බූන්දියෙන් (www.boondi.lk) උපුටාගත් වින්ද්‍යා ආරියරත්න ගේ රචනයක්.
"ඔබව ලද ,
මවකගේ හිත නිවෙයි
පියෙකුගේ හිත නිවෙයි
බිරිඳකගේ හිත නිවෙයි"
මම ඉතා දුර සිට සිතට දිරි ගෙන
එක් දිනෙක ගැයූවෙමි !
ඉනික්බිති,
ඔබ නික්ම ගිය දා සිට
ඔබ එවූ ඔබ පැළඳි
මෙ'මුතුහර වැළඳ වැළපෙමි !
සිත නිවා සැනසූ
ඒ දිව්‍යමය මුතුහරය
සඳළුතල කවුළුවෙන් දුටු
ඔබෙ නිවුණු මදහසම පමණෙකි !
ඉර නිවී කතර මග මල් වැහි වෑහෙන්න
ඈත මහ වන මැදක තනි නොදැනෙන්න
කටුක කටු කැළෑ තුළ දෙව් විමන් සෑදෙන්න
ඉතා රහසින් යදිමි මම
සිය දහස් වර කිසිවකුට නොහැඟෙන්න !
ඔබ රළු වස්ත්‍ර දරණා බව අසමි
-මම මෘදු කසී සළු තුළ දැවෙමි
පිළුණු නීරස අහර වළඳන වග අසමි
-රස බොජුන් රත් යවට මම බුදිමි
ශුෂ්ක දුශ්කර මගෙහි ගල් බොරළු වැඳ දෙපා සීරෙන බව දනිමි
-රන් මිරිවැඬි පැළඳ මම ගිනි අඟුරු මත ඇවිදිමි
ඔබ විඳින දුක් එලෙසින්ම විඳගැනුම
ඇයට හිමි දිව්‍යමය සැපයකි -අපාදුක් ඉවසමි !
ඈ ඔබේ අත අත්නෑර
සංසාරයක් දිග මාවතක පියනගන විට
ඇවිද ආවෙමි මම ද
එකදු කවියක් හෝ නොලියවෙන්නට නියමිත
ගොළුව ගිය ප්‍රේමය දරා ගෙන
ඔබෙ පසුපසින් පියනැගුම නම් වන
සසර බිහිසුණු ගින්න
තවත් නම් ඉවසිය නොහැක !
හිමියනි,
ඔබ සොයා ගිය ඒ නිවෙන මග
යම් දිනෙක මට ද පවසන්න !
http://www.boondi.lk/article.php?ArtID=5034
No comments:
Post a Comment