Wednesday, April 19, 2023

ටික්.. ටික්.. ටික්.. ටික්…

Share it Please




ජූනි තුන, අප්පච්චි ගිහින් ඊයේ ට අවුරුදු දාසයක්.

ඒ අවසන් හමුවීම ගැන තියෙන්නෙ බොඳ වෙලා ගිය මතකයක්. සමහර විට කල්පයක් වගේ කියලා මිනිස්සු හඳුන්වනවා ඇත්තේ එදා ඉඳන් අද වෙනකල් ගෙවුණ පැය, විනාඩි, තත්පර වාගේ කාලයකට වෙන්න ඇති කියලා මට හිතෙනවා.

අප්පච්චි ළඟ තිබුණා පූජනීයත්වයෙන් වාගේ අදහාපු අත් ඔරලෝසුවක්. “ජීවිත කාලයට ම එකක් ඇති” ඔරලෝසුව ගැන එයා හරි ආඩම්බරෙන් කියැව්වේ එහෙමයි. ඇත්ත, අසූ ගණන්වල අග ජපානයේ හිටපු කාලයේ දී අප්පච්චි ගත්ත ඒ ඔරලෝසුව, එයාට ජීවිත කාලය ම ඇති වුණා තමයි… ගොඩක් ඔරලෝසු වගේ නෙවෙයි, ඒකේ තත්පර කටුව එක එල්ලේ තත්පරයෙන් තත්පරයට පනින්නේ නෑ. තත්පර කටුව හරි සීරුවට ඒක එක එල්ලේ ම ඔරලෝසු මුහුණත වටේ යනවා, කිසිම නැවතීමක් නැතිව. සීකෝ ෆයිව්, ඔටෝමැටික් අත්ඔරලෝසුවක්; දැනුම් තේරුම් ඇති වයසට ආවා ම මම දැනගත්තේ ඒක. පුංචිම කාලේ අතට නොදුන්නත්, පසු කාලයේ මම ඉඳහිට ඒක ඉස්කෝලෙට බැඳගෙන යනවා.

ඔය ඔරලෝසුව අතුරුදහන් වෙන්නේ 2006 මැයි මාසයේ අන්තිම සතියක, අප්පච්චි ජීවත් වුණ අන්තිම සතියේ ගෙදර සිදු වුණ කලබල අතරේ. ඇත්තට ම ඔරලෝසුව නැති වුණා නෙවෙයි. ඒක මම දැනගෙන හිටියා. මොකද ඉන් අවුරුදු තුනකට පස්සේ ගන්න ඇති කියලා මම සැක කරපු කෙනා මට හම්බෙනවා. අතේ බැඳපු ඔරලෝසුව විතරක් නෙවෙයි, පුංචි කාලේ මං ඔරලෝසු ගාංචුවේ අම්මාගේ ආයකට්ටකින් කපලා තිබුණ කැටයමත් එක්ක ම. මම වචනයක් කියන්නේ නෑ, “නැති වුණ දේවල් එක්ක ඕවා මොනව ද” මම හිත හදාගන්නවා.

මම අප්පච්චිට වඩා හාත්පසින් ම වෙනස් බව මං දන්නව, හැබැයි අත් ඔරලෝසු ගැන තිබ්බ “ලව් එක” ඒ විදියටම පිහිටලා තියෙනව. කොටින් ම, පහු ගිය අවුරුදු දොලහේ ආදර සම්බන්ධතා අටක් අතරේ මගේ ජීවිතය දෝලනය වෙනකොට, ඒ මුලු කාලයට ම මට තිබුණේ එක ම එක අත් ඔරලෝසුවයි. ඒක පෙනුමින් අප්පච්චිගෙ ඔරලෝසුවට තරමක් ආසන්න, වෙනස් මාදිලියක සාමාන්‍ය ඔරලෝසුවක්. මට කොච්චර පිස්සු ද කියනවා නම්, මම අන්තිමට යාලුවෙලා උන්න කෙල්ලව පෙන්නන්න ඔරලෝසුව සාක්කුවේ දාගෙන එක්කන් ගිහින් තියෙනව. ඔව්, ඔබ කියෙව්වා හරි. මම ඔරලෝසුව එක්කගෙන ගියෙ කෙල්ලව පෙන්නන්න. මට දැනුනේ ජීවිතයේ බොහෝ දේවල්වල සාක්ෂ්‍යකරුවෙක් වුණ ඒ ඔරලෝසුවට සමහර දේවල් මග ඇරෙන්න දෙන්න ම බැහැ කියලයි. ඒ මොහොත වෙනකොට දොලොස් අවුරුද්දක් මගේ අතේ ඉඳගෙන මගේ ජීවිතය දිහා බලාගෙන හිටපු ඔරලෝසුවට, මගේ ජීවිතයේ පහුගිය කාලයේ සමහර සිදුවීම් පෙන්නන්න එක්කගෙන ගියේ සාක්කුවෙ දාගෙන තමයි. මොකද, අන්තිම අවුරුදු තුනේදී කරගත්ත අනතුරු එක්ක, ඔරලෝසුව තිබුණේ අතේ බඳින්න පුලුවන් තත්ත්වයක නෙවෙයි.

ඊයේ; ජූනි තුන හැන්දෑවේ මම යනවා ඔරලෝසුවක් ගන්න. ඔව්, ඔබ අනුමාන කරන්න ඇති. මම අර වාගේම හීන් සීරුවේ තත්පර කට්ට නොනවත්වා දිවයන සීකෝ ඔටෝමැටික් ඔරලෝසුවක් ගන්නවා. ඒක ගත්ත වෙලාවේ ඉඳන් තවම අතේ, මේ සටහන ලියන මොහොතේදිත් මම විනාඩි පහෙන් පහට වෙලාව බලනවා.

ඒ වෙලාව බලන වාරයක් පාසා අප්පච්චිව මතක් වෙනවා. මතක් කරලා මම ම මගේ හිත රිද්දගන්නවා. “ජීවිත කාලෙටම මේක ඇති”, හෙට දිහාට මමත් කාට ම හරි කියලා දානවා.

-බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න-

ජුනි 9, 2022

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

මේ සටහන මෙහෙම මෙතැන එල්ලීම ගැන බුද්ධි අමනාප නොවනු ඇතිය සිතමි.

බුද්ධිගේ බ්ලොග් අඩවියට සබැඳිය:
https://escapistrider.wordpress.com/

ඉන්ස්ටග්‍රෑම් සේ රූ එකතුව
https://www.instagram.com/p/Bx9XsbnAB-O/



No comments:

Post a Comment

Blogroll

About