Sunday, December 18, 2016
අයි රිමෙම්බර් යූ කමින්...! [මට මතකයි ඔබ සොයලා ආවා බඹරෝ සුවඳ මධූ]
මට මතකයි ඔබ - පිපිලා උන්නා දුනුකේ ගසක සුදු
මට මතකයි ඔබ - සොයලා ආවා බඹරෝ සුවඳ මධූ
මාතෘකාව ලිව්ව ගමන් හිතට ආවෙ ඔය සිංදුව වුණත් මේක පුණ්‍යා කත්‍රිආරච්චි ගයන දයා ද අල්විස් ලියපු ඔය සිංදුවට සම්බන්ධ පෙම් පලහිලව්වක් ගැන නං නොවෙයි. විස්තරාත්මකව ලිව්වොත් නයිනාමඩමේ වෙන්නප්පුවේ පොල් ගස් යට හැදුනු වැඩුනු මට උඩරට කඳුකර සිරියා බල බල දළු නෙලන්න යන්න වුනු කතන්දරේ මේ. ටිකක් කයිවාරු කතාවක් එක අතකින්. ඒත් කියලා කියලා වනපොත් වෙලා තියන එක ලියලා තියන්න හිතුවා විස්තර ඇතුව.
හැබැයි සිංදුව අහන්න ආස නං මෙන්න. https://www.youtube.com/watch?v=Rt-0Rydblnw
නවසිය හැත්තෑ ගණන්වල රසායන විද්‍යා විශේෂ උපාධි පාඨමාලා තිබුණෙ තුනයි. කොළඹයි, පේරාදෙණියෙයි, ජයවර්ධන පුරයි විතරයි. මේ තුන්පලෙන්ම එළියට ආවෙ මට මතක හැටියට රසායන විද්‍යා විශේෂ උපාධි ලාභීන් හතලිහක් විතර විය යුතුයි. එයිනුත් එළියට එන්නවත් අවස්ථාවක් නැතුව සරසවියෙම ආචාර්ය කථිකාචාර්ය මහාචාර්ය ලයිනප් එකට එකතු වෙන පළමු පෙල පංති සාමාර්ථ අය, උපන් දා පටන්ම තමුන්ගේ මේ ආත්මයේ අනාගත සැලසුමේ බ්ලූ ප්‍රින්ට් එක අතේ තියාගන ආව ගිය කට්ටිය එහෙම මගෑරිලා හැලිලා, මාසෙකට සැරයක් දෙකක්, සම්මුඛ පරීක්ෂණ කමිටු වැඩ ඉන්න දේවාල ඉස්තෝප්පුවල උපාධි සහතික මල් වට්ටි අත දරාන මුණ ගැහෙන කාණ්ඩයක් ඉතුරු වෙනව නෙ. ඉතින් අන්න ඒ වාසනාවන්ත පිරිසට එකතුවෙන්ඩ මමත් වාසනාවන්ත වුනා.
ඒ අස්සෙ තමයි පත්තර පිටුවක් පුරාම වගේ, ලුණුවිල පොල් පර්යේෂණායතනයෙ විද්‍යාඥ තනතුරුවල ඇබෑර්තු පළවෙන්නෙ. මේකෙ සම්මුඛ පරීක්ෂණ තිබුනෙ කොළඹ වයි.එම්.බී. එකේ. මට මතක හැටියට දවස් දෙකක් එක දිගට..... ඔය වෙද්දි, කෙමිස්ට්රි කාරයින්ගෙන් දෙවැනි පෙල ඉහල පංති සමාර්ථ ඉතුරු වෙලා හිටියෙ මං විතරයි.... දැනෙනවනෙ දැනෙන අයට. කොකා ද තිත්තය ද මංද හැම එකාම කිව්වෙ "මචෝ උඹේ ටර්න් එක තමයි" කියලයි.
