Thursday, August 22, 2024

තුන්වෙනි කුමාරයාගේ කථාව නොහොත් ගෝඨාභය ගේ ඉරණම...

Share it Please



- පින්තූරය: මාලබේ එක්සත් වෙළඳ සංගමය විසින් 2023 දී ඉදිරිපත් කරන ලද සිරිසඟබෝ ජාතකය රූකඩ  සංදර්ශනයේ සිරි සඟබෝ රජතුමා හිස දන්දෙන දර්ශනය. යූ ටියුබ් සබැඳිය මේ සටහන අග.

පසු සටහන:

යූ බටයෙන් රටේ ගමේ තොරතුරු අහන දැනගන්න මට මේ හදිස්සියේ මතක්වුනේ, මේ ලබන විසි එක් වෙනිදා අපේ ජනතාව කතිර ගහන්නේ, දෙදාස් දහනවයේ ගෝඨාභය මහත්තයාගේ පත්වීම නීත්‍යානුකූලව වෙනස් කරන්නට නේද කියාය.

පොහොට්ටුවේ ඉතුරු නටු රේණු පෙති දෝත දරාන වරම් යදින නාමල් රාජපක්ෂ පුතුණුවන් නම් මගේ මස්තිෂ්කයට ස්පර්ශ වුනු තරමින් කියන්නේ, එයාලා ඔය දෙදාස් දහනවයේ, ගෝඨාභය රාජ සමයත්, එයිට කලින් තිබුණු, මෛත්‍රිපාල භූමිපුත්‍ර රාජ්‍ය සමයත්, දෙකම ‌පොතෙන් ඉරා අයින් කරලා, 2015ට කලින් තිබුණු, පොළව සිඹ, රේස් පැද්ද, මයින්ද යුගයේ සිට නැවත පටන් ගන්නා කතාවක් ය. 

අර නඩු පොතේ පිටු අන්තරස්දාන කරන උසාවි මෙන්ම සාක්කි පොතේ ලොග් පොත‌ේ පිටු ඉරාලා පැමිණිල්ලම සුද්ධ කරලා අපරාධ අඩු කරන පොලිසිත් තියන රටක ඒකත් ඉතින් නරකම කතාවක්, හිතිවිල්ලක් වෙන්නට බැරිය.

දැන් ඉතින් ඡන්ද රැස්වීම් කාලේ නිසා, නා නා ප්‍රකාර, පැනිලි ගැහිලි කැපිලි කෙටිලි වාගේම අන්තෝ ජටා බහි ජටා මෙන්ම ජටාවෙන් අමුඩේ ගහන කතාත් ඇති තරම් අහන්නට පුළුවන. ඒ හැමම අස්සේ, මේ වේදිකා අහුමුළු හැමකම වලිගා පස්සේ ගහගෙන කූං කූං ගාන රටේ ප්‍රභූන්ය කියාගන්නා පැලැන්තිය ‌ඔය සිංහාසන වලින් බැස්සීමේ කර්තව්‍යය අවසානයක් කරන්නට ලබන මාසේ දවසක අවස්ථාවක් උදාවන බවත් අපි කවුරුත් සිහි තබාගත යුතුය.

පෙර කථාව:

