Friday, August 23, 2024

එන්න මගේ කමලාවෝ.... අපි නාමු විලේ බැස පීනා....




 ඇමරිකානු ඩිමොක්‍රැටික් ජනපති වරම භාර ගනිමින් කමලා හැරිස් අද හවස සිය පාක්ෂිකයින් හා ඇමරිකානු ජනතාව ඇමතුවාය.

ඈ කියූ සමහර කරුණු හා පොරොන්දු අතර මේ දවස්වල මාලිමා වේදිකාවේ අනුර කුමාර සහෝ කියන විස්තර කරන දේද අන්තර්ගත නේදැයි සිතුණු වාර ගණන අහම්බයකට වඩා වැඩිය.

දෙන්නාටම අපේ සුබ පැතුම්....!






Continue Reading...

Thursday, August 22, 2024

තුන්වෙනි කුමාරයාගේ කථාව නොහොත් ගෝඨාභය ගේ ඉරණම...



- පින්තූරය: මාලබේ එක්සත් වෙළඳ සංගමය විසින් 2023 දී ඉදිරිපත් කරන ලද සිරිසඟබෝ ජාතකය රූකඩ  සංදර්ශනයේ සිරි සඟබෝ රජතුමා හිස දන්දෙන දර්ශනය. යූ ටියුබ් සබැඳිය මේ සටහන අග.

පසු සටහන:

යූ බටයෙන් රටේ ගමේ තොරතුරු අහන දැනගන්න මට මේ හදිස්සියේ මතක්වුනේ, මේ ලබන විසි එක් වෙනිදා අපේ ජනතාව කතිර ගහන්නේ, දෙදාස් දහනවයේ ගෝඨාභය මහත්තයාගේ පත්වීම නීත්‍යානුකූලව වෙනස් කරන්නට නේද කියාය.

පොහොට්ටුවේ ඉතුරු නටු රේණු පෙති දෝත දරාන වරම් යදින නාමල් රාජපක්ෂ පුතුණුවන් නම් මගේ මස්තිෂ්කයට ස්පර්ශ වුනු තරමින් කියන්නේ, එයාලා ඔය දෙදාස් දහනවයේ, ගෝඨාභය රාජ සමයත්, එයිට කලින් තිබුණු, මෛත්‍රිපාල භූමිපුත්‍ර රාජ්‍ය සමයත්, දෙකම ‌පොතෙන් ඉරා අයින් කරලා, 2015ට කලින් තිබුණු, පොළව සිඹ, රේස් පැද්ද, මයින්ද යුගයේ සිට නැවත පටන් ගන්නා කතාවක් ය. 

අර නඩු පොතේ පිටු අන්තරස්දාන කරන උසාවි මෙන්ම සාක්කි පොතේ ලොග් පොත‌ේ පිටු ඉරාලා පැමිණිල්ලම සුද්ධ කරලා අපරාධ අඩු කරන පොලිසිත් තියන රටක ඒකත් ඉතින් නරකම කතාවක්, හිතිවිල්ලක් වෙන්නට බැරිය.

දැන් ඉතින් ඡන්ද රැස්වීම් කාලේ නිසා, නා නා ප්‍රකාර, පැනිලි ගැහිලි කැපිලි කෙටිලි වාගේම අන්තෝ ජටා බහි ජටා මෙන්ම ජටාවෙන් අමුඩේ ගහන කතාත් ඇති තරම් අහන්නට පුළුවන. ඒ හැමම අස්සේ, මේ වේදිකා අහුමුළු හැමකම වලිගා පස්සේ ගහගෙන කූං කූං ගාන රටේ ප්‍රභූන්ය කියාගන්නා පැලැන්තිය ‌ඔය සිංහාසන වලින් බැස්සීමේ කර්තව්‍යය අවසානයක් කරන්නට ලබන මාසේ දවසක අවස්ථාවක් උදාවන බවත් අපි කවුරුත් සිහි තබාගත යුතුය.

පෙර කථාව:

