Saturday, February 20, 2021

මරීතුමී සමගිනා - හඬම් අපී සැමදෙනා - Quo Vadis කාදිනල් මැල්කම් රංජිත්?

Share it Please
ලංකා දේශපාලනය එක්තරා අර්බුධකාරී සංධිස්ථානයකට ලඟා වෙමින් සිටි අවදියක,  දේවිකා වඩිගමංගාව, රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී, රාජ්‍ය මර්ධනය පිළිකෙව් කරමින් සිය විරෝධය පලකල දෙදාස් දහඅටේ සැප්තැම්බරයේ    කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්
"මානව හිමිකම්වල එල්ලීගෙන ඉන්නෙ ආගමක් අදහන්නැති මිනිස්සු. ආගමක් අදහනවා නම් මානව හිමිකම් ඕනෙ නෑ අපිට"
යැයි සඳහන් කරමින් කල දේශනයක් පිළිබඳ ප්‍රවෘත්තිය මසිත මතු කල මතකයන් හා සිතිවිලි පහත සටහනය. එහෙත් එදා ඒ සටහන ජාලගත නොවන්නේ, කාදිනල් හිමියන්‌, එයිටත් වසර දෙකකට පෙරාතුව 2016 දීත් ප්‍රසිද්ධියේ පලකල මේ මානව හිමිකම් විරෝධිතාව පිලිකෙව් කරමින් ලංකා කතෝලික රදගුරු සංසදය විසින් කරනු ලැබූ ප්‍රකාශයක් හේතුවෙනි.
එදා මෙදා තුර, 2019 පාස්කු ප්‍රහාරයෙනුුුුත්, පාස්කු කොමිසමෙනුත්, පාස්කු කොමිසම පිළිබඳ අමාත්‍ය විමර්ශන කොමිස‌මෙනුත් උගත් පාඩම් රැසකිිිින් සන්නද්ධව අද කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ මෙසේ කියනවා ඇසූවෙන් මේ පරණ සටහන මෙසේ අළුත් කරමි.





==========================================================
මරීතුමී සමගිනා
හඬම් අපී සැමදෙනා
කුරිසියේ බෝ දුක් විඳා
දිවි පුදයි, දිවි පුදයි, ජේසුතුමා

අනේ මොන වරදිනේ
කුරිරු වූ දනන් අතේ
විඳින්නෙ වේදනා මෙසේ
කුරුසියේ කුරුසියේ ජේසූතුමා.....



නයිනාමඩමේ කතෝලික පල්ලි දෙකක් තිබේ. එකක් පාරෙන් නැගෙනහිර පැත්තේ කන්ද උඩය. අනික පාරෙන් බටහිර පැත්තේ වෙල්යායෙන් එගොඩය. කන්ද උඩ පල්ලිය විස්සෝප පල්ලියය. පල්ලැහැ ගංගොඩේ පල්ලිය සන්තන්තෝනි මුනින්ද්‍රයාටය.

විස්සෝප පල්ලිය වික්ෂෝප මෑණියන් ගේය. මං අසා ඇති පමණින්, ඔය දෙකෙන් පරණ පල්ලිය ඒකය. අපි පුංචි කාලේ පෙනුමෙනුත් පරණ පල්ලිය වූයේ ඒකය. වික්ෂෝප මාතාව වෙන්නේ, ගොල්ගොතාවේ කුරුසියක ඇණගසා මැරූ පුතාගේ මලකඳ ඇකයට ගත් මරියාය.  ඒ සිදුවීම සිදුවුනාය කියන්නේ සිකුරාදාවකයැයි කිතුණුවන් අදහන බැවින් බොහෝ වික්ෂෝප පල්ලිවල මෙන්ම මේ පල්ලියේත් හැම සතියකම සිකුරාදා වික්ෂෝප නුවානය පැවැත්වෙයි. මුළු ගමමත්, ගමෙන් පිටවී ලඟක පාතක ඉන්නා හැමෝමත්, දුර බැහැර හිඳ වුවත්, සිකුරාදා වික්ෂෝප නුවානයට එන හැමෝමත් එකතුව වික්ෂෝප නුවානයේදී  ගයන මේ ගීතිකාව කුඩා එකෙක් ලෙස ආච්චිලා,  අම්මලා, නැන්දලා සමග නුවානයට ගිය මගේ සිතේ නොමැකෙන්න සටහන් ව තිබෙයි.