නොපෙනෙන උන් පේන කියා ලංකාවේ දේශපාලනය අබ්ලික් කිරීම අද ඊයේ නැටෙන්නට පටන්ගත් නාටකයක් නොවේ. ඕකට උදාහරණ හැටියට සෑහෙන කථා තියෙන්නට පුළුවන් උනත් එළු අත්තනගලු වංශයේ කථාව අරගත් ජෝන් ද සිල්වා මහත්තයා ටීටර් එකක් හදා ටවර් හෝල් එකේ නැටූ සිරිසඟබෝ කතාවේ එන අනුරාධපුරයේ ලෑලි පාලම ලඟ පෙට්ටි කඩේ බංකුව උඩ හිටි අන්ධ බමුණා කියාපු පේනය හොඳම උදාහරණය යැයි සිතමි. ඒක කිව්වේ මයියංගනයේ හිඳ ටවුමට ආ කුමාරවරු තුන්දෙනා පාලමේ ලෑලි උඩ ඇවිදපු අඩි සද්දය අහගනය. සූර්යයා මේසය යට රිංගන වෙලාවවත් පුස්කොල කෑලිවල තුන්හුලස් කොටුවල නෙප්චුන් ලා ප්ලූටෝ ලා ගාල් වී ඉන්නා පැටන් එක බලලාවත් නොවේය. නියම ගට් ෆීලින් එකෙණි. හැබැයි කතාවේ කියන හැටියට නම්, “ඔය යන ත්‍රිබල ම ෆියුචර් කිංග්ස් ලා” කියා කිවූ ඒ පේනය හරි ගියේය. ඒකත් හැබැයි ඇස්බැන්දුමකි. අර නරඹන්නන් මැද්දෙන් ඇවිත් මුකුත්ම දන්නැති මෝඩ පාට් එකෙන් ස්ටේජ් එකට ගොඩවෙන මැජික් කාරයාගේ හෙල්පර් වැඩේ, වටාපිටාවට කන් දීගන පස්සෙන්ම ගිය ගෝඨාභය කුමාරයා ටක්කෙටම කළ බැවිනි. හරියටම හරිගිය තවත් පේනයක් ජෝන් මහත්තයාගේ ටීටර් එකේ කාටත් මතකම කෑල්ල වන දන්නෝ බුදුන්ගේ සිංදුවේත් තිබේ. ඉස්සරහින්ම ගිය සංඝතිස්ස ‘දන්නෝ බුදුන්ගේ‘ කියා පටන් ගන්නා ටියුන් එකේ දෙවැනි පදය අල්ලන සංඝබෝධි කියන්නේ ‘බූලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ‘ කියා ආශ්චර්යය ගැනය. එව්වා එහෙම උනත් පස්සෙන්ම ආපු ගෝඨාභය තුන්වෙනි පදේ අල්ලන්නේ ‘මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පා දී; ඇත්තේ පොකුණු වල බෝ ජල පෑදී‘ කියා එක එල්ලේම නගර අලංකරණය ගැනය.

හැබැයි ඕකත් සිංදුව දැනගෙනම රඟපාලා පෙන්නුවා වෙන්නට බැරි නැති නිසා සාර්ථක පේන ගනයට වර්ග කරන එක හරිම නැති වෙන්නත් පුළුවන.

මට මතක හැටියට නම් මම පස්වෙනි පංතියේ ඉඳිද් දී සාන්ත මරියා ප්‍රයිමරියේ කොන්සට් එකේ සිංහල නාට්‍යය, ඔය ජෝන් මහත්තයාගේ ටවර් හෝල් ටීටර් එකේ සංක්ෂිප්ත නිව් ප්‍රඩක්ෂන් එකක් විය. කලින් පාරක රජාට ඇන්දත් මේ නාට්‍යයේ මට අඳින්නට සිද්ධ වුනේ කුමාරයාටය. ඒකෙනුත් කවුරු කොහොම කිව්වත් කතන්දරයේ හැටියට මේන්ම කැරැක්ටර් එක වන ගෝඨාභය කුමාරයාටය. කළින් කිව්වා වගේ ඇස් අන්ධ බමුණා, ලී පාලමේ කකුල් ගෑවුණු සද්දෙන් කියූ පේනය ආකාරයටම, හිටපු රජා මරා සංඝතිස්ස පුටුවට නග්ගන්නේත්, නැගෙනහිර පැත්තේ ජම්බු වත්තක ජම්බු කන්නට ගොස්, පුරවැසියන් විෂ දැමූ ජම්බු කාලා එයා මළ විට (ඔය ජනතාව කළා කියන එව්වා කරන්නේ කවුද කියන එක ලංකාවෙ අපි තරම් හොඳට කවුරුවත් දන්නේ නැත), සංඝයා වහන්සේ ගෙන්නලා, උපදේශ අනුශසනා ආදී නානාප්‍රකාර උප්පරවැට්ටි දාලා, සංඝබෝධිව රජ කරවන්නේත් එයාය. සංඝබෝධි සිරිසඟබෝ වෙලා සීන් එකට සෙට්වෙලා, බාබර්ට කියලා අතේ මස් කපලා දෙන ඇක්ට් එකක් දාලා රක්තාක්ෂියා දමනය කරලා, කූල් වේගන එනකොට; සීනියර් සිටිෂන් වෙලා රජ වීමෙන් වාසි වෙන්නේ අහක ඉන්න කොල තෙල්ලන්ට කියන එකට හිත අමාරු කරගෙන ජනමතය අවුස්සලා, සංඝබෝධිගේ කැලෑ වැදීම ස්පීඩ් අප් කරන මුල් සීන් එකේ තර්ඩ් මෑන් වන ගෝඨාභය සහසුද්දෙන්ම කතාවේ මේන් කැරැක්ටර් එක හෙවත් ප්‍රධාන නළුවා විය යුතුමය. මොකද එයා නොහිටින්න කථාවක් නැත. එළු අත්තනගලු වංශයත් නැත. අත්තනගල්ලට ස්ටේටස් එකකුත් නැත. ජෝන් මහත්තයාට ටීටර් එකකුත් නැත.

