ජන්පියා ෂොවාජ්
-ස්ට්‍රාස්බර්ග් විශ්ව විද්‍යාලය, ස්ට්‍රාස්බර්ග්, ප්‍රංශය
උපත - 1944 ඔක්තෝම්බර 21, පැරිසිය, ප්‍රංශය
ශ්‍රීමත් ජේම්ස් ෆ්රේසර් ස්ටොඩාට්
- නෝර්ත්වෙස්ටර්න් විශ්ව විද්‍යාලය, ඉවන්ස්ටන්, ඉලිනොයි, ඇමරිකා එක්සත් ජනපදය
උපත - 1942 මැයි 24, එඩින්බර්ග්, එක්සත් රාජධානිය
බර්නාඩ් ෆෙරින්ගා
- ග්‍රොනින්ගන් විශ්ව විද්‍යාලය, ග්‍රොනින්ගන්, නෙදර්ලන්තය
උපත - 1951 මැයි 18, නෙදර්ලන්තය
සාමාන්‍යයෙන් රසායනික ප්‍රතික්‍රියා පරමාණු හෝ අණු අතර රසායනික බන්ධන සෑදීම හෝ බිඳීම ගැනම පමණක් වන නමුත්, මේ අණුක යන්ත්‍ර බිහිවුනේ, චක්‍රීය අණු දෙකක් එකට අවුණා යාන්ත්‍රික බන්ධනයක් සැදීමට ගත් උත්සාහයන් ගෙන්. එකිනෙක හා දම්වැල් පුරුක් දෙකක් සේ ඇවිණුනු කැටනේන් ව්‍යුහත්, අක්ෂාකාරව රැඳවූ රේඛීය අණුවක් වටා බ්‍රමණය වන චක්‍රීය අණුවකින් සැදුනු රොටැක්සේන් ව්‍යුහත් මේ ආකාරයට අණු දෙකක් නොගැලවෙන සේ යාන්ත්‍රිකව සම්බන්ධ කල රසායනික සංයෝගයන්.
චක්‍රීය අණු දෙකක් එකිනෙකට අවුණා සෑදූ කැටනේන් සංයෝගයක ආකෘතියක්
රේඛීය අණුවක් වටා චක්‍රීය අණුවක් රඳවා සෑදූ රොටැක්සේන් සංයෝගයක ආකෘතියක්
මෙහි රේඛීය අණුව දෙකෙලවර ඇති අණුක ඛණ්ඩ චක්‍රීය අණුව සිරකර රඳවා තබනවා.
මේ අණු අවුණා සෑදූ යාන්ත්‍රික ඇටවුම් යන්ත්‍ර බවට පත්වන්නේ ඒවා සෑදී ඇති එක් අණුවක් වටා අනෙක් අණුව නිදහසේ චලනය කරවන්නට පුළුවන් නිසායි. එසේ කරන්නට නිදහස තිබෙන්නේ ඒ අණු අතර රසායනික බන්ධන නොමැති බැවින්. උදාහරණයකට රොටැක්සේන් ව්‍යුහය ඇක්සලයක් සවිකල රෝදයක් ලෙස සිතන්නට පුළුවනි. රෝදය සේ ක්‍රියාකරන චක්‍රීය අණුවට රේඛීය කොටස් එකතු කලොත් අපට පංකාවක් හදන්නට පුළුවනි. ඉතින් මේ මූලික හැඩතල එකිනෙකට එකතු කර, නොයෙක් ආකාර යාන්ත්‍රික කොටස් සාදන්නට පුළුවනි.
එසේ වුණත් යන්ත්‍රයක් යන්ත්‍රයක් වන්නේ, පාලනය කල හැකි දිශානත චලනයන් කරන්නට පුළුවන් කම නිසයි. අපේ නූල් රෝද ට්‍රැක්ටරය, දඟකවා වැලි කන්දක් දිගේ ඉහලට ගමන් කරවන්නට අපට පුළුවන් වුන නිසා තමයි ඒක යන්ත්‍රයක් වුනේ.
