Thursday, February 8, 2024

ජරාව නිසා ජරාවට යාම

Share it Please





අද තත්වය කොහොම කෙලෙසද කියා හරියාකාර අදහසක් නැතත්, මා දන්නා කියන කාලයේ වෙන්නප්පුව පොලිසියට පත්වීමක් ලැබීම එක්තරා අන්දමක ලොතරැයි දිනුමක් සේ සැලකුණු බව මතකය. මෙයට ප්‍රධාන හේතුවක් වූයේ වෙන්නප්පුව නයිනමඩම දන්කොටුව ආදී ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක වූ මධ්‍යසාර නිපදවීමේ සුළු කර්මාන්ත ශාලාය. හැට ගණන් වලදී සීනි හා රටඉඳි මූලික අමුද්‍රව්‍ය ලෙස යොදාගත් මේ කර්මාන්තය, හැත්තෑ ගණන්වල සීනි හිඟ වී, පැණි හකුරු හදන්නට ඕනෑම කෙනෙකුට ගෙවත්තේ පොල් ගස් ටික මැද ගන්නට බලපත්‍ර නිකුත් කල කාලය වෙද්දී, ඉතා පිරිසිදු පොල් අරක්කු නිපදවන තරමට දියුණු වී තිබුණු අතර, මා දන්නා පමණින්, ගෝඩා බැරල් එකට යූරියා ටිකකුත් එක්කර නයිට්‍රජන් ප්‍රමාණය වැඩි කිරීමෙන් වැඩි අරක්කු අස්වැන්නක් ලබා ගන්නට පුළුවන් බවත් සොයාගනු ලැබූවේ මේ කාළයේ ය.

මෙවැනි කර්මාන්ත, ඒ සා දියුණු මට්ටමින්, හැට ගණන් වල නම්, ගිං ඔය පාළම අයිනේ ලොරියෙන් බාන සීනි මුට්ටා, ඔරුවේ පටවාගෙන දූපත්වල වඩි පොලවලට ගෙනියන මට්ටමෙනුත්, හැත්තෑ ගණන් වනවිට, ටැංකි දෙකක් සවිකර මොඩිෆයි කල අධිවේගී මෝටර් රථවලින් කොළඹට ප්‍රවාහනය කරන්නාවූ මට්ටමෙනුත්, පවත්වාගෙන යාමට නම් අනිවාර්යයෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුමය. අගමැතිලා, ඇමතිලා, ජනාධිපතිලා ඔය කොයි කවුරු හිටියත්, රාජ්‍ය තන්ත්‍රයේ කරත්ත රෝදය හරියටම කැරකුණේ, ගමේ පොලිසියේ කට්ටිය අතිනි. ඒවාට හරියාකාරව තෙල් දමා සාත්තුකර සනීපෙන් තියා ගැනීම, අරක්කු මුදලාලිලා විසින් කල යුතු වූ අත්‍යවශ්‍ය කාර්යයක් වෙයි. සීයට සීයක් සනාථකර ඔප්පු කරන්නට බැරි වුනත්, අපේ පැත්තේ අරක්කු නිශ්පාදන හා ප්‍රවාහන කර්මාන්ත වලට පවා, මූල්‍ය දායකත්වය සැපයූ පොලිස් රාළහාමිලා හිටි බව රහසක්ම නොවේ. ඒ කාලේ පොලිසියට එන තරමක උසස් නිලයක් දරන කෙනෙක්, අවුරුද්දකින් හමාරකින්, ඉඩමක් අරගෙන ගෙයක් හැදීමත්, හන්දියේ හයර් කරන්නට වාහනයක් දැමීමත් වගේ දේවල් කාටවත් අමුතු දේවල් නොවීය.

