Thursday, March 28, 2024

මැන්ගො බ්ලූ බෙරි මැන්ඩරින් බනානා....!

Share it Please





මේ දවස්වල ජනාධිපතිවරණයක, හෝ වාරණයක ගඳ සුවඳ හැම තැනම පැතිරෙමින් පවතින හින්දාත් උදේට පායන ඉර, හවහට පායන හඳ තරු ආදිය පවා ඇහි පිය ගහන්නේ ඒ උණුහුම සීතල විඳිමින් නිසාත්, අපේ තරුණ, යන්තම් තරුණ හා සෑහෙන කලක් තරුණව හිටි ආදී බොහෝ යූබට කම්හල් කරුවන් කරන කියන දෑ  අසා කියා නරඹා බැළුවාම ඉතින් මේ සිංදුවම ආයෙත් මතක් වුනා.

මේ දේශපාලන වනන්තරයේ නොයෙක් අත මල් පිපෙන, පල දරන, පරවෙන, ගිලිහී වැටෙන මෙන්ම මහ රෑත් ගැයෙන කුරුළු කූජන අසමින් සරන මේ හැමෝම ගැන යම් විදිහක ආඩම්බරයක්, අගේ කිරීමක් තියෙන හින්දාම මේ සටහන ලියන්නට හිතුණා මිස, එයාලා‌ කරන කියන දේවල් දැකලා අංජනං දේවිගේ පුතා මතක් වුනාම නෙවෙයි.

කලින් මේ සිංදුවම අවුණලා ලියපු හනුමන්තාගේ නම් දැන් බාව ගිනි අරගන්ඩ කිට්ටුම කිට්ටුයි වාගේ පේන වගත් ලියන්නම වෙනවා.

සිංදුවේ මගක තියනවා මෙන්ම, මේ 'ප්‍රවේසම් බෝම වෙලා ඉන්නෙම්' කියා නම් කවුරු කවුරුත් හිතේ දරා ගැනීම වැදගත්ය හිතුණා. මේ ගැන හිතුවාම අහපු දැකපු කතා අතර බෝම ප්‍රවේසම් වියයුතු තැන් තුනක් ගැන මගේත් පීචං හිතිවිලි ටික මෙහෙම පෙලගස්සන්නං.

විද්‍යාව දැමිල්ල
අසූ ගණන්වල තේ පර්යේෂණායතනයේ දළු අතපත ගාන කාලේ සෙට්වුනු මිත්‍රයා, එදිරිවීර ඉංජිනේරු තුමාගේ වචනෙන්ම කිව්වොත්, ලංකාවේ අපි, විද්‍යාව ආගම කරගෙන ආගම විද්‍යාව කරගෙන අනාගත්තු පිරිසක්ය. මොකද, ‌අවිශ්වාසය හා ප්‍රශ්න කිරීම මතම පදනම් වූ නවීන විද්‍යාව අපි උගන්නන්නේ නිකම් මේක තමා 'පරම සත්‍යය' ගානටය. එහෙම කරන අතරේම, විශ්වාසය හා ප්‍රශ්න නොකිරීම මතම පදනම් වූ බොහෝ ආගම් අපි ප්‍රශ්න කරලා තර්ක කරලා හරි හෝ වැරදියි කියලා ඔප්පු කරන්න තටමනවාය.

මෙන්න මේ සර්වලෝක දුර්වලතාව අතේ පත්තු කරලා මැජික් පෙන්නන අපේ බොහෝ පොල්ටික්කන් හා පොලොස් කොට්ටෝරුවන් සුරුස් සුරුස් ගාලා විද්‍යාත්මක ක්‍රමයට කරනවා, විද්‍යාත්මකව හදනවා, විද්‍යාත්මකව දියුණු කරනවා, විද්‍යාත්මකව පත්කරනවා.... වගේ අඩි පුඩි ගහනවා නම් ඒ කතා ටිකක් ෆිල්ටර් කරලා, හෝදලා, ගරලා චෙක් කරලාම බැලීම අපේ වගකීම විය යුතුය.

