Tuesday, October 19, 2021

තාරකා පිරුණු අහසක් යට හරස් වීදියක තනිවීම - අනුපමා ගනේගොඩගේ ‘හරස් වීදියේ සිට‘


 


අංගාර ආගාර යනු, අභ්යවකාශයේ හමුවන, ආලෝක කිරණයකට පවා පිටව යා නොහැකි අධිකතර ගුරුත්වාකර්ෂණයක් සහිත ස්ථාන වෙයි. මේ අධිගුරුත්වාකර්ෂණය ඇතිවන්නේ අංගාර ආගාරයෙහි අඩංගු පදාර්ථ ක්ෂුද්ර වූ පරිමාවකට ශේෂවී ගොනුවී ඇති බැවිනි. මෙවැනි ක්රියාවලියක් තරුවක් මියෙද්දී ද ඇතිවිය හැක. ආලෝකයට පිටතට පැමිණිය නොහැකි බැවින් අංගාර ආගාර පියවි ඇසට නොපෙනෙයි. ඒවා අදුර්ශමානය. විශේෂිත උපකරණ සවිකල අභ්යවකාශ දුරේක්ෂ අංගාර ආගාර හඳුනාගැනීමට උපකාරී වෙයි. මේ විශේෂිත උපකරණ වලට ආසන්නයේ පිහිටි අංගාර ආගාරයක් නිසා තාරකාවක හැසිරීමේ ඇතිවන වෙනස්කම් දැකිය හැකි වෙයි.

