Saturday, July 5, 2025

වැලිකතරේ අන්තිම වෙඩිල්ල

Share it Please





පන්සිය පහේ කොළඹ කොටුවේ හරක්හම එලාගත් පෘතුගීසි අයියලාගේ කාලයෙන් පටන්ගෙන, ලංදේසි යුගය පහුකර ජෝජ් රජ්ජුරුවන්ගේ ඉංගිරිසි ඔටුන්නේ හෙවනැල්ල බාල වුනු, හතලිස් අට වෙනතුරු, යටත් විජිතයක් වුනු අපේ රටේ, නිදහස්ය කියාපු ආණ්ඩු වලින් ඉස්ඉස්සෙල්ලාම සම්පූර්ණ ධුර කාලය වූ පස් අවුරුද්ද අවසන් කල ඩඩ්ලි සේනානායකගේ හත් හවුල් ආණ්ඩුව විශ්‍රාම යවා, හැත්තෑ දෙකේ දී, ජනරජයක් පැළ කර රට නිර්ඩොමීනියන් කල සිරිමාවෝගේ තුන් හවුල් ආණ්ඩුව පත්වෙන්නේ නවසිය හැත්තෑවේ දී ය. ඒ අවුරුද්දට පහු අවුරුද්ද වූ හැත්තෑ එකේ සිංහල අළුත් අවුරුද්ද ලබන්නේ, එතෙක් කැකෑරෙමින් තිබුණු චේ ගුවේරා කාරයින්ගේ විප්ලවයේ පතොරම් තුවක්කු පත්තු වුනු සද්දයත් එක්කය. තිස්ස අබේසේකර ගේ තිර රචනයත්, නිහාල්සිංහගේ කැමරාවත්, ගාමිණී, ජෝ, සුවිනීතා ගේ රංගනයනුත්, ලාංකික පුළුල්තිර සිනමාවේ සටහන් කල වැලිකතර ප්‍රදර්ශනයට එන්නේ හැත්තෑ එකේ ඔක්තෝම්බරයේ දීය.

සිංහල සිනමාවේ රජදැක්ම යැයි පටබැඳුනු වැලිකතරට එකල ගුවන්විදුලියේ විකාශනය වූ වෙළඳ දැන්වීමේ තිබුනේ  වික්‍රම රන්දෙනිය සිය මනාලියගෙන් ‘රජ දැක්මට අවසර ද...?‘ විමසන දෙබස් ඛණ්ඩයය.

චිත්‍රපටයක් ලෙස, අදටත්, ‘වැලිකතර‘ අග්‍රගණ්‍ය බව නැවත නැවතත් ලිවිය යුතු වදන් පෙලක්ම වන්නේය. දෙදහස් දා හතේදී, නැවත සංරක්ෂණය කල පිටපතක් යලි ප්‍රදර්ශනයට එක් කරනු ලැබුවත්, වැලිකතර පහසුවෙන්ම නරඹන්නට නම් යූබටයේ ටොරානා අඩවියේ ඇති පිටපත අත දිග හරියේ තිබෙයි.



මේ සිනමා සිත්තම ඇත්තෙන්ම සිත්තම් කරන්නේ, පහුගිය හැත්තෑ හය වසර තිස්සේම, අපේ සිත් නෙතු පියන් යට රටේ වරලත් සමාජ පෙලැන්තිය විසින් සිතුවම් කරවූ, පීඩිත පන්තියේ අරගලයේ රේඛා චිත්‍රය බවද අප හඳුනාගත යුතු බව සිතමි. රන්දෙණිය නින්දගම් දාසියක් වූ මුතුමැණිකාට පෙම්බැඳ, ගැබ් ගන්වා,  අතරමංකර වසන්වෙන  රන්දෙණිය රටේ මහත්තයාගේ පුත්‍රයා වූ ඒ.එස්.පී. වික්‍රම රන්දෙණිය අප්පොත්, පීඩිතයාට නැගී සිටිය හැකි එකම මග සේ ගලේ කොටා සටහන් කර තිබූ, ජඩ මිනිමරු අවනීතික මං පෙත් දිගේ යුක්තිය සොයා එන මුතුමැණිකාගේ සොයුරා වූ සුදුබණ්ඩාත් තීරණාත්මකව මුණ ගැසීමේ කතාව, ගෝරිං මුදලාලිගේ වචන වලින්ම කියතොත්, තොවිලය, තිස්සත් නිහාල්සිංහත් වැලිකතර මත සිතුවම් කරති.