නොපෙනෙන උන් පේන කියා ලංකාවේ දේශපාලනය අබ්ලික් කිරීම අද ඊයේ නැටෙන්නට පටන්ගත් නාටකයක් නොවේ. ඕකට උදාහරණ හැටියට සෑහෙන කථා තියෙන්නට පුළුවන් උනත් එළු අත්තනගලු වංශයේ කථාව අරගත් ජෝන් ද සිල්වා මහත්තයා ටීටර් එකක් හදා ටවර් හෝල් එකේ නැටූ සිරිසඟබෝ කතාවේ එන අනුරාධපුරයේ ලෑලි පාලම ලඟ පෙට්ටි කඩේ බංකුව උඩ හිටි අන්ධ බමුණා කියාපු පේනය හොඳම උදාහරණය යැයි සිතමි. ඒක කිව්වේ මයියංගනයේ හිඳ ටවුමට ආ කුමාරවරු තුන්දෙනා පාලමේ ලෑලි උඩ ඇවිදපු අඩි සද්දය අහගනය. සූර්යයා මේසය යට රිංගන වෙලාවවත් පුස්කොල කෑලිවල තුන්හුලස් කොටුවල නෙප්චුන් ලා ප්ලූටෝ ලා ගාල් වී ඉන්නා පැටන් එක බලලාවත් නොවේය. නියම ගට් ෆීලින් එකෙණි. හැබැයි කතාවේ කියන හැටියට නම්, “ඔය යන ත්‍රිබල ම ෆියුචර් කිංග්ස් ලා” කියා කිවූ ඒ පේනය හරි ගියේය. ඒකත් හැබැයි ඇස්බැන්දුමකි. අර නරඹන්නන් මැද්දෙන් ඇවිත් මුකුත්ම දන්නැති මෝඩ පාට් එකෙන් ස්ටේජ් එකට ගොඩවෙන මැජික් කාරයාගේ හෙල්පර් වැඩේ, වටාපිටාවට කන් දීගන පස්සෙන්ම ගිය ගෝඨාභය කුමාරයා ටක්කෙටම කළ බැවිනි. හරියටම හරිගිය තවත් පේනයක් ජෝන් මහත්තයාගේ ටීටර් එකේ කාටත් මතකම කෑල්ල වන දන්නෝ බුදුන්ගේ සිංදුවේත් තිබේ. ඉස්සරහින්ම ගිය සංඝතිස්ස ‘දන්නෝ බුදුන්ගේ‘ කියා පටන් ගන්නා ටියුන් එකේ දෙවැනි පදය අල්ලන සංඝබෝධි කියන්නේ ‘බූලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ‘ කියා ආශ්චර්යය ගැනය. එව්වා එහෙම උනත් පස්සෙන්ම ආපු ගෝඨාභය තුන්වෙනි පදේ අල්ලන්නේ ‘මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පා දී; ඇත්තේ පොකුණු වල බෝ ජල පෑදී‘ කියා එක එල්ලේම නගර අලංකරණය ගැනය.

හැබැයි ඕකත් සිංදුව දැනගෙනම රඟපාලා පෙන්නුවා වෙන්නට බැරි නැති නිසා සාර්ථක පේන ගනයට වර්ග කරන එක හරිම නැති වෙන්නත් පුළුවන.

මට මතක හැටියට නම් මම පස්වෙනි පංතියේ ඉඳිද් දී සාන්ත මරියා ප්‍රයිමරියේ කොන්සට් එකේ සිංහල නාට්‍යය, ඔය ජෝන් මහත්තයාගේ ටවර් හෝල් ටීටර් එකේ සංක්ෂිප්ත නිව් ප්‍රඩක්ෂන් එකක් විය. කලින් පාරක රජාට ඇන්දත් මේ නාට්‍යයේ මට අඳින්නට සිද්ධ වුනේ කුමාරයාටය. ඒකෙනුත් කවුරු කොහොම කිව්වත් කතන්දරයේ හැටියට මේන්ම කැරැක්ටර් එක වන ගෝඨාභය කුමාරයාටය. කළින් කිව්වා වගේ ඇස් අන්ධ බමුණා, ලී පාලමේ කකුල් ගෑවුණු සද්දෙන් කියූ පේනය ආකාරයටම, හිටපු රජා මරා සංඝතිස්ස පුටුවට නග්ගන්නේත්, නැගෙනහිර පැත්තේ ජම්බු වත්තක ජම්බු කන්නට ගොස්, පුරවැසියන් විෂ දැමූ ජම්බු කාලා එයා මළ විට (ඔය ජනතාව කළා කියන එව්වා කරන්නේ කවුද කියන එක ලංකාවෙ අපි තරම් හොඳට කවුරුවත් දන්නේ නැත), සංඝයා වහන්සේ ගෙන්නලා, උපදේශ අනුශසනා ආදී නානාප්‍රකාර උප්පරවැට්ටි දාලා, සංඝබෝධිව රජ කරවන්නේත් එයාය. සංඝබෝධි සිරිසඟබෝ වෙලා සීන් එකට සෙට්වෙලා, බාබර්ට කියලා අතේ මස් කපලා දෙන ඇක්ට් එකක් දාලා රක්තාක්ෂියා දමනය කරලා, කූල් වේගන එනකොට; සීනියර් සිටිෂන් වෙලා රජ වීමෙන් වාසි වෙන්නේ අහක ඉන්න කොල තෙල්ලන්ට කියන එකට හිත අමාරු කරගෙන ජනමතය අවුස්සලා, සංඝබෝධිගේ කැලෑ වැදීම ස්පීඩ් අප් කරන මුල් සීන් එකේ තර්ඩ් මෑන් වන ගෝඨාභය සහසුද්දෙන්ම කතාවේ මේන් කැරැක්ටර් එක හෙවත් ප්‍රධාන නළුවා විය යුතුමය. මොකද එයා නොහිටින්න කථාවක් නැත. එළු අත්තනගලු වංශයත් නැත. අත්තනගල්ලට ස්ටේටස් එකකුත් නැත. ජෝන් මහත්තයාට ටීටර් එකකුත් නැත.

