Monday, April 3, 2017

රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා

Share it Please

බූන්දියෙන් උපුටා ගැණිනි. http://www.boondi.lk/article.php?ArtID=5111

වෙසෙස් බූන්දි
රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා
බූන්දි, බ්‍රහස්පතින්දා, මාර්තු 30, 2017 18:27:59

අසුව දශකයේ ඇමරිකාවේ ජනාධිපතිව සිටි රොනල්ඩ් රේගන්ගේ ආර්ථික උපදේශකයා වූයේ ආචාර්ය ආතර් ලෆ්ටර් නැමැත්තෙක්. සුපිරි ධනවතුන්ට ආර්ථික සහන සලසා දීම තුලින් ඉහල සිට පහලට සමාජ ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගැනීමේ ක්‍රමවේදය (Trickle-down economics) ඔහු රේගන්පාලනය හරහා ලෝකයට හඳුන්වා දුන්නා. පසුව රේගන් සහ බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් එක්ව 'රේගනොමික්ස්' නමින් එය ලෝක ආර්ථිකයේ 'බයිබලය' බවට පත්කළා.

ලෝකයම හෝල් සේල් එකේ අත්හදා බැලු මේ ආර්ථික උපාය මාර්ගය පිලිබඳව තීරණාත්මක සමාලෝචනයක් සිදු කරන මේ වකවානුවේ එංගලන්තයේ වෙසෙන ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් වන Jacques Peretti පවසන්නේ ලෝකයේ වෙසෙන සුපිරිතම ධනවතුන් 85 දෙනෙකුගේ ආදායම ලෝක ජනගහනයෙන් අඩකගේ ආදායමට වඩා වැඩි බවයි. එසේම මේ 'සුපිරි ආර්ථික සමාජය' තව වසර කිහිපයකින් ලෝකයේ සියළු රටවල ආර්ථිකයන්ගේ නොනිල ආර්ථික අයිතිකාරයන් වන බවයි. එසේම පසුගිය වසර දහය තුලදී මේ සුපිරි ආර්ථික සමාජයේ වත්කම ඩොලර් බිලියන 200 සිට 500 දක්වා වැඩිවී ඇති බව වාර්තා වෙනවා. මෙයට එදිරිව ලෝකයේ පහළ මධ්‍යම පංතිය උපයන ආදායම වසර දහයක් තිස්සේ වර්ධනය නොවී එකතැන පල්වීමේ (stagnate) අර්බුදය කරා ගමන් කොට ඇති බව පැවසෙනවා.

මේ කෙසේ වෙතත්, ලෝකයේ බොහෝ රටවල් තවමත් අත්හදා බලමින් සිටින්නේ ධනවතුන් තුලින් ආර්ථික වර්ධනය අත්පත් කරගැනීමේ Trickle-down ආර්ථික උපාය මාර්ගයයි.

මහා ආර්ථික ඔළුවක් ලෙසින් තමන් විසින්ම හඳුන්වා ගන්නා රනිල් වික්‍රමසිංහමහත්තයා මේ දවස්වල හීනෙන් පවා දකින්නේ මේ සුපිරි ආර්ථික සමාජයේ මිනිසුන්, රොද බැඳගෙන, ඩොලර් මලු පුරෝ ගෙන, කටුනායකින් හෝමත්තලින් හෝ රටට ගොඩබැහැලා හතු පිපෙනවා වගේ රට වටේ ෆැක්ටරි ආරම්භ කරනු ඇති බවයි. එහෙත් සුපිරි ආර්ථික සමාජයේ සාමාජිකයන් ගණනාවක් සමග සාකච්ඡා කොට ඇති Jacques Peretti පවසන්නේ මේ සුපිරි ආර්ථික සමාජයේ මිනිසුන් අපි හිතන්නට කැමති නොහොත් රනිල් හීනෙන් දකින්නට කැමති පන්නයේ සත්ත්ව විශේෂයක් නොවන බවයි.

