී විනාඩි පහක් පාඩම් කියා දෙයි. ඊළඟ විනාඩි පහ කොරිඩෝව දිගටම කොල්ලන් පේලියටම වේවැල් පහර දෙමින් දෙපැත්තට යයි. අපි කාට කාටත් තට්ටම් දෙදරන්නට කීස් කැවෙන අතර "පංතියේ මොනිටරයා" වන "පොට්ට ධනපති බූරුවා" ට ලැබෙන්නේ සර්වාංග වේවැල් සාත්තුවකි.

අපේ තාත්තා තමුන්ගේ දරුවන් යවාලා හදන්නට ඕනෑය කිව් ගමේ ඉස්කෝලේ එදා පාලනය වුනේ එහෙමය. බ්‍රදර් ප්‍රින්සිපල් යකා වැහුණාම එහෙම නමුත්, සිය දුර්වලකම් දන්නා මනුස්සයෙක් වූයේයි මම හිතමි. හැත්තෑ ගණන් වලදී බ්‍රදර් නිර්මල මරිය නිකායේ පූජාත්වරය ලැබුවා මට මතකය. ඉන් පස්සේත් දෙතුන් තැනක දී ෆාදර් ස්ටැන්ලි හා කතා බහ කලාත් මට මතකය.

වෙන්නප්පුවේ ජෝශප් වාස් විද්‍යාලයේ පරිවර්තන යුගය ඇරඹුනේ හැත්තෑව අග හැත්තෑ එක මුලය. බ්‍රදර් ප්‍රින්සිපල් ගෙන් පසුව ආ 'ගිහි විදුහල්පති' වූ පැන්ටලියන් කුරුකුලආරච්චිගේ ආගමනයත් සමගය. ඒ ආරම්භයේ මුල් කෙලවරේ හිටි විදුහලේ ගුරු දෙගුරු සමිතියේ මෙන්ම, හැත්තෑවේ ආණ්ඩු පෙරලියේ  ද බේබි මහත්තයා ඉස්සරහින් හිට්යේය. ඒ තාක් යූ. එන්. පී. කාරයකු වූ අපේ තාත්තා, හැත්තෑවේ දී පුරුදු දිග කලිසම, කැඳ දා මැදපු කෝට් එක අත හැර, සුරුට්ටු සූට් එක සේ හැඳින්වුනු ජාතික ඇඳුමට බැස, හැට පහේ දී දිනවා පාර්ලිමේන්තු යැවූ ෆෙස්ටස් පෙරේරාට එරෙහිව අගුස්තීනු ෆොන්සේකා ගේ ඡන්ද රැස්වීම් වල කතා කරන්නට ගියේය.

හැත්තෑවේ පෙරලියෙන් වෙන මොනවා වුනත් නූනත්, වෙන්නප්පුවේ ජෝශප් වාස් විද්‍යාලය විද්‍යාලයක් බවට පරිවර්තනය වීමත්, ඒ තාක් කල් කොන්වන්ට් එකේ තාප්ප කූඩුව ඇතුලේම පැවැත්වුනු සෙකන්ඩ් ක්ලාස් සිංහල බාලිකා විද්‍යාලය විසින් කොන්වන්ට් එකේ වරප්‍රසාද ලාභී හයි කලාස් ස්කෝලය ගිල ගැනීමත් අපේ ඇස් පනා පිට සිදුවූ සමාජ පරිවර්තන ලෙස අපේ හිත්වල සටහන් වී ඇත්තේය.

කොන්වන්ට් එක ඇතුලේ සිංහල බාලිකා පාසලට වෙන්වී තිබුනේ උතුරු පැත්තේ තාප්පයේ ප්‍රධාන ගේට්ටුවෙන් නැගෙනහිර පැත්තේ තීරුව විතරය. මේ තාප්පය දිගටම එක දිගට හදාපු ශාළාවක අතුරු සිදුරු නැතුව පුංචිම පංතිවල හිඳ උසස්පෙල පන්ති දක්වා කෙල්ලෝ ගාල් කර සිටියහ. ඒ ඉස්කෝලයත්, කොන්වන්ට් එකේ ඉංග්‍රීසි, ප්‍රයිවට් ගෙවන ඉස්කෝලයත් අතර තිබුණේ සෙල්ලං පිට්ටනියකි. අර ඉස්කෝලේ පංතිවල ළමයින්ට වඩා ඩෙස්ක පුටු තිබුණි. ඉඩකඩ තිබුණි. පාළු පංතිත් තිබුණි. ඉස්කෝල දෙකේම ඉගැන්නු සෑහෙන පිරිසක් කොන්වන්ට් එකේම සිස්ටර්ලා ය. පංති භේදය කියන වචනයට නිර්වචනයක් දෙන්නට පින්තූරයක් මතක් කලොත් හැම වෙලේම මගේ මතකයට එන්නේ ඔය ඉස්කෝල දෙකේ පින්තූරයයි. මට මතක හැටියට සිංහල බාලිකාවේ ටයි එක ඒ කාලේ කොලපාට එකකි. කොන්වන්ට් එකේ එක රතු හරස් ඉරි ටයි එකකි.

හැත්තෑ හතේ මැතිවරණ කාලයේ වෙන්නප්පුව ගංගොඩ මාටින් ද පොරස් පල්ලිය කිට්ටුව රැස්වීමක දී අගුස්තීනු ෆොන්සේකා කොන්වන්ට් එකේ පෙරළියේ පසුබිම් කතාව කියනවා මමත් අසා හිටියෙමි.

