Thursday, February 9, 2017

කැමීලියා සිනෙන්සිස් ගේ රහ ගුණ දෙන හත් පට්ටම [කම්කරු කළ සිකියුරිටි ගස් කතාවක්]

Share it Please


ඉහල යන්නට ජන්ම උරුමය ඇතත්, බලහත්කාරයෙන් පහලින් තබා තිබීමට එරෙහිව නැගී සිටීම මිනිසුන් ගැහැණුන්ට කෙසේ වෙතත් ගහකට වැලකට නම් කරන්නට අපහසුම දෙයකි. වෙනත් බොහෝ දේ මෙන්ම මේ විදිහේ පහත් කිරීම් ද කාලයකට පසුව සංස්කෘතියය, ආගමය, ඉතිහාසයය ආදී කඩතුරාවලින් වැසී සාමාන්‍ය දේවල් බවටත්, 'එදා ඉඳලම එහෙම තමයි', 'ඔව්වා වෙනස් කරන්ඩ ඉතින් මකල හදන්ඩ ඕනා' වැනි උද්දච්ච කතා වලින් තෙම්පරාදු වී විශ්ව සත්‍යයය හෝ ලෝක ස්වභාවය බවටත් පත්වෙයි.

අපේ රටේ උඩරට කඳුකර සිරියා පරදන ලඳුන් අත පත ගානා තේ පඳුරුත් ඒ ලඳුන් වාගේම අපට දළු කඩන්නට ඕනා නිසාම අඩි තුන හතරක උසට බලෙන් කප්පාදු කර 'කම්කරු' ප්‍රමාණයට මිටි කර තබා ඇති නිදහසේ වැඩෙන්නට ඇරියොත් අඩි හැට ගණනක් උස මහතට නැගී සිටින 'සිකියුරිටි' හෝ එයිටත් ඉහල තනතුරු වලට හැඩ වැඩ හා සුදුසුකම් ඇති කටවචනයට 'පඳුරු'ය  කිව්වත්, පරම්පරා නාමය අනුව නම් 'කැමීලියා සිනෙන්සිස්'  (Camellia sinensis) වන්නාවූ වෘක්ෂයෝ වෙති.

තේ ගහත් තේ රහත් හා හපුරා කියා රජ පරපුරක තොලේ කටේ ගෑවුණු චීන රටේ, යූනාන් ප්‍රාන්තයේ අඩි සීයක් විතර උස පරණම තේ ගහක් තියේ යැයි අන්තර්ජාලය කියයි. මගේ ඇහින් දුටු නිදහසේ උස් මහත්වුනු තේ ගස් තිබුණේ තලවාකැලේ තේ පර්යේෂණායතනයේ ශාන්ත කූම්බ්ස් වත්තේ, උඩහ ජේෂ්ඨ කාර්ය මණ්ඩල නිවාස වලට යන පාරේ අද මතක හැටියට, ගෙස්ට් හවුස් එක හරියේ වංගුවෙන් පහල බැලුවාමය. මදුරු බයිසිකලයේ පසුපස ආසනයේ මා රැගෙන වත්ත පුරා ගෙන ගොස් තේ වවන විද්‍යාව මට ඉගැන්නූ මගේ මිත්‍රයා කියන හැටියට නම් ලෝකයේ තනිකරම මිනිහාගේ උවමනාව නිසාම, මහාම පරිමාණයෙන් කප්පාදු කර කුදු කර, ගසක් වන්නට නොදී, පඳුරක් කර, අඟුටු මිටි කර පාලනය කරන්නාවූ ශාකය තේ ගසයි.

හෙක්ටෙයාර මිලියන හයහමාරක් පමණ වන ලංකා පොළවෙන් අඩක් පමණ සශ්‍රික සේ සැලකෙන අතර මේ හෙක්ටෙයාර මිලියන තුනයි කාලෙන් මිලියන දශම දෙකක් නැත්නම් හෙක්ටෙයාර 222000 ක් පමණ වැසී ඇත්තේ, ජේම්ස් ටේලර් 1820 දී ලූල්කඳුර වත්තේ පැළකල තේ ඇටවලින් පටන් ගෙන පස්සෙන් පහු ලිප්ටන්ලා ට්‍රැෆඩ්ලා හොප්ටන්ලා ජැක්සන්ලා ආදී නානා ප්‍රකාර ප්ලාන්ටර්ස් ලා  ඇවිත් ඇතිරූ තේ පලසිනි. එහෙම බලද්දී අද වෙද්දී, අපේ රටේ පැලෑටියක් වවන්නට පුළුවන් කමක් ඇති බිමෙන් සීයට හයක් තේ කොළ පාටය.