මයියංගනයෙන් ආපු තුන්දෙනාම ලම්බකර්ණ පැඟිරි කොල්ලෝ උණත් අපේ ඉස්කෝලේ පෙන්නූ නාට්‍යයේ කුමාරවරු තුන්දෙනා ගෙන් එකම කොල්ලා මම වීමි. මට ඉස්සරහින් පාලම උඩින් ගිය දෙන්නාම කෙල්ලෝය. සඟබෝට ඇඳ මට ඉස්සරහින් ගියේ නිලන්තිය කියා මතකය කියයි. එයිටත් ඉස්සරහින්ම ගිය සංඝතිස්සට ඇන්ද ගෑණු ළමයාගේ නම මතක ඇත්තේ ‘ශ්‍රියාණි වගේ නමක්’ කියා විතරක්ම නමුත් මූණ නම් තාම මතකය. නම අමතක වී මූණ මතක තිබීම නම් දුකකි. ඒක ඉතින් මගේ වයසේ අය දන්නවා ඇත. අඩුතරමින් ශ්‍රියාණි කියා මතක තිබුනේ ඒ වචනය ඒ මූණට සමීපත්වයක් තියෙන නිසාය හිතූ විට චුට්ටක් සතුටුය. වැරදිලාවත් මේක කියෙව්වොත් ඒ සතුට ‘ශ්‍රියාණි වගේ මූණක්’ ඇති එයාටත් දැනෙනවා ඇතැයි හිතමි. හැබැයි මූණ මතකයි කිව්වාට එතැන දීත් හොඳටම මතක තියෙන්නේ නම් එයා ජම්බු කාලා මැරිලා වැටෙන වෙලාවේ මූණය. ස්ටේජ් එකේ ඇත්තම ඇත්ත ජම්බු එල්ලූ මල් ගස් තිබූ අතර, රජ්ජුරුවන්ට ජම්බු කන්නට දුන්නේ රිදී පාට ට්‍රේ එකකිනි. මැරිලා වැටුණා කිව්වාට ඇත්තටම උනේ ජම්බු කාපු රජ්ජුරුවෝ ස්ටේජ් එක මැද කවිච්චියක හාන්සි වෙන එකය.

මේ සීන් එක ජෝන් ද සිල්වාගේ ඔරිජිනල් වර්ෂන් එකේ දෙබස් වල තියෙන්නේ මෙහෙමය. (පහල සබැඳිය ඇති si.wikibooks.org එකෙන් කොපිකර ඥාණ ප්‍රකාර සුද්ධ කල පෙලයි)

------------------------------------------------------------------------------------------------------

සංඝතිස්ස - මන්ත්‍රී ජම්බු කනකොටම වාගේ මගේ බඩ දඟලා ඉස කරකැවෙන්ට පටන් ගත්තා. 

මන්ත්‍රී - එහෙනම් හුඟක් කෑ හින්දා වෙන්ට පුළුවනි. 

සංඝතිස්ස - නෑ ජම්බුගෙඩි තුණයි කෑවේ. අපොයි ක්ලාන්තය සෑදී වැටෙන්ට යනවා. 

මන්ත්‍රී - එහෙනම් හාන්සිවෙන්න (මන්ත්‍රී රජුන් හාන්සි කරගණී) 

සංඝතිස්ස - මාගේ දිව පණ නැතිවී ගෙණ එනවා. අහෝ මරුවා ලඟයි. 

මන්ත්‍රී - දේවයන්වහන්ස මොකද අසනීපය.

සංඝතිස්ස - මම දන්නේ නෑ. තව මොහොතකදී මගේ පණයාවි.

මන්ත්‍රී - අ‍හෝ වෙදෙක් ගෙණෙන්ටවත් කල්නෑ (නාඩිඅල්ලා බලයි.)

