පරණ කතාවක් තමයි. ඉන්ඩියන් එකකුත් තමයි. හැබැයි සාරිය ඇඳලා, ගවුම ඇඳලා සාලේ රණ්ඩු කරන එකක් නෙවෙයි. ඒ වාක්‍ය ඉබේම ලියවුණා. නොතේරුනා නං හිතින් අයින් කරලා දාන්න. ටිකක් හතරවරං යන කතාවක්... අගක් මුලක් නැති. කොහෙන් පටන් ගත්තත් කොහොන් කෙලවර කලත් ඉතින් මැදකින් තමයි.
යමුනා ගඟේ මාළු අල්ලන, මිනිස්සු එගොඩ මෙගොඩ කරන්න ඔරු පදින, තොටියගෙන් පටන් ගමු. මේ ගොල්ල ඇත්තටම ගඟ ලඟ, ගඟ නිසා, ගඟ කෙරෙන්, ගඟ සමග, ගඟ තුල, ජීවත් වෙන ගංගාශ්‍රිත ජන පිරිසක්..... (ගංගාරාමෙත් මතක් වුනා. හැබැයි ඒක තියෙන්නෙ වැවක් අසබඩව නේ ද...?)
තොටිය ගෙ දුවත් ඉතින් මේ රස්සාවම කරනවා. දුවයි කිව්වට මෙයා සනුහරේ මහ තොටියා හදා වඩා ගත්තු 'ඇහිඳපු' එකියක්. කතන්දර වල ඉහල අය පහල යන්නේ එහෙමනේ. කෙල්ලගේ නම සත්‍යවතී. තාත්තා යමුනාවෙ එක පැත්තක චෙඩි රටේ රජ්ජුරුවෝ උපරිචාර වාසු. අම්මා ඉතින් රජ්ජුරුවන්ට මූණට මුන නොගැහුනු අප්සරාවියක් අද්රිකා....
රජ ගොල්ල ඒ කාලෙත් එහෙම තමයි. රජා කිව්වම ඕනැ තැනක.... ඉතින් කිං තමයි. ඕකනෙ ඔය රාජ චරිත දන්නෙම නැතුව දෙගුණ තෙගුණ වෙන්නෙ. දැන් මෙයා මාළුකාර, ඔරුකාර, සනුහරේ ලොක්කා දුසරජ් ගේ හදා ගත්තු දුව. රජ ලේ උණත් මාළු බාන, මාළු කන, තොටියගෙ දුව. කෙල්ල ලස්සණයි, හැබැයි සර්වාංගෙ පිළී ගඳයි. සත්‍යවතී නම් මත්ස්‍ය ගන්ධී... ඒකත් උත්පත්තියෙන් එන දෙයක් හැබැයි.
ඒ වැඩේ මෙහෙමයි.... මේ කෙලීගෙ තාත්තා අර චෙඩි රටේ රජා උපරිචාර වාසු ගෙ බිසව සැදී පැහැදී ඇවිල්ලා.... හයවෙනි බබා හදන්න කතා කරපු දවසේ, රජා පුරුෂ ධෛර්යය පෙන්නලා, යන්ඩ ලෑස්ති වෙලා හිටපු විදිහටම දඩයං කරන්න කැලෑවට යනවා.... ඔහොම ගියාට මොකෝ.... ටිකක් යද්දී හිත කලබල වෙනවා... හිත කලබල වුණාම ගත කලබල වෙනවා. ඉවසගන්නම බැරි තැන නෙළුම් කොළේකට පිරිමිකම හලලා රාජාලියකු අතේ යවනවා බිසවට....
කොහේ ද ඉතින්... අතර මගදි හම්බුවෙන උකුස්සෙක් රාජාලියට හයිරන් පාට් එකක් දාන අතරේ නෙළුම් පැකට් එක වැටෙනවා ගඟට.... ඔව් ඔව් යමුනාවට තමයි. හැබැයි වැටෙන කොටම ගිලිනවා අද්රිකා.... මෙයා අප්සරාවියක් වුණාට, භාවනාවේ හිටපු යෝගියකුගෙ ධ්‍යානය කඩන්න ගිහින් සාපයක් වැදිලා මාලියක් වෙලා. නෑ වැරදුනේ නෑ... මාළුවගෙ ගෑණු සතා මාලි කියල මම උපකල්පනය කලා.
දැන් නෙළුම් පැකට් එකේ ආනුභාවය කියන්නේ... මාලි ගැබ් ගත්තා. එයා ගිහින් අහුවුනා දුසරජ්ගෙ දැලට. මාළුවා ගෙනියලා කැපුවාම බබාලම දෙන්නෙක්. කොල්ලයි කෙල්ලයි.
