බූන්දියෙන් (www.boondi.lk) උපුටාගත් තුෂාරි ප්‍රියංගිකා ගේ රචනයක්.
බයාදුම ඇස් අගින් එල්ලුණ
දයාර්ද්‍රම හැඟීමකි වසැංගුව
ලෙන්ගතුකමක් නැති හිම පොදත්
හීතලෙන් පවා හිත මිරිකුව
උනුනුන්ට බෙදාගන්නට තිබුණු හුස්මකි
ආකහේ හෙළා දා ගියත් ඒ මේකුළු
කොයිතරම් පිපිරුණත් සිතුවිළි
කිසිවෙකුට වැළඳ ගන්නට බැරි වුණු
ගින්දරම පත්තු වුණු පපුවකින්
ආදරේ විතරමයි ඉල්ලුවේ
ත‍්‍රාසයයි තත්පරෙන් තත්පරේ
සිත්තරෙක් තමයි ඒ - කැන්වසය බොඳ කළේ
එකම හුස්ම බිඳුවක් - කාටත් හොරෙන් තියාගත්
ගැහි ගැහී වධ වින්ද සෝයුරන්
වදකාගාරයක කෙළවරින් බෝ දුරින්
කෙළවරක් වුණි ද විෂවායු කුටියේම අද්දරින්
උතුරු සුළඟට වුණත් - පණ නළක් තිබුණා
නැගෙන ඉර මහ දවල් - සිඳු සළුවෙ ගිලුණා
මරණයේ මල්මාල ගෙල පුරා වැටුණා
අදත් ඈතින් දියඹ ඒ සුසුම් ඇඳුණා
බසක් කියන්නේ බසකටම නෙමේ
නමක් කියන්නේ නමකටම නෙමේ
රටක් කියන්නේ රටකටම නෙමේ
මිනිස් වෙසින් ඉන්නේ මිනිසුන්ම නෙමේ
දිනූවෙකු නැති හිස් බිමෙකි නිහඬ වූ
සොහොන් කොත් පමණක් ම ඉතිරි වූ
ආත්මය පාරවා කඳුළින්ම ඇස් තෙමූ
කුටියකි ඒත් සිය දහසක් මරු කැන්දූ
හිසොසවා නුඹෙ ඇස් දෙස බලනු බැරී
බිමටම හැරෙමි මල් පොඩි පාගන්න බැරී
හිත හරි බරයි ඉතිහාසය මකනු බැරී
ආදරය අලුත් පිටුවක ඇයි ලියනු බැරී?
(සටහන:අවුෂ්විට්ස්(Auschwitz),නියුරන්බර්ග්(Nuremberg/Nuernberg) හෝ ඩඛව්(Dachau) කොහේ වුව ද ඇත්තේ ඉතිහාසය විසින් ඉතිරි කළ ශෝචනීය මිනිස් සංහාරයක නටඹුන් ය. මියගිය දහසක් මිනිසුන්ගේ ඇස් වල මොහොතකට පෙර තිබූ භීතිය ද, මරණයේ බියකරු සෙවණැළි ද, කුසගිනි ද මේ මොහොතේ පවා කොහේ හෝ තැනෙක යළි දකින්නට වීම අපේ කරුමය යි.)
http://www.boondi.lk/article.php?ArtID=5035
No comments:
Post a Comment