සුවඳ හමන මලක් පුබුදවන්නට හැකියාව තිබුණත් මේ ඉඩම් අක්කර ලක්ෂ පහමාරේ පැල කර තියන තේ පඳුරු වල දළු පුරනවා ම මිසක මල් පිපෙන්නට නම් ඉඩ ලැබෙන්නේ නැත. මොකක් හෝ හේතුවකින්, හෙට උදාසන වෙද්දී මේ තේ පඳුරු සේරම අර උඩින් ඇති පින්තූරයේ මෙන් සුදට සුදේ තේ සුවඳ හමන මලින් පිරී ගියේ නම්.... ? අර අටකාමාවට වැස්ස වැටුණාට වඩා මහා සුන්දරත්වයකින් අපේ මුළු කඳුකරයම පිරවෙනවා නේ ද?

සුදුපාට තේ මල් පිපෙන්නට නොදී නවතා කොලපාට තේ දළු නෙලා අඹරා පෝරණුවල වියලා කළුපාට කර තම්බා සුවඳ බලන්නට තරම් අපි කුරිරු වී සිටිමු. අපේ රටේ ප්‍රධාන අපනයනය ලෙස චිරාත් කාලයක් නම්බු නාම ලැබූ මේ විදේශීය ශාකය අද වෙද්දී අපේ රටේ ප්‍රධාන අනන්‍යතාවයක්ව තිබෙයි.

කොළපාට තේ දල්ල නෙලා අඹරා පෝරණුවක වියලන කාර්යය නිකම්ම නිකම් වියලිල්ලක්ම නොවන්නේ හොඳ තේ කෝප්පයක් හැදෙන්නට නම් මේ කාර්යාවලියේ දී අනිවාර්යයෙන් 'හරියට' සිදුවිය යුතු රසායනික ප්‍රතික්‍රියාවලියක් සෑහෙන්න පැහැදිලිව හඳුනාගන්නටත් ඒ ක්‍රියාවලිය හදාරා පාලනය කර හොඳ තේ හැදීමේ කාර්යය යම් දුරකට පාලනය කරන්නටත් අපේ සමහරු නැණවත් වූ නිසාය. හැම දෙයක්ම වාගේ තේ හැදීමේ කාර්යයත් අතීතයේ ඇරඹෙන්නේ අහඹු සිදුවීම් හා අත්හදා බැලීම් ඔස්සේ ගොඩනැගෙන අත්දැකීම් එකතුවක් තුලින් තේ හැදීමේ සාත්තරය ගොඩනගාගත් 'ටී මේකර්' ලා පරපුරකගෙනි.

අපේ රටේ සුවඳ රැඳුන කළු තේ වල රහගුණ බොහෝ දුරට නිර්ණය වන්නේ තයරුබිජින් (Thearubigin) හා තයාෆ්ලේවින් (Theaflavin) නමින් ප්‍රධාන කුලක දෙකකට බෙදෙන සංයෝග නිසායැයි හඳුනාගෙන තිබේ. මේ දෙවර්ගයම එකතුව පොලිෆීනෝල් (polyphenols) සංයෝග ලෙස කියවෙයි. පොලි කිව්වාම නානාප්‍රකාර අර්ථ හා 'බැඳී' තියෙන්නට හැකි මුත්, මේ පොලි එ් වචනය උපන් ග්‍රීක් වචනවල අර්ථය අනුවම යමින් 'බහු' නැත්නම් 'ගොඩක්' යන අර්ථයෙනි. බෙන්සීන් අණුවකට හයිඩ්‍රොක්සි (-OH) ඛාණ්ඩයක් අැවිණුනාම හැදෙන ෆීනෝල් ඛාණ්ඩ ගොඩක් මේ අණුවල අඩංගු වීම මීට හේතුවයි. මේ විපර්යාස සියල්ල සිදුවෙන්නේ ලපටි ලා තේ දළු නෙලා තව්මරා (withering) අඹරා පැහෙන්නට (fermenting) තට්ටුවල අතුරා තියෙන කාල සීමාවේ දීයි. තව්මැරීම දළුවල අමතර ජලය ඉවත් කරන්නටය. අැඹරීම නම් දළුවල සෙෙල කඩා බිඳ අැතුලත අැති ෆ්ලේවෝන නම් සංයෝග හා එන්සයිම මිශ්‍ර කරන්නටය.

