අපේ පවුලේ දෙවෙනියා වූ නිසාවෙන්ම ඒකත් අවුරුද්දක් විතර පහුව දෙවෙනියා වූ නිසාවෙන්ම දෙවෙනියා කියන්නේ පළවෙනියා නොවෙන බව හොඳින්ම තේරුම් ගන්නට මට පුළුවන් විය. ඉතින් අපේ කූඩුවේ දෙවෙනි පැටවාට එක විදිහකින් අමුතු ලෙන්ගතු කමක් හිතේ ඇතිවෙන එක සාධාරණයයි හිතමි.
මේ කොල්ලා උපන්නේ අද වාගේ ඔක්තෝම්බර විසි නවදාකය. හවස්වරුවකය. එයාගේ දවස් හරි ගිහින් තිවුණත් කිසි කලබලයක් නොකර හිටි නිසා, දින වකවානු මතක්වී දොරට තට්ටු කරන්නට පටන්ගත් වෙලාවේ මම හිටියේ, බබාගේ තොටිල්ලට අඩුපාඩු අරගන්නට තරමක් ඈත වෙළඳ සංකීර්ණයකය. අද වාගේ ජංගම කතා පෙට්ටි නොතිබුණු දවස් බැවින් පාර අයිනේ කෝල් පෙට්ටියකින් ගෙදරට කෝල් එකක් දී විස්තර ඇහුවාමත් කලබලයක් නොතිබුණු හින්දා ගිය වැඩේ කරගෙන බස් එකක් අල්ලාගෙන නිවී හැනහිල්ලේ ගෙදරට ආ පයින්ම ටැක්සියකට කෝල් කරලා ඉස්පිරිතාලයට දුවන්නට අපට සිදුවිය. එහෙම කලබලෙන් ගියත්, ඉස්පිරිතාලයට ඇතුළුවී අම්මා ඇඳට වෙන තුරු ඉන්නට තරම් කල්පනාව තිබුණු මේ කොල්ලා, අතට අරන් මා දිහා බැලූ මානෙල්ට කියවුනේ නම් 'සොරි' කියලායි. ඒ ඉතින් මම නම් කෙලි පොඩ්ඩියක් ලැබේය කියා බලාන හිටි හින්දාය.
සැහැල්ලුවට අඩි තියන සෙල්ලක්කාර හිනාවක් යට හංගාපු සංවේදී හිතක්ය කියා මට නිතරම හිතෙන මියුරු සඳකාන්ත කාලයක් තමුන්ගේ නම මාරියෝ ය කියා වෙනස් කරගන හිටියේ ය. ඒ තාමත් නොසන්සිඳී තියන නින්ටෙන්ඩෝ පිස්සුව නිසාම නොවෙයි. මියුරු කියන මියුරු නම මූරු මීරු වී කියවෙන හින්දා ය.
එක පැත්තකින්, අපි හැදු නිසා උන්ටත් දුක් විඳින්න වෙලා තියනවාය හිතෙන නමුත්, ජීවිතේ කරපු දේවල් මොනවාද හිතුවාම ඒ මුළු හිතුවිල්ලම පිරෙන්නට මේ පුංචි ඉටිපහන් වල එළිය තිබේ. ඒවා කවදාවත් නිවෙන්නේ නැත.
සුබ උපන් දිනයක් මියුරු පුතා...!
සුභ උපන්දිනක් මියුරු! :)
ReplyDelete