මයියංගනයෙන් ආපු තුන්දෙනාම ලම්බකර්ණ පැඟිරි කොල්ලෝ උණත් අපේ ඉස්කෝලේ පෙන්නූ නාට්‍යයේ කුමාරවරු තුන්දෙනා ගෙන් එකම කොල්ලා මම වීමි. මට ඉස්සරහින් පාලම උඩින් ගිය දෙන්නාම කෙල්ලෝය. සඟබෝට ඇඳ මට ඉස්සරහින් ගියේ නිලන්තිය කියා මතකය කියයි. එයිටත් ඉස්සරහින්ම ගිය සංඝතිස්සට ඇන්ද ගෑණු ළමයාගේ නම මතක ඇත්තේ ‘ශ්‍රියාණි වගේ නමක්’ කියා විතරක්ම නමුත් මූණ නම් තාම මතකය. නම අමතක වී මූණ මතක තිබීම නම් දුකකි. ඒක ඉතින් මගේ වයසේ අය දන්නවා ඇත. අඩුතරමින් ශ්‍රියාණි කියා මතක තිබුනේ ඒ වචනය ඒ මූණට සමීපත්වයක් තියෙන නිසාය හිතූ විට චුට්ටක් සතුටුය. වැරදිලාවත් මේක කියෙව්වොත් ඒ සතුට ‘ශ්‍රියාණි වගේ මූණක්’ ඇති එයාටත් දැනෙනවා ඇතැයි හිතමි. හැබැයි මූණ මතකයි කිව්වාට එතැන දීත් හොඳටම මතක තියෙන්නේ නම් එයා ජම්බු කාලා මැරිලා වැටෙන වෙලාවේ මූණය. ස්ටේජ් එකේ ඇත්තම ඇත්ත ජම්බු එල්ලූ මල් ගස් තිබූ අතර, රජ්ජුරුවන්ට ජම්බු කන්නට දුන්නේ රිදී පාට ට්‍රේ එකකිනි. මැරිලා වැටුණා කිව්වාට ඇත්තටම උනේ ජම්බු කාපු රජ්ජුරුවෝ ස්ටේජ් එක මැද කවිච්චියක හාන්සි වෙන එකය.

මේ සීන් එක ජෝන් ද සිල්වාගේ ඔරිජිනල් වර්ෂන් එකේ දෙබස් වල තියෙන්නේ මෙහෙමය. (පහල සබැඳිය ඇති si.wikibooks.org එකෙන් කොපිකර ඥාණ ප්‍රකාර සුද්ධ කල පෙලයි)

------------------------------------------------------------------------------------------------------

සංඝතිස්ස - මන්ත්‍රී ජම්බු කනකොටම වාගේ මගේ බඩ දඟලා ඉස කරකැවෙන්ට පටන් ගත්තා. 

මන්ත්‍රී - එහෙනම් හුඟක් කෑ හින්දා වෙන්ට පුළුවනි. 

සංඝතිස්ස - නෑ ජම්බුගෙඩි තුණයි කෑවේ. අපොයි ක්ලාන්තය සෑදී වැටෙන්ට යනවා. 

මන්ත්‍රී - එහෙනම් හාන්සිවෙන්න (මන්ත්‍රී රජුන් හාන්සි කරගණී) 

සංඝතිස්ස - මාගේ දිව පණ නැතිවී ගෙණ එනවා. අහෝ මරුවා ලඟයි. 

මන්ත්‍රී - දේවයන්වහන්ස මොකද අසනීපය.

සංඝතිස්ස - මම දන්නේ නෑ. තව මොහොතකදී මගේ පණයාවි.

මන්ත්‍රී - අ‍හෝ වෙදෙක් ගෙණෙන්ටවත් කල්නෑ (නාඩිඅල්ලා බලයි.)

(සංඝතිස්ස මෙසේ කියා නසියි)

කරුම පඩි සන්දුනි - වසවී ජම්බු ලංකාරජින්දා දිවිනැසි සෙයිනි පාප සිද්ධවී - මාගේ මරණේ හදිස්සි.

(නසියි)

මන්ත්‍රී - (කස පුපුරවන්නෙකුට කථාකර කියයි) තෝ වාසලට විගස ගොස් රජ්ජුරුවන්වහන්සේ ස්වර්ගස්තවූ බව දන්වා වර.

කසකාරයා - හොඳයි ස්වාමිනි.

(කසකාරයා නික්මයයි.)

මාඩි - ගසල්.

මන්ත්‍රී - පුදුමා තමා - මේ ජම්බුකාපු ඒ ක්ෂණේ මළේ- රජිඳා මැරෙව්වා බූපති - ඒ පාප සාපවී - පුදුමා තමා මේ ජම්බුකාපු ක්ෂණේ මළේ - පරාණ නසනා පාපිහු - නිර්මල වූ බුදුදම් - කඩතී වෙන්නේ අන්තරා - මෙයා කාරෙන් ලෝ - පුදුමා තමා - ද්‍රිෂ්ට ධර්මෙ වේදනීය කර්ම රහා මෙලෙසේ - අපගේ බූපල් මේ ‍මළේ - ඒ කර්මේ හින්දා - පුදුම තමා - මෛත්‍රී කරුණා පා සිටිව් - ලෙව්වැසියා කෙරෙහි කිපිලා ක්‍රෝධෙන් ඉන්ටෙපා මේවා තේරීලා.

(සියලුදෙනාම මිනිය රැගෙණ යති.)

(හක්පිඹින්නා හක්ගෙඩිය පිඹියි)

-------------------------------------------------------------------------------------------------------------------------------

මේක කියවලා ‘ජෝන් මහත්තයා ඉතින් එසේ මෙසේ කෙනෙක් ද?’ කියලා මටත් නම් හිතුණි.