මේ චක්‍රයේ, මධ්‍යලක්ෂයට චුට්ටක් උඩින් පලාතේ මන්ත්‍රීතුමාත්, එයා වටේ ඉන්නා, එයාගේ ජයග්‍රහණයට විය හියදම් දැරූ අයත් සිටීම, අනිවාර්යය. පොලිසියේ අවැඩක්, නිවැරදි කරගන්නට, පැමිණිල්ල යන්නේ එතැනට බැවින්, ගමේ නීතිය නිර්ණය වන සුප්‍රිම් උසාවිය මන්ත්‍රි තුමාගේ ගෙදරය කීමත් වැරදි නැත. මේ ලොකු ලොකු ගෙවල්වලත් ලංකාවේ අනිත් ගෙවල්වල වගේම, කුස්සියෙන් ඇතුළු වී බවලත් ඇත්තන් හා සාකච්ඡා කිරීම, නැති බැරි අයට නම් ඉතාමත් ඵලදායී මාර්ගය වෙයි.

අපේ පැත්තේ, අරක්කු පෙරීල්ල පාලනය කරන්නට, කාලයක් හලාවත සිට ක්‍රියාත්මක වූ කඩා පනින පොලිස් ස්කොඩ් එකක් ද හිටි නමුත්, එයාලාට වඩි තිප්පලවල් පෙන්නන්නට යන්නේත් බොහෝවිට වෙන්නප්පුව පොලිසියේම ජීප් එක බැවින්, හෝන් සද්දෙන් සංඥාව දී, කඩා පනින්නට පෙර කැලෑ පනින සිස්ටම් එකකුත් ක්‍රියාත්මක වූ අතර, මේ හැම දේම වෙනුවෙන්, පොලිසියට ගෙවන බද්ද මාස් පතා එකතු කිරීමට එක් එක් පැතිවලට පත්කල අයකැමි නිලධාරිනුත් සිටියෝ ය.

යන්තමට මතක එවැනි එක සිද්ධියක, ආදායම් බදු නිලධාරි වැඩේ කර තිබුණේ විශ්‍රාම ගිය පරණ රාළහාමි කෙනෙකි. එයා බයිසිකලෙන් 'රාජකාරියට' යන අතරේ නයිනමඩමේ හණතොටුපල හන්දිය කිට්ටුව හදිසි අනතුරකින් කාලක්‍රියා කල අතර, මියගිය කෙනා අඳුනා ගන්නට හොයා බැළූ සාක්කුවල තිබුණ ලියුං කියුං අතර, ජෙමයියාගේ පිටිකිරි ටින් දෙකයි, ස්ටීවන් ගේ ටින්කිරි හතරයි ආදි වශයෙන් ලියූ 'කලෙක්ෂන් ලිස්ට්' එකක් තිබීම ගැන ගමේ ගොඩේ රොයිටර් වාර්තාවල නොපමාවම සටහන් විය.

මේ කියන හැත්තෑ ගණන්වල දී, මේ කාර්යාවලියට තවත් අළුත් භාණ්ඩ කොටසක් එක්වී තිබුණේ ය. ආනයන පාලනය තදින්ම කෙරුණු මේ කාල‍‍යේ, රට බඩු වලට අමුතු ඉල්ලීමක් ඇතිවී තිබුණි. වඩාත් ප්‍රචලිත රටබඩු අතර, බ්ලැක් ඇන්ඩ් වයිට් හා ජොනී වෝකර් ද, ට්‍රාන්සිස්ටර් රේඩියෝ හා කැසට් ඩෙක් ද, බෙනාරිස් සාරි හා රට ටී ෂර්ට් ආදියද ප්‍රධාන තැනක් ගෙන තිබුණු අතර, එයිට අමතර නොයෙක් ආහාර ද්‍රව්‍ය ද ‍ඉතා සාර්ථක අන්දමින් ආනයන කිරීම සඳහා දේශීය ආනයන මාර්ග ඇතිවී තිබුණි. මුලින් මුලින් උතුරේ, විශේෂයෙන් වැල්වැටිතුරේ වෙරළ හරහා ‍ඉන්දි‍යාවෙන් පැමිණි මේවා, මාළු ලොරි හරහා, අපේ පැතිවලට පැමිණි අතර, මේ ව්‍යාපාර සිඝ්‍රයෙන් සංවර්ධනය වී, හැඳල වත්තල මීගමුව ආදී ප්‍රදේශ හරහා මෙන්ම, වෙන්නප්පුව වෙරළ තීරයටත් කෙලින්ම රට බඩු ගොඩබාන ආර්ථික සංවර්ධනයක් උදාවීම නොවැලැක්විය හැකි කාරණයක් වූයේ ය.

