Wednesday, January 6, 2016

වළලු (2016)

Share it Please

ජීවිතය ගලායන ෆ්ලෝයමය
මියැදෙමින් උපද්දන
කොරස් කටු පොත්ත හංගන 
බඳ බැඳුණු සලකුණුය
ගල්වු අරටුව වටා
ප්‍රාණ පිරි කැම්බියම
වසින් වස ලකුණු කළ

වසන්තය අකුරු කළ 
මුදු සෛල සෛලමය
ගිම්හානයේ අග 
සරත් කල ඝනව ගිය
අඳුරු රේඛා අතර
සුව සිහින සටහන්ය
ඉකුත් වූ ජීවිතය

අසෙනි සර වැස්ස යට
අහස් හිස සිසාරා
වලාකුළු තල්ලු කළ
අහඹු සුළි සුලං මැද
හිස නගා සිටි පවින්
දැදුරු වූ අරටුවය

මුලින් උදුරා වැටී
දැති කියත් දම්වැලෙන්
කඩින් කඩ කොටන් කර
කපා සීරූ රිදුම්
පිරිමදින්නට නැතිය
පතක් වත් ගිලිහ ගිය
කැපෙද්දී ඉහළ අතු...!

*ෆ්ලෝයමය (Phloem) - ගසක කඳේ පිට පොත්ත අැතුලතින් පිහිටා අැති අාහාර ප්‍රවාහනය කරන්නාවූ පටක
කැම්බියම (Cambium) - ෆ්ලෝයමයත් දැවමය සෙෙලමයත් අතර පිහිටි සෙෙල විභේදනය වී ගසෙහි වැඩීම සිදුවන තුනී පටක ස්ථරය
සෙෙලමය (Xylem) - කැම්බියම් සෙෙල විභේදනය වී සෑදෙන දැවමය කොටස. වාර්ෂික වළලු සටහන් වන්නේ මෙහිය. සෙෙලමයේ මධ්‍යම කොටස වඩාත් ඝනවී අරටුව සෑදේ.


2016 ජනවාරි 5

http://www.boondi.lk/article.php?ArtID=4875

No comments:

Post a Comment

Blogroll

About