(සංඝතිස්ස මෙසේ කියා නසියි)

කරුම පඩි සන්දුනි - වසවී ජම්බු ලංකාරජින්දා දිවිනැසි සෙයිනි පාප සිද්ධවී - මාගේ මරණේ හදිස්සි.

(නසියි)

මන්ත්‍රී - (කස පුපුරවන්නෙකුට කථාකර කියයි) තෝ වාසලට විගස ගොස් රජ්ජුරුවන්වහන්සේ ස්වර්ගස්තවූ බව දන්වා වර.

කසකාරයා - හොඳයි ස්වාමිනි.

(කසකාරයා නික්මයයි.)

මාඩි - ගසල්.

මන්ත්‍රී - පුදුමා තමා - මේ ජම්බුකාපු ඒ ක්ෂණේ මළේ- රජිඳා මැරෙව්වා බූපති - ඒ පාප සාපවී - පුදුමා තමා මේ ජම්බුකාපු ක්ෂණේ මළේ - පරාණ නසනා පාපිහු - නිර්මල වූ බුදුදම් - කඩතී වෙන්නේ අන්තරා - මෙයා කාරෙන් ලෝ - පුදුමා තමා - ද්‍රිෂ්ට ධර්මෙ වේදනීය කර්ම රහා මෙලෙසේ - අපගේ බූපල් මේ ‍මළේ - ඒ කර්මේ හින්දා - පුදුම තමා - මෛත්‍රී කරුණා පා සිටිව් - ලෙව්වැසියා කෙරෙහි කිපිලා ක්‍රෝධෙන් ඉන්ටෙපා මේවා තේරීලා.

(සියලුදෙනාම මිනිය රැගෙණ යති.)

(හක්පිඹින්නා හක්ගෙඩිය පිඹියි)

-------------------------------------------------------------------------------------------------------------------------------

මේක කියවලා ‘ජෝන් මහත්තයා ඉතින් එසේ මෙසේ කෙනෙක් ද?’ කියලා මටත් නම් හිතුණි.

කුමාරවරු තුන්දෙනාටම එකම විදිහට අන්දන්නට මිස්ලාට සිස්ටර්ලාට ඕනෑ වූ නිසා, කලින් කාකවණ්න තිස්සට ඇන්ද වතාවේ මෙන් ආයෙත් පාරක් නියමාකාරයෙන් රෙන්ට් කරාපු රජ ඇඳුම් අඳින්නට මට චාන්ස් එකක් ලැබුණේ නැත. තුන්දෙනාටම ඇන්දුවේ ඇඟේ පාටට කිට්ටු දුඹුරු පාට ටී ෂර්ට්ය. ඕනෑ වී තිබුණේ උඩ කෑල්ලට මුකුත් ඇඳලා නෑ.. ම වගේ පෙනෙන්නටය. මට නං ඒකට ටී ෂර්ට් එකක් ඕනෑ නොවුනත් ඒක කෙරුණේ එහෙමය. ඒ උණත් ටී ෂර්ට් එක උඩට රත්තරන් ෆොයිල් කඩදාසි වලින් කපාපු, අද මතක් කරන හැම වෙලේම ධර්ම චක්‍රයක් වගේම පැටන් එකක් මතක්වෙන රාජාභරණ කට්ටලයක් අලවා තිබුණ නිසා උඩට මුකුත්ම නැති වුනේත් නැත. රතු පාට දම්පාට සරුව පිත්තල කොළ කෑලි පැන්සල් අගිස්සක හැඩකවා හදාපු ‘මැණික්‘ ගල් ද, ඒ රත්තරන් පටිවල අලවා තිබුණි. ඒ වයසේ දී ඉතින් කොල්ලන් කෙල්ලන් දෙගොල්ලන්ගේම පපු පිරිසිදුවට චාම්වට හා සිම්පල්වට තියෙන නිසා, මේ සූට් එක නිසාවත් කට්ටියම එකතු වෙලා කොස්ටියුම් ඇඳලා රිහර්සල් කරාපු වෙලාවලදීවත් ලියන්නට තරමට මතක හිටින මහ අමුතු දේවල් නම් සිද්ධ වුනේ නැත.