"කන්‍යාරාමේ පාසල රජයට අත්පත් කරගන්න සියල්ල සුදානම් කෙරුවා අපි. ඒක බලහත්කාරයෙන් නොකර ආණ්ඩුවට සාවධානයෙන් අරගන්න අපි කතා කෙරුවා ඒ ඉස්කෝලේ ගුරු දෙගුරු සංගමය එක්කා. දෙන්නේ නැත්තං ගැසට් කරලා ගන්නවා කියන එක වැටහුණාම, ඒකේ සභාපතියා.... දොස්තර XXX ඇවිත් කියනවා..... ඉස්කෝලේ අරගන්න එකට අපේ විරුද්ධත්වයක් නෑ... ඒකට කමක් නැහැ... හැබැයි අපේ ළමයින්ට දැන් තියන විදිහටම වෙනම පංති තියාගන්න දෙනවා නම්....."

අගුස්තීනු ෆොන්සේකා ලොකු ඉස්කෝල මහත්තයකු වුණත් වෙන්නප්පුව වැල්ලේ මනුස්සයෙකි. ඉතින් ඔය කතාව එදා වේදිකාව උඩ කියවුනේ ඔයිට වඩා හොඳට ලුණු ඇඹුල් ඇතුවය....

කොන්වන්ට් එක අර දොස්තර මහත්මයලාටම ආණ්ඩුවට දෙන්නට සිද්ධ විය. ඒ අණ ඇත්තටම ආවේ ඒ දවස්වලම ලංකාවේ සංචාරයකට ආ හෝලි ෆැමිලි කන්‍යා සහෝදර නිකායේ මදර් සුපීරියර් ගෙනි. ඒ නිසා ඒක බලෙන් අරගන්නට සිද්ධ වූයේ නැත.

ජෝශප් වාස් විද්‍යාලයට පැන්ටලියන් සර් නම් ගිහි විදුහල්පතිවරයා ආ දවසේ නම් උද්ඝෝෂණයක් තිබුණි. ඒකත් අධ්‍යාපනයට වඩා දේශපාලන උද්ඝෝෂණයකි. ඒ කතාව වෙනම ලියා තැබිය යුතු කතාවකි. මොකද අද මේ ටික ලිව්වේ බේබි මහත්තයා ගැනය. මේ කතාව මෙහෙම ලියන්නට මට වාසනාව තියෙන්නේත් බේබි මහත්තයාගේ අර නොසැලුනු අධ්‍යාපන ප්‍රතිපත්තිය නිසායි මම විශ්වාස කරමි. ඒ අධ්‍යාපනය පොත පතේ උගත් කමේ දැනුමේ අධ්‍යාපනයකට වඩා හදවතේ අධ්‍යාපනයකි. මොළය කොතරම් උගත් නමුත් හදවත මෝඩ නම් ඒ පුද්ගලයා ව්‍යසනයක් මිස කාටවත් ආශිර්වාදයක් වෙන්නේ නැත.

තාත්තා මට ලියා ඇත්තේ එකම එක ලියුමකි. මතක හැටියට ඒ ලියුම ලියද්දී එයා අද මගේ වයස ආසන්නයේ සිටින්නට ඕනෑය.

"ජීවිතේ සැපක් කියන්නත් නැහැ. දුකක් කියන්නත් නැහැ. එක් එක්කෙනාගෙ දුක් කරදර තව කෙනෙකුට කියල වැඩකුත් නැහැ. පලකුත් නැහැ. තම තමුන්ට පැමිණෙන දුක හෝ සැප හොඳ හිතින් ඉවසා දරාගෙන ජීවිතය සතුටින් ගෙවන්නට තමුන් ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කරනවා විනා"

තාත්තා අද හිටියා නම් ගිය සැප්තැම්බරයට අවුරුදු අනූවක් වන්නට තිබුණි.



          

4 comments:

  1. ජොලියෙන් කියවා ගෙන ගියමුත් ඇස් තෙත් වී අවසාන විය!

    ReplyDelete
  2. මටත් තාත්තා එවා ඇත්තේ එකම ලිපියකි. ඒ මා පේරාදෙණියේ අවසන් වසර විභාගයට සූදානම් වෙන කාලයේ ගෙදර යන්නට නොහැකි නිසා මුදල් එවන්නැයි කියා යැවූ ලියුමට පිළිතුරු ලෙස ය.
    එහි තිබුණු එක වැකියක් මට තවම මතකයි. පුතේ පන්ති සාමාර්ථයක් සමග සමත්වෙන්න උත්සාහ කරන්න. එය තාත්තාට කළ නොහැකි වූ දෙයකි. මම යාන්තමින් පමණ කර තාත්තා ගේ ඉල්ලීම ඉටු කළෙමි.
    නමුත් තාත්තා පසු කළෙම මා ලියන තීසිසය කියවන්නට බලා සිටිය නමුත් එය නම් කවදාකවත් ඉටු කිරීමට නොහැකි විය!

    ReplyDelete
  3. හොඳ මතකයක් ලස්සනට ලියල.

    ReplyDelete
    Replies
    1. තුති අජිත්. අමතක නොවෙන දේවල් එන්න එන්නම හිඟ වෙන කාලයක් නේ. ලියන්න හිතුවේත් ඒකමයි.

      Delete

Blogroll

About