Sunday, December 4, 2016

මලක් පිපුණු වලක්....!

Share it Please






ඊයේ උඳුවප් මාසේ තුන්වෙනි දා, දෙදාස් දහතුනට පසුව අවුරුදු දෙකක් නිහඬව තිබී නැවත පණ ගැන්වුනු ටොරොන්ටෝවේ 'බසක වරුණ' දිනය දවසේ ආරාධිත දේශකයා වූයේ අටපට්ටමේ 'දඩි බිඩිස්', දොරමඬලාවේ 'හසන්ත මහත්තයා', වශයෙන් බොහෝ දෙනා දන්නා හසන්ත හෙට්ටිආරච්චි ය. හසන්තම කියන විදිහට මාධ්‍ය ක්ෂේත්‍රයට එතරම් වැදගැම්මක් නැති වුනත්; කොළඹ විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධියත්, ජපානයේ හා චීනයේ පශ්චාත් උපාධි අධ්‍යයන වලිනුත් පසු, දෙදාස් දහතුනේ දී කැළණි සරසවියෙන් ආචාර්ය උපාධි පාඨමාලාව සම්පූර්ණ කළ, ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චිය.

අයි.ටී. එන්. රූපවාහිනී තිරයෙන් අපට කතා කරන, හසන්ත අපි කවුරුත් දන්නා අයුරින් 'ට'කාරයෙකි. නෑ වැරදුනා නොවෙයි. අපි බොහෝ දෙනෙක්ට 'ඉන්න' හසන්තට 'ඉන්ට' වෙයි. 'යන්න' 'යන්ට' වෙයි. 'කන්න' 'කන්ට' වෙයි. අපේ ගම් පලාත්වල කටවහරට නම් මේ වචන බොහෝවිට 'ඉන්ඩ', 'යන්ඩ', 'කන්ඩ' වෙයි. ඉතා ලෙංගතු නම් 'ඉඳින්', 'කාපන්', 'යමන්' වෙයි. අතීසාර හිත මිත්‍රයකුට නම් ඔය වචන අගිස්සට 'යකෝ' කියලාත් එකතු වෙයි. ස්වර පරාසය එහා මෙහා වීමෙන් හිතේ හැඟීම් ඉස්මතු වෙන වෙලාවලුත් තිබෙයි. අපේ, භාෂාවේ පණ තිබෙන්නේත් ලස්සණ තිබෙන්නේත් මේ සුනම්‍යතාවයේය කියාත් හිතෙයි.

ඒ අතින් සිංහලය අපූරුය. කවුරු කොහොම වැහැරුවත් ඒ  නැගෙන හඬ හැම එකක්ම වාගේ ලියන්නට අපට අකුරු තිබේ. සිංග්ලිෂ් වුනත්, ඉංග්ලිෂ් වුනත් ඒ හැම වචනයක්ම පාහේ ඒ ඇහෙන හඬින්ම  වාගේ ලියා ගන්නට පුළුවන් ඉන්ද්‍රජාලික අකුරු ටිකක් අපට තිබේ. තමුන්ට උසුරුවා ගන්නට බැරි හින් දා ස්පාඤ්ඤය, ස්පේන් කල සුද්දා ගේ බ්‍රිටේන් නම් වූ රට, සුද්දාටත් කියවා ගන්නට බැරි බ්‍රිතාඤ්ඤය කරන්නට තරම් අපේ භාෂාව සුකුරුත්තම් ය.

භාෂාවේ මේ ගුණාගුන අගයන අතරම, ඒ ගුණයන් හි හැඩ රුවත් අඳුනා සිටීම වැදගත් ය. නම්‍යය කියන්නා වූ අපේ අතපය, නැවෙන්නට නොදී, හැරෙන්නට නොදී කිටි කිටියේ බැඳ තිබ්බොත් නම්, ඒවා දරදඬු වී පුංචි හෙලවිල්ලෙනුත් කැඩී බිඳෙනවා මිස අර සුකුමාල සුනම්‍යත්වය තවත් තියෙන්නේ නැත.

