දෙදාස් හත දෙදාස් අට කාලයේ වසරක් පුරාම රස්සාව හින් දා ඈතට ගිහින් ගෙදර ආයෙත් මා ලඟට එනතුරු ඉන්නට සිදුවී තිබුණි. ඈත නම් ඔන්ටේරියෝවේ පෝට් හෝප් නගරය ය. ගෙදර නම් ඇල්බර්ටාවේ එඩ්මන්ටන් නගරය ය. මේ දෙක අතර දුර පැයකුත් හමාරක වාහන ගමනකුත් පැය හතරකට කිට්ටු ගුවන් ගමනකුත් ආයෙත් පැය බාගයක විතර වාහන ගමනකුත් විය.
මාළුවා ගොඩට ඇද දැම්මාම උඩ පැන පැන නටයි. ඒත් ටික වෙලාවකටය. ඉන් පස්සේ හුස්ම අදින්නට වතුරම හොයයි.
ටවුමේ කාමරයක නැවතී උදේ ඉරත් එක්ක, ඔන්ටාරියෝ විල අසබඩ වැඩපලට යන පා ගමනේ සුන්දරත්වය ඒකාකාරි නොවුනේ සිසිරයේ හීතල මැකී ගස් රිකිලි අගින් ලා දළු මෝදු වන්නට පටන් ගත් නිසාය. ඒත් එක්කම කොහෙන් දෝ මතුවූ කුරුළු පැටව්, යන හැම තැනම ගස් අතු අස්සේ සිංදු කියන්නට පටන් ගත්හ. වැඩට යන ගමන නවතා මේ පුංචි උන් එක්ක හැංගි මුත්තං කරන්නට තරම් තනිකමක් හිතේ මතුවී තිබුණි.
මේ වචන ටික ගැට ගැහෙන්නේ එලෙසිනි.
ඇත්තෙන්ම ඒ වචන... වසන්තය ගැන කියාගෙන හැමූ සුළඟක් ගැනය
කෝපි මල් සිනා පොපියන
රෝස තොල් සඟල්
කිනිති අගිස්සෙන් හිනැහෙන
කැකුළු දළු එබෙයි
පුංචි පොඩි පැටව්
කිචි බිචි කුරුළු ගී සුරල්
නුඹම ඉල්ලමින් දඟලයි
හිත අකීකරුයි...
ඇඟිලි තුඩු අඬයි
යහනත අයාලේ සරයි
නාස් පුඩු අගින් දැවටෙන
සුවඳ නුඹේමයි
දෑස් පියවුනත් නැතුවත්
නුඹේ රුව පෙනෙයි
ආදරේ දැනෙයි...
කොහොමත් අපේ හිත් ලඟයි
වැවේ දිය බොරයි
අහසම කළුවරයි බරයි
සුළඟ හීතලයි
වැහි බිඳු පාවෙලා නටයි
ජීවිතේ දුකයි...
මට තේරෙන්නෙ දැන් තමයි
උණුහුමයි සැපයි...
අද ඔය තුරුල්ලේ නිදයි....!
ඒක ලස්සනයි. කවි සිතුවිලි මැවෙනව ලස්සන පරිසරයක , හිත ප්‍රීතියෙන් නිසා
ReplyDeleteඅගැයුමට තුති
Deleteකෙටි වචන වලින් මවන වේගවත් රිද්මය සිතේ නොසන්සුන් බව හා ආශාව හොඳින් මතුකරනවා.
ReplyDeleteඅගැයුමට තුති.
Delete
ReplyDeleteමේ වගේ තනි වෙන , හුදකලාව දැනෙන කාලයක් අපි කාගෙත් ජීවීත අහුමුලු වල තියෙනවා...හිතේ දුකට එතකොට කවි කියැවෙනවා....ලස්සන පබැදුමක් රනිසිරිලාල්
අගැයුමට තුති...!
Delete