ඒ වගේම, ඩේටා ෆ්ලැට්ෆෝම් ගැහිල්ල, කියුයාර් කෝඩ්ඩෙක, බ්ලොක් චේන්නෙක, ටින්නොම්මරේ, පලිගනක තාස්සනේ, වගේ එව්වා, 'නොවරදින වෙඩිල්ල' ‌තෛලයේ ගානට දාලා පච ගහයට ‌කෝනංගියාට නට නටා, ඔඩු දුවපු තුවාල, පෑස්සුනු කැඩුම් බිඳුම්, දත් කැක්කුං, හර්නියා, අපස්මාරය, කොන්දේ අමාරුව, ගර්භාෂයේ ගෙඩි හා හත් අවුරුද්දක් පරක්කු වුන ඔසප් චක්රාදී සියල්ල එක බින්දුවෙන් විනාඩි භාගයෙන් නිට්ටාවට සුව කරන දොස්තරලා, කොන් දොස්තරලා හා ඇස් කන් නාසා විශේෂඥ දොස්තරලා ගෙනුත් පරිස්සං වෙන්නට අපි කවුරුත් වග බලාගත යුතුය.

විද්‍යාත්මකව බැළුවොත්, විද්‍යාව නමින්ම ලේබල් ගසා, ජනප්‍රිය මාධ්‍ය සාහිත්‍යය එක්ක අතේ පැලකරලා පෙන්නන දේවල් අස්සෙත් සීයට අනූ නවයක් ඇස් බැන්දුම් තියන බව තේරුම් ගන්නට අපහසු නැත  නූතනයේ ‌විද්‍යාව නම්වූ සංසිද්ධිය රැකෙන්නෙත්, ඇඩ්වර්යිසින්, බයින් සෙලින් න්‍යායන් වල පිහිටෙන්ම තමයිය. යම් විද්‍යාත්මක සංකල්පයක් ආවාම, ඒකෙන් කරන්ඩ පුළුවන් විශ්වකර්ම වැඩ ගැන පොර ටෝක් නොදුන්නොත්, ඒකේ රහගුණ චෙක් කරලා බලන්ඩවත්, කරන්න උවමනා පර්යේෂණ විශ්ලේෂණ කරගන්නවත්,  බරපැන එකතු කර ගැනීම ලේසි පාසු නැති අතර, මේ පොර ටෝක් වලට මෙරු වාගේ ඇදිලා එන්නේ පොලිටික්ස් ලා හා ‌කොස් පොලොස් කොට්ටෝරුවන්ය. මේ මානුෂික තෘෂ්ණාවම පදනම්වූ සර්වලෝක සංසිද්ධියට, රටක් රාජ්ජයක් කියා වෙනසක් තිබුණේත් නැත, දැනටත් නැත.

පරළු පාන්වල මාමයිට් ගෑම
මේක නම් ලියන්නම හිතුණේ, එක්තරා කස්ටියක්, බෝසත් තවුසාට සස පණ්ඩිතයානන්, ඇඟමස් දන් දුන්න තරම් ආදරෙන් ‌ගෞරවයෙන් මේ රටේ දුගී දුප්පත් ජනතාව, විශේෂයෙන් පිදුරු සෙවිකල පැල්පතේ සාමයෙන් වසන්නාවූ අසරණ දිළිඳු දරුවන්ගේ අනාගතය සුරක්ෂිත හා සැපවත් කිරීමේ පරමාර්ථයෙන්, සිය මන්දිර මාලිගා යාන වාහනාදිය දන්දීමේ ව්‍යාපාරයක් ධාතු කරඬුවක් වගේ වඩම්මාගෙන වඩම්මාගෙන යනාකාරය දැකලාය.

ඉස්සර ගාපු බටර් වෙනුවට, ඔය පරළු පාන් පෙත්තේ, මේ ආකාරයේ සුහුරු කාමර, ඩීසල් බස්සාදී මාමයිට් තැවරීමේ ඇස්බැන්දුම කරන්න, මට නං හිතෙන්නේ ආණ්ඩුවක් අවශ්‍ය නැත. අපි බලය නැතුවත් මෙහෙම කරනවා නම්, බලය ලැබුනොත් කොහොම කොහොම කරයිද කියන සිංදුව, මේ අවුරුදු හැත්තෑ හයේම පපර බෑන්ඩ් වලින් රට පුරා වාදනය කරන ලද්දාවූ සිංදුවකි. විශේෂයෙන්ම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළු හැටියට පෙන්නන, ඉස්කෝල ගොඩනැගිලි, වැසිකිලි කැසිකිලි, පානීය ජලය, මන්ද පෝෂිත දරුවෝ, පොත් අරන් දෙන්න, සපත්තු අරන්දෙන්න, ටියුෂන් කාසි හොයා දෙන්න බැරි දෙමව්පියෝ ආදී දේවල් තුල මම නම් දකින්නේ, රටේ දේශපාලනික, සාමාජයීය හා ආර්ථික සංස්කෘතියේ හා ප්‍රතිපත්තිවල බංක‌ොලොත් කම මිසක, අධ්‍යාපනයේම ගැටළු නොවෙයි.

