Monday, December 18, 2023
Sunday, September 10, 2023
මේ සටහන ලියවෙන්නේ ඔබටය....
කාල් සගාන් විසින් රචිත එකම ප්‍රබන්ධ කථාව, පසු කලක චිත්‍රපටයක් වූ , "Contact" [මුණගැසීම] හි, අවසාන පරිච්ඡේදයක මෙසේ සටහන් වෙයි.
"නොනැවතී හඬන ටෙලිෆැක්ස් යන්ත්‍රය තිබූ මේසයට ඉහලින් කැඩපතක් තිබිණ. එතුලින් මහළුත් නොවූ තරුණත් නොවූ, මවක් හෝ දුවක් හෝත් නොවූ කාන්තාවක් ඈ දෙස බලා සිටිනු ඇය දුටුවාය. සත්‍යය ඇගෙන් වසන් කර තැබීමට ඔවුන් ගත් තීරණය නිවැරදි විය. සංඥාවන් තුල රැඳුණු පණිවිඩය ලැබීමට තබා, එය නිවැරදිව පද පෙරලා ගැනීමට තරමටවත් ඇය මුහුකුරා ගොස් නොසිටියාය. ඇය ඇගේ සම්පූර්ණ වෘත්තිමය ජීවිතය පිටසක්වල අමුත්තන් හා සබඳතා ඇති කරගැනීමට වැය කර තිබුණත්, ඇය ඇගේම ජීවිතයේ දී අනෙකකු හා ඇති කරගත් සබඳතාවයක් නොමැති තරම් විය. විශ්වයේ උපත, මැවිල්ල පිළිබඳව අනෙකුන් ගේ දුර්මත සිඳ බිඳ දැමීමට නිර්භීතව වාද කලද, තමාටම කේන්ද්‍රීය වූ මිත්‍යාවට ඕ අන්ධව සිටියාය. ජීවිත කාලය පුරාම විශ්වය අධ්‍යයනය කල නමුදු, එහි පැහැදිලිම පණිවිඩය, අප වැනි කුඩාවුන් හට මේ සුවිශාලත්වය දරාගත හැකි වනුයේ ප්‍රේමය තුලින්ම පමණි ය යන්න ඇයට මග හැරී තිබිණි.."
ප්‍රේමය වනාහි කේන්ද්‍රීය වින්දනය බව පහදා දෙන්නට, කාල් සගාන් වැන්නකුගේ ලියවිල්ලක් අත්‍යවශ්‍යය නොවන නමුත්, මනුෂ්‍ය සංහතිය විසින් නිර්මාණය කර ගනු ලැබූ දෙවියන් හා අනෙකුත් බොහෝ සර්ව බලධාරීන් පවා, පරිපූර්ණ ප්‍රේමය සොයා යාමේ ඵලයන් බව වටහා ගැනීමට නොහැකි වීමේ දුර්විපාක දෙස බැළූ කල, සගාන් ඉඟිකරන අපේම අභ්‍යන්තර කේන්ද්‍රීය මිත්‍යාවේ තරම අවබෝධ කරගන්නට යම් රුකුලක් ලැබෙයි. එමෙන්ම, එදා මෙදා තුර මෙතෙක් ලියැවී ඇති වින්දනීයම ප්‍රේම කාව්‍යයන් ලියැවී ඇත්තේ ද, දෙවියන් කෙරෙහි මනුෂ්‍ය සන්තානයන්හි ඇවිලෙන ප්‍රේම ගින්නේ උණුසුමින් බව නොරහසකි.
ඉතින් රංගනී මුහුණු පොතේ අවුණන අකුරු අපේ හිත් තුල කිඳා බැසීමේ වාසනාවන්ත සංවේදනයෙහි රහසක් තිබේදැයි අසන්නට කිසිදු හේතුවක් නැත.
රංගනී ලියූ කවි අතර, 'හදවතක හැඩය' යැයි මා නම් කරන මගේ හිතට වඩාත් සමිපය මට දැනෙන මේ වචනද තිබේ.