කඩපු දල්ලකට මැරෙණවා හැර විකල්පයක් නැත. බාගෙට වියලා අැඹරීමෙන් මේ මරණය ඉක්මන්වී දිරාපත්වීම කලින්ම අැරඹෙනවාට වඩා දෙයක් සිද්ධ වේ යැයි හිතන්නට අමාරුය. ඉතින් තට්ටුවල අතුරා පැහුණු තේ දළු ඊළඟට යන්නේ ගිනි උදුනක කරවීමට වීම අභව්‍ය කාරණයක් වන්නේ නැත. මීදුම පාත්වෙන උදාසනක හැටන් නුවර එළිය පැත්තේ හෝ, බදුල්ල පස්සර පැත්තේ හෝ එ්ත් නැත්නම් රත්නපුර නුවර පැත්තේ හෝ එහෙමත් නැත්නම් දෙණියාය බලංගොඩ පැත්තේ හෝ තේ වැවෙන තේ හැදෙන පලාතක එළියට බැස්සොත් බොහෝවිට නාස් පුඩු කිති කැවෙන්නේ කියන්නට ලියන්නට අපහසු, විඳලාම විඳිය යුතු මේ වියලෙන පිලිස්සෙන දළුවල සුසුම් සුවඳිනි.



ඉහත රූ සටහන බලා තේ කියන්නේ මේ සංයෝග තුනය කියා සරලව හිතෙන්නට පුළුවන් මුත්, අනික් බොහෝ කාරණා වලදී මෙන්ම තේ වලදී ද සරලය කියා දෙයක් නම් නැත. මෙහි කැටචින් සේ දක්වා ඇති ෆ්ලේවෝන සංයෝගම ප්‍රධාන එව්වා පමණක් පස් වර්ගයක් හඳුනාගෙන ඇති වගත්, ඒවා දැනටමත් බෙන්සීන්, ඔක්සිජන්, හයිඩ්‍රොක්සිල් තොරණක් වී ඇති මේ සරලම පාදම මත ගොඩ නැගුණු තට්ටු තට්ටු ඒවා බවත් කීවාම; මේ නම් ඉතින් තරමක අන්ධකාර රාත්තිරියක ගිනිගත්හේන පැත්තෙන් හැටන් කිට්ටුවෙද්දී ඈත අන්ධකාර අහසේ පින්තූරයක් වාගේ පෙනෙන සුදු විදුලි බුබුළු මාලයක් දා ගත් සිරිපාද මුදුන විතරක්ම බවත්, මළුව කරුණාකරන්න නම් ගව් ගානක් ගල්පඩි දිගේ කල් බලන්නට සිදුවන බවත් තේරුම් ගත යුතුය. මං සලකුණු ලියනවා නං මේ සංයෝග එපි-කැටචින් (epicatechin (EC)) එපි-කැටචින් ගැලේට් (epicatechin gallate (ECG)), ගැලෝකැටචින් (gallocatechin (GC)), එපි-ගැලෝකැටචින් (epigallocatechin (EGC)), සහ එපි-ගැලෝකැටචින් ගැලේට් (epigallocatechin gallate (EGCG)) යැයි නම්වෙයි.

මුල විවිධ වූ විට ඒ විවිධ සංයෝග එහා මෙහා සහ සම්බන්ධ වී අගට හැදෙන ඵලත් ඔය පෙන්නා ඇති සරල රූප දෙකට සීමා වෙන්නට හේතුවක් නැත. ඉතින් මේ සංයෝග ඛාණ්ඩ දෙකින් එකකට අයත්යැයි කියන්නට පුළුවන් සංයෝග ගණනාවක් ම තේ කහට ඩිංගක පීන පිීනා සිංදු කියති.

