පැන්ටලියන් සර් අපේ ඉස්කෝලෙට, එනම් දැන් ශාන්ත වී තියෙන වෙන්නප්පුවේ ජෝශප් වාස් විද්‍යාලයට විදුහල්පති වී එන්නේ හැත්තෑ වේ ආණ්ඩු පෙරළියෙන් පසුවය. මේ පරිවර්තනය ගැන මෙතැන (ජෝශප් වාස් විද්‍යාලය උපැවදි වීම) ලියැවී තියේ.
අද දවසේ අපේ රට වගේම එදා එක විදිහකින් බංකොලොත් ඉස්කෝලයක තත්වයට වැටී තිබුණු ජෝශප්ගේ මල් පෝච්චිය, රටේ ලෝකයේ නමක් තියාගත් ආයතනයක් කරන හීනයක් පැන්ටලියන් සර්ගේ හිතේ තිබුණු අතර, එයා කල කී හැම වැඩකම කොහේ කොහේ හරි ඔය අභිප්‍රාය ගෑවී තිබුණේය. මේ අංශයෙන් එතුමාගේම පෞද්ගලික කාර්යයක් හැටියට කෙරුණු වැඩක් වූයේ, ඒ කාලේ කිරි මණ්ඩලයේ අනුග්‍රහයෙන් පැවැත්වුණු රේඩියෝ එකේ ප්‍රචාරය වුනු, දැනුම මිනුම තරඟයට අපේ ඉස්කෝලෙනුත් කණ්ඩායමක් යැවීමය.
එක එක පන්තිවලින් නම් යෝජනාවී හා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී එකතු වුණු ශිෂ්‍යයින් පිරිසක් හැමදාම පාහේ ඉස්කෝලේ ඉවරවී මෙන්ම සති අන්තේ නිවාඩු දවස්වල එක්කෝ පන්ති කාමරයක, නැත්තං එළියේ ගහක් යට හෝ පිට්ටනියේ කෙළවරක පුටු තියාගෙන, පැන්ටලියන් සර් සමග දැනුම මිනුම ප්‍රශ්නෝත්තර හදාරන සාකච්ඡා සම්මන්ත්‍රණ මාලාවකට සහභාගිවීමෙන් ඇරඹුණු මේ කාර්යය අවසානයේ අපේ ඉස්කෝල කණ්ඩායමට තේරුනු පස්දෙනා හෝ හයදෙනා අතරින්, නායකයා විදිහට තෝරා ගැනුනේ, එදා කොට කලිසං ඇඳ ඉස්කෝලේ යන වයසේ සිටි මේ ලියන මමය.
අපේ දිස්ත්‍රික්කයේ දැනුම මිනුම තරඟාවලිය පටිගත කෙරුනේ හලාවත සෙන්ට් මේරීස් විදුහල් ශාලාවේ දීය. එදා වේදිකාවේ ඉස් ඉස්සෙල්ලාම කතා කලේ අපි කවදාවත් දැකලා නැති වුනත්, උදේ හවහ කටහඬ අසා පුරුදු ලලිත් එස් මෛත්‍රිපාල ය. එයා ඒ කාලේ දැනුම මිනුම ප්‍රධාන නිවේදකයා වූ අතර, සහය නිවේදිකාව වූයේ සුමනා නෙල්ලම්පිටිය ය.
ඒත් එදා පළමුව සභාව අමතා ලලිත් මයා කිව්වේ... අද වෙනදා පුරුදු සුමනා නැති අතර, අළුත් සුමනා කෙනෙක් කැන්දාන ආ බවත්, ඒ වගේම අළුත් කටහඬකුත් ඉදිරිපත් කරන බවත් ය. ඒ අළුත් සුමනා, සුමනා ජයතිලක වූවා ය. අර අළුත් කඩහඬ එදා ලා ගුරු පාට කමිසයක් ඇඳ හීනි දුඹුරු පාට පීත්ත පටි ටයි පටියක් ගැට ගසාගෙන සෙන්ට් මේරිස් ඉස්තෝප්පුවක ඇවිදිනවා මම මුලින්ම දුටු කෙසඟ ඉලන්දාරියා, හඩ්සන් සමරසිංහගේ ය.
ඉස්කෝලේ පුස්තකාලයේත් අපේ බාප්පාගේ අල්මාරි වලත් තිබුණු හැම පොතක්ම, නවකතා, කෙටිකතා, සඟරා, චිත්‍රකතා මතු නොව පත්තර හා පත්තර කෑලි ද ලවක් දෙවක් නැතුව කියවා හිටි මට සුමනා ජයතිලක කියන්නේ කවුදැයි අළුතෙන් කියා දෙන්නට කවුරුවත් උවමනා වූයේ නැත. එයා ලැම්බට් පෙම්මාවඩු එක්ක හඳමාමා කල නිවේදිකාව වීමටත් වඩා, කේ. ජයතිලකයන්ගේ බිරින් දෑ වීම එදා මගේ හිතට දැනවූ උත්කර්ෂය හා අභිමානය තවමත් මතක් කර ගත හැකි තරමට නැවුම්ය.