පසුගිය කාලයේ ලංකාවට පැමිණි සුපිරි ආර්ථික සමාජයේ එක පුරුකක් වනජෝර්ජ් සොරෝස්ව වඩාගෙන, ඉඹගෙන පිළිගත් අපි ඔහුගෙන් නමස්කාර පුර්වකව ඉල්ලා සිටියේ අපේ රටේ ආර්ථිකය 'හරිගස්සා' දෙන ලෙසටයි. මේ හරිගැස්සිම යනු Trickle-down ආර්ථික බූවල්ලා ගේ ආදරණීය තුරුලට අපව රැගෙන අපට නොදැනෙන ලෙස අපේ ලේ උරා බීමයි.


ජෝර්ජ් සොරෝස්

ජෝන් කොර්න්වොල් කියන්නේ බ්‍රිතාන්‍යයේ සිටින ජාත්‍යන්තර ව්‍යාපාරිකයෙක්. මොබයිල් දුරකථන සමාගම් හිමිකරුවෙක්. රටේ වැඩිපුරම ආදායම් බදු ගෙවන්නා ලෙස ඔහු කලක් ප්‍රසිද්ධ වෙලා හිටියා. රටේ රැකියා උත්පාදනයට වැඩිපුරම දායක වූ ව්‍යාපාරිකයා ලෙස වරක් ඔහුට මහා රැජිනගෙන් පවා සම්මාන ලැබෙනවා. මේ සම්මානයේ උණුසුම යන්නටත් මත්තෙන් ඔහු තම සන්නිවේදන ව්‍යාපාරය ප්‍රතිවාදී තරඟකාර සමාගමට විකුණා දමනවා. මේ ගැන මාධ්‍යවේදීන් විමසන විට ඔහු කියා සිටියේ තමා මුදල් රැස්කරන්නෙක් මිසක් සම්මාන රැස් කරන්නෙක් නොවන බවයි. තවදුරටත් ඔහු කියා සිටියේ දැන් ඔහු කරන ආයෝජන පිලිබඳව තමන් හරියටම නොදන්නා බවත් එය තමන්ගේ වගකීමක් නොව තම ප්‍රධාන විධායක නිලධාරීන්ගේ වගකීමක් බවත්.

ජෝන් කොර්න්වොල් විතරක් නෙමේ ලෝකයේ සිටින බොහෝ 'සුපිරි ආර්ථික සමාජයේ' මිනිසුන් තමන්ගේ මුදල් ආයෝජනය කරන්නේ ලෝකයේ'සුපිරි නිදහස් ආයෝජන කලාප' (tax haven) ලෙස ප්‍රසිද්ධ බර්මූඩා දිවයින, වර්ජින් දිවයින, කෙයිමන් දිවයින වැනි ස්ථාන වලයි. ලෝකයේ ආණ්ඩු විසින් ආයෝජකයින්ට ලබාදෙන සුපිරි සහන Trickle-down ආර්ථික ක්‍රියාවලියට ලක් නොවී නොහොත් සමාජයේ පහළ ධාරාවන්ට ගලා නොගොස් Tax Haven හරහා අවසානයේ සුපිරි ආර්ථික සමාජයේ අතළොස්සකගේ සාක්කු පිරවෙන අවලස්සන ආර්ථික සංස්කෘතික බූවල්ලෙක් ලෝක ආර්ථිකය වෙලාගෙන ඇත.