"ආදරේ කල යුතුම නම්... හිතවත,
හදාගත යුතුයි වැවක ආකෘතියකට හදවත
ප්‍රේමය යැයි නම් කර
බැම්මකින් බැඳි දා සිට
බොහෝ දේ දරාගත යුතු බව
වැව් බැම්ම දන්නවා හොඳටම
දැනෙන විට
දරාගත නොහැකි බර
සොරොව්වකින්
දුක මුදා හරිනා විට
ඒ පීඩනය දරාගන්නට
බිසෝ කොටුවක්
කොයි තරම් දේ කරනවද
නිතර වධ දෙන රළ පහර වැද
සේදී යන්න තනනා වැව් බැම්ම ළඟ
ප්‍රේමය ට හිමි තැවුල් දරාගෙන රකින
සළපනාවක් ඇවැසිමයි,
දැනෙනවා නේද? හදවතට... බාධක දරාගත නොහැකි තැන හැඟුම් සුනු විසුනු වන මොහොතක පිටවාන කඩා බිඳගෙන පලා යන විට ප්‍රේමය…
විරහවට පෙම් කරනු මිස
හදවත හිස් නොකර ගත යුතු බව
කළිගු බැමි කියා දෙනවා අපූරුවට
ඉතින්! හිතවත..... වැවක ආකෘතියක් අවැසිමයි ආදරය කල යුතුම නම් හදවතට."
පහත සබැඳියේ ඇති සංවාදයේ අතර මග කියවෙන්නා සේම, රංගනීගේ කවි හැමකක්ම ප්‍රේමයම කේන්ද්‍ර කොට ඇතත්, ඒ එකක්වත් ප්‍රේම යාතිකාවන් හෝ විරහ විලාපයන් හෝ නොවෙයි. ඒ හැමෙකම පාහේ ඉහත පද වැලෙහි මෙන්ම, ප්‍රේමයේ ගැඹුර මෙන්ම, යථාර්ථය ද, බලාපොරොත්තුව මෙන්ම, අනපේක්ෂිතත්වය ද, රෝස පෙත්තක සුමට බව මෙන්ම රෝස කටුවක රිදවුමද රැඳවී තිබෙයි.
අපේ හිත් නවතා බලා ඉන්නට මෙන්ම, අපේ හිත්තුලටම කිඳාබැස, ඒවා රිදවන්නට ද, මෙතෙක් අප තුලම සැඟවී තිබුණු නමුදු, එවන් හිතිවිලි අපේ හිත් තුලත් තිබුණාය, තිබෙනවාය යැයි සිතන්නටවත් නොහැකි තරම් අරුම වූ සිතිවිලි අපට සිහිපත් කර දෙන්නට ද ඒවා සමත්ය.
ඉතින් මගේම හිත දෙස බලා සරැලි නැගෙන පිරුණු වැව් තලයක් දකින්නට තරම්, අද රංගනීගේ කුළුඳුල් කවි පොත, "බොහෝ කවි ලියවුනේ ඔබට ය" දොරට වඩනා අද දවසේ මම වාසනාවන්ත වී සිටිමි.
ඉතින් රංගනී... මේ සටහන පුතාටයි. ටිකක් බරපතල වගේ දැනුනත්, මේක ලියන්නේ පුතා, අද දවසේ කවිපොත දොරට වැඩෙන මොහොතේ ඔයාට සුබ පතන්නටත්, අද ඔතන ඉන්නට බැරි වුනු එකේ කණගාටුව වහ ගන්නටත් බව ඔයා දන්නා බව දනිමි.