ඊයේ හසන්තගේ දෙඩුම පුරාවටම, හිනායන කතාත්; හිනා නොවිය යුතු කතාත්; හිනාවෙන්නට බැරිම කතාත්; ටොරොන්ටෝවේ දොන් බොස්කෝ පාසල් ශ්‍රවණාගාරයට රොක්වුනු ටොරොන්ටෝ හා අවට සිංහල භාෂා ලෝලීන්ට අහන්නට පුළුවන් වුනි. නටන සිංදුත් නොනටන සිංදුත්, නැලවෙන හා නොනැලවෙන නැලවිලිත්, ඈත ඈත.... ඈ...ත රටවල සිද්ධ වුනත් මෙහේ නං කොහොමටත් සිද්ධ නොවෙන දේවලුත් සමග ලුණු ගම්මිරිස් හා දුරු මිරිස් අත ගෑවුණු, හසන්තගේ ටකාර කතාව, ටොරොන්ටෝ දරුවන්ගේත් වැඩිහිටි කලා කාරයින්ගේත් නැටුම් ගැයුම් වලින් හැඩවුණු උත්සවයේ, අප කවුරුත් අනුමාන කළ පරිදිම ප්‍රධාන අංගයම වූයේ ය.






 











හසන්ත කියූ දේ; උගන්නන්නට තැත්කල දේ; අතර, අපේ හිත් එකඟ වන්නා වූ මෙන්ම එකඟ නොවන්නා වූ දේත් අපමණ තිබුණි. ඒ එකඟ වීම හා නොවීම කවුරු කතා කලත් අඩු වැඩි වශයෙන් එහෙමමය. ඒ එසේ වුනත් වැඩිපුර මහප්‍රාණ ආලවට්ටම් වැල් වටාරං නැති, සිංහල හෝ හිංගල භාෂාවෙන් කෙරෙන්නාවූ කතාවක්; අහන් ඉන්න අයගේ කටවල් කන් ලඟට දික්වෙන සේ ලතාවෙන් කලාවෙන් කියා කර පෙන්වනවා ටොරොන්ටෝවේ දීම දකින්නට අහන්නට විඳින්නට ලැබීමේ සතුට නම් අප කාගේත් හිත් තුල ඉතිරි වී තිබෙනවා ඇතැයි මට සිතේ.

අයන්නෙන් අම්මා මිස ඒ වලින් ඇපල් නොකැඩූ අප බොහෝ දෙනෙකුගේ හිත්වලට ඒ සමීපත්වය සතුටක්ම ය. කතාවක් අහපු අය කතාව ගැන කතා කරනවා නම්, ඒක ඵලවත් කතාවක් යැයි මම සිතමි. මේ මා කරන ලිවිල්ලත් හසන්තගේ කතාව ගැන කතාවක් ම නේ ද? ඒ සතුට හසන්තට ය.

අවුරුදු පහකට කලින් දෙදාස් එකොලහේ මැයි මාසේ පළමු දා මුල්ම තෙල් පහන දැල්වුනු; ටොරොන්ටෝවේ 'බසක වරුණ' ඇරඹූනේ එවකට ටොරොන්ටෝ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් වරයා වූ, අද ලංකා පාර්ලිමේන්තුවේ ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතානයන් ගේ මූලිකත්වයෙනි. එදා කරු ගේ සිහිනය වූයේ ටොරොන්ටෝවේ දී කවදාක හෝ සිංහලත් දෙමලත් දෙබසම එකතුවන ලාංකික භාෂා දිනයක් පැවැත්වීම බව මට මතකය. "සිංහල වඳ වී යන භාෂාවක් ද?" මැයින් ලියැවුනු, එදා ඒ බසක වරුණේ ඇරයුම ලත් ජේ. බී. දිසානායකයන්ගේ පණිවිඩය, එ්  කම්කරු දිනයදා පැවති උත්සවය වෙනුවෙන් මුද්‍රිත සමරු කලාපයේ සිංහල දෙමළ ඉංග්‍රීසි තෙබසින්ම පළවුනේත් යම් දුරකට ඒ සිහිනය හින්දා ම වෙන්නටත් පුළුවන. ‍