හැත්තෑවේ ආණ්ඩුවේ වෙන්නප්පුව ආසනය නියෝජනය කල අගුස්තීනු ෆොන්සේකා මැතිතුමා, නියෝජ්‍ය ධිවර ඇමති වූ හෙයින්, ඒ සමය වෙන්නප්පු-නයිනමඩම මුහුදු තීරයේ නව ධීවර ප්‍රබෝධයක් ඇති වූ කාලයකි.  අපි පැටව් කාලයේ රුවල බැඳලා තෙප්පමෙන් මුහුදු ගිය අපේ පැත්තේ වැල්ලේ ජනතාව, හැට ගණන් අග බාගය, හැත්තෑව වෙනවිට, තෙප්පම පස්ස කෙළවරට ජොන්සන් අවුට්බෝඩ් මෝටරය අවුණා මුහුදු යන ධීවරයින් වී සිටියෝය.

ඉතින්, මේ හැත්තෑවේ නව ධීවර ප්‍රබෝධයේ එක්තරා විදිහක සන්ධිස්ථානයක් වූයේ, රෑ පානේ මූහුදට පැදලා, උදේ දවාලේ මාළු අරන් වැල්ලට එන දෛනික ධීවරයින්ට අමතරව, අඩි පනහේ හැටේ බහුදින ධීවර යාත්‍රා කර්මාන්තයත් අපේ පැත්තට සේන්දු වීමයි. එසේ වුනත් මේ බර වාහන අපේ වැල්ලට ගෙනෙන්නට සුදුසු ගැඹුරු වරායක් නොමැති වීමෙන් වූයේ, ඒවා මීගමු වරායේ ගාල්කර, අපේ කට්ටියක් මීගමු ගිහින් මුහුදු යෑමේ අළුත් ක්‍රමයක් ඇතිවීම බව මතකය. හැත්තෑ ගණන්වල ඒ අඩුව මකන්නට, ගිං ඔය මුහුදට වැටෙන ‌නයිනාමඩමේ වෙල්ලමංකරේ අළුත් ධීවර වරායක් හදන්නට, මැතිණිය ඇවිත් මුල්ගල් තියා, දියකඩනයක් හැදුවත්, ඒ බාධකයට ඔරොප්පු වූ මහ මුහුද, එයින් උතුරු පැත්තේ වැල්ල කාගෙන ‌ගොඩ ගලන්නට උත්සාහ කිරීම හින්දා, ඒ ව්‍යාපෘතිය යම් විදිහකට ලොප් වී තිබී, දැන් අවුරුදු හතලිහකට විතර පස්සේ, වෙල්ලමංකර වරාය ඉදිවී තියෙයි.











කතාව සයිඩ්ලයින් වුනත්, නිව්ස් එක සටහන් කර තැබීම වැදගත් එකක් යැයි හිතමි. 

ඉතින්, බහුදින යාත්‍රා අපේ පැත්තටත් නෑකම් කියන්නට පටන්ගත් ඔය කාලයේ, මේ අළුත් යාන වාහන වලින් මාළුම විතරක් නොව, බෙනාරිස් සාරි, බ්ලැක් ඇන්ඩ් වයිට් විස්කි, සෝනි කැසට් ඩෙක්, ආදී සුඛෝප‌භෝගී භාණ්ඩ ද ප්‍රවාහනය කරන්නට පුළුවන් බව කාට හෝ මතක් වී තිබුණි. බහුදින ධීවර යාත්‍රාවක් කියන්නේත්, කරදිය වළල්ල පැනලා එහා පැත්තටම යන්නට පුළුවන් නැවක්ම තමාය. එහාට නොගියත්, එහෙන් එන යාත්‍රා එක්ක මූද මැද්දේ දී ඇයි හොඳයි කියන එකත් ඒකේ හැකියාවකි. පරහකට තිබුණේ වරාය තිබුණේ මීගමුවේ හින්දා, අපේ වැල්ලට බඩු ගොඩ බානවා නම්, දියඹේ බෝට්ටුව නැංගුරම් දාලා, තෙප්පම් වලින් ටික ටික ගොඩට ප්‍රවාහනය කරන්නට සිදුවී තිබීමය.