-What is a black hole - නාසා වෙබ් පිටුවෙන්
කවි කියන්නේත් ජීවිතයෙන් උකහාගෙන අපේ සිත්තුල කොහෝ හෝ තැනක අධිකතර ගුරුත්වාකර්ෂණයකින් රඳවා ඇති දහසකුත් ආලෝක කදම්භයන් සිරගත වූ අංගාර ආගාරයන් ගේ පැවතීම පෙන්වන තරු ලකුණු නොවේදැයි හිතෙන්නට පටන් ගත්තේ, අනුපමාගේ කවිපොත එක්ක හරස්වීදියේ තනිවුනු වෙලාවකය. වසර ගණනකට පෙර බූන්දියෙන් හමුවූ, මුහුණු පොතෙන් කියවූ, අනූපමාගේ කවි, අද 2020 ගොඩගේ අත් පිටපත් තරඟයේ සම්මානලාභී කෘතියක් ලෙස ‘හරස්වීදියේ සිට’ කවිපොතට ගොනුවී තිබේ.
ලතාවකට රටාවකට වචන ගැලපුමට එහා ගොස් කතාවක් කියනවාටත් වඩා, කතාවක් තියන බව කියන, සන්තාන චිත්රයක් ඇඳගන්නට වර්ණ සංකලනය කර දෙන, හෘදයාංගම තනුවකට ස්වර කැටිකරන කවියක් සමග තනිවීම යනු, තරු පිරුණු අහසක අදුර්ශමාන අංගාර ආගාරයක සැඟවුණු අප්රමාණ හැඟීම් සමුදායයක් ස්පර්ශ කර බැලීමක්ම වෙයි.
---------------------------
හිස්තැන් පුරන්නට පැමිණ ගිය
ඇගේ ඇඳුමින් ගිලිහුණු
රතු පබළුවක්
ඇහිඳ ගමි
අතීතයෙන් පැමිණ මා වෙලාගත්
මතකයක රිදී යමි
“එයා සුදු නෑ ලස්සණත් මදි
අපිට පුළුවන් එයා මලකට ගන්න
රෝසපාට ඩිමයි කොළයකින්
පුළුවන් මූණ වහන්න
සුරංගනාවි එද්දි ඔයා වාඩි වී
දෙපසට වැනෙන්න”
උත්සවය කෙළවර
ඈ හිඳී පිටුපා උස් කණුවකට
රතු පැහැ පබළුව ඈ අත තබමි
ඈ පිපී යයි
“අනේ ඒක නැතුව මම හිටියෙ බයවෙලා”
රෝස පැහැ පුයර ගැල්වූ
කළු පාට කම්මුලකට
තෙත හාදු ගල්වමි......
සුදු නොවෙන රතු පබළු - 26/27 පිටු
----------------------------
කවියක, ලියවිල්ලක ගුණාගුන කියන්නට හෝ විචාරයක් ලියන්නට සමත්කමක් නැති නමුත්, නෙත් පියා විඳි විඳීමක් බෙදාගැනීමේ සතුට මටත් අයිතියැයි මම සිතමි.
ඉතින්, මදඳුරු හැන්දෑවක පාළු ගෙවුයනක් මැදින් ගොස් පියන්පත් වැසුණු කවුළුවක සිදුරකට ඇස් තබා බලන කුඩාවෙක් වීමේ ආශ්චර්යය කොතරම් දැයි ඔබෙන් අසමි.
---------------------------------
සුපුරුදු ලෙසම නිහඬ නදියේ ඔබ ගිලෙයි
දිය පීරා මෙගොඩ එතැයි මා ගං ඉවුරේ ය...
සරැලි නොනගින නදිය
සිඳ බිඳ සිඳු පැමිණිය
රළ බිඳින ලුණු රසය
කඳුළුවල පෙරළුමක් වෙද
ඇවිද යන විට මතක මැද
කළුවර දිවවිත් අතින් ඇද
පහන් දැල්විය යුතු යැයි කියයි
එවිට,
එගොඩ යන ඔබේ සෙවණැල්ල දකිමි...
ඔබේ සෙවණැල්ල දකිමි - 29 පිටුව
----------------------------------------
එසේත් නැත්නම්, කවදාක හෝ ඔබ, හඳ පායලාද බලන්නට ඇරෙන කවුළුවක් තුලින් දකින, සා රුවක සළකුණු, වල ගොඩැලි වලින් ඇඳුණු, සරාසඳ පසුපස ඉහිරෙන, අන්ධකාර වළාකුළුවල ලියා ඇති කවි කියවා ඇද්ද?
----------------------------------------
එතකොට මම
පොලොස් උයලා මාළු ඇඹුල් තියල් දාල
කීරි සම්බා බතට පොල් සම්බෝලයක් හදනවා
රහසින් තදින් හුස්මක් හෙළන ගමන්
කවුළුව ඇරලා බලනවා
“අද හඳපායන දවසක් ද?”
පොතෙන් ඉරී ගිය පැමිණිලි - 40/41 පිටු
------------------------------------------
ඒ කිසිවක්ම නොකලත්, ඔබ කුණු ලොරියක සුදු කවරයක නිදන එක් පයක් කැඩී, එක් ඇසක් වපර වුණු බෝනික්කකු කවදාක හෝ දැක ඇද්ද.....?
--------------------------------------
“නිස්සද්ද ළමයෙක්, වැඩිපුර ඉන්නෙ තනියම”
මිතුරුකම් අසමත් ව ඇතුළු හදටම එබුණ
තනියට බෝනික්කාට තුරුළු වුණ
“තමුසෙ කිසිදේකින් නොසෑහෙන ගෑනියෙක්
කිසිම සන්තෝසයක් නැති”
“අම්මේ....
මේ බෝනික්කා කැතයි...
අපි එයා විසි කරමු.... ”
නින්ද නොආ දිගු රැයකින් පසු
සුදු කවරයක බහා
කුණු ලොරියට විසි කළෙමි
බෝනික්කා...
උදාසන රන් එළිය
සෙමින් විත් වැතිරෙයි
මා දියණි කොපුල් සිඹ.....
දියණිය මගේ බෝනික්කා විසි කළාය - 53/54 පිටු
-----------------------------------
හරස්වීදියේ සිට කාව්ය සංග්රහයට ප්රේමයේ සිළු අතර පණ ගැහෙන කවි පොකුර මැයින් පෙරවදනක් ලියන සඳුන් ප්රියංකර විතානගේ කවියා මෙසේත් ලියයි.
“කවියක ආත්මයක් යනු කුමක් ද?
එය හැඟෙන, දැනෙන, යමකි. යම් කවියක් කියැවූ සැණින් සහෘදයාට එය සපුරාම අනන්ය වී හෘද කම්පනය වෙයි. ආත්මය මොහොතකට සසල වෙයි. කාව්ය ශාස්ත්රයට අනුව උසස් යැ යි ගිණිය හැකි නිර්මාණ යනු එකකි. සහෘදය සැණෙන් ප්රකමිපිත කරවන ආත්මයක් ඇති, පණ ගැහෙන නිමැවුම් යනු අනෙකකි. ”
අප්රාණික රාමුවක සුවඳ මල් ගැවසීමේත් එක්තරා ආකාරයක විඳීමක් තිබේ. එහෙත් පණ ගැහෙන සිතිවිල්ලක සුසුමත් සිනාවත් උණුසුමත් සමග තනිවීම තරම් සැනසීමක් නම් එතැන තිබිය නොහැකිය.
‘හරස් වීදියේ සිට‘ © අනුපමා ගනේගොඩ
ප්රථම මුද්රණය 2021
ප්රකාශනය:
සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම
661, 665, 675, පී. ද. ඇස්. කුලරත්න මාවත, කොළඹ 10.
Continue Reading...

