ඒක පුංචි කමිසයක් හා උරිස් උඩින් ගොස් පිට හරහා කතිරයක් වුනු පටි ඇල්ලූ කලිසම් පොඩ්ඩක් විය. කලිසමේ ඉණ පටිය මත ඇල්ලූ බොත්තං දෙකේ රතුපාට ජිරාෆ්ලා ගේ රූප තිබුණා නම් හොඳටම මතකය. මැහුවේ අම්මාය.
ඇගේ සිංගර් මැෂිම කට කට ගා කැරකෙන සද්දය මට තවම අහන්නට පුළුවන. එක් කාලයක ඒකට අතින් කරකවන මෙවලමක් අවුණා තිබුණි. ඒ දවස්වල මැෂිම කැරකවීමේ තනතුර බොහෝවිට අයිති වූවේ මටය. අම්මා අපේ උපන්දින වලට ද නත්තලට ද ඇගේ අතින් අළුත් ඇඳුම් මසා ඇන්දුවාය. අයියාත් මමත් ටිකක් ලොකු මහත්වූ පසුව මේ සිරිත හැළුණත්, නත්තල් දා රෑ පූජාවට යන්නට නංගිලාගේ ගවුම්වල හැඩ වැඩ මැහීම, එදා රෑ වෙනතුරුම වාගේ සිදුවෙයි.
නවසිය අනූහයේ මේ වගේ දවස්වල අම්මා බලන්නට යන්නම ඕනාය තදබල හිතිවිල්ලක් හැම වෙලේම ඉස්මතුවෙන ගතියක් තිබුණි. උපාධියක් බෙල්ලේ එල්ලා තිබුණත් හරියාකාර රස්සාවක් අතේ නොතිබුණු තාවකාලික රැකියාවකුත් කරමින්, උදේ වරුවේ පත්තරයත් බෙදූ ඒ කාලයේ ලංකාවට ගිහින් එනවාය කියන එක අසාධාරණ හිතිවිල්ලක් වී තිබූ නමුත්, ඊළඟ ජනේරුවේ, මාව ගෙදර කැන්දාගෙන යන්නට අම්මා කටුනායකට ඇවිත් සිටියාය.
"ආන්ජලෝ..... ෆෝටි ඉයර්ස්.....!"
මා අන්තිමට අම්මා දැක්කේ ඒ අවුරුද්දේ අග හරියේ දී ප්‍රංශයේ ලූර්දු නුවර රෝහලක දීය. හදවත දුර්වල වී දැඩි සත්කාර ඒකකයේ ඇඳක සිටි ඇය සැත්කමකින් පසුව මගේ අත අල්ලාගෙන ලඟින් ඉන්නැයි කියා නින්දට ගියාය.
--------------------------------------------------------------------------------------------------------
ප්‍රංශයේ දවසක්...!
May 10, 2014
තාන් රෙද්දක කපුරු සුවඳට රැයේ මැදියම පෙරවෙනා
හිසේ මුදුනත රැඳෙන අතැඟිලි අගිසි පහසට ඇහැරෙනා
අත්තටුත් අඩපණව කොඳුරන ලපැත් පෑරී රිදවෙනා
දවස්වල විත් තුරුල්ලට ගෙන උරිස්සේ හිස රඳවනා
සිනාවක දුක් කඳුළු මල් පිපි උයනක්ව බැබළුණු නෙතේ
රහස් ලියැවුණු පොතක් විය දිග කතන්දර සේ ජීවිතේ
වසත් සමයත් නියං සුළඟත් දෙපැත්තේ රැඳි මාවතේ
අතින් අල්ලා තුරුළු කරගත් කුරුළු පැටවුන් හාමතේ
ඉගිල්ලී ගොස් කිරිල්ලී හා සොයා පරඬැල් අතුරලා
කූඩු සාදා සොයා පලවැල තාත්තා කෙනෙකුත් වෙලා
හැරී බැළුදා හිස් කැදැල්ලක හිස් තොටිල්ලක් තනිවෙලා
එදා ඊයේ කිවු දවසක සිනා තිබුණා නැවතිලා
පියාපත් යට උණුහුමේ හිටි දවස් දියැවී වැගිරුණා
සුසුම් සුළඟක නිවෙන පහනක සිළුව සසැලී වියැකුණා
වැසුණු නෙතුපිය යටින් දෙතොලත සිනහවක් සිතුවම් වුණා
අතින් සන් කර ළඟින් ඉන්නැයි කියා අම්මා ඉගිලුණා
1997 දවසක ප්‍රංශයේ රෝහලක මතකයකි.මේ අම්මලාගේ දිනයේ දී පුතුන් තුරුළු කරගෙන නිදි වරන සෑම අම්මලාගේම කඳුළු වෙනුවෙන් ලියමි.
-----------------------------------------------------------------------------------------------------------------අද දවසේම උපන් මාරි ඇන්ටී ගැනත් පුංචිම හෝ සටහනක් මෙතැන නොතැබුවොත් ඒ අඩුවකි.
අපේ අම්මාට නෑනා වූ, අමිමාගේ අයියාගේ බිරිඳ වූ ඕ, කොළඹ සරසවියේ මා උගත් හතර අවුරුද්දේම අම්මා ලෙසින්ම මගේ දුක සැප බැළුවාය. අදටත් ගෙදර යනවා කියන්නේ ඈ බලන්නට යාමක්මය.
සුබ උපන් දිනයක්...!
අප කාටත් යම් දිනයක ලැබෙන අනිවාර්ය අත්දැකීමක්!
ReplyDeleteමේරි මාගරිටා වාස් අම්මාට ශාන්තියක් ම වේවා.
නම හොයා ගත්තේ මෙතැනින් ය!
තුති රසික. අම්මා එක්ක හිටපු ඒ අන්තිම දවස් ටිකේ බොහෝ දේවල් ඉගෙන ගත්තා මම.
Deleteමව් සෙනෙහේ අපිරිමිතය....
ReplyDeleteතුති.
Deleteගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ReplyDeleteඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
නෙත නෑ නිදි විඳ ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ සිහින දකින්නේ
මහමායාවෙනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නේ
වෙල් දෙණි වල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විසාකාව වී
මෙත් මග නෙත් හමු වේවා
ඇත් රැජිණියනේ ඔබෙ නැලැවිළි ගීතය
ලොවම නිවන කවියක් වේවා
කරුණාරත්න දිවුල්ගනේ
සුනිල් දයානන්ද කෝනාර
මෙම ගීතය ලියා, සංගීතවත් කල අප අතරින් වියෝවූ සුනිල් දයානන්ද කෝනාරයන්ටත්...සියළුම දුක් දැරූ සහ දරනා අම්මාවරුන්ට උපහාරයක්ම වේවා!!!
තුති අරුණ. මේ ගීතය හරියටම ඇහුවෙ සුනිල් ගැන මේ ලඟදි ලියවුනු ලිපියක් කියවලා. මේ දයාබර පද ටික මෙතන සඳහන් කිරීම අගෙයි.
Deleteඅම්මාට ලස්සන උපහාරයක්
ReplyDelete