Wednesday, February 14, 2024

තොරණෙ විස්තරේ....!

Share it Please

ෆ්ලෑෂර කියන්නේ, හයේ හතේ උගන්නා කාලයේ අපේත් හිත් පිස්සු වට්ටාපු දේවල් ය. වෙසක් තොරණක විදුලි බුබුළු රටාවල් ප්ලෑෂර බඳක තඹ පිත්තල තහඩු කෑලි රටාවට යාවෙන සැලසුම කොහොමටත් විශ්මයානුකූලය. 

මේ ගැන යාන්තමට සඳහන් සටහනක් පෙර ලියූ සටහනක තිබෙයි.

"අප දෙන්නා එකතු වී, නත්තලට ගවලෙන හැදුවේත් ඒ බිත්ති කණ්ඩිය උඩ ජනෙල් උළු ‍වස්සේය. ඒ කාලේ 'විම්' සබන් කුඩු අසුරා ආ, සිලින්ඩර පෙට්ටියේ මතුපිට ඊයම් කොලයේ හැඩ කපා, මෝටරයකට යා කර කැරකවෙන්නට සලසා හැදූ ෆ්ලෑෂරයට වයර් අවුණා, වල්ග තරුවේ විදුලි බුබුළු රවුමට දිගට නිවි නිවී දැල්වෙන්නට හැදුවේත්, රඹසෙවනෙන් කළු කොල ගෙනැවිත්, ඇත්තම ඇත්ත තණ පිඩෙලි ඇල්ලූ නිම්නයකට ඉහලින් ගල්ලෙනක් අඹවා, ගවහලක් මැවුවේත් එතනය." - අයියා සමග රැයක්

විම් ‌ඇසුරුමේ ඊයම් කොලය කපා ප්ලෑෂර හදන කලාව අපට ඉගැන්නුවේ බැසිල් බාප්පාය.

අද මේ මතක විස්තර හිතේ පාවෙන්නට ගත්තේ, යූබටයේ අනුරාධ දේවප්‍රිය පලකල රූප කතාවක් නිසාය.

තොරන් තාක්ෂණය වෙනස්වෙමින් යන වේගය සලකා බලන විට, වැඩි කලක් නොගොස් තොටලඟ තොරණත්, කැළණිගං ඉවුරු දෙක යාවෙන අවකාශයේ ලේසර රූප සටහන් පෙලක් වෙන්නට බැරි නැත. 

එමෙන්ම කවුරුද කොතැනක ‌කොහොම හිටි අයද අපට හාංකවිසියක සඳහනක් නැති, සීගිරි චිත්‍ර ශිල්පීන්, අවුකන ගල් වඩුවන් මෙන්ම වියැකෙන්නට පුළුවන් මේ තොරන් උර දරන පුවක් කොටන් ගැන මෙන්ම ඒ තාක්ෂණය හා කලාව ගැන යම් පමණක ක්‍රමානුකූල ශාස්ත්‍රිය මට්ටමේ හැදෑරීම් කෙරෙන්නට කාලයය කියා සිතමි. ඒ ගැන සිතද්දී, සාහිත්‍යයත්, චිත්‍ර කලාවත්, වාස්තු හා ඉංජිනේරු විද්‍යාවනුත්, විදුලි කාර්මික ශිල්පයත් ආදි වශයෙන් අමුතුම සංකලනයක් ඇති මේ කලාව පිළිබඳව යම් ආකාරයක පාඨමාලාවක්, ‌අපේ සෞන්දර්යය විශ්ව විද්‍යාල තුල ඇරඹෙන්නට උවමනා නේදැයි කියාත් සිතුණි.

එයිටත් කලින්, සරත් ගාල්ලගේ මයා යම් පමණකින් සංරක්ෂණය කර ඇති හා මේ කලාවට සම්බන්ධ අනෙක් අයගේ ගෙවල් වැඩ පලවල් වලත් ඇති ප්ලෑෂර් කොට වැනි පරණ තොරන් අවයව, යම් පමණකින් එකතු කර, කෞතුකාගාරයක් හැටියට සංවිධානය කිරීමත් කරන්නට හොඳ වැඩක්ය කියා හිතෙයි.

මේ පුංචි සටහන ලියන්නට පටන්ගත් වෙලේ සිට කනේ කුණු කුණු ගා ඇහෙන ආරියවංශ රණවීර කිවිඳුන් ගේ මේ වචන පෙල අවුණන්නේ නැතුව ඉන්නේ කොහොම ද?

තොරන් හා පුවක් කොටන්

රටා වැටී නැගේ නැගේය රැස් කදම්බයන් 
නිසා අහස් කුසේ ඇඳේය රම්‍ය වර්ණයන් 
වටා හැපී බලන්න ආ දහස් සහස් දනන් 
ඉතා තදින් බැඳන් නුවන් දිලෙයි දිලෙයි තොරන් 

කැලුම් විදා තොරන් දිනා ගනිත්දි සිත් සතන් 
ඔවුන් පෙමින් උරේ දරා රකිත් පුවක් කොටන් 
රැඳී ඇතත් දරා තොරන් ලැගී පිටු පසින් 
නෙතක් නොලයි ඔවුන් දිහා එකෙක් දනන් කෙරෙන් 

මිදී වසීව ගිය දණන් කෙරෙන් තොරන් නිසා 
ගොසින් වරක් බලන්න රැස් වලල්ල පිටු පසින් 
කොරොස් සමින් වැසී ඇතත් වතත් ගතත් ඔවුන් 
ළතෙත් බසක් කියන්න උන්ට උන් නිසයි  තොරන් 

- ආරියවංශ රණවීර






4 comments:

  1. තොරණ බලන ගමන් ඇහෙන හිටිවන කවි තමයි කවි....

    ReplyDelete
    Replies
    1. ඒකත් එක විදිහක සුවිශේෂී කලාවක් තමයි නේ හ්? කොහේ හරි අන්තර් ජාල අඩවියක ඔය විදිහෙ හිටිවන කවි එකතුවක් තිබුණා මතකයි.
      දැන් නම් රැප් කරන්නත් පුළුවන්....

      Delete

Blogroll

About