දෙදාස් දොළහේත්, දහතුනේත් කැනඩා සිංහල සංගමය මූලික ව පැවැත්වුනු 'බසක වරුණ', තවමත් 'බසක වරුණ' හැටියටම වුනත් අවුරුදු දෙකක නිහැඬියාවකින් පසුව මේ වසරේ නැවතත් පිපීම, ඒ සිහිනය සිහිනයක් ලෙස බැර කිරීමට අපේ සිත් වලට ඉඩ නොදෙන සාධකයක් වන්නේ යැයි හඟිමි.

සිංහල සංගමයේ නියමු ගාමිණී අබේසිංහයනුත්, සෙසු නිලධාරි මණ්ඩලයත්, මේ කාරියට අත හිත දුන් හැමත් වූ වෙහෙස, වේදිකාව මතත්, සහෘද සංග්‍රහ වේලාවේත් අත්‍යන්තයෙන් මල්පල ගැන්වෙනුත් අපි දුටිමු. අගැයී මු. එය හද උණුසුම් කරන සතුටකි. නවමු සතුටකි. ඉදිරි වසරවල් ගැන බලාපොරොත්තු මතු කරන සතුටකි. දෙදාස් දොළහේ දි මහැදුරු සරත් විජේසූරියනුත්, දහතුනේ දී රෝහණ බැද්දගේ ගාන්ධර්වයානනුත් ටොරොන්ටෝවට ගෙනා බසක වරුණේ සිසිලස ඉදිරියේදීත් වාර්ෂිකව මතුවන්නට නියමිත වගට ඉඟියකි. ඊයේ හසන්ත සිය දෙසුම අවසන් කලේ පුංචි කතා පොඩිත්තකිනි. හසන්තගේ ව්‍යක්ත ජෑම් බටර් පිහදා ලිව්වොත් ඒ මෙසේ වෙයි.
ගෙම්බෙක් හිටියා...
මඩ වලක...
මලක් පිපුණා දවසක්... විලේ දිය මත...!
ගෙම්බා කිව්වා....
බලන්න දැන් මං ඉන්නේ
වලක නොවෙයි විලක...!!

බැළූ බැල්මට වල විල වුණේ පිල්ල එහා මෙහා වීමෙන් බව ඇත්තය. එසේ වුණත් වලක් වලක් හෝ විලක් වෙන්නේත් මලක් මලක් වෙන්නේත් අපේ නෙත් වලටත් වඩා හිත් වලටය.

හිතේ හැටියට මලක් පිපුණේ නම් ඒ ඉතින්; ඒ වලේ තවත්, තව තවත්, මල් පිපෙණා බවත්, මල් පිපෙණ වලකට විලක්ම මිස වලක් කියන්නට අපේ දිව නොනැවෙනා වගත් අපි දනිමු.










2 comments:

  1. ට'කාරයෙකු විතරක් නොවේ, කලින් වසරක සිංහළ කියා ලියූ ළ'කාරයෙකු ද සිට ඇති බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. "සිංහළ ලෙස ලියූ විද්වතෙකි; සිරිමත් දොන් බාරොන් ජයතිලක අයෙකි. මැවිසුරු ඊලියන් ද සිල්වා සහ බසිසුරු
      අරිසෙන් අහුබුදු යන විද්වත්හු තවමත් එසේ වහරති. එමග නිවැරැදි සේ ගත් අලුත් පිරිසක් ද තුරු දැලේ දැන්
      දැන් දක්නට ලැබේ. කෙසේ වුව ද අපේ සම්භාව්‍ය සාහිත්‍යයේ 'සිංහළ' ලෙස යෙදුණු තැනෙක් නැත. එසේ
      නොයෙදුණු පමණින් බැහැර නොකළ යුතු සේ ම කෙනෙක් බැවහර කළ පමණින් අප ද එසේ කිරීම
      නොකටයුතු ය." - http://sanhindha.blogspot.ca/2008/08/blog-post.html

      Delete

Blogroll

About