එදා මට මතක හැටියට තරඟ වට හතරකට හෝ පහකට මුහුණ දී අවසාන තරඟ වටයට තේරුනේ අපිත්, ශාන්ත මේරීස් කණ්ඩායමත් ය. ඒ සෑම තරඟ පටිගත කිරීමක්ම එදා දවසේ සිදුවුනු අතර, ඒ හැම වාරයක දී, සුමනා ජයතිලක මහත්මිය, 'අන්ජාලෝ රන්සිරිමල්' කියා මගේ නම නිවේදනය කරනවාත් ඒ තරම්ම නැවුම් මතකයක්ව තවමත් හිතේ රැඳී තියේ.
එදා දවස අපි හැමෝගේම ජීවිත වල සලකුණක් තැබූ දවසක් බවට සැකයක් නැත. අපේ නම් ගම් වතගොත මතුදු නොව අපේ කටහඬවල් ද, අපේම ගමක ඉස්කෝල ශාලාවක, අපේ උන්ගේ අත්පොලසන් හඬවල් මධ්‍යයේ, අපේ රටේ එවකට තිබුණු එකම විද්‍යුත් මාධ්‍යය වූ ගුවන් විදුලි වැඩ සටහනක සනිටුහන් වීම උද්දාමකර, ආඩම්බරකාර හැඟීමක් ලෙස අපේ හිත් වල සනිටුහන් වී තිබේ. එදා ගැන මීට අවුරුදු හයකට ඉස්සර, මුහුණු පොතේ රැඳවුනු සටහනක් මේ සටහනේ පහත අවුණා තියේ.
සුමනා ජයතිලකයන්ගේ නාමය, මෙවන් මතක සටහන් සමගම මෙන්ම, ගුවන් විදුලියේ හඳ නැන්දා ලෙස ආදරණීය හඬකින් සනිටුහන් වූ හදවත් ද අපමණව අප අතර තිබේ.
ඔය මතකයෙන් අවුරුදු කීපයකට පස්සේ නවසිය හැත්තෑ පහේ, කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ අපේ කණ්ඩායමේ සාමාජිකාවක් වූයේ සුමනා ජයතිලකයන්ගේ දෝණිය වූ කර්ණිකාය. එයිනුත් වසර දෙක තුනකට පසුව, කොළඹ විශ්ව විද්‍යාලයේ පෙරදිග සංගීත සංගමය මෙහෙයවූ මිත්‍ර මොතිලාල් ගේ (අද මිත්ත හාමුදුරුවෝ), නායකත්වයෙන් සංවිධානය වුනු කොළඹ විශ්ව විද්‍යාල වෙසක් බක්ති ගීත කණ්ඩායමට රේඩියෝ සිලොන් එකේ පටිගත කිරීමක් කරන්නට අවස්ථාව ලැබුනේත් සුමනා ජයතිලකයන් හරහාය.
එදා සෙන්ට් මේරීස් වේදිකාවේ දුටුවාට පසුව ඈ දුටු එදාත් මගේ කටහඬ ගුවන් විදුලි වැඩ සටහනකට මුසුවූ දවසක් විය. ගායන වාදන තියා තාලයට අත්පුඩි ගැහීමත් ආයාසකර දෙයක් වූ මගේ සංගීතමය ක්‍රියාකාරකම් ගැන නම් ‘අන්දර කැලේ දර ලීයේ කුරුමිණියා‘ හා ‘හිත ඇත්නම් පත කුඩාද‘ සටහන් කියෙව්වා නම් දැනගන්නට පුළුවන. ඉතින් භක්ති ගීත වැඩසටහනට මාව කැන්දාගෙන ගියේ එනවුන්සින් වලට ය. නිවේදක තනතුරේ තියලාය. මොතිත් එක්ක එකතුවී කල් යල් බලා අකුරු ගණන් කර හදාගත්තු, එදාට කලින්දා රෑ හිට කියව කියවා, කියවන විදිහත් හිතේ ධාරණය කරගත් එනවුන්ස්මන්ට් පිටපතකුත් අරගෙනමය.
සිස්ටමැටික් වැඩ කරන්නට දඟලන සයන්ටිෆික් මයින්ඩඩ් විද්‍යාකාරයින්ගේ මෙන් නොව, නිදහස් සිතුම් පැතුම් මෙන්ම හිතුවක්කාරකමකුත් ඇති ආටිස්ටික් කලාකාරයින්ගේ වැඩ වල රටාව කලාව මතුවන්නේ පෙරුම් පුරලා හත්ගව්වක් තියා අමුඩ ගසාගෙන දාඩිය දාලා නොවෙයි. ඒක නිසැඟයෙන් මතුවී, යාන්තන් කෙකර හිනාවක් ඇතුව එහාමෙහා ගිහින් කෙරෙන අත පය එහා මෙහා කිරිමකින්, හැඩි ව තිබුණු මිදුලක් පොල් අතු ඉරි රටාවෙන් අතු ගෑවී ලස්සණ කෙරෙනවා වගේ විස්මයාන්විත දෙයකි.
