Monday, October 18, 2021

තාරකා පිරුණු අහසක් යට හරස් වීදියක තනිවීම - අනුපමා ගනේගොඩගේ ‘හරස් වීදියේ සිට‘

Share it Please


 


අංගාර ආගාර යනු, අභ්යවකාශයේ හමුවන, ආලෝක කිරණයකට පවා පිටව යා නොහැකි අධිකතර ගුරුත්වාකර්ෂණයක් සහිත ස්ථාන වෙයි. මේ අධිගුරුත්වාකර්ෂණය ඇතිවන්නේ අංගාර ආගාරයෙහි අඩංගු පදාර්ථ ක්ෂුද්ර වූ පරිමාවකට ශේෂවී ගොනුවී ඇති බැවිනි. මෙවැනි ක්රියාවලියක් තරුවක් මියෙද්දී ද ඇතිවිය හැක. ආලෝකයට පිටතට පැමිණිය නොහැකි බැවින් අංගාර ආගාර පියවි ඇසට නොපෙනෙයි. ඒවා අදුර්ශමානය. විශේෂිත උපකරණ සවිකල අභ්යවකාශ දුරේක්ෂ අංගාර ආගාර හඳුනාගැනීමට උපකාරී වෙයි. මේ විශේෂිත උපකරණ වලට ආසන්නයේ පිහිටි අංගාර ආගාරයක් නිසා තාරකාවක හැසිරීමේ ඇතිවන වෙනස්කම් දැකිය හැකි වෙයි.