මුුහුදට බය නැති වැල්ලේ ඈයින්ට ඔව්වා ඒ හැටි අභියෝග නොවෙයි. ඉතින් මේ ප්‍රසිද්ධ රහස එහෙන් මෙහෙන් කනින් කොනින් හා, බෝතල රේඩියෝ සාරි ආදියේත් එතී හුවමාරු වෙන කාලයේ වෙන්නප්පුව පොලිසියට අළුත්ම අළුත් ඉන්ස්පැක්ටර් මහත්තයෙක් පත්වී ආයේය.

සහ සුද්දෙන් නොදන්නා නමුත්, ඒ කාලේ අද කාලේ වගේ පොලිසිවල ඕ.අයි.සී. පත්කරන්නට ඇත්තේ, පලාතේ මන්ත්‍රී, ඇමතිලා ගේ නිර්දේශ මත වෙන්නට බැරියැයි සිතෙයි. මොකද මේ අළුත් ඉස්පැට්ටර් මහත්තයා, වැඩිපුර ගැවසුනේ, කලින් යූ ඇන්ඩ් පී ආණ්ඩුවේ වෙළඳ හා වාණිජ ආමත්‍යවරයාව සිට හැත්තෑවේ පැරදිලා ගෙදර ඇවිල්ලා හිටි නයිනාමඩමේ හියු මහත්තයලාගේ ගෙවල් පැත්තේ වීමය. ඒකට එක හේතුවක් වූයේ යම් විදිහක නෑදෑකමක්ය කියාත් කියවෙනවා මතකය. ‌වෙන්නප්පුවේ ප්‍රාදේශීය පොලිස් ලොක්කා, මෙවැනි දේශපාලනික සම්බන්ධකම් පැවැත්වීම, එවකට ආණ්ඩු පක්ෂයේ දේශීය නියෝජිත පිරිසට ඒ හැටිම දිරවූ කාරණයක් නොවුනත්, විශේෂිත විරුද්ධතාවයක් පෙනෙන්නට නොතිබුණායි මගේ මතකයයි.

මෙසේ ටික දවසක් ගතවෙද්දී, අලුත් ඉන්ස්පැක්ටර් මහත්තයා, හෙමින් හෙමින් එයාගේ යුක්තිය මෙහෙයුම ආරම්භ කරන්නට පටන් ගත්තේය. හිතාගන්නට පුළුවන් විදිහට, හැලි අරක්කු ‌නිශ්පාදනාගාර එක දෙකක් සුද්ධ කිරීමෙන් මේ වැඩ පටන් ගත්තේ මුත්, එයිට වඩා නවීන විදිහට සිද්ධ වෙන, විදෙස් නිෂ්පාදන ආනයනය කිරීමේ ව්‍යාපාරය කෙරෙහි එයාගේ අවධානය යොමුවන්නට වැඩිකල් ගියේ නැත.

මේ අවධානයේ උච්චස්ථානය වූයේ එක්තරා පාන්දර යාමයක, දියඹේ නැංගුරම්ලාපු බහුදින යාත්‍රාවකින් බහාලුම් ගොඩබිමට ‌රැගෙන එමින් සිටි බෝට්ටුවකට පොලිස් පන්දමක එළිය වැටීමය. පහුවදා එළිවෙන්නට කලින් මේ වැටලීමේ වගතුග සියල්ල පලාතේ හැමෙකාම හොරෙන් හොරෙන් මෙන්ම, ප්‍රසිද්ධියේ ද කියන කරන ප්‍රවෘත්තිය වූයේය. අලුත් ඉන්ස්පැට්ටර් මහත්තයා, මේ වැඩෙන් පස්සේ එක්තරා විදිහක වැඩ කාරයෙක් වූවා මෙන්ම, බලයලත් පාර් ශවයක බල නහරයක් මිරිකාපු කෙනෙක්ද වූයේය. 