සත්තකින්ම, නැති බැරි අය කියන්නේ, ඇති හැකි අයට පින්දහම් කරගැනීම සඳහා මේ ලෝකයට පහලවූ පිරිසක්ය යන ගොබ්බ සංකල්පය ඔළුකට්ටේ පච්ච කොටාගත් පාලක ‌ප්‍රභූ පෙලැන්තියක් අපේ රටට තව දුරටත් අවශ්‍ය නොවන බව පැහැදිලිව වටහා ගැනීම තව දුරටත් පරක්කු කල යුතු කාරණයක් නොවේ.

වෝල්මාට් ජිල්මාට් හා කැලිෆෝනියා ඩ්රීමිං
දියුණුය කියා, සංවර්ධිතය කියා ලේබල් කල දේශයක රාමු කල පින්තූර පෙන්නමින්, කොළඹ හම්බන්තොට පාරවල්වල රත්තරන් ගඩොල් පෙන්නා ඩික් විටින්ටන් කතන්දර වලින් ජනතා සවන් සංතර්පණය කරන දේශපාලන පච කෙලියත් අවසාන කලයුතු කාලය පැමිණ තිබේයැයි අප වටහා ගත යුතුය.

සිහින දැකීම රට වැස්සන්ගේ තරුණයින්ගේ අයිතියක් වන්නා සේම, සිහින වල යථාර්ථය පච නොහෙලා රටවැස්සන්ට වටහා දීම, රටේ පාලකයින්ගේ නායකයින්ගේ පූර්ණ කාලීන වගකීම ද වන්නේ ය. එසේ නැතුව, ඒ සිහින වල බකට් ලාම්පු එල්ලා කැරට් අල මෙන් ජනතාව ඉදිරියෙන් වන වනා දියවන්නා යෑමේ ප්‍රවණතාවය හඳුනා ගැනීමේත්, ප්‍රතික්ෂේප කිරීමේත් යුගය මේ බව පරිස්සමින් තෝරා බේරා ගත යුතුයැයි සිතමි.

මේ වෙද්දී ලෝකයේ ප්‍රමුඛතම හා විශාලතම ‌සිල්ලර වෙළඳ සමාගමක් වන වෝල්මාට් එකට භාණ්ඩ සැපයීමෙන් ලංකාවේ ආර්ථිකය ගොඩ දැමීමට සිතීමේ ඒ හැටි වරදක් පෙන්නන්නට නොහැකි යැයි කෙනෙකුට බැළූ බැල්මට පෙනෙන්නට පුළුවන. මේ සමාගමේ වෙළඳපල ධනායනය ඩොලර් බිලියන 489 ක් ආසන්නයේ යැයි සඳහන් වෙයි. මේ හා සසඳන විට ලංකාවේ දල ජාතික නිශ්පාදනය සොච්චමක් වෙයි. 

එයාලා එක්ක හෑන්ඩ් ‌ෂේක් එකකින්, අපේ රට ගොඩ ගැනීමේ පින්තූරයේ පාට ඇතිල්ලීම හැබැයි, මට නම් හිතෙන්නේ හූරන ලොතරැයියක් විකුණනවා වාගේම වැඩක් ලෙසටය. ඇමරිකානු ආර්ථිකය තුල බිග්බොක්ස් වෙළෙන්දන් වන මේ සමාගම් ලාභ උපයන ව්‍යාපාර මිස, ජනතා සුභ සිද්ධිය සඳහා ඇප කැපවූ පුණ්‍යායතන නොවේ. සූකිරි, මී පැණි, දවටන සෝදා යවා, ඒවා එසේ හඳුනා ගැනීමත්, හඳුනා දීමත් මේ හීන විකුණන තොරොම්බල් කරත්ත කාරයන්ගේ වගකීමක් විය යුතු නමුත්, එසේ නොවන්නේ නම්, ඒ ඇත්ත හාරා පාදාගෙන දිරවා ගැනීමත් අපේ කාර්යයක් වෙයි.

මගේ රටට සෞභාග්‍යමත් සුබ අනාගතයක් උදා වේවා....!




 

No comments:

Post a Comment

Blogroll

About