ඉතින් ඇප්ලිකේෂන් දැම්මා, ඉන්ටවිව් ආවා, අර වාසනාවන්ත අතකින් තෑගි ලැබිලා තිබ්බ ටයි පින් එක හෙමත් අවුණ ගෙන ඉන්ටවිව් ගියා. ගියේ නම් ඉතාමත් ප්‍රබල බලාපොරොත්තු සහගත හැඟීමකින්. මේ මගේ වාරය තමයි කියල හිතලා. ඊටත් අල්ලේ රේඛා තරමට දන්නා කියන, පොල්ගහත් පොල් කර්මාන්තයත් එක්ක ඉගෙනගත් දේ අවුණා කියන්න අවස්ථාවක් ලැබීම, අපේ පලාතට තියන එකම විද්‍යාවට සබැඳි ආයතනයට විද්‍යාඥ මට්ටමෙන් සම්බන්ධ වෙන්න ලැබීම ආදී මෙකී නොකී හීන මල්ලකුත් කරේ තිබුණා. පැහැදිලි කරලා කියනවා නං, නවසිය හැත්තෑ පහේ වෙන්නප්පුවේ ජෝශප් වාස් විද්‍යාලයෙන් කැම්පස් ගිය අය අතරින් රසායන විද්‍යා විශේෂ උපාධියක් අතට ගත්තේ මම විතරයි. ඔන්න කයිවාරු වෝනින් එක කලින්ම දීලා තියනවා. නමුත් දත්ත හරියට ලියන්න උවමනා නිසා මිසක් මේ ලියවිල්ල කයිවාරුවට නොවෙයි. අනික් කාරනේ මම තරඟ වදින ඇබෑර්තුව අළුතින් හදන්න යන 'කර්මාන්ත රසායන විද්‍යා' නොහොත් ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි අංශයකට. ඔය අවුරුද්දේ කොළඹ පටන්ගත්ත කර්මාන්ත රසායන විද්‍යා දේශන වල සිංහල දේශන බාර වුනේ මට. ඉතින් මේ ග්‍රහයින් සියළු දෙනා පෙල ගැහුණාම....?
ඉන්ටවිව් බෝඩ් එක නාඳුනන අයමත් නෙවෙයි. ඒ කාලේ පොල් පර්යේෂණ මණ්ඩලයේ සභාපතිව හිටියේ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අබේවික්‍රමයි. පොල් පර්යේෂණාතනයේ අධ්‍යක්ෂකව හිටියේ ආචාර්ය පෙතියාගොඩයි. හැබැයි නාඳුනන නෙවෙයි කිව්වේ නම් ඒක පාර්ශිකව. මම මේ අය දන්නවා වුනාට ඒ අය මාව දන්නවා ද? මේ නොදැනීම අදටත් එහෙමමයි කියායි මගේ හිතිවිල්ල. අපේ පාසල් අධ්‍යාපනය විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සම්බන්ධ නොවෙන්නා වාගේම, විශ්ව විද්‍යාල අධ්‍යාපනය අඩුම තරමේ රටේ ප්‍රධාන හා විශේෂිත ආයතනවල අවශ්‍යතා සමග වත් හරියාකාරව සම්පාත කර ගන්නට අපට හැකිවී නැහැ.
දැනුම මිනුම ප්‍රශ්න, අනාගත බලාපොරොත්තු ප්‍රශ්න, ක්‍රියාකාරකම් ප්‍රශ්න ආදී සම්ප්‍රදායික ප්‍රශ්න, සහතික පෙරහැර, වර්ණනා හා පම්පෝරි ආදිය අස්සේ එක්කෙනෙක් අහනවා ඔයාට එක ඇහැක් විතරක් පෙනෙද්දී වාහන පදින්න පුළුවන් ද කියලා. ඉතින් එයින් පස්සේ කතා බහ, කොළඹ මහාචාර්ය අරුද්ප්‍රගාසම්ට එක අැහැකින් වාහන එළවන්න පුළුවන්නං ඇයි මෙයාට බැරි වශයෙන් එහා මෙහා වුනා. අච්චර සැප පහසුවට ලංගම බස්වල හුලං වැදි වැදී යන අපට නං කාර් එළවන්න තරං ආසාවක් ඔය කාලයේ තිබුණේ නෑ.