ලංකාවේ දශක කිහිපයක් තිස්සේම පාවිච්චි කරන ආර්ථික උපාය මාර්ගය තමයි පුළුවන් තරම් ආයෝජකයින්ට සහන දී ඔවුන්ව රට ඇතුළට දක්කන් ඒම. මේ උපායමාර්ග ඔස්සේ බොහෝ දෙවල් කර ඇති සහ කරමින් ඉන්න අපේ ආර්ථික ඔස්තාර්ලා කිසි දිනක මේ උපායමාර්ගයේ නිවැරදි තක්සේරුවක් නොකර හුදී ජනයා සමග එකතුවී රටේ රජවරුන්, යුවරජුන් පමණක් නොවේ රජවරුන් වීමට බලාගෙන ඉන්න අය පවා එකතු පැහැදු වී දකින එකම සිහිනය තමයි විදේශ ආයෝජන සිහිනය. එහෙත් සිහින දකින තරම් වේගයෙන් ආයෝජන එන්නේ නැත! එසේ නොඑන්නේ අහවලාගේ හෝ අහවල් කණ්ඩායමේ නැතිනම් අහවල් ක්‍රියාවේ හුටපටයක් නිසා යැයි අපේ ආර්ථික ඔස්තාර්ලා අපිටම කියමින් සිටිති. එහෙත් වර්තමානයේ ලෝක ආර්ථික හැසිරවීම අනුව ලංකාව නම් දුපතට සුපිරි ආර්ථික සමාජයේ ඇල්ම බැල්ම වැටෙන්නටනම් ලෝකයේ බදු සහන ක්ෂේම භුමි වන බර්මූඩා දිවයින, වර්ජින් දිවයින, කෙයිමන් දිවයින වැනි රටවල් සමග තරඟයක් දිය යුතුව ඇත.

ලෝක ප්‍රකට ආර්ථික විශ්ලේෂකයෙකු වන ප්‍රංශ ජාතික තෝමස් ප්‍රිකටි මෙම Trickle-down ආර්ථික ක්‍රියාවලිය ගැන අදහස් දක්වමින් කියා සිටින්නේ සුපිරි ආර්ථික සමාජයේ මැදිහත්වීම නිසා Tax Haven රටවල් වල සමාජ සංස්කෘතික ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම බිඳ වැටී ඇති අතර ඒවා තවදුරටත් රටවල් ලෙස ක්‍රියාත්මක වනවා වෙනුවට සුපිරි ආර්ථික සමාජයේ ෆැක්ටරි බවට පත්ව ඇති බවයි. එසේම ඔහුට අනුව ඉදිරි පස්වසර ඇතුලත මේ තත්වය සියයට විස්සකින් පමණ වැඩිවිය හැකි අතර ලෝක ආර්ථික බල රටාවේ පරිවාරයේ තිබෙන බොහෝ රටවල් සුපිරි ආර්ථික සමාජය මගින් නටවන ෆැක්ටරි බවට පත්වීමට නියමිතය.


රේගන් සහ මාග්‍රට් තැචර්

ඔක්ස්ෆෝර්ඩ් සරසවියේ ආර්ථික විද්‍යා මහාචාර්ය වරයෙකු වන ආචාර්ය Ha Joon Chang මහතා ප්‍රකාශ කරන්නේ මේ ආර්ථික උපාය මාර්ග වලින් පරිවාරයේ රටවල් වලට වියහැකි උපරිම සහනය වන්නේ එකී රටවල් වලට තම ආර්ථික සංවර්ධන දර්ශක හොදින් පවත්වාගෙන යා හැකි වීම පමණක් බවයි. කිසියම් රටක් හෝ කලාපයක් තුල මෙවැනි ආයෝජන වලින් උපදින ලාභය අවක්ෂේප වෙනවා වෙනුවට සිදුවන්නේ Trickle-down ආර්ථික ක්‍රියාවලිය ප්‍රතිවිරුද්ධ දිශාවට හැරවී ආයෝජකයන් තුල ලාභය අවක්ෂේප වෙන බව ඔහු පවසයි.

එංගලන්තයේ, ඔක්ස්ෆර්ඩ් ප්‍රදේශය ආශ්‍රයෙන් ඔහු කළ පරීක්ෂණයක් තුළින් මේ සඳහා ඔහු උදාහරණ සපයයි. ඔක්ස්ෆර්ඩ් ප්‍රදේශයේ ජනගහනයෙන් සියයට අනුවක් පමණ පිරිසක් කුලී නිවැසියන් වෙයි. රටේ අවම වැටුප් ලබන කුලකය නියෝජනය කරන ප්‍රතිශතය මේ ප්‍රදේශයේ ඉතා ඉහළයි. ප්‍රදේශයේ ප්‍රධාන නගරය ලාභ සහ අඩු පිරිවැය වෙළඳසැල් වලින් පිරි ඇත. එහෙත් රටේ ආර්ථික දර්ශකවල පෙන්නුම් කරන්නේ ඔක්ස්ෆෝර්ඩ් යනු ශක්ත්මත් ආර්ථික වර්ධන කලාපයක් ලෙසිනි. එයට හේතුව නම් ලාභ ශ්‍රමය ඉලක්ක කරගෙන පිහිටවූ ප්‍රසිද්ධ ව්‍යාපාරවල ලියාපදිංචි ලිපිනයන් එම ප්‍රදේශයේ පිහිටීමයි.