මේ පීඩකයාගේත් පීඩිතයාගේත් මුහුණට මුහුණලා කෙරෙන ද්වන්ධව සටන රූප ගැන්වෙන කතාන්දර මෙන්ම ඒ තේමාවම හදවත කරගත් නොයෙක් ආකාර හැඩතල මත සිතුවම් වූ කතාන්දර අපි අනන්තවත් අසා ඇත්තෙමු. කොටින්ම, නිර්මාණාත්මකව විමසන්නේ නම්, අප දන්නා කියන බොහෝ කතන්දරවල මේ තේමාවේ හෙවනැල්ලක් හෝ ගෑවී තියෙන්නේයැයි තීරණය කරන්නට හැකි වෙයි. රජාගේ මුග්ධකම් උපහාසයට ලක්කරන අන්දරේගේ, හෝ දේශයේ පාලකයින් සුල්තාන්ලා ගේ නරුමකම් සූක්ෂමව අපහාසයට ලක් කරන නස්රුදින්ගේ කතා පසුපස වුවද මේ හෙවනැල්ල වැටී තියේයැයි මම සිතමි. පාලකයා හා පීඩකයාට විරුද්ධව අත ඔසවන්නට නම් පීඩිතයා එක්කෝ, මෝඩ තකතීරුවකු විය යුතුය. නොඑසේ නම්, කෘෘර පාෂාණමය හෘදයක් සහිත මිනීමරුවකු විය යුතුය. ඔවුන් එතැනට ඔසවා තබන්නේ ද පීඩකයාගේ යම් නොමනා ක්‍රියාකාරකමක් නිසා වුවද, වැදගත්ම පණිවිඩය වන්නේ, නැගෙන්නා නැගෙතොත් නැගෙන්නේ සමාජයටම පිළිලයක් බවට පත්වී නැසෙන්නටම මිස, සමාජ පරිවර්තනයක් කරන්නට නම් නොවන බවය.

වික්‍රම රන්දෙණිය අප්පොට, අවසාන අවසානම මොහොතේ දී වුවද මුතුමැණිකාටත්, සුදු බණ්ඩාටත් කියාගන්නට බැරි රහසක් තිබෙයි. වැලිකතරේ අවසාන මිරිඟු දිය බිඳුව ඇත්තේ එතනය. පවුල, පෙලැන්තිය, ජන්මය, පරම්පරාවාදී නානා ප්‍රකාර වචන වලින් සංකේතවත් වන පීඩකයාගේ පීඩා කිරීමේ දිව්‍යමය අයිතිය රැකෙන්නේ නොකිය හැකි, නොකිය යුතු මේ අශුද්ධවූ රහස රැකීමේ අරමුණ විසින් ය.

එදා මෙදාතුර ගතවූ පණස් පස් වසරකට සමීපවන කාලය තුල, මේ චිත්‍රපටයේ රසතැන්, විඳිය යුතු, මෙන්ම නිරායාසයෙන්ම විඳවෙන තැන්, අපි ඒ කාලේ කතාකල බාසාවෙන්ම ලියනවා නම්, ගාමිණීගේත් ජෝවා ගේත් මාර ඇක්ටින් කෑලි, තිස්සගේ විනිවිදෙන දෙබස් කෑලි, සුදු වැලි තලාවක කාළවර්ණයෙන් ඇඳි රේඛාවන් ලෙස නිහාල්සිංහ මතුකරන හැඟීම් දැනවීම් ගැන කොතෙකුත් කතාබස් වී ඇති. කොතෙකුත් ලියවිලි ලියවී ඇති. එහෙත්, අද මට එතුලින් ඉස්මතුවන, පීඩිතයාට පළිගැනීමට ඇති එකම මාර්ගය, මුළු සමාජය හමුවේම නරුමයකු, නීති විරෝධියකු බවට පත්වීම පමණක්ය යන පණිවිඩය ඒ හැමටම ඉහලින් මතුවී පෙනෙයි. වික්‍රමට අභියෝග කරන්නට, රන්දෙණිය නින්දගමේ නෝංජලයකු වූ සුදුබණ්ඩාට, හොර අබිං ජාවාරම්කාර, මිනීමරු ගෝරිං මුදලාලි නම්, අද පවතින නිර්වචනයෙන්ම කියතොත්, පාතාලයා වන්නට සිදුවන්නේ ඒ නිසාය. දෙවියන්ගේ බුදුන්ගේ දිව්‍යමය ආරක්ෂාව ලබන, පාලක පැලැන්තියට විරුද්ධව අවි අත් නොව, හඬක්වත් නගන්නේ නම් ඒ එවැනි දූෂිත, තුච්ච, අපරාධකාර ආත්මයක්ම පමණකිය යන්න, අපේම අම්මලා තාත්තලා අපට කියාදුන් අවස්ථාත් මගේ ජීවිතයේ මෙන්ම ඔබේ ජීවිතයේත් ඇති පමණ තිබේයැයි සිතමි.