-What is a black hole - නාසා වෙබ් පිටුවෙන්
කවි කියන්නේත් ජීවිතයෙන් උකහාගෙන අපේ සිත්තුල කොහෝ හෝ තැනක අධිකතර ගුරුත්වාකර්ෂණයකින් රඳවා ඇති දහසකුත් ආලෝක කදම්භයන් සිරගත වූ අංගාර ආගාරයන් ගේ පැවතීම පෙන්වන තරු ලකුණු නොවේදැයි හිතෙන්නට පටන් ගත්තේ, අනුපමාගේ කවිපොත එක්ක හරස්වීදියේ තනිවුනු වෙලාවකය. වසර ගණනකට පෙර බූන්දියෙන් හමුවූ, මුහුණු පොතෙන් කියවූ, අනූපමාගේ කවි, අද 2020 ගොඩගේ අත් පිටපත් තරඟයේ සම්මානලාභී කෘතියක් ලෙස ‘හරස්වීදියේ සිට’ කවිපොතට ගොනුවී තිබේ.
ලතාවකට රටාවකට වචන ගැලපුමට එහා ගොස් කතාවක් කියනවාටත් වඩා, කතාවක් තියන බව කියන, සන්තාන චිත්රයක් ඇඳගන්නට වර්ණ සංකලනය කර දෙන, හෘදයාංගම තනුවකට ස්වර කැටිකරන කවියක් සමග තනිවීම යනු, තරු පිරුණු අහසක අදුර්ශමාන අංගාර ආගාරයක සැඟවුණු අප්රමාණ හැඟීම් සමුදායයක් ස්පර්ශ කර බැලීමක්ම වෙයි.
---------------------------
හිස්තැන් පුරන්නට පැමිණ ගිය
ඇගේ ඇඳුමින් ගිලිහුණු
රතු පබළුවක්
ඇහිඳ ගමි
අතීතයෙන් පැමිණ මා වෙලාගත්
මතකයක රිදී යමි
“එයා සුදු නෑ ලස්සණත් මදි
අපිට පුළුවන් එයා මලකට ගන්න
රෝසපාට ඩිමයි කොළයකින්
පුළුවන් මූණ වහන්න
සුරංගනාවි එද්දි ඔයා වාඩි වී
දෙපසට වැනෙන්න”
උත්සවය කෙළවර
ඈ හිඳී පිටුපා උස් කණුවකට
රතු පැහැ පබළුව ඈ අත තබමි
ඈ පිපී යයි
“අනේ ඒක නැතුව මම හිටියෙ බයවෙලා”
රෝස පැහැ පුයර ගැල්වූ
කළු පාට කම්මුලකට
තෙත හාදු ගල්වමි......
සුදු නොවෙන රතු පබළු - 26/27 පිටු
----------------------------
කවියක, ලියවිල්ලක ගුණාගුන කියන්නට හෝ විචාරයක් ලියන්නට සමත්කමක් නැති නමුත්, නෙත් පියා විඳි විඳීමක් බෙදාගැනීමේ සතුට මටත් අයිතියැයි මම සිතමි.
ඉතින්, මදඳුරු හැන්දෑවක පාළු ගෙවුයනක් මැදින් ගොස් පියන්පත් වැසුණු කවුළුවක සිදුරකට ඇස් තබා බලන කුඩාවෙක් වීමේ ආශ්චර්යය කොතරම් දැයි ඔබෙන් අසමි.
---------------------------------
සුපුරුදු ලෙසම නිහඬ නදියේ ඔබ ගිලෙයි
දිය පීරා මෙගොඩ එතැයි මා ගං ඉවුරේ ය...
සරැලි නොනගින නදිය
සිඳ බිඳ සිඳු පැමිණිය
රළ බිඳින ලුණු රසය
කඳුළුවල පෙරළුමක් වෙද
ඇවිද යන විට මතක මැද
කළුවර දිවවිත් අතින් ඇද
පහන් දැල්විය යුතු යැයි කියයි
එවිට,
එගොඩ යන ඔබේ සෙවණැල්ල දකිමි...
ඔබේ සෙවණැල්ල දකිමි - 29 පිටුව
----------------------------------------
එසේත් නැත්නම්, කවදාක හෝ ඔබ, හඳ පායලාද බලන්නට ඇරෙන කවුළුවක් තුලින් දකින, සා රුවක සළකුණු, වල ගොඩැලි වලින් ඇඳුණු, සරාසඳ පසුපස ඉහිරෙන, අන්ධකාර වළාකුළුවල ලියා ඇති කවි කියවා ඇද්ද?
----------------------------------------
එතකොට මම
පොලොස් උයලා මාළු ඇඹුල් තියල් දාල
කීරි සම්බා බතට පොල් සම්බෝලයක් හදනවා
රහසින් තදින් හුස්මක් හෙළන ගමන්
කවුළුව ඇරලා බලනවා
“අද හඳපායන දවසක් ද?”
පොතෙන් ඉරී ගිය පැමිණිලි - 40/41 පිටු
------------------------------------------
ඒ කිසිවක්ම නොකලත්, ඔබ කුණු ලොරියක සුදු කවරයක නිදන එක් පයක් කැඩී, එක් ඇසක් වපර වුණු බෝනික්කකු කවදාක හෝ දැක ඇද්ද.....?
--------------------------------------
“නිස්සද්ද ළමයෙක්, වැඩිපුර ඉන්නෙ තනියම”
මිතුරුකම් අසමත් ව ඇතුළු හදටම එබුණ
තනියට බෝනික්කාට තුරුළු වුණ
“තමුසෙ කිසිදේකින් නොසෑහෙන ගෑනියෙක්
කිසිම සන්තෝසයක් නැති”
“අම්මේ....
මේ බෝනික්කා කැතයි...
අපි එයා විසි කරමු.... ”
නින්ද නොආ දිගු රැයකින් පසු
සුදු කවරයක බහා
කුණු ලොරියට විසි කළෙමි
බෝනික්කා...
උදාසන රන් එළිය
සෙමින් විත් වැතිරෙයි
මා දියණි කොපුල් සිඹ.....
දියණිය මගේ බෝනික්කා විසි කළාය - 53/54 පිටු
-----------------------------------
හරස්වීදියේ සිට කාව්ය සංග්රහයට ප්රේමයේ සිළු අතර පණ ගැහෙන කවි පොකුර මැයින් පෙරවදනක් ලියන සඳුන් ප්රියංකර විතානගේ කවියා මෙසේත් ලියයි.
“කවියක ආත්මයක් යනු කුමක් ද?
එය හැඟෙන, දැනෙන, යමකි. යම් කවියක් කියැවූ සැණින් සහෘදයාට එය සපුරාම අනන්ය වී හෘද කම්පනය වෙයි. ආත්මය මොහොතකට සසල වෙයි. කාව්ය ශාස්ත්රයට අනුව උසස් යැ යි ගිණිය හැකි නිර්මාණ යනු එකකි. සහෘදය සැණෙන් ප්රකමිපිත කරවන ආත්මයක් ඇති, පණ ගැහෙන නිමැවුම් යනු අනෙකකි. ”
අප්රාණික රාමුවක සුවඳ මල් ගැවසීමේත් එක්තරා ආකාරයක විඳීමක් තිබේ. එහෙත් පණ ගැහෙන සිතිවිල්ලක සුසුමත් සිනාවත් උණුසුමත් සමග තනිවීම තරම් සැනසීමක් නම් එතැන තිබිය නොහැකිය.
‘හරස් වීදියේ සිට‘ © අනුපමා ගනේගොඩ
ප්රථම මුද්රණය 2021
ප්රකාශනය:
සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම
661, 665, 675, පී. ද. ඇස්. කුලරත්න මාවත, කොළඹ 10.

2 comments:

  1. ඔබ තෝරා ගත් කවි ලස්සනයි. කළු කුහර කතාව හොඳ සිහලෙන් ලියල තියෙනවා.

    ReplyDelete

Blogroll

About