ඉතින් පුරුදු පරිදි තැපැල් කාරයා එනතුරු බලා ඉන්න සමය එළඹුණා. කිසි සද්දයක් නැති තැන මහාචාර්ය අබේවික්‍රම ව රැකලා ඉඳලා අල්ලගෙන ඇහුවා. "තාම නෝ ඩිසිෂන් මං හිතන්නේ" වර්ගයේ උත්තරයක් ලැබුණා. ගහක ගෙඩියක් ඉදෙන්නේ නැතුව වැඩෙන්නේ නැතුව තියනවා නං මොකක් හෝ කොස්සක් තියනවා නේ. යාළු මිත්‍රාදීන් ගේ මාර්ගයෙන් හිත මිත්‍රාදීන්ගේ ආනුභාවයෙන් දැන ගන්න ලැබුණා 'ඔයාගේ නම කපලා' කියන සාධාරණ උත්තරේ. කපලාම නෙවෙයි, අැප්රූ වෙලා නැහැ. වෙන්නප්පුවේ පෙස්ටස් පෙරේරාගෙනුත්, නාත්තන්ඩියේ හැරල්ඩ් හේරත්ගෙනුත් ආරංචි වූ හැටියට. වැරැද්ද හැටියට දැන ගන්න ලැබුනේ, හැත්තෑ හතේ ඡන්ද කාලේ ශ්‍රීලනිප යේ අගුස්තීනු ෆොන්සේකා ගේ ඡන්ද රැස්වීමක කතාවක් කරපු වැරැද්ද යි. දේශපාලකයකුගේ ලියුමක් නොතිබුණු කිසිම ෆයිල් එකක් එතනින් එහාට නොගිය නමුත්, එහෙම ලියුම් අවුනපු දෙන්නෙකුට විතර පත්වීම් ලැබුණා. නිල හේතුව ලෙස කිව්වේ නම්, උසස් අධ්‍යාපනයට පිටරට ගිය අය ඉන්න නිසා ඒ ඇබෑර්තු පුරවන්නේ නැති බවයි.
ජීවිතේ ඉස්සරහට යන්න වැඩ සිද්ධ වුනේ වෙනත් මාර්ගයකින්. තලවාකැලේ තේ පර්යේෂණායතනයේ තාක්ෂණ විද්‍යා අංශයේ රස්සාව ලැබුණු ජෙනරල් බැච් එකේ මිත්‍රයෙක්ට උසස් අධ්‍යාපන වරම් ලැබුණා. ඒ අාරංචිය කියලා, අයදුම්පත් එවන්න කිව්වා. ඒ අංශයේ ප්‍රධානියාව ලඟින්ම අඳුනන කොළඹ කථිකාචාර්ය වරයකුට කතා කරලා විස්තරය කිව්වාම එයා රෙකමදාරුවක් දුන්නා. ඒ අැබෑර්තුව පත්තරේ දාලා සම්මුඛ පරීක්ෂණයක් තියලා, ලියුම එනකන් බලා හිටියා... නෑ....! අහලා බැලුවාම කපලා විතරක් නෙවෙයි සම්මුඛ පරීක්ෂණේ ෆයිල් එකත් නෑ. තේ පර්යේෂණායතනය ආයෙත් ඇබෑර්තුව පත්තරේ දැම්මා. මම අයදුම් කලා. සම්මුඛ පරීක්ෂනේට ගියා.... පත්වීම ආවා.... වෛද්‍ය පරීක්ෂණයක් කරලා වාර්තාව එවිය යුතු කොන්දේසියක් මත. ඒකත් කරලා උඩරට මැණිකෙ නැගලා තලවාකැලේ ගියා. ඒ නවසිය අසූවේ දෙසැම්බර තිස් එක්වෙනි දා.
වැඩි කාලයක් ගියේ නෑ හැබැයි. පොල් පර්යේෂණායතනය ආයෙත් පත්තරේ දැන්වීමක් දැම්මා. අර පරණ ඇබෑර්තු ටිකම. අයදුම්පතක් යැව්වා ආයෙමත්. සම්මුඛ පරීක්ෂණයටත් ලියුමක් ආවා.... ඉතින් ගියා. අර පරණ පුරුදු මූණු තාමත් තිබුණා එතන. දැනුම මිනුම ප්‍රශ්න, අනාගත බලාපොරොත්තු ප්‍රශ්න, ක්‍රියාකාරකම් ප්‍රශ්න ආදී සම්ප්‍රදායික ප්‍රශ්න, සහතික පෙරහැර, වර්ණනා හා පම්පෝරි ආදිය ඉවර වෙලා මම බලා හිටිය ප්‍රශ්නය ඇහුවා.