අපේ සමාජ චින්තනය හා බද්ධකර පෝෂණය කල මේ නිර්ණායකය අද බිඳ වැටී තිබේ. මේ දෙබරයට ගැසුණු ගල නිසා ඇවිස්සුණු සුළි කුණාටුව මෙල්ල කරගැනීමේ කාර්යය අද සමස්ථ ලාංකික සමාජය හමුවේම අභියෝගයක්ව පවතී. නරුමයකු, අපරාධකාරයකු, මිනීමරුවකු, හොරෙකු හා වංචනිකයකු නොවී, වික්‍රම රන්දෙණියලාගේ මානසික ආධිපත්‍යයට අභියෝග කිරීමේත්, දඬුවම් කිරීමේත්, සුවිශේෂී කතාන්දරයම වැලිකතර වසාගෙන නැගෙන සුනාමි රැල්ලක් බවට පත්වෙමින් තිබේ. මරාගෙන මැරෙන හරාකිරි මානසිකත්වයෙන් මෑත්වී, බදාගෙන නැගෙන අනාගතයක සිහිනය, අප සිහිනයක් කර නොගත යුත්තේත්, ඒ වෙනුවෙන් ඇප කැපව අවධියෙන් සිටිය යුත්තේත්, ඒ නිසාය.

“බය වෙන්ඩ එපා හාමුදුරුවනෙ, මා අතේ ආයුධ මුකුත් නෑ... වඩින්ඩ එළියට“

“මොකද මිනිහො, බැහැපන් යකෝ එළියට....“

“ඒ ජාතියෙන් ද එන්ඩ හදන්නෙ සර්.... හොඳයි බලමු. මමත් ලෑස්තියි. මම පිස්තෝල පාවිච්චි කරන්නෙ නෑ සර්ලත් එක්ක. මං ගිරිය කඩාගෙන කෑ ගහන්නෙ නෑ. හැබැයි හොඳ ආයුධයක් තියනව මා ගාව. ඒ හින්ද ප්‍රවේසමෙන්.... හාමුදුරුවනෙ... ආසියත් මා ගාව, බූරුවත් මා ගාව... නමයෙ කොළෙත් මා ගාව. තුරුම්පු හතරයි.... අත වහල ගහමු ද? පාර්ට්නර් ක්ලෝස්. බූරුව කූට්ටමෙ කොළ මට අඳුන්නල දුන්නෙත් සර් නෙ. මතක ද? අද සර්ට ලොකු දවසක්. එහෙමනෙ.... සපුමල් කුමාරය යාපා පටුනට ගිනි තිබ්බ. ඒ කියන්නෙ වික්‍රම රන්දෙණිය ඒ. එස්. පී. හාමුදුරුවො නොහොත්, රන්දෙණිය රටේ මහත්තයාගේ එකම පුත්‍ර රත්නය වූ,  වික්‍රම රන්දෙණිය පොඩි හාමුදුරුවො ගෝරිං මුදලාලි නොහොත් දිප්පිටිගල මුදියන්සෙලාගේ සුදු බණ්ඩගෙ හොර තෙප්පම්  අටකට  වැඩක් දුන්න. බොහෝම ලොකු හපන් කමක්. ඉතිහාසගත වෙන වීර ක්‍රියාවක්. ඒ ප්‍රීතියට පොඩි අඩියක් ගහන්ඩ මං මේ ආවෙ.... ඒයි.... සෝඩ ටිකකුයි අයිස් ටිකකුයි අරන් වරෙන්....“

“ උඹ ගෙට පලයන් යන්ඩ....“

“ඒකත් එහෙම ද?.... මිසී නිදිමරන්ඩ ඕනෙ නෑ. ගිහින් නිදාගන්ඩ. ඔය තත්වෙ ඉන්නකොට නිදි මැරීම හොඳ නෑ.“

“මොන තත්වෙද යකෝ...?“

“මීට අවුරුදු දහතුනකට උඩින් මගෙ නංගි හිටපු තත්වෙ. මගෙ නංගි බඩින් ඉන්න කොටත් මේ වගේ මූණ පුරෝදාල තිබුණ මතක නැද්ද?... හාමුදුරුවනෙ?... අද රෑ දොළහටත් මට බඩු තොගයක් එනව. සර් සතුටු නම් මාව එතනදි හම්බවෙන්ඩ පුළුවන්. අදට එච්චරයි. තොවිලෙ  දවස් හතක් තියනව. හත්වෙනි දවසෙ රෑ දොළහටයි දරහැව ගෙනියන්නෙ“‍

ගිය අවුරුද්දේ තිරගත වෙන්නට පටන්ගත්තු නූතන වැලිකතරේ අන්තිම වෙඩිල්ල තවම පත්තු වුනේ නැත.

No comments:

Post a Comment

Blogroll

About