Tuesday, April 4, 2017

මල් නොපිපි ගස -01

Share it Please

එය වනාන්තරයේ උසම හා විශාලම ගස විය.

මහ වනය මැද්දෑවේ තිබුණු ගස කොතරම් උස වීද යත්, එහි දිගු විසල් මුල් මහ පොළව සිදුරු කරගෙන එහි  මැද්දෑවටම කිඳාබැස මිහිකතගේ හදවත බදා වැළඳගෙන සිටියෝය. ගසේ මුදුන් අතුවල ලපටි දළු නිරන්තරයෙන්ම දුහුළු මීදුම් වලාවෙන් පිරිමැදෙමින් තිබුණේය. මේ විසල් ගසේ හතර අතට විහිදී දික්වී තිබූ අත් උතුරටත් දකුණටත් නැගෙනහිර හා බටහිරටත් මුළු වනය වසාගෙන පියස්සක්මෙන් විහිද තිබුණේය. ඒවා කොතරම් දිගු වීද යත්, උදාසන හිරු එළියේ අඳුරු රතු පැහැය තැවරී නැගෙනහිරට විහිදුනු අතු අග සිඟිති පත් හිනැහෙන විට, බටහිරට විහිදුණු අතුවල දළු සඳ එළියෙනුත් තරු එළියෙනුත් රිදී පාටින් සැසලෙන මසුන් මෙන් දිදුළමින් තිබුණේය.

වනාන්තරය මැද පිහිටි මේ සුවිසල් ගසේ පහලම පහල අතු අගිසිවල සිඟිති බටිත්තෝත්, දෙමලිච්චෝත්, ගේ කුරුල්ලෝත් කූඩු සාදාගෙන සිටියහ. ඉන් ටිකක් ඉහල අතුවල මාල ගිරවු ද, නීල කොබෙයියෝ ද, ඉනුත් ඉහල ඉහල අතුවල ක්‍රමක්‍රමයෙන් විශාල සිරුරු ඇති පක්ෂීහු ද කූඩු සාදා ගෙන සිටියහ. ආකාශයට නුදුරුම වූ ඉහලම ඉහල අතුවල ඉහලම අහසේ පියාසර කරන, රාජාලින්ගේත්, උකුස්සන්ගේත් කූඩු බැඳ තිබුණි. හැමදාම අඳුරින් වැසුණු, ගහ මැද්දෑවේ කඳට කිට්ටුව, වවුලෝ ද බකමූණෝ ද අඳුර ප්‍රිය කරන වෙනත් කුරුල්ලෝ ද පදිංචි වී සිටියහ.

වනාන්තරයේ සියළු ගස්වලට උඩින් විසිරී පැතිරී ගිය මේ ගසේ කොල අනෙක් කිසිම ගසක කොලයකට වඩා විශාල විය. රවුම් හිසකුත්, දිගැටි අගකුත්, දැති දැති දාරයකුත් තිබුණු ඒවා ඉතා ශක්තිමත් නාරටි තිබුණු කොල විය. වනාන්තරයේ අනෙක් කිසිම ගසකට ඒ ආකාරයේ කොල තිබුණේ නැත. කුරුළු බිත්තර මෝරා පුංචි පැටවුන් බිහිවන කාලයට ඈත උතුරේ සිට පියාඹා එන සුළඟ ඉහල අතුවල වියලුනු කොල සොලවා හෙමින් පාකර එවන්නට පුරුදුව සිටියේය. අතු දිගේ දුව පැන සෙල්ලම් කරන කුරුළු පැටව්, සුළඟ දිගේ පාවී එන කොල මතට නැගී ඒවා සිඟිති දෙපා වලින් තද කර අල්ලාගෙන, සිය නොමේරූ තටු සොලව සොලවා අහස් නැව් මෙන් පැදයන සෙල්ලමක් කරන්නට පුරුදුව සිටියෝය. ඒ, පියාපත් සවි වෙන්නට සිය පැටවුන්ට කුරුළු අම්මලා කියාදුන් පලමු පාඩම විය.

ඈත ගං ඉවුරට වැටුනු ගසේ වියලි කොල ගං දියට තල්ලු කර පාකර ඒවා මත නැගී ගඟේ එහා ඉවුරට ඔරු පදින්නට, ගං ඉවුරේ ගුල්වල ගෙවල් සාදාගෙන සිටි හා පැටවුන්ගේ අම්මලා උන්ට පුරුදු කර තිබුණි. සුළඟ සැරවෙන කාලයට, වනාන්තරය පුරාම සත්තු, අහස සිසාරා පාවී එන විසල් කොල එකතු කරන්නටත්, වස්සානයේ හීන් වැහිපොද හෙමි හෙමින් වැටෙන කාලය වනවිට අතු රිකිලි පුරුද්දා සාදා තිබූ සැකිලි මත ගසේ කොල අතුරා නොතෙමී ඉන්නට පියසිත්, පොළව මත එක පිට තට්ටු ඇතිරූ කොල වලින් උණුසුම්ව ගුලිවී ඉන්නට යහනාවලුත් හදන්නට පුරුදුව සිටියෝය.