කුමාරවරු තුන්දෙනාටම එකම විදිහට අන්දන්නට මිස්ලාට සිස්ටර්ලාට ඕනෑ වූ නිසා, කලින් කාකවණ්න තිස්සට ඇන්ද වතාවේ මෙන් ආයෙත් පාරක් නියමාකාරයෙන් රෙන්ට් කරාපු රජ ඇඳුම් අඳින්නට මට චාන්ස් එකක් ලැබුණේ නැත. තුන්දෙනාටම ඇන්දුවේ ඇඟේ පාටට කිට්ටු දුඹුරු පාට ටී ෂර්ට්ය. ඕනෑ වී තිබුණේ උඩ කෑල්ලට මුකුත් ඇඳලා නෑ.. ම වගේ පෙනෙන්නටය. මට නං ඒකට ටී ෂර්ට් එකක් ඕනෑ නොවුනත් ඒක කෙරුණේ එහෙමය. ඒ උණත් ටී ෂර්ට් එක උඩට රත්තරන් ෆොයිල් කඩදාසි වලින් කපාපු, අද මතක් කරන හැම වෙලේම ධර්ම චක්‍රයක් වගේම පැටන් එකක් මතක්වෙන රාජාභරණ කට්ටලයක් අලවා තිබුණ නිසා උඩට මුකුත්ම නැති වුනේත් නැත. රතු පාට දම්පාට සරුව පිත්තල කොළ කෑලි පැන්සල් අගිස්සක හැඩකවා හදාපු ‘මැණික්‘ ගල් ද, ඒ රත්තරන් පටිවල අලවා තිබුණි. ඒ වයසේ දී ඉතින් කොල්ලන් කෙල්ලන් දෙගොල්ලන්ගේම පපු පිරිසිදුවට චාම්වට හා සිම්පල්වට තියෙන නිසා, මේ සූට් එක නිසාවත් කට්ටියම එකතු වෙලා කොස්ටියුම් ඇඳලා රිහර්සල් කරාපු වෙලාවලදීවත් ලියන්නට තරමට මතක හිටින මහ අමුතු දේවල් නම් සිද්ධ වුනේ නැත.

එකා පස්සේ එකා, මුලින් ගිය දෙන්නා, රජවෙන මැරෙණ හා ගෝඨාභය වූ මම රජකමේම ඉතුරුවෙන සීන් තිබුණත් දිගටම අපි ඇඳගෙන හිටියේ නම් කුමාරයාට ඇඳපු කොස්ටියුම් එකමය. ඒ කාලේ ටීවී තිබුණේ නැත. තිබුණු චිත්‍රපට වලත් අද හැටි වේගයෙන් සුටුස් සුටුස් ගා කොස්ටියුම් චේන්ජස් වෙනවා මතකක් නැත. පණස් ගණන් වල චේන්ජස් වලින් පස්සේ ආඬි හත්දෙනා වගේ පක්ෂ හතක් හවුලේ රන් කල ඩඩ්ලිගේ ආණ්ඩුව පස් අවුරුද්දක් එක දිගට එක සූට් එක ඇඳන් හිටියේත් ඔයි කාලයේ ය.

ඉතුරු වෙච්චි එකම රජා මම වුණත්, නාට්‍යය ඉවරවුනේ සුපුරුදු පරිදි අම්මලා තාත්තලාට කඳුළු සලා නරඹන්නට පුළුවන් ට්‍රැජඩි සීන් එක වන, සිරිසඟබෝ බිසව, රජ්ජුරුවන්ගේ කවන්ධය අහල සිහිසුන්ව වැටෙන්නා වූ දර්ශනයෙන් නිසා අන්තිමේ සියළු ක්‍රෙඩිට් හිලව් වුනේ රජ බිසවගේ එකවුන්ට් එකටය. සංඝතිස්ස කුමාරයා ශ්‍රියාණි වගේ මතක තියෙනවා මෙන්ම සිරිසඟබෝ බිසව ගැන අද මතකයේ තියෙන්නේ ‘ස්ටෙලා’ වගේ කියා පමණකි. ඇගේත් මූණ නම් මතකයේ තියේ. මේවා එදා මූණු මිස අද මූණු නම් නොවේ.

මේ අන්තිම ජවනිකාව පෙන්නන්නට ඔළුව නැති සිරිසඟබෝ කටවුට් එකක් කාඩ්බෝඩ් වලින් හදා, රීප්ප පටි රාමුවක ඇණ ගසා තිබුණි. කටවුට් එකට භාවනා යෝගී රියැලිටි එකක් දෙන්නට සුදු සාරියක් අන්දවා තිබුණි. කටවුට් එක එලෙස හදා ස්ටේජ් එකෙන් එලියේ කොරිඩෝර් එකේ තබා තිබුණත් මේ ත්‍රාසජනක දර්ශනය ජීවමානව පෙන්නන්නට අන්තිම මොහොතේ තීරණය කලේ මට මතක හැටියට ඉස්කෝලේ ප්‍රින්සිපල් වූ සිස්ටර් හෝලි ෆැමිලි ය. අර වගේම සුදු සාරියකින් තවුසකු වී හිටි නිලන්තිගේ ඔළුව නොපෙනෙන්නට ගස් කොලන් අටවා මේ වැඩේ ඉතාමත් උත්කර්ෂවත් ලෙස සිද්ධ වූ අතර... පොතේ කථාවේ හැටියට සඟබෝ ගේ ඔළුව උඩ දමා කථා කරවන්නට හෝ, සිරුර ආදාහනය කරලා වට දා ගෙයක් බඳවන්නට හෝ වගේ වීරයා වෙන කිසිම සීන් එකක් කරන්නට ගෝඨාභයට අවස්ථාවක් ලැබුණේ නැත.

