Friday, December 16, 2016

ටෝච් එකෙන් පොල් කැඩීම හා ඇස් දෙකෙන් දුං පිට කිරීම

Share it Please


ලංකාවේ බොහෝ පලාත්වල සිංහල අවුරුද්දට යැවෙන නෑ ගමන් අපේ ගම් පලාත්වල යැවෙන්නේ නත්තලට ය. ඒ ගමනුත් සිරිතක් හැටියට යන පැටන් එකක් තිබේ. නත්තල් දා රෑ පූජාවට ගිහින් යන්නේ සීයලාගේ ගෙදරය. නත්තල් දවසේ දවාලේ බාප්පලාගේ ගෙදරය... මේ ගමන් වලත් එළිපිට නොකිව්වත් වැඩිහිටි බාල ඕඩර් ද තියේ. නංගිලා මල්ලිලා අයියලා අක්කලා දිහාවල එනතුරු අයියලා  අක්කලා නංගිලා මල්ලිලා බලන්න යන එකට අදිමදි කරති. මීට අමතරව රහට කේක් වයින් හැදෙන තැන් වලට කලින් යන්න හිතෙන එකත් ඒවාට වයසේ ඕඩර් අමතක වීමත් සාමාන්‍ය දේවල් ය.

මෙ‍හෙම ගියාම හැම අවුරුද්ද‍ේම වග‍ේ අහන කතන්දර ඒ විදිහෙන්ම ඇහෙයි.... 

කටුන‍ේරිය‍ේ ජෝජ් අංකල්ලාග‍ේ ගෙදර ගියාම වින්තූරි අංකල් න‍ොවරදවා කියන හොර පොල් කඩන කතන්දරය එකකි.
හොර පොල් කඩන්නේ නැත්තං හ‍ොරු ප‍ොල් කඩන්න‍ේ රෑ ටය. කාටත් හොරා ගහට නගින්නට පුළුවන් උනත්, වැඩේ අබ්ලික් වෙන්න‍ේ බිමට අත අරින පොල් ගෙඩිය බිම වැටෙන්නේ තරමක සද්දයට වීමය. කඹයක් අරන් ගහට නැගලා සීරුමාරුවට පොල්වල්ල බිමට බාන එක එක සාත්තරයකි. මේ වෙලා යන වැඩේ වඩාත් පහසුවෙන් කරන්නට පුළුවන් ගැජට් එකක් වින්තූරි අංකල්ග‍ේ යාළුවන් ට තිබුණාය. ඒක ටෝච් එකකි. ගහ යට ඉන්න එකා ටෝච් එක පත්තු කර ගහට ඇල්ලුවාම උඩ ඉන්න එකා පොල්වල්ල කපලා ආලෝක කදම්බය දිග‍ේ පහලට රූටා එවයි....

වීදුරු සද්ද අස්සේ කියන මේ කතන්දරේ නත්තලට ජෝජ් අංකල්ලාග‍ේ ගෙදර දී නොවරදවා අහන්නට පුළුවන.

අනෙක් කතන්දරේ කතන්දරයක් ම නොව මැජික් එකකි. මේක කරලා පෙන්නන්න‍ේ මාෂල් අංකල්ය. අම්මාගේ අක්කාගේ, අපේ මහම්මාගේ මහත්තයා ය. මහම්මලාග‍ේ ගෙදර ක‍ේක් නම් නොවර දී. වයිනුත් නොවර දී. කළු දොදොල් කැවුම් කොකිසුත් නොවර දී... අප‍ේ ගමනත් නොවර දී. එහ‍ේ යන්නේ බ‍ොහ‍ෝ වෙලාවට දවාලටත් කාලා හවස තේත් බීලා රෑට මගටත් වීදුරුවක් හිස් කරලා එන්නය. මැජික් එක පෙන්නෙන්න‍ේ දවාලට කාලා හාන්සි ගානට ඉඳිද්දීය. 

ඉස්ත‍ෝප්පුවේ ඇඳි පුටුවක දිගෑදී ඉන්නා මාෂල් අංකල් සිගරට් එකක් පත්තු කරගන ඇස් දෙකෙන් දුං අරින හැටි දැකලා තියනවා දැයි අසයි. අපි හැමෝම වටේටම රොක් වෙලා බලා ඉන්නා අතර, දිග දුම් උගුරක් අැදගෙන, කට පියා නහයත් ඇඟිල්ලෙන් හිර කරගෙන, කොහොමත් ලොකු ඇස් දෙක තවත් ලොකුවට ඇරගෙන මාෂල් අංකල් පුටු ඇන්දට ඔළුව තියා උඩ බලාගෙන හිඳියි.... අපි හැමෝම අංකල්ගේ ඇස් දෙක දිහා... අප‍ේ ඇසුත් ඒ තරමටම ඇරගෙන දුම් පිටවෙන තුරු බලාන හිඳිමු.

හැම එකාම දැක්කා කියන හිංදා... මමත් කවදාවත් 'මම නං දැක්කේ නෑ' කිව්වේ නැත...  

මේක ඇත්තටම කරන්නත් පුළුවන් වැඩක් උනත් මේ මැජික් එකේ ශ්‍රී ලංකා වර්ෂන් එකේ ඇහෙන් දුං අරින එකා අතේ තියන පත්තු වෙච්ච සිගරට් එක මැජික් බලන එකාග‍ේ අතකට කකුලකට කිට්ටු කර දුම් පෙන්නන කෑල්ල මාෂල් අංකල් පුංචි අපට නොපෙන්නූ බව මට තේරුම් ගියේ ඒ මැජික් එක හරියටම කරන්නට ඉගෙන ගත්ත කාලයේය.

මේ වගේ පරණ කතන්දර නොවරදවාම මතක් කෙරෙන කතා කියන එක ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට පින්...!

4 comments:

  1. මේකත් පරණ කතාවක්. දවසක් තමන්ගේ පරණ මිතුරා වන මහින්ද හමුඋන වෙලාවකදි බාහු ඇහුවලු ඔය අතේ තියාගන ඉන්නේ මොකක්ද කියලා. මේක බලවත් දෙයක් බව මහින්දගේ පිළිතුර උනාලු. ඒගමන බාහු ඇහුවලු බලය තියෙන්නේ ජනතාව ලඟනේද කියලා.(බලාගෙන යනකොට සුමනදාසට වඩා හොඳ සත්තරකාරයෙක් බාහු.)

    ReplyDelete
    Replies
    1. ඔය දවස්වල හැබැයි ජනතාව උන්නේ මහින්ද මහත්මය අතේ තියාන හිටපු එකේ නේ ද?

      Delete
  2. අර මරා ගේ ඇස් දෙකේ ඒ හැටි ද, නැතිනම් කන්ටෑක්ට් ලෙන්සස් දාලා ද?

    ReplyDelete
    Replies
    1. ඕනැවට වඩා දුම් පිට කලාම ඔහොම වෙනවා....!

      Delete

Blogroll

About