"ඩූ යූ හෑව් එනි කුයෙස්ටන්ස් මිස්ට ෆර්නැන්ඩෝ?"
ඉතින් මම ඇහුවා මගේ ප්‍රශ්නය; සිංහලෙන්ම ලිව්වොත්,
"පොල් පර්යේෂණායතනය මේ ඇබෑර්තුවටම අයදුම්පත් කැඳවා තිබුණා ගිය ජුනි යේ. සම්මුඛ පරීක්ෂණත් තිබුණා. මමත් ආවා. නමුත් කාටවත් පත්වීම් දුන්නේ නෑ. දැන් අද මේ තියන සම්මුඛ පරීක්ෂණයෙන් කාව හරි මේ තනතුරට පත්කරගන්න බලාපොරොත්තු වෙනවා ද?"
මහාචාර්ය අබේවික්‍රම ආචාර්ය පෙතියාගොඩ දිහා බැළුවා. ඉන් පස්සේ දෙන්නාම මා දිහා බැළුවා. ලැබුණු උත්තරේ තමයි මේ සටහනේ මාතෘකාව.
"අයි රිමෙම්බර් යූ කමින්.....!"
එදා සම්මුඛ පරීක්ෂණය අවසන් වුනේ අවස්ථාව බේරා ගැනීමට රබර් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂක තුමා විසින් කරන ලද, තේ පර්යේෂණායතනයේ සේවය කරන අතරතුර පොල් පර්යේෂණායතනය වැනි සහෝදර ආයතනයක තනතුරක් සඳහා තෝරාගැනීමට ඇති අපහසුතා පිළිබඳ කෙටි දේශනයකින්.
අද හැරිලා බැළුවාම, සිය ක්ෂේත්‍රය තුල අවිවාදාත්මක උගතුන් වූ මහාචාර්ය අබේවික්‍රමත්, ආචාර්ය පෙතියාගොඩත් එදා මගේ ප්‍රශ්නය නිසා කොයිතරම් අසරණ වන්නට ඇද්දැයි හිතෙනවා.
Subscribe to:
Post Comments (Atom)
Blogroll
About
Designed By Templateism | Seo Blogger Templates
ගොඩක් රජයේ ආයතන වැල වෙන්නේ මේ ටික තමයි අදත්...
ReplyDeleteඔව්, මේ සෙල්ලම පටන් ගත්තේ අද ඊයේ නොවන බවට සාක්කියක් තියන එකත් මෙහෙම ලිවීමේ එක අරමුණක්. ඒ වගෙම අධ්‍යාපන උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවල දේශපාලන බල පුළුවන්කාරකම් අද වෙද්දී පැතිරී තිබෙන පරාසය එසේ වූයේ ඇයි කියන එකත් අපි වටහා ගැනීම වැදගත්.
Deleteප්‍රශ්නය තේරුම් ගැනීම විසඳුමෙන් භාගයක් නේ ද?
/* සිය ක්ෂේත්‍රය තුල අවිවාදාත්මක උගතුන් වූ මහාචාර්ය අබේවික්‍රමත්, ආචාර්ය පෙතියාගොඩත් එදා මගේ ප්‍රශ්නය නිසා කොයිතරම් අසරණ වන්නට */
ReplyDeleteඒක නොවෙයි රන්සිරිමාල් ඇත්ත, මේකයි!
....සිය ක්ෂේත්‍රය තුල අවිවාදාත්මක උගතුන් වූ මහාචාර්ය අබේවික්‍රමත්, ආචාර්ය පෙතියාගොඩත් එදා සිය බඩ රස්සාව නිසා කොන්ද පණ නැති අය වී සිටි හැටි.....
එක්තරා දුරකට එකඟයි රසික.
