Tuesday, January 2, 2024

වංකගිරියේ වැල් පාලම බැන්ද ජෝජි අබශ්විල්ලි....

Share it Please






මේ වචන ටික අවුණන්නේ, වෙන කිසිවක් නිසා නොව, කාරිගෙ චැනල් එකේ එකතු වී තියෙන වීඩියෝ කතා ටික කවුරු කවුරුත්, විශේෂයෙන්ම මේ කාලයේ ඡන්ද ලැයිස්තුවක නම තියන කවුරු කවුරුත් අසා නරඹා තියෙන්නට ඕනෑය කියා හිතෙන නිසාය. ඉන් එක වීඩියෝවක දිගුවක් පහත අවුණා තිබෙයි.

1948 ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ‌ස්වයං පාලන උරුමය ඇති ඩොමීනියන් ‌තත්වය ලබාගැනීමෙන් පසු, 1952, 1956, 1960 (මාර්තු), 1960 (ජුලි), ආදී මහ මැතිවරණ වලින් පසුව 1965 පත්වූ ඩඩ්ලිගේ හත්හවුල් ආණ්ඩුව, 1970 දක්වා නොවැටී සිට, ප්‍රථම පංච වර්ෂ පූර්ණ ආණ්ඩුව ලෙස අභිෂේක ලබන්නේ ය.

නවසිය හැත්තෑව, සිය සැමියා නොමරා මැරූ ඇන්. ඇම්. ලා, කොල්වින් ලා හා පීටර් කේනමන්ලා සමග එකතුව තුන්හවුල් සංධානයකින් ඡන්දයට ආ, මැතිණිය ගේ නිල් රතු රතු ආණ්ඩුවේ වසරයි. ඩඩ්ලි ආණ්ඩුවේ මුදල් ඇමති වූ, යැංකි ඩිකී නොහොත්, ජුනියස් රිචඩ් ජයවර්ධන කල කූපන් පොතට දුන් හාල් සේරු දෙකින් එකක් කපා, අනිත් එක නොමිලේම දීම, නිදහසේ පියාගේ පුතාට බත් දුන් පියා වෙන්නට ඉඩ කඩ සැලසුවත්,  හැත්තෑවේ මැතිණිගේ තුන් හවුලේ ජයග්‍රහණයට ප්‍රධාන හේතු ප්‍රත්‍යයක් ද වූයේය.

හැත්තෑ හත වෙනවිට 'හාල් නැතුව බත් කඤ්ඤං' වූ, 'අපේ මැතිණි ලඟ එනවා, හාල් සේරු දෙක දෙනවා' වූ සටන් පාඨය හැත්තෑවේ ඡන්දයේ පෙරමුණට ආයේ එහෙයිනි. සේනානායක, ජයවර්ධන සටන් ඉතිහාසය, පනස් හයේ ආර්. ජී., ජේ. ආර්. කැළණි ඡන්ද සටනේදීත් කරළියට ඇවිත් තිබුණු මුත්, ඒක එක්සත් ජාතික පක්ෂ නායකත්ව සටනකට පෙරළෙන්නේ, හැත්තෑවේ ආසන දාහතේ පරාජයට පසුවය. ශ්‍රීලනිප සමග එහෙම නෝන්ඩි වීම, පනස් හයේ අටට බැස්ස එක්සත් ජාතික පක්ෂයට අලුත්ම දෙයක් නොවුණත්, පිය උරුමයෙන් ඔටුන්න හිමි වූ, ඩඩ්ලිගේ පුටුවට ඉව අල්ලමින් සිටි ‌‌ජේ. ආර්. ප්‍රමුඛ කණ්ඩායමට එය පක්ෂය තුල අළුත් කැරැල්ලක් ගැසීමේ අවස්ථාවක් වූයේය.

උන්ගේ නෑදෑයින්ගේ පක්ෂය වූ යූ.ඇන්.පී ය, ‌බෝතලේ වලව්වෙන් එළියට ඇවිත්, සේනානායකලා හලා ජයවර්ධනලාගේ හිස මත පැළඳෙන්නේ ඇත්තටම 1973 දී ඩඩ්ලි සේනානායක ගේ අභාවයත් සමගය. ඒ වන විට පක්ෂ නායකත්වය සඳහා ‌කෙහෙවලු පටලවා ගන්නට තරම් විරසකව සිටිය ද, ජේ.ආර්., ඩී. එස් ගේ අභාවයෙන් පසු තම මිත්‍රයා වූ ඩඩ්ලිට රටේ අගමැතිකම හිමිකර දීමට කටයුතු කල ප්‍රධාන පුද්ගලයෙක් වූයේය.

