ජීවිතය නොගිලිහී නවතින වෙලාවල් අප හැමගේම ජීවිත වල තිබෙයි. යන්තමට තෙතමනය ඉතිරි කර වියලවී යන පිණිබිඳක් මෙන් ජීවිතය මලානික වන මොහොතවල් අප හැමගේම ජීවිත වල තිබෙයි. මේ වචන එවන් මොහොතවල් ගැන ප්‍රාර්ථනයකි. කුමක් නිසා කුමන මොහොතක ලියවුණා දැයි මතකයට නගා ගැනීම උගහට නමුත්, කියවන අසන හැම මොහොතකම කොහේදෝ නොදන්නා ඈතකට හිත ගෙනියන මේ වචන ටිකට තනුවක් හා සංගීතයද මුසු කර ගීතයක් කලේ දර්ශන වික්‍රමතුංගයන් ය. ගයන්නී මානෙල් ය.
සඳ නොමැති රැයවල් වගේ හිරු නොමැති දවසුත් තිබේ රුවල් සිඳුන ද වෙරළ සොයනා ඔරු පාරු මං මුලා නොවනට පහන් කණු වල පහන් දැල්වී තියේවා...
විසල් සක්වල තිතක් වුනු දුහුවිලි පොදක් සයුර තෙත් කල ඇඟිල්ලක් අග ලතැව සසැලෙන දිය බිඳක් මැකී නොමැකී විසිරිලා යන වලා දුහුලක් මිරිඟුවක් පියාපත් ලැබ ඉගිලයන්නට පිපේවා දුර පහන් කණුවක ගිමන් නිවනා ගිනි සිලක්...
අසෙනි සරයක අතුල් පහරින් මිලින වී බිඳුණු සඳකත් මිණක හද වෙණ සුසුම් අහිමිව නිසල වූ සිඹුම් සිඹ සිසිලසින් පිරිමැද පියුම් පත් සේ පිබිද වී පියාපත් ලැබ ඉගිලයන්නට පිපේවා දුර පහන් කණුවක ගිමන් නිවනා ගිනි සිලක්...
මේක හොඳයි . - මේකේ තේරුම මොකක්ද - බිඳුණු සඳකත් මිණක හද වෙණ
ReplyDeleteසඳකත් මිණි - මූන්ස්ටෝන් කියලා ඉංග්‍රිසියෙන් කියවෙන පාෂාණ වර්ගයක්. ලංකාවේ නම් මැණික් ලෙසම සැලකෙන්නේ නැහැ කියායි මගේ අදහස.
Deleteමේ පදටික ලියවෙද්දී නම් හිතේ මැවී තිබුණේ, ආදරණීය ස්වාමිපුරුෂයාගේ දකුණතින් කම්මුල හරහා ෆුල් ෆෝස් පහරක් වැදුනු තරුණ බිරිඳකගේ මුහුණක පින්තූරයක්.