වැඩ්ඩෝ නම් දැනටමත් මේවායේ සූත්‍ර ලියා රූප සටහනුත් ඇඳලා නිකන් එව්වායේත් එපි එව්වායේත් ත්‍රිමාණ රූපත් අධ්‍යයනය කරනවා වෙන්නට පුලුවන. පිටින් කොහොම පෙනුනත්, නම නිකම්ම කැමීලියා වුනත්, ඇතුලට එබී බලද්දී දකින සංකීර්ණත්වයෙන් හිත වශී කරගන ඒ පෙනෙන රටාවල දම්වැල්වල අග මුල ලිහාගැනිල්ලට ඉපදුනු අයත් අපට කලින් පහලවී සිටි නිසා අපි මේවා මේ තරමින්වත් ලියා ගන්නට තරම් වාසනාවන්ත වී සිටිමු.

තේ කෝප්පයේ තේ කහට වල මේ දෙවගින් වැඩි වශයෙන් හමුවන්නේ තයරුබිජින් වුව ද, තේ කහට නිකම්ම කහට නොවී රහගුණ දෙන රසකාරකය සේ හැඳිනෙන්නේ නම් ත්‍යාෆ්ලේවින් සංයෝගයි. ත්‍යාෆ්ලේවීන් හි ප්‍රධාන වෙනස, හත්පට්ටම් කාබන් චක්‍රයක් ඇති ට්‍රොපලෝන් ඛාණ්ඩයයි. තයරුබිජින් මෙන්ම ත්‍යාෆ්ලේවින් ද වටේ අවුණා ඇති සැරසිලි හැඩපලු හා ත්‍රිමාණ සැකිල්ලේ වෙනස්කම් මත ප්‍රභේද කිහිපයකට බෙදෙයි.



මිල කියන්නේ ඉල්ලුමය. ඉල්ලුම කියන්නේ උවමනාව වෙයි. පෙට්ටියේ ලස්සණ කොහොම වෙතත් මිලදී ගන්නා කෙනාගේ උවමනාව වැඩිවන්නේ නම් තේ කහට වල රසය ගුණය වැඩිවුනු පමණටය. තේ කර්මාන්තය කර්මාන්තයකින් එහාට ගිය වෙළඳාමකුත් වෙයි. තේවල රහ ගුණ බලා මිල කියන්නේ ටී ටේස්ටර් ලාය. රත්නපුරා ටවුමේ ඇස්ස නැති ටෝච් එකෙන් ගල්වල මිල කියන අය වගේම කට්ටියක් වුවත්, ටී ටේස්ටර් රස්සාව අරිට වඩා බොහෝ උස බොහෝවිට ගුරාගෙන් ගෝලයාටම උරුම වන එක්තරා විදිහක තරු පහේ හයේ රස්සාවක් වෙයි. තේ කර්මාන්තය විද්‍යාත්මක පදනමකට ගෙනෙන්නට නම් පළමුකොටම හොඳ තේ කෝප්පයක් අඳුනාගන්නා ටේස්ටර්ගේ දිවේ ඇණෙන ඉඳිකටුව මේ පිදුරු ගොඩ අවුස්සා සොයා ගත යුතු බව හඳුනාගත් බොහෝ පර්යේෂකයින් ගේ ක්‍රියාකාරකම් හා ප්‍රතිඵල එකතු කල විට, ඇඟිල්ල දිගු වෙන්නේ මේ හත්පට්ටමටයි.

හොඳ නම් මේ ලෝකයේ ඇත්තේ ටිකය. ඉතින් තේ කහටේ ත්‍යාෆ්ලේවින් ඇත්තේත් ටිකය. පාට කහට කොහොමින් කොහොම ආවත් 'ගුණාත්මය' කියා කියන්නට හැකි 'කොලිටි' නැත්තං 'Quality' කියන මේ දවස්වල අතන මෙතන හැමතැනම අඩුය කියන ගුණය තේ කෝප්පයේ දී නිර්ණය වන ප්‍රධාන සාධකය ත්‍යාෆ්ලේවින්/තයිරුබිජින් අනුපාතයය කියන්නට සාධක බොහෝය. තේ කෝප්පයෙන් එලිබට ත්‍යාෆ්ලේවින් ගැන මෑත කාලයේ දී වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ අයගේත් අවධානය යොමුවී තිබේ.