මේ අණුක යන්ත්‍ර වලින් මුලින්ම වාගේ කරන්නට උත්සාහ කලේ ඒවා අණුක යතුරු (switches) ලෙස යොදා ගැනීමයි. එසේ කළ හැකි නම්, එවැනි අණු කණ්ඩ රාශියක එකතුවක් පරිගණක දත්ත ගබඩාවක් (memory) සඳහා යොදාගන්නට පුළුවනි. බාහිර රසායනික තත්වයන් එහා මෙහා කර රොටැක්සේන් ව්‍යුහයක 'රෝදය' ඇක්සලය දිගේ එහා මෙහා කරන්නට පුළුවන් කම මුලින්ම වාගේ ප්‍රායෝගිකව අත්හදා බැලූ එවැනි චලනයක්.
මේ සබැඳිය ඒ ක්‍රියාකාරකම රූපණය කෙරෙන චලන චිත්‍රයකට.
අද වනවිට මේ ක්ෂේත්‍රයේ පර්යේෂණ තුලින් ආලෝක තරංග වැනි බාහිර බලයන් මගින් මෙන්ම, ආම්ලිකතාව වැනි රසායනික තත්වයන් පාලනය මගින් ස්ථිර දිශානත චලනයන් සිදුකල හැකි අණුක යන්ත්‍ර සෑහෙන ප්‍රමාණයක් නිර්මාණය කර, ක්‍රියාකරවා පෙන්වා තිබෙනවා. මේ වර්ධනය මුල් කාලයේ විද්‍යුතය හා චුම්බක බලයන් ආශ්‍රිතව විදුලි මෝටරය, ඩයිනමෝව ආදිය පියවරෙන් පියවර ගොඩනැගුණු ක්‍රියා දාමයට සමාන්තරව දකින්නට පුළුවන්ය යන්න විද්වතුන්ගේ සිතිවිල්ලයි.
පහත වීඩියෝව, රොටැක්සේන් ව්‍යුහ එකට අවුණා සෑදූ අණුක මෝටර් රථයක චලිතය ඉලකේට්‍රොනික අන්වීක්ෂයක් තුලින් දිස්වන ආකාරයයි.
එම අණුක ව්‍යුහයේ ආකෘතියක් මෙහි දැක්වෙනවා.
මේ නිර්මාණ මහැදුරු ෆෙරින්ගා ගේ පර්යේෂණ කණ්ඩායමේ නිමවුම්.
මේ අණුක යන්ත්‍ර හුදු කුතුහලය තුලින් ඇරඹුන, රසායන විද්‍යාව නවතම මානයකට රැගෙන යාමක් බව නම් ඉතාමත් පැහැදිලියි. මෙතෙක් රසායනික බන්ධන පිළිබඳවම සිතන්නට පුරුදු පුහුණු ව, ස්වභාවයෙන් පවතින්නාවූ අණුවල ව්‍යුහයන් හැදෑරීම හා ඒ ආශ්‍රයෙන් ඒ හා සමාන ව්‍යුහයන් ඇති අණු නිර්මාණය කිරීම පිළිබඳව වැඩිමනත් සිතන්නට යොමුවූ රසායන විද්‍යාඥයින් ඒ සිතිවිලි වලින් ඔබ්බට ගොස් යාන්ත්‍රිකව ක්‍රියාකරවිය හැකි පැහැදිලි සහසංයුජ බන්ධනයන්ගෙන් තොරව එකට අවුණා ඇති සංයෝග ව්‍යුහයන් නිර්මාණය කිරීමට යොමුවීම, නවක නිපයුම් සොයාගැනීම් රැසකට මුල පිරීමක් වනවා ඇති.
මේ ක්ෂේත්‍රය පිළිබඳ වැඩි විස්තර ඉහත සඳහන් නොබෙල් ත්‍යාග ලද විදුදරයන්ගේ ජාල අඩවි තුලිනුත්, පහත දැක්වෙන නොබෙල් ආයතනයේ ජාල අඩවි සටහන් තුලිනුත් සොයා ගන්නට පුළුවන්.
No comments:
Post a Comment