-රන්සිරිමල්
Sunday, August 20, 2023
හිස්තැනක හෙවනැලි
හිස්වෙලා පෙනුනාට අඳුරුව
බිත්තියක
පෙනෙන ඡායාව
කවුළුවක
නතරවුනු බඳුනට
හොරා
ගන්නට හැකිද හිරු රළ
ජීවිතේ
දුන්නාම නොපැකිල
හදවතේ
අග දැනෙන හිස්තැන
ඒ
තමයි කිසිදාක නොමැකෙන
ප්රේමයේ
රන් රුවන් වත්කම
ලියන්නට
එපා අය වැය
ගනින්නට
එපා පිරිවැය
පිරෙන්නට
හදා ඉඩකඩ
අරන්
යනවා අරන් යන අය
#rsmpoems
Friday, August 4, 2023
ලාල් සෑම්
මාත් එක්කම වාගේ 1982 ඔක්තෝම්බර වගේ කැනඩාවේ එඩ්මන්ටන් නගරයට ඇවිත්, ඇල්බර්ටා විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය සඳහා ඉගෙන ගන්නට පටන් ගත් රංජිත් මුහන්දිරම්, දවස් දෙකකට කලින් ඔය පින්තූර දෙක එවා තිබේ. මාත් රංජිතුත් නැවතී සිටි එපාර්ට්මන්ට් එකේ 1983 ජනවාරි පලවෙනිදා ගත් පළමු පින්තූරය ලාල් සෑම් කියා අපි කෙටිකර ගත් ලාල් සමරසේකර ඇල්බර්ටා විවියට ඇවිත් දවස් කීපයකින් විය යුතුය. චාන්දනීත් ආරියවංශත් වම් පැත්තෙනුත් රංජිතුත් මමත් දකුණු පැත්තෙනුත් තියාගෙන මැදින් වාඩිවී ඉන්නේ ලාල්ය.
ලාල් 1982 ඇල්බර්ටා එන්නේ, නවසිය හැත්තෑ එකේ ලංකාවේ හොඳම උසස්පෙල ප්‍රතිඵල (ඒ කාලේ වැඩ හතරකි. හැත්තෑ එකේ විද්‍යා ධාරාවෙන් හතරටම ඒ සමාර්ථ ගත්තේ දෙන්නෙකි. එක්කෙනෙක් ලාල් සමරසේකරය. අනෙක් කෙනා එල්. එස් ය.) වාර්තා කල දෙන්නාගෙන් එකකු ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඉගෙනීම අවසන් කර, පේරාදෙණියේ ඉංජිනේරු පීඨයට ඇතුළුව මූලික උපාධිය ලබා, බ්‍රිටිෂ් කොළම්බියා විවියේ, විද්‍යාපති උපාධියත් අරන්, ආචාර්ය උපාධිය හදාරන්නට ඔටාවා හි කාල්ටන් විවියට ගිහින් එතන වැඩ ගැන නොසෑහීමට පත්වෙලාය.
යාළු මිත්‍රකම් විශේෂයෙන් දේදුන්නේ අග්ගිස්ස සොයා කාන්තාරගතවූවන් සේ ගෙවෙන මේ දැණුම පසුපස හඹායන්නාවූ කාලයන්හි මුණගැසී අත්වැල් අල්ලා ගන්නවුන් අතර ඇතිවන යාළු මිත්‍රකම්, ලේසියෙන් ගැලවෙන ගැට නොවේ. ලාල් සම්බන්ධයෙන් නම් ඒ සම්බන්ධකම ජීවිත කාලයම පැවතුණායි ලියන්නට සිදුවී තිබේ. “හතලිස් අවුරුද්දකට පෙර“ කියා උධෘතය යොදා, රංජිත් මේ පින්තූර දෙක එව්වේත් ඒ නිසාමය.
එඩ්මන්ටන් හිත්, ඉන් පස්සේ රෙඩ්ඩියර් හිත්, එතනින් පස්සේ සස්කටූන් හිත්, එයිනුත් පස්සේ ටොරොන්ටෝවේ යෝක් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයෙක් වශයෙනුත් වැඩ කල ලාල් සමරසේකර නම්වූ මේ සහෘදයා, මතක්වෙන වාරයක් පාසාම, නොවිය යුතුම යැයි හිතෙන රිය අනතුරකට ලක්ව, පසුගිය ඉරිදා අප හැමගෙන් සමුගෙන ගොස් තිබේ.