ඉතින් එදා ගුවන් විදුලි ශබ්දාගාරය ඇතුලේ, ‘අරයලා මේ පැත්තේ ඉන්න‘, ‘මෙයාලාට අර මයික් එක දෙන්න‘ අරක මේක හැමෝටම කියමින් යනෙන අතරේ.... ‘ඔයාලා එනවුන්ස්මන්ට් හදාන ආවා ද‘ කියා මොතිගෙනුත් අහන්නට සුමනා නැන්දාට කාලය තිබුණේය. එසැනින්, ඇගේ අතට දික් කරපු අපේ පිටපත දිහා තප්පර දෙක තුනක් බලා හිටි ඈ.... මේස දෙකක් එහා මෙහා කරමින් අහලක හිටි තලත්තෑනි හාදයෙකුට, ‘අනේ ඩෝල්ටන් මෙන්න මේක බලලා මෙයාලාට හදා දෙන්නැයි‘ කියා තවත් කී දෙනෙකුට තවත් තවත් උපදෙස් දෙන්නට ගියාය.
මට මතක විදිහට බුලත් විටක් කටේ තිබුණු ඒ ඩෝල්ටන් නොහොත් ඩෝල්ටන් අල්විස් නම්වූ විශ්වකර්ම ගී පබඳින්නා.... එයා එහා මෙහා කරමින් සිටි මේසය අහලට පුටුවක් ඇදගෙන මාත් එක්කම වාඩි වී, ලියූ පළමු වචන ටික නම් මට අදටත් මතකය....
‘අනෝම ගුණ ඥාන සම්ප්‍රයුක්ත.....‘ වශයෙන් ඇරඹුනු අපේ භක්ති ගීත වැඩ සටහනේ පූර්විකාව මට ගුවන් විදුලි මයික්‍රපෝනයකට කියවන්නට ලැබුණේ එසේය.
ඉතින් මේ මතක බිංදු එකතු කරන්නට පටන් ගත්තේ, සුමනා ජයතිලකයන් නොහොත් හඳ නැන්දා අපෙන් සමුගත් බව දැනගත් දා වුවත්, මේ අකුරු ටික අවුණා මෙතන එල්ලන්නේ අද යි. ඇයට අපේ ආදරය හා ආචාරය....
==================================================================
දැනුම මිනුම කථනය ලලිත් එස්. මෛත්‍රිපාල හා සුමනා නෙල්ලම්පිටියය. මේ දෙන්නා ගෙන් එදා එතැනට ඇවිත් හිටියේ ලලිත් පමණී. ඒත් වැඩ සටහන් හඳුන්වා දීමට පමණකි. මෙහෙයුම් කථනයට ලා කහ පාටට හුරු කමිසයක් ඇඳ හීනි ටයිපටියක් පැළඳ සිටි හඩිසන් සමරසිංහ නම් හීන්දෑරියෙක් පැමිණ සිටියේය. සුමනා නෙල්ලම්පිටිය වෙනුවට එදා වේදිකාවේ සිටියේ සුමනා ජයතිලකය.
සතියකට එක් තරඟයක් විකාශනය වුනත්, මුළු හලාවත දිස්ත්‍රික්කයේම තරඟ පටිගත කිරීම සිදුවූයේ එදාය. වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාල කණ්ඩායම එදා ඉදිරිපත්වූ සෑම මූලික වට තරඟයකදීම, සෑම ප්‍රශ්නයකටම නිවැරදි පිළිතුරු සපයා, ලබාගත හැකි උපරිම ලකුණු ලබා ගෙන අවසාන තරඟයට ඉදිරිපත් වූ නමුත්, අවසාන දිස්ත්‍රික් තරඟයේ දී ප්‍රශ්න දෙකකට පිළිතුරු දීමට අසමත්ව දිස්ත්‍රික් ශූරතාවය අහිමිකර ගති.
(1). අප්‍රිකාවේ ශුභ පැත්මේ තුඩුවටත් වඩා දකුණු දෙසින් පිහිටා ඇති තුඩුව කුමක් ද? (නිවැරදි පිළිතුර- අගුල්හාස් https://en.wikipedia.org/wiki/Cape_Agulhas)
(2) ග්‍රෙගරි පෙක් ලංකාවට පැමිණියේ කුමන චිත්‍රපටයේ රඟපෑම සඳහා ද?
(නිවැරදි පිළිතුර- පර්පල් ප්ලේන් නැතිනම් දඹතැන්න)
වැරදුනාම අමතක වෙන්නෙ නෑ නේ මෙයා..!
Wijitha Fernando
හඳ නැන්දා යන්න ගියාට අප වැනි හඳමාමලා නම් සැමදා ලොවේ සිටීවි.
ReplyDeleteනැතුව.... නැතුව....! මම බැලුවා ජනාධිපති අපේක්ෂකයන් අතර නියෝජනයක් නැතුව යයි ද කියලා. හැබැයි හාමුදුරු දෙනමක්ම ඉන්නවා නේ ඉතින්.
Delete👍...
ReplyDeleteතුති
Delete