වනාන්තරයම වාගේ වසාගෙන ඉතිරී පැතිරී සිටියත්, පොළව මත සරන සතුන්ගේ සිට ඉහලම අහසේ පියාසර කරන කුරුල්ලන්ටත් එකසේම සැලකූවත් මේ විසල් ගසේ කිසිම දිනක, මල් පොහොට්ටුවක් මෝදු වූයේ වත්, මලක් පිපුනේ හෝ ගෙඩියක් හටගත්තේවත් නැත. වස්සානය අහවරව වසන්තයේ මල් පිපෙන සමය වනවිට මුළු වනාන්තරය පුරාම ගස්වල මල් පිපී සුවඳ හමන විට ඈත ගස්වල පිපෙන අළුත් මල් රැගෙන විත් මල් නොපිපෙන ගසේ අතු රිකිලි අගිසිවල රඳවන්නට, ගස පුරා නිවෙස් සාදාගෙන සිටි කුරුල්ලෝ පුරුදුව සිටියහ. ඒ ඒ මල් පිපෙන පැතිවලින් එන විට මල් සුවඳ එකතු කරගෙන විත් ගසේ රැඳවුනු ඒ ඒ මල්වල පෙති අතර රඳවා ඒවා තව තවත් සුවඳ කරන්නට උතුරු සුළඟ පුරුදුව සිටියේය. ඉද්ද, සමන්පච්ච හා කෝපි මල් වල සුදු පාටින් සැරසී, සිඟිති බටිති පැටවුන් හීන් සද්දයෙන් කොඳුරන රහස් බඳු වූ සුවඳින් සැරසී සිටින ගස, ඊළඟ දවසක, ලොකු කහපාට සූරියකාන්ත මල් වලිනුත්, නිල් කටරොළු මල් වලිනුත් සැරසී සිටියි. ඈත නිමනවල රතු රෝස පිපෙන කාලයට, මුලු ගසම රතු මලින් සැරසී, රෝස මල්වලින් වෑහෙන කුල්මත් වූ සුවඳින් වැසී යයි.

මේ සියළු හැඩ වැඩ නිසා, බොහෝ කාලයක් යනතුරු මේ විසල් ගසට මල් හා මල් සුවඳේ ඇත්ත තේරුම වැටහී තිබුණේ නැත. වසන්තයේ මල් සමය ඇරඹෙන විටම මුළු ගසම නානා මලින් සැරසීමත්, ඒ ඒ මල්වල සුවඳ ගුලි කරගෙන විත්, ඒ ඒ මල් වල තවරා යන සුළඟ, ගස අසල නැවතී දැවටි දැවටී සිටීමත් හැම අවුරුද්දකම නොකඩවා කෙරුණේය. වසන්තය අහවරව වනාන්තරයේ සියළු ගස් මල් වරන කාලය වන විට කුරුල්ලෝ, අළුත් මලින් ගස සැරසීම නවතා, ගසේ අතු අගිසිවල රැඳවුනු මල් වියලී වැටෙන්නත්, සුළඟට ඇවිත් ඒවා ඇද විසිකර දමන්නටත් ඉඩදී බලා සිටියහ. බටිති පැටවුන් ලොකු මහත්වී ජෝඩු සෑදෙන මේ කාලයේ, සුළඟ ගසේ රිකිලි සොලවා තුඩින් තුඩ තබා කිචි බිචි ගාන බටිති පැටවුන් මතට මල් රේණු හැලීමේ සරදම ද කළේය. මේ සරදම් දන්නා වැඩි මාල්ලෝ, හිස මත වැටෙන මල් රේණුවලින් නැහැවී කලබල වන කුරුළු ජෝඩු දෙස බලා හිනැහෙන්නට ටිකක් ඉහල අතුවල වාඩිවී සුළඟ එන මග බලා සිටියෝ ය.

මෙසේ වසරින් වසර ගෙවී යද්දී, එක් අවුරුද්දක මල් සමය ලඟාවන්නා හාම, උතුරු සුළඟ දක්ෂිණ දේශයෙහි බුර බුරා නැගුනු ලැව් ගින්නක් සොයා කඩිමුඩියේ ඇදෙන්නට පටන් ගත්තේය. ඉවක් බවක් නැතිව දුවන උතුරු සුළඟේ පාවී ආ අඳුරු පැහැ වලාකුළු එක් රොක්වී කැලතී, මහා වැස්සක් බවට පෙරළුණේය.

  දෙවන කොටසට සබැඳිය මෙතන                                             

4 comments:

  1. "මල් නොපිපි ගස-1" ලස්සනයි. කවියක් වගේ පද ගැළපුමක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ලස්සනයි කතාව.. ජයවේවා...!!!

    ReplyDelete
  3. තුති. තව තියනවනෙ. හෙට අනිද්ද පහුවෙලා තමයි.

    ReplyDelete

Blogroll

About