අවුරුදු දෙදහස් ගණනකට පෙර ජීවත්වූ  මේ ගැහැණියගේ කඳුළු ගැන කම්පාවෙන් ඈ සමග හඬන පල්ලිය පුරාගත් මිනිසුන් අතර ඒ කුඩා කාලයේදීත් මා සිත සනිටුහන් වූයේ, මව් සිතක ඉතිරෙන කඳුළු මිස, ඇගේ හදවතේ වේදනාව මිස, සර්වබලධාරී දෙවි කෙනෙකුන්ගේ බල පරාක්‍රමය නොවේ.  ආදම් ඒවගේ ජන්මපාපය කෙසේ වෙතත්, පැවතුනාවූ පල්ලි සංස්ථාවට අභියෝග කර ප්‍රේමයේ දහමක් ඉගැන්වූ වරදට කුරුසියක ඇණගසා එල්ලා මැරූ මිනිසකුගේ මවුන්ගේ කඳුළු මිස, ධර්මයේ හෝ පල්ලියේ පාරිශුද්ධ ඉගැන්වීම නොවේ.

ධර්මය හදවතට සමීප වන්නේ එය හෘදයාංගම සංවේදනාවන්ට සංවේදී වනතාක්ම පමණකියි මම සිතමි. මළවුන් නැගිටුවන ලෙඩ සුවකරන අතරම, දුදනන්ය, අශිෂ්ඨයන්ය අශීලාචාරයන්ය, හැඳින්වුනු කර්කශ මිනිසුන් සමග රැඳී, ඔවුන් වෙත ප්‍රේමයේ පණිවිඩය බෙදා දුන් නාසරතයේ වඩුවා පුත්, ජේසුස් දෙසූ දහමේ කිසි තැනක, තමන්ගේ දහමේ පෞරාණිකත්වය උපුටා දැක්වූ තැනක් ගැන මා උගත්තායි මට නම් මතකයක් නැත.

මට මතක සුභාරංචියට අනුව, අළුත් වචන හා අළුත් අරුත් වරද සහගත ඉවතලිය යුතු ඒවා නම්, ඒ අදහස, පුන පුනා කියැවුනේ, එදා ජෙරුසලෙම් දෙව් මැදුර අරක්ගෙන සිටි අන්නාස්, කයිපාස් හා ඔවුන්ගේ අනුගාමිකයින් ගෙනුත්, ඒ හා එකතුව තම රාජකීයත්වය තහවරු කරගන්නට පිඹුරුපත් ගොනු කල හෙරොද් ඇතුළු යුදෙව් රාජ වංශයේත් මුවින් බව නම් මට මතකය.

ඉතින්, අද මෙසේ ආපසු හැරී බලන කල අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ පහත කතාව,  ක්‍රිස්තු ධර්මයේ මූලික හරයයන් වත්, සිය බැටළු රළේ සිත් සතන් තුල පැලපදියම් කරන්නට නූතන කතෝලික පල්ලිය අසමත් වී ඇති බව එක එල්ලේම පිළිගැනීමක් යැයි මට සිතෙන්නේ ද ඒ නිසාමය.




එතුමන් පවසන අයුරින් නම්, “අද යුරෝපාකරයේ බටහිර රටවල අළුත් ආගම වෙලා තියෙන්නේ මා...නව හිමිකම්“ ය. කණගාටුවට කරුණ නම්, මේ වදන් දෙසන්නේ, යූරෝපීයයන් විසින්, අපේ රටට හඳුන්වාදුන්, එයිටත් වඩා,  රෝමයේ වතිකානුවේ ශුධොතුම් පියාණන්ගේ සභාවට අනුබද්ධිත පත්කල ඒජන්තවරයකු වීමය.