ප්‍රතිඔක්සිකාරක (antioxidant) ගතිගුණ ඇති සංයෝගයක් ලෙසත් HIV ආසාදන ප්‍රතිකාරකයක් ලෙසත් ත්‍යාෆ්ලේවින් මෑත කාලයේ යම් තරමක නමක් දිනාගෙන සිටී. කොලෙස්ටරෝල් මර්ධනය හා හෘදයාබාධ වැලැක්වීම පිළිබඳව තේ සංයෝගවල දායකත්වයත් ඉහලින්ම කතා වෙයි. වේල් තුනටම කහට කෝප්පය විතරක් බොන කෙනා කිසිම සැකයක් නැතිව කෙට්ටුවෙන බව; බර අඩුවෙන බව; අපේ රටේ ගම්බැදි වල ඈයෝත් ලයින් කාමර වල තේ දර පිච්චූ දුමින් පදම් වී උදේට කහට කෝප්පය බී දළු කඩන්නට එන ලන්දුත් නම්  හොයා ගත්තේ නම් බොහෝ කාලයකට කලිනි. ඒ අනුව යමින් ඉස්මුරුත්තාවට කාලා ග්‍රීන් ටී බී කෙට්ටුවන්නට නම් බැරි බව දැන් සෑහෙන දුරට පසක් වී තිබේ. තේ ක්ෂේත්‍රයේ මේ කොළ කළු භේදය යම් තරමක් දුරට විද්‍යාව පැත්තටත් බලපා තිබෙයි. කොළ තේ අගේ කරන කට්ටිය කොළ තේ වල ගුණ වැනීමත්, කළු තේ කාරයෝ කළු තේ වල ගුණ වැනීමත් රහසක් නොවේ. කොළ කළු තේ දෙවගේ රසායනික පැත්ත ගැන වඩාත් උනන්දු නම් ඒ ගැන සැසඳුමක් මෙතන pdf ලියවිල්ලක් ලෙස තිබේ.


http://citeseerx.ist.psu.edu/viewdoc/download?doi=10.1.1.195.6410&rep=rep1&type=pdf

තලවාකැලේ ශාන්ත කූම්බ්ස් වත්තේ හංගා ඇති අපේ තේ පර්යේෂණායතනයේ ජාල අඩවියට පිවිසුම මෙතනින්. එතැන ඇති ලියකියවිලි වල තේ රසායනය ගැනත් අපමණ දේ තිබෙයි.

http://www.tri.lk/home

තේ කෝප්පයක් හදාගෙන පරණ කයි කතා කියවන්නට කැමති අයට තේ වල කහට ගෑවුනු තැන් ගැන විස්තර තියන තැන් කීපයක් මෙතන

 http://www.ceylonteamuseum.com/history.html
 http://www.pureceylontea.com/index.php/when-coffee-was-king
 http://amazinglanka.com/wp/james-taylor-loolkandura/

8 comments:

  1. වටිනා ලිපියක් ළොකූ. මමත් තේ පැල දෙකක් ගෙදර හිටෙව්වා. දළු පහක් විතර හැදුණු පැල දෙක තද නියගය හින්දා මැරුණා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පැල දෙකයි, දළු පහයි.
      තුති අගේ කලාට.

      Delete
  2. An interesting article loku aiye.

    ReplyDelete
  3. බලමු හොඳම අධ්‍යාපනික ලිපි තෝරන අය මේවා කියවයිද කියලා. :)

    කොයි හැටි වෙතත් කැමීලියා ගැන ලීව එකට මම ඉරිසියයි.

    ReplyDelete
    Replies
    1. රන්සිරිමල් මල් ගැන නොලිය ඉන්නේ නොහොම ද?

      Delete

Blogroll

About