Saturday, December 24, 2016

ලංකාව, යුද්ධය, නත්තල සහ කිතු දහමේ නව අරුත් - [2008 නත්තල් සිතුවිලි]

Share it Please
නත්තල් සිතුවිලි - 2008 දෙසැම්බර් මස 25 වැනිදා

පුංචි දරුවෙක්ව ඉඳිද්දී වත්ත පහල වැටේ කිරි ගහක් කපාගෙන ඇවිත් අපේ අයියා ගෙදර සාලය මැද හැදූ නත්තල් ගහක් මට මතකයි. දවස් දෙකකට විතර පසුව දඬු විතරක් ඉති‍රි වෙන්නට කොල හැළුණු අපේ නත්තල් ගහ දිහා බැළූ තාත්තා කොච්චික‍ෙඩ් ඩී. ටී. අප්පුහාමි සාප්පුවෙන් නු‍වර එළිය, බණ්ඩාරවෙල හිඳ ගෙනෙන, සයිප්‍රස් අත්තක් අරන් ආයේය. සයිප්‍රස් අත්තේ කොල නොහැලෙයි. ඊටත් සයිප්‍රස් අත්ත නත්තල් සුවඳය. ඒ නිසාම ගෙදරත් නත්තල් සුවඳය.
මේ හිතුවිල්ල පසුපස එදාත් නත්තල මගේ සිතට ආගන්තුක, විදේශීය හිතුවිල්ලක් වූවාය යන සැකය රැඳී තිබේ. සයිප්‍රස් සුවඳ මෙන්ම කළුකොල උඩ පුළුන් අලවා අපේ ගවලෙන වටේ අප මැ‍වූ හිමත්, නත්තල් කාඩ් වල දුටු හිමෙන් වැසුණු බිම් යාය‍වලුත් මට ආගන්තුක අමුතු දේ විය. එදා එසේ වුණත්, එදා අවුරුදු හතලිහකටත් එහා වුනු අද, ජනේල‍යෙන් ඔබ්බේ හිම යාය කෙලවර සයිප්‍රස්, මේපල් ගස් පෙනෙන මානයේ හිඳගෙන මේ නත්තල් සටහන මා මෙසේ ලියාවිය යන්න යාන්තමින් වත් හිතේ ගෑවී නොතිබුණු බව නම් මම දනිමි.
හි‍මෙත්, සයිප්‍රස් ගස්වලත්, අපට නත්තල් ගස්, නත්තල් කාඩ් වලින් නොපෙනෙන බොහෝ දේ තිබේ. සීතල එකකි. සීතල නැත්නම් හිමත් නැත. ඒත් සීතල ආදරයෙන් වැලඳ ගත හැකි දෙයක් නම් නොවේ. නත්තලේ ලස්සණ පිටුපසද බොහෝ සීතල දේවල් නොතිබේද? සීතල, හිම හා දීර්ඝ ශීත කාලයන් ඇති මේ රටවල සයිප්‍රස් ගස් සාමාන්‍ය ගස්ය. අපේ වැටේ කිරි ගස්, ‍එරඬු ගස්, සූරිය ගස්, ගිනිසීරිය ගස් වගේමය. එහෙම උනත් කොල නොහැලෙන සයිප්‍රස් අත්තේ හීනි කාරම් සුවඳ මෙහේ මිනිසුන්ගේ හිත්වලත් නත්තල් මතක අවුස්සයි. නත්තලත්, හිමත්, සයිප්‍රස් සුවඳත් මේ රටේ සාමාන්‍ය දේවල්ය.
සයිප්‍රස් ගස් හැම කැලෑරොදකම ඇති නමුත්, ඒවා නත්තල් ගස් වෙන්නේ, සරුව පිත්තල කඩදාසි සැරසිලිත්, නා නා වර්ණ විදුලි බුබුළුත් එකතු වූ කල පමණි. කැලෑ රොදක ඉබාගාතේ වැවෙන ගහක අත්තක් නත්තල් ගහක් කරන්නට අපේ සරුව පිත්තල සැරසිලි වලට පුළුවන.
ගලීලයේ වඩුවෙකුගේ බිරිඳකට බෙත්ලෙහෙමේ ගවහලක උපන් බිලිඳාගේ උපන් දිනය සමරන්නට ගස් අතුවල පාට කඩදාසි එල්ලන අපි නූතන යුගයේ ගවහල් දිහා නිකමටවත් එබී බලමුද? එක එල්ලේ මතකයට ආවේ උතුරේ මානුෂික මෙහෙයුමටත්, ප්‍රභාකරන්ගේ ඊලාම් දර්ශනයටත් අතරමැදිව, අද, හෙට, ඇහිපිය ගහන්නට කෑගසා අඬන්නට තතනන සිඟිත්තන් කී දෙනෙක් ඇද්ද කියායි.