ජීවිතය එහෙමය, වෙලාව ආවාම කියන්නට බැරිය, අපි හැමෝම ඔතනට යනවාය මොන කතන්දර කතා තිබුණත්, මේ වැඩේ නොවිය යුත්තක්ම යැයි හැඟෙන එක නම් නවත්තන්නටම බැරි සිතිවිල්ලකි. මිත්‍රයකුට සමුදීම එකකි. මිත්‍රයෙක්, නොඑන සේම පිටත්වී යාම තවෙකකි.
ලාල් දැන හඳුනන, ලාල් ලඟින් ඇසුරු කල බොහෝ අය වෙති. ජීවිත කාලයක් කියන්නේ ලාල් වැනි හිතක් ඇති කෙනෙකුට අස්වැන්න ලෙස ගණන් කරන්නට අපහසු තරම් හොඳ හිත් එකතු කරගන්නට සිද්ධවෙන කාලාන්තරයකි.
මේ පහත සටහන, ලාල් ගැන සහෝදරත්වයේ මනුදම සංවිධානය තැබූ සටහනකි.
Friday, June 2, 2023
නතාෂා: කිරිල්ලී මල් මී තියා - ඉගිල්ලී රෑනේ ගියා
පද - උපුල් ශාන්ත සන්නස්ගල සංගීතය - මහින්ද බණ්ඩාර
නතාෂා ඇවිදින් ගියා - පියාඹා වෙරලින් එහා
නයිල් ගඟේ ඉවුරේ ආදම්ගේ උයනේ රොන් සලා ඈ ගියා නතාෂා කිරිල්ලී මල් මී තියා - ඉගිල්ලී රෑනේ ගියා ආයෙ ආයෙ ආයෙත් එනවා අහසෙ පොළොවෙ සුළෙඟෙ වෙලෙනවා නිල් නිල් නිල් දැහැතේ වෙලෙනවා සිත්සේ දෙතොලේ පහසේ ඔබ මා සිඹිනවා සිහිනෙන් තැවෙනවා පමා වී ඈතට ඇදී - මීදුමේ රැහැනින් මිදීMonday, May 15, 2023
මල් පෙත්තක් උඩ රැඳවුණු කඳුලක්
තරුවල කඳුළුද පිණිකැට වෙන්නේ
හිමිදිරි උදයේ තණ නිල්ලේ
මිණිකැට වාගේ අරුණළු රැල්ලේ
දේදුනු පාටට දිලිසෙන්නේ
නෑ ඔබ කීවේ මට කවදාවත්
නෑ ඔබ මට කීවේ
සඳ සාවියකගෙ
කොපුලත දැවටුනු පිණි බිඳුවක්
මල් පෙත්තක් උඩ
රැඳවුණු කඳුලත්
සෙව්වන්දියකට
මිණි කැටයක්
කිව්වා ඔබ මට
කිව්වා ඔබ මට හැමදාමත්
තරුවල කඳුළුද හිමිදිරි උදයේ
පිණිකැට වෙන්නේ අරුණල්ලේ
නෑ ඔබ කීවේ...
නෑ ඔබ කීවේ කවදාවත්
Sunday, May 7, 2023
කෙසිරයක සිලවර
බයවන්න නෙවෙයි කිලන්න.....
2023 මැයි මස මුල සතියේ දී කැනඩාවේ සස්කච්වාන් ප්‍රාන්තයේ සස්කටූන් නගරයේ සිට උතුරේ වොලස්ටන් ලේක් පෙදෙස දක්වා ගමන්ගත් ගුවන් යානයක සිට ගත් සේයා රූ එකතුවකි.