මරාගේ පාලන සමය තුල ලංකාවේ සිදුවූ ආර්ථික වර්ධන වේගය පිලිබඳව බොහෝ දෙනා සුපර් සොනික් කථා කියති. එහෙත් රටක ආර්ථික දර්ශක සහ මහපොළවේ හුස්ම ගන්නා ආර්ථිකය අතර වෙනස තේරුම් ගන්නට අවශ්‍යනම් රටේ කොටස් වෙළෙඳපොල වෙතින් බැහැරවී රට මැද මිනිසුන් අතර ආර්ථිකය චලනය වෙන හැටි අවධානයට කල යුතුය. එවිට නිලංකාර ආර්ථික ධාරාවෙන් ගිලිහී බඩගින්නේ මැරෙන මිනිසුන් හමු වෙනු ඇත.

යටිතල පහසුකම් සංවර්ධනය හෝ ආයෝජන ඉඩප්‍රස්ථා යන අලංකාර ආර්ථිකමය 'සිහින වචන' වල අර්ථයන් වලට කෝචෝක් දමමින් 'සුපිරි ආර්ථික සමාජයේ' මිනිසුන් කිහිප දෙනෙකු අතට ලෝක ප්‍රාග්ධනය සමුච්චගත වීම පිළිබඳ සියුම් කතිකාවක් මෑත කාලයේ ආර්ථික ලෝකයේ සිදුවෙමින් පවතී. එහෙත් මේ අර්බුදයේ මැද සිටින ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තවමත් Trickle-down ආර්ථික ආශ්වාදයේ ගිලි තළු මරමින් සිටියි.


'සුපිරි නිදහස් ආයෝජන කලාප' (tax haven)- කාටූනයක් 

[මුලාශ්‍ර- Jacques Perettiගේ The Super-Rich and Us වාර්තා චිත්‍රපටයෙන්.]




4 comments:

  1. ඔස්ට්රේලියාවේ ෆෙඩරල් රජයත් ඔය ටිකල් ඩවුන් එක සඳහා වසර දහයක බිලියන විස්සක බදු සහනයක් සමාගම්වලට ලබා දුන්නා. එයින් බිලියන පහක් ම යන්නේ රටේ ඇති ලොකුම බැංකු හතරට ලු!

    ReplyDelete
    Replies
    1. සල්ලි තියෙන්ඩ ඕනා බැංකුවල නේ ද?

      Delete
  2. බදු නිදහස් රටවල ලාභය ඉතුරු නොවෙනවා වෙන්න පුළුවන්. ඒත් ඒ ආයෝජකයෝ දේශීයව කරන වියදම ඒ රටතුළ ඉන්න මිනිස්සුන්ට ප්‍රතිලාභ ගෙන එනවා නේද? හිතමු, ගමක දාන කම්හලකට බදු සහන දෙනවා කියලා. ලාභය අරන් යනවා කියමු. ඒත් අඩුම ගානේ ගමේ ත්‍රීවීල් එකක් දාගන්න, බත් පැකට් එකක් විකුණ ගන්න, බෝඩිමක් හදන්න හැකි වෙනවා නේද? ඒකෙන් ඒ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් කාන්දු වෙච්ච දෙයක් තමයි ඉතුරු වෙන්නේ.... මෙතනදි කම්හල බලන්නේ හැබැයි කාන්දු අවම කරගන්න නේ ද?

      Delete

Blogroll

About