ගේ දොරින් දොට්ට බැස, අටවාගත් මඩු කූඩාරම් තුල පහුගිය වැහි කුණාටුවෙන් දියබත් වුනු මේ මරිය අම්මලාගේ ගව ඔරු අහල දණ ගහන උන් ‍සුවඳ තුවරලා කෙසේ වෙතත්, ගිනි අවිත් බෝම්බත් නම් අත දරා සිටිනවා ඇත. උන්ගේ වැරදි වලට අපි මක් කරන්නද? උන්ගේ කැරලි වල පලය උන්ම විඳගත යුතුයි. නොදැක විශ්වාස කරන්නන්ට වඩා නොදැක ඉන්නෝ භාග්‍යවත්යැයි මට සිතෙයි.
ලඟදී තිරගත වුනු 'අබා' ගැන වාද විවාද කොතෙකුත් ඇහැ කන ගැවසුණත්, 'මචං' ගැන වැඩි යමක් නොඇසෙන්නේත් මේ නිසාමදැයිත් සිතෙයි. උතුරේ වෙඩි උණ්ඩ මැදට සාමය ගෙනයන්න තතනන රටට,‍ මෝදර මට්ටක්කුලිය පැත්තේ ගවහල් උඩින් පායන වල්ගා තරු දිහා බලන්නට කාලයක් නැත. බැළුවත් උන්ගේ තක්කඩි කම් හා උන්ගේ වැඩ නිසා ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ සිදුවන කිච වීම මිස අනෙක් කාරණා කිසිම දෙයක් හරිහමන් ඇහැකට පෙනේද, කනකට ඇසේද යන්නත් සැකයි.
අපේ මානුෂික මෙහෙයුමේ ත‍වත් මානුෂික පැතිකඩක් ඉන්න හිටින්නට බිම් අඟලක් නැති, රට වෙනුවෙන් ගිනි මැලයට පනිනා 'රණ විරුවන්' ගැන රටේ ඇස් ඇරීම තුලින් මම දකිමි. චිරන්තන සම්ප්‍රදාය එවන් සා රූ හ‍ඳේ සිතුවම් කිරීම මිස, උන්ගේ ‍නෑ පියඹු කාරකාරාදීන්ට දරුපැටවුන්ට සෙතක් සහනයක් කිරීම නම් නොවේ. මේ ඇස් ඇරිල්ල අඩ සිය වසරකට කලින් සිද්ධ උනා නම්, බළල් පැටියාගේ පිටේ පුල්ලි මතු නොවී වලක්වා ගන්නට පුළුවන් වෙන්නත් තිබුණා නේදැයි තවත් පැත්තකින් හිතෙයි. ඒක ඒ හැටියෙන් දුටු උන්ට වූ දේවල් මෙනෙහි කරන විට නම්, විශ්වාසය කෙසේ වෙතත් දකින්න පුළුවන් කම නම් අභාග්‍යයක්මයැයි සිතෙයි.
කෙසේ වෙතත්, දකින දේ විශ්වාස නොකරන එකාත් භාග්‍යවත් විය යුතුය. එහෙම නැත්නම් අප දකින අහන බොහෝමයක් කතා කියන උන්, මමත් ඇතුළුව, මේ තරම් සුව පහසුවට ඉඳීමේ වෙන මොකක් හෝ රහසක් තිබිය යුතුය.
දැකීමත්, දැනීමත්, විශ්වාස කිරීමත් කාරණා තුනක් මිස එකක් වෙන්නට වුවමනාම ‍නොවේ. මවා පෙන්නූ දේ විශ්වාස කල, කරන උන්, ඕනෑ පදම් ඉන්නා නිසාම භාග්‍යවත් වූ පිරිසකුත්, විශ්වාසය චිත්ත ධෛර්යයෙන් යටපත් කල නිසා භාග්‍යවත් වූ පිරිසකුත්, විශ්වාසය කොතරම්ද යත් පෙරා මැන අනුපාතිකව බෙදෙන්නාවූ අභාග්‍යයත් භාග්‍යයක් කොට හිතන්නාවූ පිරිසකුත් මම දකිමි. මේ පිරිස් තුනම උන් උන්ගේ හිත් ඇතුලේ නම් භාග්‍යවන්තයෝමය.

http://boondionline.blogspot.ca/2008/12/blog-post_29.html

පින්තූරය -
http://www.aljazeera.com/indepth/features/2016/12/world-tallest-christmas-tree-unites-sri-lanka-161218102212553.html

No comments:

Post a Comment

Blogroll

About