අරටු ඇති මහ ගස් බිඳී
පොළොව සිඹ පණ නල සිඳී
නිදන දවසෙත් ඔද බිඳී
අරටු හිස් බට සැප විඳී
සුළඟ සුලිකන දඟ බලා
නැවෙන අතකට ඇඹරිලා
දෙදණ බිමගා හිස උලා
ඉඳිති බට ගස් බේරිලා
වැටෙන මහ තුරකට වුනත්
අයින් වී ඉඩ කඩ සදත්
හෙවන දෙන්නට නෑ සමත්
ඒත් බට ගස් ගස්ම වෙත්
කරුණු දැන නොදැනම වුනත්
ඇටසැකිලි මිස මස නොවෙත්
ඉහල නගිනා හිණි මගෙත්
තොරණ කනපිට වාරුවෙත්
සරුංගලයක රාමුවේ
පාට කරදහි හිනාවේ
නූල කෙලවර සීරුවේ
කල් බලන හෙනහුරා වේ
වුනත් අද මොන මොන ගහක්
ඇතොත් අපලය අරටුවක්
රැඳෙනු නම් ඇතිවී හෙටක්
වියොත් වෙනු බට උණ ගහක්
2016 ජූලි
No comments:
Post a Comment