Sunday, April 30, 2023
Friday, April 21, 2023
උත්ථානයේ බලාපොරොත්තුව
Wednesday, April 19, 2023
මුහුදක් හංගන් නොදන්නවා වගේ ඉන්න හෙනහුරාගේ හඳ...!
එන්සිලඩස්... එන්සිලඩස්...
ගලා ආ රුහිරින්..
මහ පොළව ගැබ් ගෙන
වැදූ දරුවාය නුඹ....
බුද්ධියේ පහර ලැබ
සිහිසුන්ව ඇද වැටුනු
මහා යෝධයාය නුඹ...
ගල්වූ හිම පොරෝණාවක
ඔතා සඟවා ළමැදට
තුරුළු කරගෙන නිදන
දිළිඳු අසරණයාය නුඹ...
වෑස්සෙන සුසුමකට
සැප්තැම්බර් 18, 2015
[ග්‍රීක මිථ්‍යාවන්ට අනුව ක්‍රොනස් අතින් කරඇඹුනු ඔහුගේ පියා යුරේනස් (අහස) ගෙන් ගැළූ ලෙයින් ගැබ්ගත් ගයා (පෘතුවිය) බිහිකල යෝධයෙකි එන්සිලඩස්. ග්‍රීක කාව්‍යයන්හි එන පරිදි එන්සිලඩස්ගේ ඉරණම බුද්ධියේ සංකේතාත්මය ඇතීනා අතින් හෝ මධුවිතට අධිපති ඩයොනිසස් ගේ සහචර සයිලිනස් අතින් මැරුම් කෑමයි. එන්සිලඩස් ගිනිකඳු පතුලක මිහිදන් වූවායි සැලකෙන අතර, එන්සිලඩස් ගේ මව් ගයා ඔහු මුහුදේ දෙවියාය සැලකූ බවත් සඳහන් වෙයි.
එන්සිලඩස් නමින් නම් කල සෙනසුරු ගේ චන්ද්‍රයා පාෂාණමය අරටුවක් වසා පැතිරුනු ගෝලීය සාගරයක් වටා බැඳී ඇති ඝණ අයිස් පෘෂ්ඨයකින් සමන්විත යැයි, සෙනසුරු නිරීක්ෂණයට ගිය ඇමරිකන් කැසිනි යානයෙන් ලද තොරතුරු අනුව, තීරණය කර තිබේ]
ටික්.. ටික්.. ටික්.. ටික්…
ජූනි තුන, අප්පච්චි ගිහින් ඊයේ ට අවුරුදු දාසයක්.
ඒ අවසන් හමුවීම ගැන තියෙන්නෙ බොඳ වෙලා ගිය මතකයක්. සමහර විට කල්පයක් වගේ කියලා මිනිස්සු හඳුන්වනවා ඇත්තේ එදා ඉඳන් අද වෙනකල් ගෙවුණ පැය, විනාඩි, තත්පර වාගේ කාලයකට වෙන්න ඇති කියලා මට හිතෙනවා.
අප්පච්චි ළඟ තිබුණා පූජනීයත්වයෙන් වාගේ අදහාපු අත් ඔරලෝසුවක්. “ජීවිත කාලයට ම එකක් ඇති” ඔරලෝසුව ගැන එයා හරි ආඩම්බරෙන් කියැව්වේ එහෙමයි. ඇත්ත, අසූ ගණන්වල අග ජපානයේ හිටපු කාලයේ දී අප්පච්චි ගත්ත ඒ ඔරලෝසුව, එයාට ජීවිත කාලය ම ඇති වුණා තමයි… ගොඩක් ඔරලෝසු වගේ නෙවෙයි, ඒකේ තත්පර කටුව එක එල්ලේ තත්පරයෙන් තත්පරයට පනින්නේ නෑ. තත්පර කටුව හරි සීරුවට ඒක එක එල්ලේ ම ඔරලෝසු මුහුණත වටේ යනවා, කිසිම නැවතීමක් නැතිව. සීකෝ ෆයිව්, ඔටෝමැටික් අත්ඔරලෝසුවක්; දැනුම් තේරුම් ඇති වයසට ආවා ම මම දැනගත්තේ ඒක. පුංචිම කාලේ අතට නොදුන්නත්, පසු කාලයේ මම ඉඳහිට ඒක ඉස්කෝලෙට බැඳගෙන යනවා.