එතුමන් කියන්නේ, තමන් දෙසන දහම, ඒ දහමේ මුල් පුටුව තිබෙන්නාවූ යුරෝපයේත් ගර්හාවට පත්වී ඇති බව ද? නොඑසේ නම් වසර තුනහමාරකට පෙර, සුදොතුම් පියනම, ලක්බිමටම  පැමිණ දෙසූ මේ  වචන හා ලංකා කතෝලික සභාව එකඟ නොවන බව ද?

“දශක ගණනක සිවිල් යුද්ධයේ තුවාල සුවකරන්නට නම්, නැවත ගොඩනැගීමේ මේ මහා කාර්යය, යටිතල ව්‍යුහයන් පණගැන්වීම හා ජනතාවගේ භෞතික අවශ්‍යතා සපුරාලීම ඉතසිතින් වැලඳගත යුතුවා නමුත්, එමෙන්ම, එයටත් වඩාත් වැදගත් ලෙස, මානව ගරුත්වය වර්ධනය කිරීම, මානව හිමිකම් ගරු කිරීම සහ සමාජයේ සියළු සාමාජිකයින් පූර්ණ අයිතීන් ලබා දීම... සිදුවිය යුතුය.“ - අති උතුම් ප්‍රැන්සිස් පාප් තුමන් 2015 ජනවාරියේ දී

Pope urges respect for human rights on Sri Lanka trip

අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණනි, මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් සම්මත කරන ලද්දේ, ඔබට යාන්තම් අවුරුද්දක් වයස් වූ එක්දහස් නවසිය හතලිස් අටේ දෙසැම්බර් මස 10 දින දී බව ඔබ නොදන්නවා විය නොහැකිය. ඔබ එම ලියවිල්ල කියවා හදාරා විශ්ලේෂණය කර ඇත්දැයි නොදනිමි. ඔබ ඔබේ දෙසුමේ භාවිතා කරන වචනත්, ස්වරයත් සමග ඈඳන විට නම්, එසේ නොවන්නට බොහෝ ඉඩ ඇති බව නම් සිතට හැඟෙයි.

වගන්ති තිහකින් සමන්විත මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ පුර්විකාව මෙසේ කියයි.

“ලෝකයේ පවත්නා නිදහස, යුක්තිය සහ සාමය යන්නෙහි පදනම මිනිස් පවුලේ සියලු දෙනාගේම සහජ ගරුත්වය හා අන්සතු කළ නොහැකි වූ සම අයිතිවාසිකම් පිළිගැනීම වන හෙයින් ද,

මානව අයිතිවාසිකම් නොතැකීම හා අවඥාවට ලක් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිස් වර්ගයාගේ හෘදය සාක්ෂිය සාහසික පීඩනයට භාජනය කෙරෙන ම්ලේච්ඡ කෘෘරකම් සිදුවී ඇති හෙයින් ද, මිනිස් වර්ගයාට  අදහස් ප්‍රකාශ කිරීමේ හා විශ්වාස ඇදහිලි දැරීමේ නිදහසත්, බියෙන් හා අගහිඟකමින් තොරවීමේ නිදහසත් භුක්ති විඳීමට හැකි ප්‍රජාවක් ඇරඹීම පොදු ජනතාවගේ ශ්‍රෙෂ්ඨතම අපේක්ෂාව ලෙස ප්‍රකාශයට පත්වී ඇති හෙයින් ද,“

එවන් වදන් නට්සින්ගේ යුදෙව් සමූලඝාතන ප්‍රයත්නයෙන් පැල්ලම් ගැසුණු, දෙවන ලෝක මහා යුද්ධයේ සෙවනැල්ල යට බිහිවුනු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරගත් මූලිකම වූ ලියවිල්ලකට පිළිපන්නේ කෙසේ ද? ඔබ පෙනී සිටින්නාවූ දහම, බටහිර ලෝකයේ ප්‍රචලිතම දහම වූ පසුබිමක් තුල, බටහිර රාජ්‍යයන් පණස් ගණනක් එක්ව පිහිටුවගත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවන් සම්මුතියක් ගෙන ඒම තුලින් බලාපොරොත්තු වූයේ මොනවාද?

Quo Vadis කාදිනල් මැල්කම් රංජිත්?

No comments:

Post a Comment

Blogroll

About