හැබැයි, එක සන්තෝෂයක් තිබුණේ නාට්‍ය අන්තිමේ මැරෙන්නේ නැතුව ඉතුරු වුණු එකම කුමාරයා මම වීමය. ඒකේ හිලව්වට මේ ටික මෙසේ ලියා තබමි.

ජනවාරි 23, 2015 - මුහුණු පොත් සටහනකි.

සබැඳි: එළු අත්තනගලු වංශ විචාරය ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-සිරිසඟබෝ චරිතය (1903)




මාලඹේ එක්සත් වෙළෙඳ සංගමය මගින් 2023 පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ඉදිරිපත් කරනු ලබන මහා රූකඩ සංදර්ශනය - yes proud to be a srilankan යූටියුුු බ් චැනලයෙනි.
Continue Reading...

Wednesday, August 21, 2024

පහන් කණු වල පහන් දැල්වී තියේවා...

ජීවිතය නොගිලිහී නවතින වෙලාවල් අප හැමගේම ජීවිත වල තිබෙයි. ‌යන්තමට තෙතමනය ඉතිරි කර වියලවී යන පිණිබිඳක් මෙන් ජීවිතය මලානික වන මොහොතවල් අප හැමගේම ජීවිත වල තිබෙයි. මේ වචන එවන් මොහොතවල් ගැන ප්‍රාර්ථනයකි. කුමක් නිසා කුමන මොහොතක ලියවුණා දැයි මතකයට නගා ගැනීම උගහට නමුත්, කියවන අසන හැම මොහොතකම කොහේදෝ නොදන්නා ඈතකට හිත ගෙනියන මේ වචන ටිකට තනුවක් හා සංගීතයද මුසු කර ගීතයක් ‌කලේ දර්ශන වික්‍රමතුංගයන් ය. ගයන්නී මානෙල් ය.


සඳ නොමැති රැයවල් වගේ හිරු නොමැති දවසුත් තිබේ රුවල් සිඳුන ද වෙරළ සොයනා ඔරු පාරු මං මුලා නොවනට  පහන් කණු වල පහන් දැල්වී තියේවා...

විසල් සක්වල තිතක් වුනු දුහුවිලි පොදක් සයුර තෙත් කල ඇඟිල්ලක් අග  ලතැව සසැලෙන දිය බිඳක් මැකී නොමැකී විසිරිලා යන  වලා දුහුලක් මිරිඟුවක් පියාපත් ලැබ ඉගිලයන්නට  පිපේවා දුර පහන් කණුවක ගිමන් නිවනා ගිනි සිලක්...

අසෙනි සරයක අතුල් පහරින් මිලින වී බිඳුණු සඳකත් මිණක හද වෙණ  සුසුම් අහිමිව නිසල වූ සිඹුම් සිඹ සිසිලසින් පිරිමැද පියුම් පත් සේ පිබිද වී පියාපත් ලැබ ඉගිලයන්නට  පිපේවා දුර පහන් කණුවක ගිමන් නිවනා ගිනි සිලක්...






Continue Reading...

Thursday, August 15, 2024

හඳ නැන්දා සම්මුඛ වීම....



පැන්ටලියන් සර් අපේ ඉස්කෝලෙට, එනම් දැන් ශාන්ත වී තියෙන වෙන්නප්පුවේ ජෝශප් වාස් විද්‍යාලයට විදුහල්පති වී එන්නේ හැත්තෑ වේ ආණ්ඩු පෙරළියෙන් පසුවය. මේ පරිවර්තනය ගැන මෙතැන (ජෝශප් වාස් විද්‍යාලය උපැවදි වීම) ලියැවී තියේ.

අද දවසේ අපේ රට වගේම එදා එක විදිහකින් බංකොලොත් ඉස්කෝලයක තත්වයට වැටී තිබුණු ‌ජෝශප්ගේ මල් පෝච්චිය, රටේ ලෝකයේ නමක් තියාගත් ආයතනයක් කරන හීනයක් පැන්ටලියන් සර්ගේ හිතේ තිබුණු අතර, එයා කල කී හැම වැඩකම කොහේ කොහේ හරි ඔය අභිප්‍රාය ගෑවී තිබුණේය. මේ අංශයෙන් එතුමාගේම පෞද්ගලික කාර්යයක් හැටියට කෙරුණු වැඩක් වූයේ, ඒ කාලේ කිරි මණ්ඩලයේ අනුග්‍රහයෙන් ‌පැවැත්වුණු රේඩියෝ එකේ ප්‍රචාරය වුනු, දැනුම මිනුම තරඟයට අපේ ඉස්කෝලෙනුත් කණ්ඩායමක් යැවීමය.

