[මුණු පොතේ තැබූ සටහනකි;
අපේ හතර ‘ඒ’ පංතිය භාරව සිටියේ මිස් මාජිය. පංතියභාර කියන්නේ මිස් සිබිල් ඉගැන්නූ ඉංග්‍රීසි පාඩම හැර අනික් හැම විෂයයක්ම ඉගැන්නුවේ ඈ නිසාය. මිස් මාජි පාසල් ආවේ ගියේ බක්කි කරත්තයකිනි. ඒ තනිවම නොවෙයි, තවත් ළමයින් හා ටීචර්ලා කීප දෙනෙක් සමගය. බක්කියේ ඇඳි දෙක දිගට එක පැත්තක තුන්දෙනෙක් හෝ හතරදෙනෙක් වාඩිවී ගියායි මගේ මතකයයි. ගොනාගේ කරේ ඇති ගෙජ්ජිවල සිංදුවත්, කරත්ත පට්ටමට පෑගෙන වැලිකැට අඬන සිරි සිරි සද්දයත් ඔය කරත්ත පස්සේ පයින් ගෙදර ගිය අපේ කන්වල තවමත් ඇසේ. රූමත් තරුණියක් වුනු මිස් මාජි හැමදාම ආවේ දිග කොණ්ඩය තනි කරලට ගොතාලාය. චුට්ටක් ආඩම්බර කාර කමකුත් තිබුණ පුංචි රැවිල්ලකින් පංතියම නිශ්ශබ්ද කරගන්නට පුළුවන් වුන මිස් මාජි ගැන මට මතකම හිටින සිදුවීම් තුනක් තිබේ.
පළමුවැන්න "කලට වෙලාවට පොලිෂ් ටිකක් ගෑමෙන් සපත්තු දෙකක් සෑහෙන කාලයක් පාවිච්චි කරන්නට පුළුවන්” බවත් සමහර ළමයි ඒ ගැන කිසිම උනන්දුවක් නැති බවත් කියා දුන් පාඩමයි. ඒක පාඩමක් හැටියටම ඉගැන්නු වේ නැති නමුත් උදේ ඉස්කෝලයට එන ගමන් සිස්ට ඇලෙක්සිස් සමග ඔය කතාව කියනවා අහගෙන ටෙරන්සුත් මමත් පිටිපස්සෙන් ආ විත්තියත් අපි දෙන්නාම දිගටම බැළුවේ අපේ සපත්තු වල හම පෑදුනු පැල්ලං දිහා බවත් මිස් තවම නොදන්නවා ඇත.
දෙවැන්න ඒ මැයි මාසේ දවසක පත්තර පිටුවක් අරගෙන ඇවිත් කළුලෑල්ල පිරෙන්නට මිස්ගේ ලස්සණ බෝල අකුරු වලින් ලිවූ මානවසිංහගේ “මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙතිවල කවුදෝ ලියලා” යි පටන් ගන්නා ‘වෙසක් අසිරිය’ කවිපංතියයි. මිස් පත්තරය අතේ තියාගෙන කළු ලෑල්ලේ ලියනවාත් ඒ වචන වලින් වශීවී අවුරුදු අටක පුංචි කොල්ලෙක් වූ මම ඒ දෙස බලා ඉන්නවාත් මට තවම දකින්නට පුළුවනි. පණස් අවුරුද්දකට කලින් වෙන්නප්පුවේ හෝලි ෆැමිලි කොන්වන්ට් එකේ ප්‍රයිමරිය වූ ද ප්‍රයිවේට් කතෝලික ඉස්කෝලයක් වූ ද අපේ ඉස්කෝලේ හතරවෙනි පංතියේ දී මේ කවි පංතිය කළු ලෑල්ලේ ලියා, සිංහල පොතේ පිටපත් කරවා, පංතියම ලව්වා කියෙව්වාය යන්න අද සමහරුන්ට නම් අමුතු නිව්ස් එකක් වෙන්නට පුළුවන.
මේ අකුරු වලට වචන වලට ඒ කාලයේත් තිබූ ආශාව ආදරය දවල්කෑම වෙලාවේත් පංතියේ නැවතී සිංහල රචනාව ලියන තරමට ඉහට ගසා තිබුණු මට අමතක නොවන තුන්වෙනි කාරණය නම් ඩිංගක් විතර හිත රිදුණු එකකි. ඒ රචනාවේ මාතෘකාව, මේ සටහනේත් මාතෘකාව වන කොළඹ නගරය විය. අද වාගේම ඒ දවස් වලත් අපේ ගමට හැතැම්ම තිහක් එහායින් තිබුන ඒරොප්පයක් වූ කොළඹ තියෙන සිරිමත් අසිරිමත්, තැන් නොතැන්, වල වගතුග ඉස්සරින් දා රෑ වෙනතුරු අම්මාගෙනුත් තාත්තාගෙනුත් අහගත් නමුත් ඔවුන් කියූ ලයිට් හවුස් එක, පාර්ලිමේන්තුව, සෙලින්කෝ ගොඩනැගිල්ල, ඔරලෝසු කණුව, අරලිය ගහ මන්දීරය, අග්‍රාණ්ඩුකාරයාගේ නිවස, වරාය ආදී මෙකී නොකී තැන් සේරම පුරුද්දා රෑ දොළහ එක වෙන තුරුත් රචනාව ලිව්වේ නම් මම ම ය. ඒ දවස්වල අපේ ගූගල් සර්වර් තිබුණේ තාත්තාගේ අම්මාගේ ඔළුවලය. නැත්තං බාප්පාගේ පොත් සඟරා අල්මාරි වලය. අදටත් නම් හිතේ තියෙන්නේ ඒ වෙනතාක් කල් මා ලියූ හොඳම රචනාව ඒ රචනාව බවම මුත්, ඒ සිකුරාදා පංතිය ඉස්සරහ කියවුවාට පස්සේ මිස් මාජිගේ අනුමානය, “මේකනං ඔයාට කවුරු හරි ලියල දීල තියෙනවා” වීම නිසා මුළු ලකුණු ලැබුණේ නැත.