Sunday, February 21, 2021

මරීතුමී සමගිනා - හඬම් අපී සැමදෙනා - Quo Vadis කාදිනල් මැල්කම් රංජිත්?

ලංකා දේශපාලනය එක්තරා අර්බුධකාරී සංධිස්ථානයකට ලඟා වෙමින් සිටි අවදියක,  දේවිකා වඩිගමංගාව, රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී, රාජ්‍ය මර්ධනය පිළිකෙව් කරමින් සිය විරෝධය පලකල දෙදාස් දහඅටේ සැප්තැම්බරයේ    කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්
"මානව හිමිකම්වල එල්ලීගෙන ඉන්නෙ ආගමක් අදහන්නැති මිනිස්සු. ආගමක් අදහනවා නම් මානව හිමිකම් ඕනෙ නෑ අපිට"
යැයි සඳහන් කරමින් කල දේශනයක් පිළිබඳ ප්‍රවෘත්තිය මසිත මතු කල මතකයන් හා සිතිවිලි පහත සටහනය. එහෙත් එදා ඒ සටහන ජාලගත නොවන්නේ, කාදිනල් හිමියන්‌, එයිටත් වසර දෙකකට පෙරාතුව 2016 දීත් ප්‍රසිද්ධියේ පලකල මේ මානව හිමිකම් විරෝධිතාව පිලිකෙව් කරමින් ලංකා කතෝලික රදගුරු සංසදය විසින් කරනු ලැබූ ප්‍රකාශයක් හේතුවෙනි.
එදා මෙදා තුර, 2019 පාස්කු ප්‍රහාරයෙනුුුුත්, පාස්කු කොමිසමෙනුත්, පාස්කු කොමිසම පිළිබඳ අමාත්‍ය විමර්ශන කොමිස‌මෙනුත් උගත් පාඩම් රැසකිිිින් සන්නද්ධව අද කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ මෙසේ කියනවා ඇසූවෙන් මේ පරණ සටහන මෙසේ අළුත් කරමි.





==========================================================
මරීතුමී සමගිනා
හඬම් අපී සැමදෙනා
කුරිසියේ බෝ දුක් විඳා
දිවි පුදයි, දිවි පුදයි, ජේසුතුමා

අනේ මොන වරදිනේ
කුරිරු වූ දනන් අතේ
විඳින්නෙ වේදනා මෙසේ
කුරුසියේ කුරුසියේ ජේසූතුමා.....



නයිනාමඩමේ කතෝලික පල්ලි දෙකක් තිබේ. එකක් පාරෙන් නැගෙනහිර පැත්තේ කන්ද උඩය. අනික පාරෙන් බටහිර පැත්තේ වෙල්යායෙන් එගොඩය. කන්ද උඩ පල්ලිය විස්සෝප පල්ලියය. පල්ලැහැ ගංගොඩේ පල්ලිය සන්තන්තෝනි මුනින්ද්‍රයාටය.