එසේ වුනත්, එතුමාට තකහනියේ ස්ථාන මාරුවක් ආවේ නැත. විනය පරීක්ෂණයක් ආවේ නැත. රිටන් එක ලැබුණේ ඒ කාලේ බොහෝ තැන්වල ක්‍රියාත්මක වූ ක්ලැසික් පිළිවෙලට ය.

එක්තරා සවස් වරුවක, ඉන්ස්පැට්ටර් මහත්තයාගේ නිවසම ඇවිත්, බෝතලයක් දෙපැත්තේ වාඩිවී ගණුදෙනුවක් කතාකල බෝට්ටු මුදලාලි කෙනෙක්, බෑග් එකෙන් අරන් ගාස්තුව හුවමාරු කරනවාත් සමගම, එතැනට, පිස්තෝලය කරකවාගෙන ඉයන් වික්‍රමනායකම කඩා පැන්නේ ය. එයා හැත්තෑවේ ආණ්ඩුවේ ‌අල්ලස් කොමසාරිස් ය. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ කොන්තරත් කාරයාය. අවසානයේ විතැන් වී, ගාමිණී ෆොන්සේකාගේ සාගරයක් මැද බයිස්කෝප් එකේ, තම චරිතය තමුන්ම රඟපෑවා වුව ද, එතුමා ඇල්ලූ බොහෝ අල්ලස් අපරාධ, සාගරය මැද මොළදණ්ඩ ඇල්ලුවා මෙන්ම, ආණ්ඩුවේ කොන්තරත්ම විය.

මම දන්නා තරමින් අර ඉන්ස්පැට්ටර් මහත්තයා නම්, අහිංසකයෙක්ම නොවේ. සීන් එක එක පෙළගස්සා බැළුවාම, අර වැල්ලේ බෝට්ටු සංහාරය, 'යුක්තිය' මෙහෙයුමක්ම නොව තමුන්ගේ සාක්කුවේ ඉඩකඩ නොපිරුණු හින්දාම කෙරුවාය හිතෙන්නටත් සාධක තිබේ. මම දන්නා තරමින් රස්සාවෙන් දොට්ට වැටුනු ඒ මහත්තයාට, හැත්තෑ හතේ ජේ. ආර්. ආණ්ඩුවෙන්වත් ආයේ යූනිෆෝම් අඳින්නට අවස්ථාවක් ලැබුණේ නැත.


8 comments:

  1. පෙස්ටස් පෙරේරාත් ධිවර ඇමති වෙලා හිටිය නේද කාලයක්...

    ReplyDelete
  2. වෙන කවුරුත් නොඑවා ඉයන් මැතිතුමාම ආවේ පැමිණිළිකාර පාර්ශවයට වැඩේ බරසාර විදියටම කරන්න හයිය තිබුන නිසා වෙන්නැති.

    ReplyDelete
  3. බොහොම ලස්සනටම ඉතිහාස කථාව ලියලා තියෙනවා. දැන් කාලේ අරක්කු කසිප්පු වෙනුවට කුඩු ආදේශ වෙලා තියෙනවා. ඉතිරි සෙල්ලම් ටික නම් ඒ විදිහටම වෙනවනේ...ඊටත් වඩා තාක්ශණය යොදා ගෙ

    ReplyDelete
    Replies
    1. ඒකනේ, දැන් නයිනමඩමේ වරායකුත් තියන හින්දා මං හිතුවේ, දේශීය පානය එක්ස්පෝටුත් වෙනවාද දන්නෑ නේ කියලා. හේම කලොත් විදේශ විනිමයත් එනවා නේ.

      Delete
  4. මරු කතාව. වෙන්නප්පුවේ වාරයක් තියනව කියලත් දැන ගත්ත. බලන් යන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. වරාය තියෙන්නේ නම් නයිනාමඩමේ. වෙන්නප්පුවට හැතැප්ම දෙකක් විතර කොළඹ පැත්තේ.

      Delete

Blogroll

About