පුංචි එකෙක් උනත්, මිස්ට මං ලිව්වාය හිතාගන්නටවත් බැරි තැනක මගේ ලියැවිල්ල තිබුණ එකේ ආඩම්බරේත්, ඒ ආඩම්බරයේ හැංගුණු තේරුමත් හිතට දැණුනු හින් දා මිස්ගේ වැරැද්ද එයාට හැගිස්සවීමටවත් ගෙදර ගිහින් අම්මාට තාත්තාට කියා ඇක්ෂන් ගැනීමටවත් මට උවමනාවක් වුණේත් නැත.
එදා මිස්ගෙන් ඉගෙනගත් ඔවැනි පාඩම් දහ පාලොස් ගුණයකින් ලොකු මහත් වී අදටත් හිතේ ලියැවී තිබේ.
මට මතක හැටියට අන්තිමට මට මිස් මාජි මුණ ගැහුනේ අපේ තාත්තා නමින් නයිනමඩමේ වික්ෂෝප පල්ලියේ තිබුණු දේව මෙහෙයක් අවසානයේ දීය. එදා ඇවිත් කතා කරන්නට තරම් වටිනා යි මිස්ට හිතුණු, මිස්ගේ ගෝලයෙක් වෙන්නට පුළුවන් වීම නම් ගෙනාවේ ඇහැට කඳුළු එන තරම් සතුටකි.
අපි හැමෝම ජීවිතයේ හැල හැප්පිලි ඉහල පහල යාම් බොහෝමයක් තරණය කර ආපහු බලන්නට තරම් යන්තම් නිස්කලංකයක් ලබා ඇති අද මෙහෙම මේ ටික ලියන්නේ එරිකාගේ පිටුවේ මිස්ගේ පින්තූරයක් දැක මේවා ලියා තියන එක කළ යුතුම දෙයක් කියා හිතට වද කරන්නට වූ නිසාය.
එදා මිස්ගෙන් ඉගෙනගත් ඔවැනි පාඩම් දහ පාලොස් ගුණයකින් ලොකු මහත් වී අදටත් හිතේ ලියැවී තිබේ.
මට මතක හැටියට අන්තිමට මට මිස් මාජි මුණ ගැහුනේ අපේ තාත්තා නමින් නයිනමඩමේ වික්ෂෝප පල්ලියේ තිබුණු දේව මෙහෙයක් අවසානයේ දීය. එදා ඇවිත් කතා කරන්නට තරම් වටිනා යි මිස්ට හිතුණු, මිස්ගේ ගෝලයෙක් වෙන්නට පුළුවන් වීම නම් ගෙනාවේ ඇහැට කඳුළු එන තරම් සතුටකි.
අපි හැමෝම ජීවිතයේ හැල හැප්පිලි ඉහල පහල යාම් බොහෝමයක් තරණය කර ආපහු බලන්නට තරම් යන්තම් නිස්කලංකයක් ලබා ඇති අද මෙහෙම මේ ටික ලියන්නේ එරිකාගේ පිටුවේ මිස්ගේ පින්තූරයක් දැක මේවා ලියා තියන එක කළ යුතුම දෙයක් කියා හිතට වද කරන්නට වූ නිසාය.
මිස් මාජිගේ පින්තූරය කපා ගත්තේ එරිකා ගේ පින්තූරයෙනි.
ගුරුකම වෘත්තීයකට එහා ආදරණීය මානුෂික මෙහෙවරක් කරගත්ත ගුරුවරුන්ගෙන් ඉගෙනගන්න අපට වාසනාව තිබුණා.. ඒ ගැන හිතද්දිත් ලොකු සතුටක්, ගෞරවයක් දැනෙනවා...
ReplyDeleteතුති තරු.
Deleteකරන දේ හරියට කරන්න, තියන දේ බෙදාගන්න, දෙන්න දඟලන අය ඇති තරම් ඉන්නවා අපි වටේ හැම තැනම. ජීවිතේ ලස්සණ වෙන්නේ ආදරණීය වෙන්නේ ඒ අය නිසයි හැමදාම.
ඒ කාලේ හිටිය ගුරුවරු කටක් ඇරලා ගුරුවරු කියන්න පුළුවන් උත්තමයෝ... අද ඒ වගේ අය නැත්තේ නෑ.. හැබැයි හිඟයි...
ReplyDeleteහෙට අනිද්දා පරපුරත් මේ විදිහෙන්ම ලියයි නේ ද?
Deleteමම හැමදාම කියන දෙයක් තමයි, අපිට හොඳ ගුරුවරු හිටිය විත්තිය. අපි ඉගෙනගත්තේ නැති එක වෙනම කතාවක්.
ReplyDeleteමේ ටික තේරුම් ගැනීමත් ඉගෙනීමක් නේ ද?
Deleteගුරුවරු ගැන කියන්න හැමදාමත් මට නම් වචන මදි
ReplyDeleteමේ අඩුවට වග කිවයුතු ගුරුවරය කවුද?
Delete