විස්සෝප පල්ලිය වික්ෂෝප මෑණියන් ගේය. මං අසා ඇති පමණින්, ඔය දෙකෙන් පරණ පල්ලිය ඒකය. අපි පුංචි කාලේ පෙනුමෙනුත් පරණ පල්ලිය වූයේ ඒකය. වික්ෂෝප මාතාව වෙන්නේ, ගොල්ගොතාවේ කුරුසියක ඇණගසා මැරූ පුතාගේ මලකඳ ඇකයට ගත් මරියාය.  ඒ සිදුවීම සිදුවුනාය කියන්නේ සිකුරාදාවකයැයි කිතුණුවන් අදහන බැවින් බොහෝ වික්ෂෝප පල්ලිවල මෙන්ම මේ පල්ලියේත් හැම සතියකම සිකුරාදා වික්ෂෝප නුවානය පැවැත්වෙයි. මුළු ගමමත්, ගමෙන් පිටවී ලඟක පාතක ඉන්නා හැමෝමත්, දුර බැහැර හිඳ වුවත්, සිකුරාදා වික්ෂෝප නුවානයට එන හැමෝමත් එකතුව වික්ෂෝප නුවානයේදී  ගයන මේ ගීතිකාව කුඩා එකෙක් ලෙස ආච්චිලා,  අම්මලා, නැන්දලා සමග නුවානයට ගිය මගේ සිතේ නොමැකෙන්න සටහන් ව තිබෙයි.

අවුරුදු දෙදහස් ගණනකට පෙර ජීවත්වූ  මේ ගැහැණියගේ කඳුළු ගැන කම්පාවෙන් ඈ සමග හඬන පල්ලිය පුරාගත් මිනිසුන් අතර ඒ කුඩා කාලයේදීත් මා සිත සනිටුහන් වූයේ, මව් සිතක ඉතිරෙන කඳුළු මිස, ඇගේ හදවතේ වේදනාව මිස, සර්වබලධාරී දෙවි කෙනෙකුන්ගේ බල පරාක්‍රමය නොවේ.  ආදම් ඒවගේ ජන්මපාපය කෙසේ වෙතත්, පැවතුනාවූ පල්ලි සංස්ථාවට අභියෝග කර ප්‍රේමයේ දහමක් ඉගැන්වූ වරදට කුරුසියක ඇණගසා එල්ලා මැරූ මිනිසකුගේ මවුන්ගේ කඳුළු මිස, ධර්මයේ හෝ පල්ලියේ පාරිශුද්ධ ඉගැන්වීම නොවේ.

ධර්මය හදවතට සමීප වන්නේ එය හෘදයාංගම සංවේදනාවන්ට සංවේදී වනතාක්ම පමණකියි මම සිතමි. මළවුන් නැගිටුවන ලෙඩ සුවකරන අතරම, දුදනන්ය, අශිෂ්ඨයන්ය අශීලාචාරයන්ය, හැඳින්වුනු කර්කශ මිනිසුන් සමග රැඳී, ඔවුන් වෙත ප්‍රේමයේ පණිවිඩය බෙදා දුන් නාසරතයේ වඩුවා පුත්, ජේසුස් දෙසූ දහමේ කිසි තැනක, තමන්ගේ දහමේ පෞරාණිකත්වය උපුටා දැක්වූ තැනක් ගැන මා උගත්තායි මට නම් මතකයක් නැත.

මට මතක සුභාරංචියට අනුව, අළුත් වචන හා අළුත් අරුත් වරද සහගත ඉවතලිය යුතු ඒවා නම්, ඒ අදහස, පුන පුනා කියැවුනේ, එදා ජෙරුසලෙම් දෙව් මැදුර අරක්ගෙන සිටි අන්නාස්, කයිපාස් හා ඔවුන්ගේ අනුගාමිකයින් ගෙනුත්, ඒ හා එකතුව තම රාජකීයත්වය තහවරු කරගන්නට පිඹුරුපත් ගොනු කල හෙරොද් ඇතුළු යුදෙව් රාජ වංශයේත් මුවින් බව නම් මට මතකය.

ඉතින්, අද මෙසේ ආපසු හැරී බලන කල අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ පහත කතාව,  ක්‍රිස්තු ධර්මයේ මූලික හරයයන් වත්, සිය බැටළු රළේ සිත් සතන් තුල පැලපදියම් කරන්නට නූතන කතෝලික පල්ලිය අසමත් වී ඇති බව එක එල්ලේම පිළිගැනීමක් යැයි මට සිතෙන්නේ ද ඒ නිසාමය.