එක එක පන්තිවලින් ‌නම් යෝජනාවී හා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී එකතු වුණු  ශිෂ්‍යයින් පිරිසක් ‌හැමදාම පාහේ ඉස්කෝලේ ඉවරවී මෙන්ම සති අන්තේ නිවාඩු දවස්වල එක්කෝ පන්ති කාමරයක, නැත්තං එළියේ ගහක් යට හෝ පිට්ටනියේ කෙළවරක පුටු තියාගෙන, පැන්ටලියන් සර් සමග දැනුම මිනුම ප්‍රශ්නෝත්තර හදාරන සාකච්ඡා සම්මන්ත්‍රණ මාලාවකට සහභාගිවීමෙන් ඇරඹුණු මේ කාර්යය අවසානයේ අපේ ඉස්කෝල කණ්ඩායමට තේරුනු පස්දෙනා හෝ හයදෙනා අතරින්, නායකයා විදිහට තෝරා ගැනුනේ, එදා කොට කලිසං ඇඳ ඉස්කෝලේ යන වයසේ සිටි මේ ලියන මමය.

අපේ දිස්ත්‍රික්කයේ දැනුම මිනුම තරඟාවලිය පටිගත කෙරුනේ  හලාවත සෙන්ට් මේරීස් විදුහල් ශාලාවේ දීය. එදා වේදිකාවේ ඉස් ඉස්සෙල්ලාම කතා කලේ අපි කවදාවත් දැකලා නැති වුනත්, උදේ හවහ කටහඬ අසා පුරුදු ලලිත් එස් මෛත්‍රිපාල ය.  එයා ඒ කාලේ දැනුම මිනුම ප්‍රධාන නිවේදකයා වූ අතර, සහය නිවේදිකාව වූයේ සුමනා නෙල්ලම්පිටිය ය.

ඒත් එදා පළමුව සභාව අමතා ලලිත් මයා කිව්වේ... අද වෙනදා පුරුදු සුමනා නැති අතර, අළුත් සුමනා කෙනෙක් කැන්දාන ආ බවත්, ඒ වගේම අළුත් කටහඬකුත් ඉදිරිපත් කරන බවත් ය. ඒ අළුත් සුමනා, සුමනා ජයතිලක වූවා ය. අර අළුත් කඩහඬ එදා ලා ගුරු පාට කමිසයක් ඇඳ හීනි දුඹුරු පාට පීත්ත පටි ටයි පටියක් ගැට ගසාගෙන සෙන්ට් මේරිස් ඉස්තෝප්පුවක ඇවිදිනවා මම මුලින්ම දුටු කෙසඟ ඉලන්දාරියා, හඩ්සන් සමරසිංහගේ ය.

ඉස්කෝලේ පුස්තකාලයේත් අපේ බාප්පාගේ අල්මාරි වලත් තිබුණු හැම පොතක්ම, නවකතා, කෙටිකතා, සඟරා, චිත්‍රකතා මතු නොව පත්තර හා පත්තර කෑලි ද ලවක් දෙවක් නැතුව කියවා හිටි මට සුමනා ජයතිලක කියන්නේ කවුදැයි අළුතෙන් කියා දෙන්නට කවුරුවත් උවමනා වූයේ නැත. එයා ලැම්බට් පෙම්මාවඩු එක්ක හඳමාමා කල නිවේදිකාව වීමටත් වඩා, කේ. ජයතිලකයන්ගේ බිරින් දෑ වීම එදා මගේ හිතට දැනවූ උත්කර්ෂය හා අභිමානය තවමත් මතක් කර ගත හැකි තරමට නැවුම්ය.

එදා මට මතක හැටියට තරඟ වට හතරකට හෝ පහකට මුහුණ දී අවසාන තරඟ වටයට තේරුනේ අපිත්, ශාන්ත මේරීස් කණ්ඩායමත් ය. ඒ සෑම තරඟ පටිගත කිරීමක්ම එදා දවසේ සිදුවුනු අතර, ඒ හැම වාරයක දී, සුමනා ජයතිලක මහත්මිය, 'අන්ජාලෝ රන්සිරිමල්' කියා මගේ නම නිවේදනය කරනවාත් ඒ තරම්ම නැවුම් මතකයක්ව තවමත්  හිතේ රැඳී තියේ.

එදා දවස අපි හැමෝගේම ජීවිත වල සලකුණක් තැබූ දවසක් බවට සැකයක් නැත. අපේ නම් ගම් වතගොත මතුදු නොව අපේ කටහඬවල් ද, අපේම ගමක ඉස්කෝල ශාලාවක, අපේ උන්ගේ අත්පොලසන් හඬවල් මධ්‍යයේ, අපේ රටේ එවකට තිබුණු එකම විද්‍යුත් මාධ්‍යය වූ ගුවන් විදුලි වැඩ සටහනක සනිටුහන් වීම උද්දාමකර, ආඩම්බරකාර හැඟීමක් ලෙස අපේ හිත් වල සනිටුහන් වී තිබේ. එදා ගැන මීට අවුරුදු හයකට ඉස්සර, මුහුණු පොතේ රැඳවුනු සටහනක් මේ සටහනේ පහත අවුණා තියේ.

සුමනා ජයතිලකයන්ගේ නාමය, මෙවන් මතක සටහන් සමගම මෙන්ම, ගුවන් විදුලියේ හඳ නැන්දා ලෙස ආදරණීය හඬකින් සනිටුහන් වූ හදවත් ද අපමණව අප අතර තිබේ.