මේවා අපේ කතන්දර වල වෙන්නෙ නෑ ලේසියෙන්. අපේ කතාවෙ මාළුව කැපුවාම තියෙන්නෙ ලබ්බක් විතරයි. මතකයි නේ ද?
ඒ දවස් වල මේ වගේ අස්වාභාවික සිදුවීමක් වුනාම කෙලින්ම මාලිගාවේ තමයි නේ. රජ්ජුරුවෝ බබයි බබයි දැක්ක ගමන් දැන ගත්තා වැඩේ. දුක හිතෙන්නත් ඇති. දඩයමේ නොගියා නං රජ පවුලට හත වෙනවා නේ.... එයාත් ඉතින් වැඩිය කඩන නරක ළමයෙක් නෙවේ නිසාත් සමහර විට ධීවරයින්ගේ ගති නොගති දන්නා කෙනෙක් නිසාත්, දස්රජ් සොයාගන්නා ගේ අයිතිය ගැන කිව්වාම කෙල්ලව දීලා කොල්ලව අර ගත්තා.
කොල්ලා රජ ගෙදර මත්ස්‍යරාජ... කෙල්ල යමුනාවේ මාළු ගෙදර... මත්ස්‍ය ගන්ධී.... සත්‍යවතී....!
දැන් තමයි බමුණා එන්නෙ කතාවට. බමුණා කියලා මම ලිව්වාට, ඒ වචනෙ හරියටම හරි නෑ ඉතින්. මෙයා ඍෂි වරයෙක්.... වනගත වෙලා බවුන් වඩලා විතරක් නෙවෙයි... ජෝතිශ්‍යයේ හෝරා ශ්‍රාස්ත්‍රය ගැනත් ලිව්වාය කියන පරාශර නම් ඍෂි වරයා...
එයා එන්නේ ගඟෙන් එතෙර වෙන්න. එදා එයාට අහුවුනු තොටියා ගඟ අයිනේ රස්තියාදු ගහමින් හිටිය තරුණ මත්ස්‍යගන්ධී හෙවත් සත්‍යවතී. නහය එහෙ මෙහෙ වුණත් ටිකක් ඔරුවට නැගල ගඟ මැදට මැදට යද්දී පරාශර ඍෂි වරයාටත් චුට්ට චුට්ට උවමනාව ඇති වුණා කියමුකො. ශ්ලෝකයක් කිව්වා ද, සිංදුවක් කියලා ඩාන්ස් එකක් දැම්මා ද වගේ විස්තර නං හරියට දන්නෙ නෑ....
කොහොමින් කොහොමින් හරි කෙල්ලට කිව්වා උවමනාව... ඍෂි ගොල්ලත් එක විදිහක රජවරුම තමයි නේ... හැබැයි මෙතන ඉතින් බලහත්කාර කමක් නං නෙවෙයි නේ... කිව්වේ උවමනාව විතරක් නෙවෙයි.... ලැබෙන දරුවගෙ ජන්ම පත්‍රයත් එක්කයි. ඒ ළමයා, එසේ මෙසේ කෙනෙක් නෙවෙයි ඉතිහාසය වෙනස් කරන.... කොටින්ම ඉතිහාසෙ සුලමුල ඉඳලම ලියන කෙනාය.... වශයෙන්... ඒකනෙ ඕවට ගුප්ත විද්‍යා කියන්නෙ.
කෙල්ල ටිකක් ගැස්සිල ගියා.... ඉතින් කෙල්ල කියපි " හැබැයි ඉතින් ගඟ දෙපැත්තේ කට්ටිය බලන් ඉන්නේ... කවුරුවත් දැක්කොත් එහෙම... " වගේ කතාවක්.
පරාශර වැඩ කාරයා, මැවුවා මීදුමක් ගඟ පිරිලා වැහිලා යන්න.
දැන් මීදුම පිරුණු යමුනා ගඟ මැද්දෑවේ....
මට මතක් වෙන්නෙ මිල්ටන් ගෙ සිංදුවක් නෙ.
මීදුම ආවමත් තරමක් රෑම නූනත් අන්ධකාර වෙනවා නෙ නේ ද?
ඔරුවක පාවෙන - රෑ ඝණ අඳුරේ..
තොටියෙකි මා මේ - සිතල වතුරේ
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ...
පායා එන්න සඳේ මට දී ආලෝකේ
පාළු වෙලා මගේ ලෝකේ..ඕ ඇයි...
පාළු වෙලා මගේ ලෝකේ..
තෝරා දෙන්න වහා නැගෙනා මේ සෝකේ
පාළු වෙලා මගේ ලෝකේ..ඕ ඇයි
පාළු වෙලා මගේ ලෝකේ...
ඇගෙ තනිය මකා දී - ඇගෙ ඇසුර ලබා දී
සනසන්න හිතේ දුක පහ කරලා...