එතුමන් පවසන අයුරින් නම්, “අද යුරෝපාකරයේ බටහිර රටවල අළුත් ආගම වෙලා තියෙන්නේ මා...නව හිමිකම්“ ය. කණගාටුවට කරුණ නම්, මේ වදන් දෙසන්නේ, යූරෝපීයයන් විසින්, අපේ රටට හඳුන්වාදුන්, එයිටත් වඩා,  රෝමයේ වතිකානුවේ ශුධොතුම් පියාණන්ගේ සභාවට අනුබද්ධිත පත්කල ඒජන්තවරයකු වීමය.

එතුමන් කියන්නේ, තමන් දෙසන දහම, ඒ දහමේ මුල් පුටුව තිබෙන්නාවූ යුරෝපයේත් ගර්හාවට පත්වී ඇති බව ද? නොඑසේ නම් වසර තුනහමාරකට පෙර, සුදොතුම් පියනම, ලක්බිමටම  පැමිණ දෙසූ මේ  වචන හා ලංකා කතෝලික සභාව එකඟ නොවන බව ද?

“දශක ගණනක සිවිල් යුද්ධයේ තුවාල සුවකරන්නට නම්, නැවත ගොඩනැගීමේ මේ මහා කාර්යය, යටිතල ව්‍යුහයන් පණගැන්වීම හා ජනතාවගේ භෞතික අවශ්‍යතා සපුරාලීම ඉතසිතින් වැලඳගත යුතුවා නමුත්, එමෙන්ම, එයටත් වඩාත් වැදගත් ලෙස, මානව ගරුත්වය වර්ධනය කිරීම, මානව හිමිකම් ගරු කිරීම සහ සමාජයේ සියළු සාමාජිකයින් පූර්ණ අයිතීන් ලබා දීම... සිදුවිය යුතුය.“ - අති උතුම් ප්‍රැන්සිස් පාප් තුමන් 2015 ජනවාරියේ දී

Pope urges respect for human rights on Sri Lanka trip

අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණනි, මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් සම්මත කරන ලද්දේ, ඔබට යාන්තම් අවුරුද්දක් වයස් වූ එක්දහස් නවසිය හතලිස් අටේ දෙසැම්බර් මස 10 දින දී බව ඔබ නොදන්නවා විය නොහැකිය. ඔබ එම ලියවිල්ල කියවා හදාරා විශ්ලේෂණය කර ඇත්දැයි නොදනිමි. ඔබ ඔබේ දෙසුමේ භාවිතා කරන වචනත්, ස්වරයත් සමග ඈඳන විට නම්, එසේ නොවන්නට බොහෝ ඉඩ ඇති බව නම් සිතට හැඟෙයි.

වගන්ති තිහකින් සමන්විත මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ පුර්විකාව මෙසේ කියයි.

“ලෝකයේ පවත්නා නිදහස, යුක්තිය සහ සාමය යන්නෙහි පදනම මිනිස් පවුලේ සියලු දෙනාගේම සහජ ගරුත්වය හා අන්සතු කළ නොහැකි වූ සම අයිතිවාසිකම් පිළිගැනීම වන හෙයින් ද,

මානව අයිතිවාසිකම් නොතැකීම හා අවඥාවට ලක් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිස් වර්ගයාගේ හෘදය සාක්ෂිය සාහසික පීඩනයට භාජනය කෙරෙන ම්ලේච්ඡ කෘෘරකම් සිදුවී ඇති හෙයින් ද, මිනිස් වර්ගයාට  අදහස් ප්‍රකාශ කිරීමේ හා විශ්වාස ඇදහිලි දැරීමේ නිදහසත්, බියෙන් හා අගහිඟකමින් තොරවීමේ නිදහසත් භුක්ති විඳීමට හැකි ප්‍රජාවක් ඇරඹීම පොදු ජනතාවගේ ශ්‍රෙෂ්ඨතම අපේක්ෂාව ලෙස ප්‍රකාශයට පත්වී ඇති හෙයින් ද,“

එවන් වදන් නට්සින්ගේ යුදෙව් සමූලඝාතන ප්‍රයත්නයෙන් පැල්ලම් ගැසුණු, දෙවන ලෝක මහා යුද්ධයේ සෙවනැල්ල යට බිහිවුනු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරගත් මූලිකම වූ ලියවිල්ලකට පිළිපන්නේ කෙසේ ද? ඔබ පෙනී සිටින්නාවූ දහම, බටහිර ලෝකයේ ප්‍රචලිතම දහම වූ පසුබිමක් තුල, බටහිර රාජ්‍යයන් පණස් ගණනක් එක්ව පිහිටුවගත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවන් සම්මුතියක් ගෙන ඒම තුලින් බලාපොරොත්තු වූයේ මොනවාද?