ඔය මතකයෙන් අවුරුදු කීපයකට පස්සේ නවසිය හැත්තෑ පහේ, කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ අපේ කණ්ඩායමේ සාමාජිකාවක් වූයේ  සුමනා ජයතිලකයන්ගේ දෝණිය වූ කර්ණිකාය. එයිනුත් වසර දෙක තුනකට පසුව, කොළඹ විශ්ව විද්‍යාලයේ පෙරදිග සංගීත සංගම‌ය මෙහෙයවූ මිත්‍ර මොතිලාල් ගේ (අද මිත්ත හාමුදුරුවෝ), නායකත්වයෙන් සංවිධානය වුනු කොළඹ විශ්ව විද්‍යාල වෙසක් බක්ති ගීත කණ්ඩායමට රේඩියෝ සිලොන් එකේ පටිගත කිරීමක් කරන්නට අවස්ථාව ලැබුනේත් සුමනා ජයතිලකයන් හරහාය.

එදා සෙන්ට් මේරීස් වේදිකාවේ දුටුවාට පසුව ඈ දුටු එදාත් මගේ කටහඬ ගුවන් විදුලි වැඩ සටහනකට මුසුවූ දවසක් විය. ගායන වාදන තියා තාලයට අත්පුඩි ගැහීමත් ආයාසකර දෙයක් වූ මගේ සංගීතමය ක්‍රියාකාරකම් ගැන නම් ‘අන්දර කැලේ දර ලීයේ කුරුමිණියා‘ හා ‘හිත ඇත්නම් පත කුඩාද‘ සටහන් කියෙව්වා නම් දැනගන්නට පුළුවන. ඉතින් භක්ති ගීත වැඩසටහනට මාව කැන්දාගෙන ගියේ එනවුන්සින් වලට ය. නිවේදක තනතුරේ තියලාය. මොතිත් එක්ක එකතුවී කල් යල් බලා අකුරු ගණන් කර හදාගත්තු,  එදාට කලින්දා රෑ හිට කියව කියවා, කියවන විදිහත් හිතේ ධාරණය කරගත් එනවුන්ස්මන්ට් පිටපතකුත් අරගෙනමය.

සිස්ටමැටික් වැඩ කරන්නට දඟලන සයන්ටිෆික් මයින්ඩඩ් විද්‍යාකාරයින්ගේ මෙන් නොව, නිදහස් සිතුම් පැතුම් මෙන්ම හිතුවක්කාරකමකුත් ඇති ආටිස්ටික් කලාකාරයින්ගේ වැඩ වල රටාව කලාව මතුවන්නේ පෙරුම් පුරලා හත්ගව්වක් තියා අමුඩ ගසාගෙන දාඩිය දාලා නොවෙයි. ඒක නිසැඟයෙන් මතුවී, යාන්තන් කෙකර හිනාවක් ඇතුව එහාමෙහා ගිහින් කෙරෙන අත පය එහා මෙහා කිරිමකින්, හැඩි ව තිබුණු මිදුලක් පොල්  අතු ඉරි රටාවෙන් අතු ගෑවී ලස්සණ කෙරෙනවා වගේ විස්මයාන්විත දෙයකි.

ඉතින් එදා ගුවන් විදුලි ශබ්දාගාරය ඇතුලේ, ‘අරයලා මේ පැත්තේ ඉන්න‘, ‘මෙයාලාට අර මයික් එක දෙන්න‘ අරක මේක හැමෝටම කියමින් යනෙන අතරේ.... ‘ඔයාලා එනවුන්ස්මන්ට් හදාන ආවා ද‘ කියා මොතිගෙනුත් අහන්නට සුමනා නැන්දාට කාලය තිබුණේය. එසැනින්, ඇගේ අතට දික් කරපු අපේ පිටපත දිහා තප්පර දෙක තුනක් බලා හිටි ඈ.... මේස දෙකක් එහා මෙහා කරමින් අහලක හිටි තලත්තෑනි හාදයෙකුට, ‘අනේ ඩෝල්ටන් මෙන්න මේක බලලා මෙයාලාට හදා දෙන්නැයි‘ කියා තවත් කී දෙනෙකුට තවත් තවත් උපදෙස් දෙන්නට ගියාය.

මට මතක විදිහට බුලත් විටක් කටේ තිබුණු ඒ ඩෝල්ටන් නොහොත් ඩෝල්ටන් අල්විස් නම්වූ විශ්වකර්ම ගී පබඳින්නා.... එයා එහා මෙහා කරමින් සිටි මේසය අහලට පුටුවක් ඇදගෙන මාත් එක්කම වාඩි වී, ලියූ පළමු වචන ටික නම් මට අදටත් මතකය....

‘අනෝම ගුණ ඥාන සම්ප්‍රයුක්ත.....‘ වශයෙන් ඇරඹුනු අපේ භක්ති ගීත වැඩ සටහනේ පූර්විකාව මට ගුවන් විදුලි මයික්‍රපෝනයකට කියවන්නට ලැබුණේ එසේය.

ඉතින්  මේ මතක බිංදු එකතු කරන්නට පටන් ගත්තේ, සුමනා ජයතිලකයන් නොහොත් හඳ නැන්දා අපෙන් සමුගත් බව දැනගත් දා වුවත්, මේ අකුරු ටික අවුණා මෙතන එල්ලන්නේ අද යි. ඇයට අපේ ආදරය හා ආචාරය....