එකා පස්සේ එකා, මුලින් ගිය දෙන්නා, රජවෙන මැරෙණ හා ගෝඨාභය වූ මම රජකමේම ඉතුරුවෙන සීන් තිබුණත් දිගටම අපි ඇඳගෙන හිටියේ නම් කුමාරයාට ඇඳපු කොස්ටියුම් එකමය. ඒ කාලේ ටීවී තිබුණේ නැත. තිබුණු චිත්‍රපට වලත් අද හැටි වේගයෙන් සුටුස් සුටුස් ගා කොස්ටියුම් චේන්ජස් වෙනවා මතකක් නැත. පණස් ගණන් වල චේන්ජස් වලින් පස්සේ ආඬි හත්දෙනා වගේ පක්ෂ හතක් හවුලේ රන් කල ඩඩ්ලිගේ ආණ්ඩුව පස් අවුරුද්දක් එක දිගට එක සූට් එක ඇඳන් හිටියේත් ඔයි කාලයේ ය.

ඉතුරු වෙච්චි එකම රජා මම වුණත්, නාට්‍යය ඉවරවුනේ සුපුරුදු පරිදි අම්මලා තාත්තලාට කඳුළු සලා නරඹන්නට පුළුවන් ට්‍රැජඩි සීන් එක වන, සිරිසඟබෝ බිසව, රජ්ජුරුවන්ගේ කවන්ධය අහල සිහිසුන්ව වැටෙන්නා වූ දර්ශනයෙන් නිසා අන්තිමේ සියළු ක්‍රෙඩිට් හිලව් වුනේ රජ බිසවගේ එකවුන්ට් එකටය. සංඝතිස්ස කුමාරයා ශ්‍රියාණි වගේ මතක තියෙනවා මෙන්ම සිරිසඟබෝ බිසව ගැන අද මතකයේ තියෙන්නේ ‘ස්ටෙලා’ වගේ කියා පමණකි. ඇගේත් මූණ නම් මතකයේ තියේ. මේවා එදා මූණු මිස අද මූණු නම් නොවේ.

මේ අන්තිම ජවනිකාව පෙන්නන්නට ඔළුව නැති සිරිසඟබෝ කටවුට් එකක් කාඩ්බෝඩ් වලින් හදා, රීප්ප පටි රාමුවක ඇණ ගසා තිබුණි. කටවුට් එකට භාවනා යෝගී රියැලිටි එකක් දෙන්නට සුදු සාරියක් අන්දවා තිබුණි. කටවුට් එක එලෙස හදා ස්ටේජ් එකෙන් එලියේ කොරිඩෝර් එකේ තබා තිබුණත් මේ ත්‍රාසජනක දර්ශනය ජීවමානව පෙන්නන්නට අන්තිම මොහොතේ තීරණය කලේ මට මතක හැටියට ඉස්කෝලේ ප්‍රින්සිපල් වූ සිස්ටර් හෝලි ෆැමිලි ය. අර වගේම සුදු සාරියකින් තවුසකු වී හිටි නිලන්තිගේ ඔළුව නොපෙනෙන්නට ගස් කොලන් අටවා මේ වැඩේ ඉතාමත් උත්කර්ෂවත් ලෙස සිද්ධ වූ අතර... පොතේ කථාවේ හැටියට සඟබෝ ගේ ඔළුව උඩ දමා කථා කරවන්නට හෝ, සිරුර ආදාහනය කරලා වට දා ගෙයක් බඳවන්නට හෝ වගේ වීරයා වෙන කිසිම සීන් එකක් කරන්නට ගෝඨාභයට අවස්ථාවක් ලැබුණේ නැත.

හැබැයි, එක සන්තෝෂයක් තිබුණේ නාට්‍ය අන්තිමේ මැරෙන්නේ නැතුව ඉතුරු වුණු එකම කුමාරයා මම වීමය. ඒකේ හිලව්වට මේ ටික මෙසේ ලියා තබමි.

ජනවාරි 23, 2015 - මුහුණු පොත් සටහනකි.

සබැඳි: එළු අත්තනගලු වංශ විචාරය ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-සිරිසඟබෝ චරිතය (1903)




මාලඹේ එක්සත් වෙළෙඳ සංගමය මගින් 2023 පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ඉදිරිපත් කරනු ලබන මහා රූකඩ සංදර්ශනය - yes proud to be a srilankan යූටියුුු බ් චැනලයෙනි.

2 comments:

  1. බත් පිඩක් දන්දුන් දුගියෙකුට හිස දන්දී කලගුන සැකීමට තරම් බෝසත් ගුන ඇති අත්තනගල්ලේ ජනතාවනි

    ReplyDelete

Blogroll

About