ඔය ඔරලෝසුව අතුරුදහන් වෙන්නේ 2006 මැයි මාසයේ අන්තිම සතියක, අප්පච්චි ජීවත් වුණ අන්තිම සතියේ ගෙදර සිදු වුණ කලබල අතරේ. ඇත්තට ම ඔරලෝසුව නැති වුණා නෙවෙයි. ඒක මම දැනගෙන හිටියා. මොකද ඉන් අවුරුදු තුනකට පස්සේ ගන්න ඇති කියලා මම සැක කරපු කෙනා මට හම්බෙනවා. අතේ බැඳපු ඔරලෝසුව විතරක් නෙවෙයි, පුංචි කාලේ මං ඔරලෝසු ගාංචුවේ අම්මාගේ ආයකට්ටකින් කපලා තිබුණ කැටයමත් එක්ක ම. මම වචනයක් කියන්නේ නෑ, “නැති වුණ දේවල් එක්ක ඕවා මොනව ද” මම හිත හදාගන්නවා.
මම අප්පච්චිට වඩා හාත්පසින් ම වෙනස් බව මං දන්නව, හැබැයි අත් ඔරලෝසු ගැන තිබ්බ “ලව් එක” ඒ විදියටම පිහිටලා තියෙනව. කොටින් ම, පහු ගිය අවුරුදු දොලහේ ආදර සම්බන්ධතා අටක් අතරේ මගේ ජීවිතය දෝලනය වෙනකොට, ඒ මුලු කාලයට ම මට තිබුණේ එක ම එක අත් ඔරලෝසුවයි. ඒක පෙනුමින් අප්පච්චිගෙ ඔරලෝසුවට තරමක් ආසන්න, වෙනස් මාදිලියක සාමාන්‍ය ඔරලෝසුවක්. මට කොච්චර පිස්සු ද කියනවා නම්, මම අන්තිමට යාලුවෙලා උන්න කෙල්ලව පෙන්නන්න ඔරලෝසුව සාක්කුවේ දාගෙන එක්කන් ගිහින් තියෙනව. ඔව්, ඔබ කියෙව්වා හරි. මම ඔරලෝසුව එක්කගෙන ගියෙ කෙල්ලව පෙන්නන්න. මට දැනුනේ ජීවිතයේ බොහෝ දේවල්වල සාක්ෂ්‍යකරුවෙක් වුණ ඒ ඔරලෝසුවට සමහර දේවල් මග ඇරෙන්න දෙන්න ම බැහැ කියලයි. ඒ මොහොත වෙනකොට දොලොස් අවුරුද්දක් මගේ අතේ ඉඳගෙන මගේ ජීවිතය දිහා බලාගෙන හිටපු ඔරලෝසුවට, මගේ ජීවිතයේ පහුගිය කාලයේ සමහර සිදුවීම් පෙන්නන්න එක්කගෙන ගියේ සාක්කුවෙ දාගෙන තමයි. මොකද, අන්තිම අවුරුදු තුනේදී කරගත්ත අනතුරු එක්ක, ඔරලෝසුව තිබුණේ අතේ බඳින්න පුලුවන් තත්ත්වයක නෙවෙයි.
ඊයේ; ජූනි තුන හැන්දෑවේ මම යනවා ඔරලෝසුවක් ගන්න. ඔව්, ඔබ අනුමාන කරන්න ඇති. මම අර වාගේම හීන් සීරුවේ තත්පර කට්ට නොනවත්වා දිවයන සීකෝ ඔටෝමැටික් ඔරලෝසුවක් ගන්නවා. ඒක ගත්ත වෙලාවේ ඉඳන් තවම අතේ, මේ සටහන ලියන මොහොතේදිත් මම විනාඩි පහෙන් පහට වෙලාව බලනවා.
