මේ අවුරුද්දේ කාන්තා දිනයට පෙර දවසේ ප්‍රවාහන ඇමති බිමල් රත්නායක සහෝදරයා මැති සබය අමතා කල ඉහත ප්‍රකාශය, ලංකාවේ කාන්තාවන් වෘත්තියක් හැටියට වාහන පැදිල්ල පටන් ගත් දවස සලකුණු කරන්නේ නම් නැත.අතීතය හාරා අවුස්සා බලන්නේ නම්, මට හිතෙන හැටියට, අපේ ගම් තුලාන් වල, ගඟේ වැවේ ඔරු පාරු පැද්ද කෙල්ලන් ගැහැණුන් මෙන්ම, ගැල් සාත්තුවල කරත්ත දක්කාන ගිය ඇත්තියනුත් ගැන තොරතුරු විස්තර ඕනෑ තරම් සොයාගන්නට පුළුවන් වනු ඇත.
හැට හැත්තෑ ගණන්වල මා උස් මහත් වන වකවානුවේදීත් සිය වාහනය පදවාගෙන ගමන් බිමන් ගිය ප්‍රභූ පංතියේ නෝනලා එකා දෙන්නා සිටි අතර, ඒ කාලයේ ජනතා වාහනය වූ ෆුෂ් බයිසිකලයක් පැදපු කෙල්ලන් දිහා වුනත් එක විදිහකට බැලිල්ල අපේ සමාජයේ සිරිත වී තිබුණි. ඒ ගති සිරිත් දියාරු වී ගොස්, කෙල්ලක් මෝටර් සයිකලයක් පැදිල්ල හෝ වාහනයක් පදවාගෙන යෑම අරුම පුදුම දෙයක් නොවන කාලයකට අප පැමිණියේ මීට දශකයකට දෙකකටවත් එහා අවදියකදීය යන්න මගේ මතකයයි.
කපිතාන් අනූෂා සිරිරත්න, 2009 නොවැම්බර් පළමුවනෙිදා ඉතිහාසයේ පළමු වරට පූර්ණ කාන්තා ගුවන් සේවිකා කණ්ඩායමක් සමග ශ්‍රී ලංකන් ගුවන් යානයක් පදවාගෙනැවිත් අපේ රටේ ගුවන් ගමන් ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවන්නීය.
නූතනයේ මේ රෝද කරකැවීමේ විජ්ජාව පුරුෂානුබද්ධ ශාස්ත්‍රයක් නොවන බව තේරුම්ගත් අපේ කෙල්ලන්, ගැහැණුන් පිළිබඳ විස්තර වාර්තා ඇති පදම් සොයාගන්නටත් ඇස් පනා පිට දැක ගන්නටත් හැකි හෙයින්, බිමල් සහෝදරයාගේ මේ සඳහනේ මහා අරුමයක් කෙනෙකුට නොපෙනෙන්නට පුළුවන් නමුත්, ඒ සටහනේ අරුත, මින් ඉදිරියට, කාන්තාවක් රේල්ලුවක් පැදවීම, බැකෝවක්, ට්‍රක් එකක් මතු නොව, ටුක් ටුක් එකක් හෝ පැදවීම, අභව්‍ය කාරණයක් නොවන බවත්, එය සමස්ථ ශ්‍රී ලාංකික සමාජයේ සම්මත පිළිගැනීමක් බවත් ස්ථිරසාරව සනාථ කිරීමය.
වෙනසක් වෙනසක් නොවන්නේ ඒ වෙනස අරුමයක් නොවන්නා වූ දිනයේ දීය.
වීල් කිරිල්ලියෙ වීල් කිරිල්ලියෙ වීල් කුරුල්ලා කොයි.....!
- "යක්ෂ ගෑණියෙක් තමයි. ඔය වීල් එකෙන් අර ඔත්පල මිනිහවයි ළමයි දෙන්නෙක්වයි රස්සා කරනවනෙ...."
අරලියා මලක සුවඳට සිත පිරුණු යාමෙක
පියඹලා අහස හැමතැන හිත නැටුව කාලෙක
කල්බලා පිපුණි සල්මල අත ගැටෙන මානෙක
ඇස් වසා විඳිමි මියගිය මල් සුවඳ හීනෙක
කෙල්ල වී මං උදේ කිරිකොක් රෑන පිරිවරා
සෙල්ලමේ අපි එදා බස්පොල නිනව් දෙනතුරා
හිනැහුනා නුඹ ඇවිත් මතකයි අදත් හිතපුරා
උන් වගේ ළමුන්ටයි මං ත්‍රී වීල් රියැදුරා
මාවතේ දකින උදවිය දැක පුරුදු මුහුණැති
ජීවිතේ කොහොම කොහොමැයි නුඹ ගැනත් විමසති
සවුදියේ කෙරුණු සැත්කම කොහොමටත් දන්නැති
සෙයිලමේ අපට අපි මිස කවුරුවත් වෙන නැති
මං වගේ උනුයි කොහොමත් දරදඬු යකඩ හිත් ඇති
හන්දියේ වීල් කට්ටිය ගැන දැන් හිතට බය නැති
පෝලිමේ හයර් නොලැබෙන අගහිඟ කෙදර ආ නිති
හාමතේ නිදපු දවසුත් අපෙ හා පැටව් විඳ ඇති
බැංකුවේ පොළිය අඩුවැඩි නොකර පිරිමැහෙයි
හැංගුවේ ටිකයි ඒ ටික දූට දෙන ටිකයි
පෙන්නුවේ නැතුව මුත් මගෙ හිතට දැන් සැපයි
චූටිගේ මගුල් ගෙදරට හරියටම සති දෙකයි
වේලිලා ඉරි තැළුණු පොළවට වැහි කඳුළු බර නැති
බිම් මලත් මලක් වුනු හිතකට මල් පොකුරු හිඟ නැති
නෑඬුවත් කෑ ගසා ඉකිබිඳ අද ලඟින් නුඹ නැති
පාඩුවේ අඬමි ඉඳහිට විඳ රෑ සිහින සුවඳැති
පසුසටහන: මේ කවියට පාදක වූයේ රාජගිරියේ ත්‍රී වීලයක් පදවන සුනේත්‍රා හේමමාලි පිළිබඳව අන්තර්ජාල පුවත්පත්වල පළවූ තොරතුරුය.
Sunethra Hemamali- Times Report
No comments:
Post a Comment