Quo Vadis කාදිනල් මැල්කම් රංජිත්?

Continue Reading...

Monday, January 25, 2021

දිව්‍යමය ස්පර්ශය......

සිස්ටයින් දෙව්මැදුරු වියන යට පලංචියක දිගාවී උඩු බැල්ලෙන් පින්සලක කෙස්ස සකසයි මහා සිත්තර මයිකල්....

"මට නම් කලන්තෙ දායි....
ඔච්චර උඩ... මොන තරං ඉවසිල්ලක් ද?"
ඔබ කියයි...
රූප තිරයෙන්
දෑස් නොගෙනම.....
ගල් තලාවක
නිරුවතින් වැතිරි ආදම්..
දණිස මත වැලමිට රඳවා
ආයාසයෙන් දිගුකරයි
වම් අතේ දබරැඟිල්ල
යන්තමින් සෙලවෙන
ඔබේ දෙතොල්
මන්දස්මිතියක නතරවෙයි
දිගෑදී යන්තමට විවර වන නෙත්
වෑයමෙන් ඉහලට නැගෙන
හුස්මකට ඉඩ දෙයි...
"ඇයි අර දෙවියන්ගෙයි
ආදම්ගෙයි ඇඟිලි...
එච්චර ලඟට ඇවිල්ලත්
ගෑවෙන්නෙ නැත්තෙ?“
ඇසෙන නෑසෙන
හඬින් මිමිණෙයි
“දෙවියෝ එහෙම තමයි
ඇඟිල්ල දික්කරනවා විතරයි...
ස්පර්ශ කරන්නේ නැහැ....!“

Continue Reading...

Tuesday, January 5, 2021

ආවාට විලේ මහල්ලා....!



හදක් දැවුනු ළය මඬලක ගිනි දළු පිපිරී
උරත් පලා නැග අහසට ලෝ දිය විසිරී
හිසත් සිඳූ ගිනි කන්දක පපු තුර පැහැරී
විලක් හැදුනි නිල් දියවර ඉතිරී පැතිරී

එ’ විල් තෙරම වන ලැහැබක උපන් තුරක් දෝ
එ’ කඳු හිසම මල් යහනක ඔකඳ වුනා දෝ
එ’ ගිනි කන්ද සිප සනසන දොලක් උපන් දෝ
එ’ ගිනි නිවුණු  දා කඳු හිස සෙවන කලා දෝ

වසත් කලෙක වට වැස්සක අහස පිබිදිලා
පවස් සිඳුණු මිහිකත ඉපිලෙද්දි දිය ගලා
පවත් නොදැන ඉගිලුනු දා දෙපා බොඳවෙලා
ගියත් සිඳී අතු ඉති පත් නැතිය පැරදිලා

ගඟක දොලක දිය කඳුරක ගිලී පා වෙවී
පියුම් පිපුණු සැඩ පහරක රැඳී ලතැ වෙවී
ඇදී ඇදී ඇදී අවුත් සිටියි නතරවී
නැවුම් විලක දිය ගැඹරෙක නොවී සසලැවී

වසත් සමේ මලින් පිරෙන විල්තෙරේ ලපල්
ගියත් මකා සිසිර සිහිල පිරුණු නල කැරැල්
හිමත් මිදී විලත් වැසෙයි මිහිදුමේ දුහුල්
බියත් සැකත් ඇතත් නැතිය සැසැලිලා අකල්

අහස පුරා කළුවර සළු ඇතිරෙනා පැයේ
සිඟිති එළිය බිංදු ඉසී දිලිසෙනා රැයේ
පහන පිපී හිත ඉපිලෙන විහඟ ගීතයේ
සියක් වසක් බලා හිඳීයි කරවටක් දියේ