හැත්තෑවේ බලයට පත්වී, හැත්තෑ එකේ, කැරැල්ල පසුකර, හැත්තෑ දෙකේ දී, එවකට සිලෝන් වූ මේ කඳුළු බිංදුව, සිරි ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවා දී ජන රජයැයි නම්කර, බ්‍රිතාන්‍ය කිරීටයෙන් දික්කසාද කරවූ සිරිලංකා, සමසමාජ, කොමියුනිස්ට් තුන් හවුලට, හැත්තෑ පහ කිට්ටු වෙද්දී, ආණ්ඩුවේ ධූර කාලය ගණන් කර ගැනීමේ විචිකිච්ඡාවක් ඇතිවූ අතර, හැත්තෑ දෙකේ සිට පහක් ගැන, හැත්තෑ හතේ දී මහ මැතිවරණය තියන්නට බලය ඇත්තන් තීරණය කල අතර, හැත්තෑ පහ වන විට ලසසපය, තුන් හවුල් බුලත් හපයෙන් ගැලවී වැටුණත්, හැත්තෑ හයේ දී, කොළඹ පාරවල් සෝදා සුවඳ පැන් ඉස, තිඹිරිගස්යාය‌ේ සමිට් ෆ්ලැට් හදලා, අහල පහල රට රටවල නොබැඳි නායක කාරකාරාදීන් වැඩමවා පැවැත්වූ නොබැඳි සමුළුව පවත්වන්නටත් සිරිමාවෝ රජයට ආයුෂ තිබිණ. 

ඒ සමුළුවට ආපු අය ගෙන් කඩවසම්ම පිරිමියා වූයේ ලිබියාවේ ගඩාපි ය. මතක හිටිය තව එක්කෙනෙක් වූයේ ඔළුවේ බාල්දියක් නවලා රෙද්දකින් වහලා වගේ තොප්පියක් දාලා, නත්තල් සීයා රැවුළක් එක්ක හිටි සයිප්‍රසයේ පළමු ජනපති, අගරදගුරු මකාරියෝස් ය....!

මේ සියළු සංදර්ශන වලට පස්සේ, ආපු, හැත්තෑ හතේ ඡන්දය, අමුතු ඇටේ, සුළුතර, මහතර හා අතරමැදිතර ෆුට්බෝඩ් ධනපති අයියලා, අක්කලා, අංකල්ලා, ඇන්ටිලා ආදී සියළු හැත්ත බුරුත්තම තම දිව්‍යමය ගැලවුම් කරුවා වූ ජෝර්ජි අබශ්විල්ලි වටා එක් රොක් වූ ඡන්දයක් වූයේය...

ඒ ඡන්දයේ මා දුටු එක්සත් ජාතික පක්ෂ වේදිකාවල, පුටු මේස තිබුණේ නැත. ජේ. ආර්. ආවද වාඩි වූයේ බිම එළා තිබූ පැදුරු මතය. ඉස්සරහ කණු දෙකක, ආහාර මිල ලැයිස්තුවක් ප්රදර්ශනය කර තිබුණේය. එක පැත්තක, එදා මිලය.. අනිත් පැත්තේ, ඡන්දයෙන් පස්සේ අළුත් ආණ්ඩුව යටතේ මිලය. ඒ ඡන්දයට සමගාමිව නිකුත් කර තිබුණු එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්ව අයදුම් පතේ නම ගම ලිපිනය ආදී විස්තර වලට අමතරව, මැතිවරණ ජයග්‍රහණයෙන් පසු තමුන් බලාපොරොත්තු වන රැකියාව ලියන්නට ද ඉඩකඩ සලසා තිබුණේය. මේ දහං ගැට සියල්ලම ගසා, ‌බලය ඇල්ලූ අබශ්විල්ලි, පත්තිරිප්පුවට නැග "මාගේ ජනතාවෙනියි.... " රටේ වැසියන් අමතා, විධායක ජනපති කිරුළ පැළැන්දේ ය.

එසමයෙහි ඇරඹුණු තවත් නවීන උපක්‍රමයක් වූයේ, පොලිසිය, හමුදාව වෙනුවට, 'ජනතාව', උද්ඝෝෂකයින්ට, අරගල කරුවන්ට, ප්‍රතිවිරුද්ධ දේශපාලකයින්ට මෙන්ම, අධිකරණය හා විනිසුරුවන්ට ද, සිය විරෝධය දැක්වීමය. මේ 'ජනතාව' ආවේ ගියේ රජයේ වාහන වලිනි. කෑවේ බිව්වේ, අර සර්, මේ සර්, ගේ එකවුන්ට් වලිනි. 