Deleteමම තේරුම්ගත් තරමින්, මේ යුගයේ දී පවතින ක්‍රමයට තාවකාලිකව අවනත වීම තුලින් තමුන් සිහින මැවූ බුද්ධිමය ස්වර්ගය කරා යන්නට පුළුවන්ය ඇදහූ, මධ්‍යම පාන්තික උගතුන් පිරිසක් සිටියා. අනික් හේතුව මේ පර්යේෂණ ආයතන සුද්දාගේ කාලයේ දී වතු හිමියන්ගේ සේවය සඳහා ආණ්ඩුව විසින් පිහිටවූ ආයතන. මේවා නහයට එනතුරුම දේශපාලන ඇඟිලි ගැසීම් වලට යටවූ තැන් එදා පටන්ම.
ලොකු අයියට කියන්න ඔය පෙතියාගොඩ මහත්තයා අපෙත් එම්බසිඩර් වෙලා ආවා අනූ ගණන්වල මුල හරියේ. නම නම් උපතිස්ස වුනාට මට නම් එහෙම එකක් පෙනුනේ නෑ. හිටපු කාලෙට අඩුගාණේ කලා කියන්න කිසිම වැඩක් තිබුනේ නෑ ඔය පොත්ත ටිකක් පාට වෙච්ච ගැහණුන් කීප දෙනෙක් ගේ පෞද්ගලික එම්බසිඩර් වුනා මිසක්.
ReplyDeleteආචාර්‍ය කියන නමටත් ලැජ්ජයි ගෙදර හිටපු වැඩ කාරයාට ගෙදරින් එලියටවත් යන්න දීලා තිබ්බේ නෑ. ඒ විතරක් නෙමෙයි වැටුපවත් හරියට ගෙවුවේ නෑ. දවසක් මම අහම්බෙන් ඔහුගේ තානාපති නිවසට ගියා. අයියෝ කුණු විමාණයක්. අඩු ගානේ ආණ්ඩුවෙන් නිකම් පිණට ගන්න ටිකෙන් ගෙදර දොරවත් පිළිවෙලකට තියන් හිටියේh4h0yv3c නෑ. අර සේවකයාගේ වැටුපත් ඔහු අතින් ගෙවන එකක් නෙමෙයිනෙ ලංකාවේ රජයෙන් මිසක්. හිතාගන්නකො ඉතින් කුහකකම.
හොඳ වෙලාවට ලොකු අයියා වගේ මනුස්සෙකුට ඒ වගේ මනුස්සෙක් එක්ක වැඩ කරන්න නොලැබුනේ.
ඒකත් දේශපාලන පත්වීමක්ම නේ ද නංගි.
Deleteගෙදර ගැන විස්තරේ නම් විද්‍යාඤයෙකුට ගැලපෙනව වගෙ හිතුනෙ...
විස්තරේ ලිව්වට ස්තුතියි.මේ වගේ පළමු පෙල විස්තර ලියවෙනව අඩුයි.
මට අදයි තේරුණේ මේ සින්දු පදයේ ඉතුරු ටික.
ReplyDeleteසුවඳ මධු කියන්නේ පොල් රා නේද?
තේ වගේ ද රා?
නැතුව නැතුව....
Deleteපොල් කිව්වම රා වලින් නවතින්නෙත් නෑ නෙ.
මේ ගීතය මතක් කලාටත් ස්තුතියි. මේ යුග ගීයට හෙක්ටර් සිල්වා නම් ගායකයා සම්බන්දයි. සංගීතයත් ඔහුගේ. මම මේ ගායකයාගේ තව එක සින්දුවක් අහලා තියෙනවා.
ReplyDeleteකොක් මොට මල්...මෙන්න ඒ ගීතය.
ගීතය නම් යාන්තමට මතකයි. හොයල බලන්නම්.
Deleteහැත්තෑ ගණන්වල අග හැට්ටර්ටත් මිලිටරියේ රස්සාවකට ඉංටව් ගොහිං ඔය වගේම වැඩක් උනා.
ReplyDeleteවෙලාවක ලියන්ඩ ඕනේ බලන්ඩ.
ලියන්ඩ ලියන්ඩ. මේව ලියල තිබ්බෙ නැත්තං මහා වංශෙ ඊළඟ කොටසෙවත් අපි ඔයාල ගැන යන්තංවත් නැතුව යයි.
Delete