හිසක් ලයක් නොමැති නිසල කවඳකට කෙතෙක්
කලක් ගියත් මතක් වේද නිදන ඇසිල්ලක්
පයක් නොරැඳි තරම් ගැඹුරු නරා විල් දියක්
ගෙයක් අහිමි තුරක් සරයි නැතිව නැවතුමක්

මුලිනි’දිරී දෙදණ වැටී මියෙන ලෝකයේ
සුවඳ පිපේ ඉතිර හැලේ මියුරු තානයේ
හිසද සිඳී දියෙහි ගිලී ගයන ගීතයේ
නැගිට නැගී විල තනිවූ ඉන්ද්‍ර චාපයේ

ඉපිල නටන තුරු හිස් සිඹ සිහින රැඳෙව්වේ
පිපෙන පිපෙන මල් වල පෙති පැහැ ගැන්වූවේ
නැගෙන බසින දිය රළ රැලි පොඩිති නැලෙව්වේ
විලක ගිලුණු පැරණි තුරකි සතුටු කොදෙව්වේ


2020 ජනවාරි පස්වෙනිදා

පසුබිම් සටහන:
ඇමරිකා එක්සත් ජනපද ස්වදේශිකයන්ගේ ප්‍රවාදයන්ට අනුව, ප්‍රාදේශීය නායකයකු ගේ දියණියක පැතූ,  පාතාලාධිපති දෙවියා ලෙඕ, සැතපුමක් පමණ උස්වූ, ඔරිගන් හි මෂාමා කන්ද මුදුනේ ගිණි ජාලාවක් මවා, ලෝ දිය උතුරවා හැරියේය. එයින් උරණ වූ ගුවනාධිපති දෙවි ස්කෙල්, කැලිෆෝනියාවේ ෂාශ්ඨා කඳු මුදුනේ සිට විසල් ගිණි ගුලි එවා මෂාමා කඳු හිස සුනු විසුණු කර උදුරා උගුලුවා දැමීය. ඒ රාත්‍රිය අවසන, ලෙඕ නැවත පාතාල ලෝකයට වැද සැඟවුණු අතර, ස්කෙල්, සිය ජයග්‍රහණය සනිටුහන් කරනු වස්, මෂාම කඳු මුදුනත සැදුනු විසල් ආවාටය නිල් දියෙන් පුරවාලීය.

මෙසේ උපන්නේයැයි සැලකෙන, අඩි හැත්තෑ දහසක් උස්වූ කඳු මුදුනතක පිහිටි, සැතපුම් හයක් පමණ විසල් වූද, අඩි දෙදහසක් පමණ ගැඹුරු වූද,  ඔරිගන් ආවාට විලෙහි අපූරු පදිංචිකරුවෙක් වෙසෙයි. ඒ, විලේ මහල්ලා; “The Old Man of the Lake”; නමින් හැඳින්වෙන, නිරීක්ෂණ වාර්තා අනුව, අවුරුදු සියයකට අධික කාලයක් විල් දියෙහි සිටින්නේ යැයි සාධක ඇති, සිරස් අතට ජලයේ පාවෙන, විසල් තුරු කඳකි. 

ජල මට්ටමෙන් අඩි හතරක් පමණ ඉහලට එසවී ඇති, හිස සුන්, මේ තුරු කඳ, ජල මට්ටම ආසන්නයේ අඩි දෙකක් පමණ විශ්කම්භයකින් යුතුය. ජලය තුල ගිලී ඇති කොටස අඩි තිහක් පමණ වේ යැයි නිර්ණය කර තිබේ. කාබන් කාල නිර්ණයන්ට අනුව තුරු කඳේ වයස අවුරුදු හාරසිය පණහක් පමණ වේ යැයි ගණනය කර තිබෙයි. 

කිසිදු ගංගාවකින් පෝෂණය නොලබන, මෂාමා කන්දේ ආවාට විලට, මේ යෝධ ගස,  යම් කලක සිදුවූ අධික වර්ෂාපතනයක් හෝ නාය යාමක් හේතුවෙන් ඉවුරකින්ම ඉදිරී දියකඳ සමග ඇදීවුත් පතිත වූයේ යැයි සිතනු ලබයි.