අපේ රට වංක ගිරියෙන් එතර කරමියි කියා එක්කෙනෙක් ගෲෂාට ඇඳගෙන ආවත් අද   ජංගියත් නැතුව වැල් පාලමේ අතරමං වී සිටින මයිකල් කුමාරයාට, මේ රටට වැදුණු හෙණය වන්න‌ේ හැත්තෑ හතේ දී ජෝජි අබශ්විල්ලි පප්පා ඇරඹු මේ අසංස්කෘතික විප්ලවය, ධර්ම චක්කරයක මුවාවෙන් මේ රටට ගැසූ  මේ පාරා වලල්ලම බව සිහිපත් කරගන්නටත්, උත්තරය තියෙන්නේ ඒ චක්කරේම  කට පාඩම් කරවීමේ නොවන බව තේරුම් ගන්නටත්, මේ ලැබූ අවුරුද්දේදී වත් වාසනාව ලැබේවා.










 

5 comments:

  1. වීඩීයෝ එකත් බැලුවා....රාජ්‍ය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම කියන්නෙ බලං ගියාව හොර ගුහාවක්නේ....රටේ ඉඩම් මංකොල්ල කන්න හදපු....රජයේ ඉඩම් ජනතාවට බෙදා දිය යුතුයි තමයි...නමුත් ඒක තරඟකාරි විනිවිද පෙනෙන ක්‍රමයකට සිදු කල යුතුයි..

    - Mayya

    ReplyDelete
    Replies
    1. මගේ මතකයේ හැටියට, ඉඩම් ජනසතු කිරීම සහ පෞද්ගලික ඉඩම් අයිතිය සීමා කිරීම, හැත්තෑවේ සමගි පෙරමුණු ආණ්ඩුව, 71 ජවිපෙ කැරැල්ල තුලින් මතුවූ කරුණු සලකා බලා කරන ලද නිවැරදි කිරීමක්. මේක යම් යම් ජාත්‍යන්තර සංවිධාන වලින් එල්ල වුනු යම් යම් බලපෑම් මත කෙරුණු දෙයක් වගේ මතකයක් තිබුණත්, ස්ථිරව යමක් සඳහන් කරන්න බැහැ.

      මගේ අදහස අනුව නම් මේ වැඩ පිළිවෙල ජිරාමාර් කලේ ජේ.ආර්. පප්පා. අදටත් ඒක කැඳ හැළියක්ව තියෙන්නේ එයාලාගේ අච්චාරු කිරීම නිසයි.

      එසේ වුනත් 2001 ලෝක බැංකු වාර්තාවකට අනුව වගා කල හැකි මුළු බිම් ප්‍රමාණයෙන් 85% කට වඩා අයිතිව තිබුණේ රජයටයි. පහුගිය අවුරුදු විස්සට මොන විදිහේ වෙනස්කම් සිදුවී තිබේ ද යන්න හොයන්න වටින දෙයක්.

      නීති වෙනස් වූ ආකාරය නම් පහත සබැඳි වලින් දැනගන්න පුළුවන්.

      http://www.commonlii.org/lk/legis/consol_act/lr297160.pdf
      http://www.commonlii.org/lk/legis/num_act/lrl39o1975255/s2.html
      https://www.srilankalaw.lk/l/608-land-reform-law.html
      https://www.srilankalaw.lk/YearWisePdf/1981/LAND%20REFORM%20(SPECIAL%20PROVISIONS)%20ACT,%20NO.%2039%20OF%201981.pdf

      Delete
    2. බොහොම ස්තූතියි ඔබේ දීර්ඝ පිලිතුරට සහ මූලාශ්‍ර වලට...

      රජයේ ඉඩම කාර්‍යක්ශමව ප්‍රයෝජනයට ගැනීමට එවා ජනතාවට ලබා දිය යුතුයි..ඒ සදහා විනිවිද පෙනෙන තරඟකාරී ක්‍රමයක් නැති වීම තමයි ගැටළුව..

      පසුගිය කාලයේ විරෝධයක් එල්ල උනු මිලෙනියම් වැඩසටහනෙන් කරන්න ගියේ මුලු රටේම ඉඩම් පිලිබද සංගණනයක් නේද

      දේශපාලුවන්ට සහ හෙංචයියන්ට රටේ සම්පත් කොල්ල කා ගන්න අවස්ථාව අඩු වෙනවා මේ වගේ විනිවිධ පෙනෙන ඉඩම් සංගණනයක් කරලා එවා දියූණු කරන්න විවෘත විනිවිද පෙනෙන බදු දීමේ හෝ සින්නක්කර ලබා දීමේ ප්‍රතිපත්තියකට ගියොත්..

      -Mayya

      Delete
  2. ජෝජි අබශ්විල්ලි...- මේ ජෝර්ජියන් නමේ සම්බන්ධෙ මොකක්ද

    ReplyDelete

Blogroll

About