 

 ==================================================================



මේ චිත්‍රපටයේ කම්පන සංඝටකය 1973-4 වසරක හලාවත සෙන්ට් මේරීස් විදුහලේ පැවැත්වුනු, එවකට ජාතික කිරිමණ්ඩලය (දැන් මිල්කෝ) අනුග්‍රහයෙන් ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයෙන් කෙරුණු දැනුම මිනුම තරඟයේ පටිගත කිරීමක් හා සබැඳිය.‍‍
දැනුම මිනුම කථනය ලලිත් එස්. මෛත්‍රිපාල හා සුමනා නෙල්ලම්පිටියය. මේ දෙන්නා ගෙන් එදා එතැනට ඇවිත් හිටියේ ලලිත් පමණී. ඒත් වැඩ සටහන් හඳුන්වා දීමට පමණකි. මෙහෙයුම් කථනයට ලා කහ පාටට හුරු කමිසයක් ඇඳ හීනි ටයිපටියක් පැළඳ සිටි හඩිසන් සමරසිංහ නම් හීන්දෑරියෙක් පැමිණ සිටියේය. සුමනා නෙල්ලම්පිටිය වෙනුවට එදා වේදිකාවේ සිටියේ සුමනා ජයතිලකය.
සතියකට එක් තරඟයක් විකාශනය වුනත්, මුළු හලාවත දිස්ත්‍රික්කයේම තරඟ පටිගත කිරීම සිදුවූයේ එදාය.‍‍ වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාල කණ්ඩායම එදා ඉදිරිපත්වූ සෑම මූලික වට තරඟයකදීම, සෑම ප්‍රශ්නයකටම නිවැරදි පිළිතුරු සපයා, ලබාගත හැකි උපරිම ලකුණු ලබා ගෙන අවසාන තරඟයට ඉදිරිපත් වූ නමුත්, අවසාන දිස්ත්‍රික් තරඟයේ දී ප්‍රශ්න දෙකකට පිළිතුරු දීමට අසමත්ව දිස්ත්‍රික් ශූරතාවය අහිමිකර ගති.
(1). අප්‍රිකාවේ ශුභ පැත්මේ තුඩුවටත් වඩා දකුණු දෙසින් පිහිටා ඇති තුඩුව කුමක් ද? (නිවැරදි පිළිතුර- අගුල්හාස් https://en.wikipedia.org/wiki/Cape_Agulhas)
(2) ග්‍රෙගරි පෙක් ලංකාවට පැමිණියේ කුමන චිත්‍රපටයේ රඟපෑම සඳහා ද?
(නිවැරදි පිළිතුර- පර්පල් ප්ලේන් නැතිනම් දඹතැන්න)

වැරදුනාම අමතක වෙන්නෙ නෑ නේ මෙයා..!
Wijitha Fernando
Feb 18, 2019, 9:52 PM
====================================================================================
Continue Reading...

Sunday, August 4, 2024

අඩ්ඩ ඩඩා ඩඩා ඩඩා..... එහෙත් එන්. පී. පී..... මෙහෙත් එන්. පී. පී.

සිංහලෙන් ලිව්වාම ජාතික ජන බලවේග ය නොහොත් ජාජබ ය වුනත්, දැන් මේ ඡන්ද ව්‍යාපාරයත්, අනාගත ජනාධිපතිත්වයත්, රටේ සම්ප්‍රදායික දේශපාලනයේ පොදු හතුරාත්,  එන්.පී.පී වී තිබේ.....

හදිසියකට "ආ යූ එන් පී පී" කියා කඩ්ඩෙන් ඇහුවොත් චූට්ටක් අන්ජබජල් නමුත්, කවුරු කවුරුත් ජාජබය කියනවාට වඩා එන්.පී.පී ම කියන්නට ලැදියාවක් දක්වන බව පෙනේ.

ඉතින් මේ ඇන්. පිපිය හැර තවත් ඇන්පිපි පිපී තියෙන බව ඇහැ ගැහුණේ අහම්බයෙනි. ඒ ඉතිනු ගූගල් සමාගම යූ බට සඳහන් ඇස් කන් ඉදිරියේ ඉවක් බවක් නැතුව දඩ දඩාස් ගා අතාරින හේතුවෙන්ය.


මේඝලය කියන්නේ ඇසෑමයෙන් කෑල්ලක් ගලවා නවසිය හැත්තෑ දෙකේ පිහිටවනු ලැබූ ප්‍රාන්තයකි. ඒක සිංහලෙන් ලිව්වොත් වළාකුළු විමානය ව්ය යුතුය.

මේඝලයේ පාලක පක්ෂය එන්.පීපීය  එයාලගේ අකුරු එන්නේ හැබැයි Narional Peoples Party - ජාතික ජනතා පක්ෂයය යන නමිනි.

පහත යූබට සබැඳි මේඝලයේ ඇන්. පී. පීය ගැනය.









ජම්බුද්වීපේ එන් පී පීය එහෙම වෙද්දී‍, අප්‍රිකාවේ ඝානාවේ එන්පිපිය - National Patriotic Party - ජාතික දේශප්‍රේමී පක්ෂය වෙයි. එයාලාත් බොහොම ක්‍රියාකාරී මෙන්ම සංගීතකාමීද වෙති.




ඔය ඉතින් මට ඇහැ ගැහුනු ඇන්පිපිය. තවත් එව්වා ඔබට ඇහැ ගැහුනොත් කමෙන්ටුවක ඇවිනුවොත් මේකට එකතු කරන්නට බලා පොරොත්තු වෙමි.

Continue Reading...

Blogroll

About