ශතකයකට අධික කාලයක්, හුදකලා කඳු මුදුනක පිහිටි ආවාට විලක නොගිලී, නොපෙරෙලී පාවෙන, ආවාට විලේ මහල්ලා, අද වන විට, බලාපොරොත්තු විය හැකි පරිද්දෙන්ම, ඔරිගන් ආවාට විල් උද්‍යාන සංකීර්ණයට සංචාරකයින් කැඳවන ආකර්ෂණයක් වී තිබේ.

පින්තූර අවසනට සඳහන් ආශ්රිතයෙනි.

Continue Reading...

Friday, January 1, 2021

දකුණ බෑ කිව්වා.. හතලිස් අවුරුද්දකට කලින්...

2020 ගෙවෙන වෙලාවේ 1980 අවුරුද්දේ අවසන් දවස් ගෙවුනේ කොහොම ද බලන්න පරණ දින පොත පෙරළුවා....

තුන්මුල්ලේ අධ්‍යාපනය හමාර කරලා, රස්සා හොයන වැඩේ අංජබජල් තත්වයෙන් යද්දී, ලකුණුත් තියනෙකේ, තව ඉගෙන ගන්ඩ හිතපු දවස් ඔය. රුහුණේ, සම්මුඛ පරීක්ෂණයකට ගියා දෙසැම්බර මුල.... නමුත් ආචාර්ය විජේනායක මයාට උවමනාව තිබුණේ.... අද හෙටම පශ්චාත් උපාධියකට පිටරටකට පිටත් වෙන්න තරමට කරුණු කාරණා සම්පූර්ණ කරගත් අපේක්ෂකයෙක්.... ආපහු එයිද නැද්ද නොදන්නා, එහෙම යන්ඩ දඟලන අය,  ගන්ඩ වෙන විශ්වවිද්‍යාලවල උදාසීනත්වයක් තිබුණත්, අළුත උපන් රුහුණට උවමනා වුනේ, පුළුවන් ඉක්මනින්, ආචාර්ය මණ්ඩලය හදා වඩා ගන්නයි.

ඔය කාලේ ඇමරිකාවේ පශ්චාත් උපාධියක් සඳහා අයදුම් කරන්න නම් මූලික යෝග්‍යතා පරීක්ෂණ දෙකක් සමර්ථ විය යුතුව තිබුණා. එකක් ඉංග්‍රිසි හැකියාව මනින TOFEL. දෙවැන්න, තමන්ගේ විෂයානුබද්ධ දැනුම මනින GRE. ඒ දෙසැම්බර නවවෙනිදා රුහුණේ සම්මුඛ පරීක්ෂණයට යද්දී, අතේ නොතිබුණු GRE ප්‍රතිඵල, දහ වෙනිදා තැපෑලේ ආවා...

එහේ මෙහේ කැරකිලා කැරකිලා, ඒ වෙද්දී ජනවාරි මුලට තලවාකැලේ තේ පර්යේෂණායතනයේ රස්සාවක් අතේ තිබුණත්, විශ්ව විද්‍යාලයකට, එයිටත් මාතර තියන රුහුණට බැඳෙන්ඩ ඇත්නම් කියන හිතිවිල්ල හින්දාම, ජනේරුවේ තලවාකැලේ යන්ඩ කලියෙන් දෙසැම්බර විසි නව වෙනිදා මාතර ගියා. 

ප්‍රතිඵල කොලේ පෙන්නලා, අරහෙ යනවාට වඩා මෙහේ එන්න ආසාව කොච්චර කිව්වත්, පැහැදිලි උත්තරයක් නොලැබුණු එදා....

බස් නැවතුමේ මුණ ගැහුුුුණු මහාචාර්ය පී. පී. ජී. එල්. සිරිවර්ධනටත් සීට් එකක් එහෙම අල්ලලා දීලා, එයාගෙන් ලැබුණු ගුරුහරුකමුත් අතේ මොලවන් ගෙදර ඇවිත් 81 ජනවාරි පළවෙනි දා තලවකැලේ ගිය මට, මාතරින් ලියුමක් ආවේ, පෙබරවාරියේ විතර...

ඒත් ඒ වෙද්දී, තේ වලට හිත ගිහින් ඉවරයි.




Continue Reading...

Blogroll

About