ඔරුවක පාවෙන...
මාගේ වෙහෙස නිවා සතපා හිනැහෙන්නේ
කවුද කියා නැත දන්නේ..හෝ කොයි...
කවුද කියා නැත දන්නේ
ජීවේ අඩුව මකා පුරවා සනහන්නේ
කවුද කියා නැත දන්නේ..හෝ කොයි...
කවුද කියා නැත දන්නේ
සිංදුව අහන්නත් ඕන නං මෙතනින් පුළුවන් -
https://www.youtube.com/watch?v=Kjv3vMmlfQs
එක, සත්‍යවතීගේ සරුවාංගයේ අර මත්ස්‍ය ගන්ධය අයින් කරලා කස්තුරි සුවඳක් දුන්නා. එසේ මෙසේ සුවඳක් නොවෙයි යොදුනක් දුරට දැනෙන තරමට.... නමත් වෙනස් වුනා ඉතින්. මත්ස්‍යගන්ධී.... යොදුන්ගන්ධී වුනා.
දැන් කෙනෙක් අහන්න පුළුවන් ඇයි මේ සුගන්ධ කිරිල්ල අර සම්බෝගයට කලින් නොකලෙ කියලත්... මටත් හිතුණ වගේම. දැන් නම් සුවඳ පැන් පූජා කරන්නෙත්, නාන්නෙත් ඔය කල්ක්‍රියා වලට කලින් නෙ. හැබැයි මෙතන වෙනස්... ඔය යොදුනක් දුර විහිදෙන සුවඳ නවත්තන්න බෑ නෙ මීදුමෙන්...
පනින්න පෙර සිතා බලන්න දන්න අය වැඩ කරන්නෙ හිතල බලලම තමයි.
දෙවෙනි වැඩේ තමයි බරපතල වැඩේ. දැන් කාලෙ නං මේක වැටෙන්නෙ 'ප්ලාස්ටික් ශල්‍යකර්ම' ගානට. සත්‍යවතී ගෙ කන්‍යා භාවය ප්‍රති නිර්මාණය කලානෙ... හැබැයි පොරොන්දුව පරිදි පුතෙක් ලැබුණ. කළු හින්ද ක්‍රිෂ්ණ කියලත්, ගඟ මැද උපන් හින්ද ද්වීපායන කියලත් කිව්වලු. හැබැයි ප්‍රසිද්ධම නම ව්‍යාස.... මහා භාරත ය අකුරු කරපු එක්කෙනා.
වැඩේ මේකයි... මේකත් මහා භාරතේ එන කතාවක්ම තමයි. එයත් කතාවෙ චරිතයක් එතකොට. ඒක මෙහෙමයි... මෙයා කලේ කතාව අකුරු වලින් ලියන එක... කතාව පටන් ගන්නෙ එයිට බොහෝ කලින්. කතා කිවීමයි කතා ලිවීමයි දෙකක් නෙ. මේ ලියන පුතා ලැබුණත් යොදුන්ගන්ධී වුණු මත්ස්‍ය ගන්ධී ගේ කතාව ඉවර නෑ. එයාට එයා ගෙ ඊලඟ රජා මුණ ගැහෙන්නෙ අර යොදුනක් විහිදෙන සුගන්ධය දිගේ බඹර වගේ පියාඹල ආපු නිසා....
ඒ රජාගෙ නම ශන්තානු.... කුරු රටේ රජ්ජුරුවො.... එයාගෙ සුලමුල තියෙන්නෙ ගංගා නදියෙ... ඒක වෙනම කතාවක්.
මුලින්ම කිව්වනෙ... මමත් හොයාගත්තෙ ගූගල් එකේ ගිහින්. එහෙන් මෙහෙන් කියවල තියන කතා තමයි ඉස්සරම ඉස්සර... මතක අමතක කාලෙ. කොහොමත් මහාභාරතේ ලියපු ව්‍යාසත් බලාන ගියාම එයා හදල ගොතල නෙමේනෙ ලියල තියෙන්නෙ. කලින් හිටපු අය කතා කියපු අයව ගූගල් කරලනෙ.
අපේ ඉස්කෝල වල පැඟිරි කාලේ කොලු කෙල්ලන්ට මහා භාරතේ ඉගැන්නුවා නං සාහිත්‍යයයි ලිංගික අධ්‍යාපනයයි දෙක තුනම උගන්නන්න තිබුණා නේ ද
මෙන්න සබැඳි:
https://nabayanroy.wordpress.com/2012/09/26/the-story-of-matsyagandha-and-rishi-parashar-and-the-birth-of-krsna-dwaipayana/
http://www.cmi.ac.in/~vimalraj/notes/mahabharata.html
https://en.wikipedia.org/wiki/Satyavati
No comments:
Post a Comment