ඒ වෙලාව බලන වාරයක් පාසා අප්පච්චිව මතක් වෙනවා. මතක් කරලා මම ම මගේ හිත රිද්දගන්නවා. “ජීවිත කාලෙටම මේක ඇති”, හෙට දිහාට මමත් කාට ම හරි කියලා දානවා.
-බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න-
ජුනි 9, 2022
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ සටහන මෙහෙම මෙතැන එල්ලීම ගැන බුද්ධි අමනාප නොවනු ඇතිය සිතමි.
බුද්ධිගේ බ්ලොග් අඩවියට සබැඳිය:
https://escapistrider.wordpress.com/
ඉන්ස්ටග්‍රෑම් සේ රූ එකතුව
https://www.instagram.com/p/Bx9XsbnAB-O/
Monday, April 17, 2023
ක්වන්ටම් හා සංස්කෘතික එන්ටැන්ගල්මන්ට්ස්
නවීන විද්‍යාත්මක චින්තනයේ යුග පෙරලියක් සනිටුහන් වූ අවස්ථාවක් යැයි ගිණිය හැකි, ක්වන්ටම් භෞතික විද්‍යාවෙහි අපැහැදිලි අන්තයක් ලෙස සටහන් ව තිබූ, පටලැවුනු (entangled) ඉලෙක්ට්‍රෝනවල බැමුම් (spin) අතර සබැඳියාව පර්යේෂණාත්මකව ඔප්පු කරන්නට සමත්වීම, පසුගිය 2022 භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගයෙන් සම්මානයට බඳුන් වුනි.
ඇලෙයි ඇස්පෙක්ට්, ජෝන් ක්ලවුසර් සහ ඇන්ටන් ෂ්යිලින්ගර්, ගේ පර්යේෂණාත්මක ඔප්පු කිරීම් පිළිබඳව පිරිනැමුණු මේ ත්‍යාගයත් සමග ක්වන්ටම් භෞතික විද්‍යාව හා ආසියාතික දර්ශනවාදී සංකල්ප අතර සබඳතාවය පිළිබඳව පිරික්සීම නව මානයකින් ඇරඹී තිබේ. හින්දු වේදාන්ත හා භගවත් ගීතා ලියවිලි මෙන්ම, කර්ම සංකල්පය ද මේ නව දැනුම ඇසුරින් විග්‍රහ කෙරෙනු, අන්තර්ජාල සටහන් තුල දැකිය හැකිය.
පහත සබැඳිය, 2022 නොබෙල් ත්‍යාගය සහ කර්මය විද්‍යාත්මකව ඔප්පු කිරීම මැයින් රුචිර විජේසේන, සිය 'Science with Ruchira' යූබට චැනලයේ පලකල වීඩියෝ සටහනයි.
මේ විද්‍යාත්මක තොරතුරු කියවාගෙන යද්දී මතුව ආ එක් ආකාරයකින් ක්වන්ටම් භෞතික පටලැවිල්ලක්ම යැයි විග්‍රහ කරන්නටත් පුළුවන්, සන්නස්ගලයන්ගේ වීඩියෝවක් මෙතන අවුණන්නටම හිත කියයි.
පහත සබැඳි අතරින් මුල් ත්‍රිත්වය, නොබෙල් ලාභීන් සිය ත්‍යාගය භාරගනිමින් කල කථා තුනෙහි, වීඩියෝ සටහන්ය. ඉතිරිවා වෙබ් අඩවි වලටය.
නොබෙල් වෙඩ් අඩවියට සබැඳි:
https://www.nobelprize.org/prizes/physics/2022/press-release/
https://www.nobelprize.org/uploads/2022/10/popular-physicsprize2022-3.pdf
https://www.nobelprize.org/uploads/2022/10/advanced-physicsprize2022-3.pdf