Friday, December 30, 2022

බොහොඬෙක් (කතන්දර බූන්දි)

Share it Please

 

කතන්දර බූන්දි
බොහොඬෙක්


පොලිස් අධිකාරි ඔච්චම්යෙලොව් අළුත් පිට කබායක් හැඳ පාර්සලයක් කිහිල්ලේ ගසාගෙන වෙළඳ හචතුරස්‍රය හරහා ගමන් කරයි. රතු පෑ හිසකේ ඇති පොලිස් භටයෙක් රාජසන්තක කළ ගූස්බෙරි පිරවූ කූඩයක්ද රැගෙන ඔහු පසු පස සීරුවෙන් පය තබා එයි. හාත්පස නිහඬය. චතුරශ්‍රයෙහි වෙන එකදු මිනිස් පුළුටක් නැත. බඩගින්නෙන් පෙලෙන කටවල් මෙන් පෙනුනු වෙළඳහල්වල සහ තැබෑරුම්වල හැර දැමූ දොරවල් කනස්සල්ලෙන් මෙන් දෙවියන්ගේ ලෝකය දෙස බලා සිටිති. ඒවා අසල හිඟන්නෙක් වත් ගැවසුනේ නැත. 

"ඔහෝ උඹ හපනවා ආ... වනචර සිව්පාවා" ඔච්චම්යෙලොව් ට හදිසියේම ඇසෙයි. "කොල්ලනේ, යන්ඩ දෙන්ඩ එපා ඕකාට! හපාකන එක තහනම් මේ දවස්වල! අල්ල ගනින්! ආහ්... ආහ්!"

බල්ලකුගේ වේදනාත්මක අඳෝනාවක් ඇසෙයි. හඬ ආ දෙසට හැරී බලන ඔච්චම්යෙලොව් පිචුගින් ගේ ලී මඩුවෙන් කකුල් තුනකින් කුන්දු ගසමින්, විපරමින් අවට බලමින් දුව එන, බල්ලකු දකියි. කැඳ දමා මැදි කමිසයකුත් බොත්තම් ගැලවුණු උඩ කබායකුත් හැඳි මිනිහෙක් බල්ලා පසුපසිනි. බල්ලා හඹා ආ මිනිසා, ඉදිරියට පිම්මක් පැන බිම පෙරලී උගේ පස්සා කකුල්වලින් අල්ලා ගනී. නැවත වරක් බල්ලා ගේ අඳෝනාවත්, "යන්ඩ දෙන්ඩ එපා...!"යි කෑ ගැසිල්ලත් ඇසෙයි. නිදිබර මුහුණු වෙළඳ හල් වලින් එබෙත්. ඉතා ඉක්මණින්, අහම්බෙන් මහ පොළව පුපුරා මතුවූවා සේ, ලී මඩුව වටා ජන සමූහයක් එක් රැස්ව සිටිති. 

"කළබලයක් වගෙයි සර්..." පොලිස් භටයා කියයි.

ඔච්චම්යෙලොව් අඩ රවුමක් වමට කැරකී දිග අඩි තබමින් පිරිස වෙත යයි. 

කලින් සඳහන් වූ බොත්තම් ගැලවුනු උඩු කබාය හැඳි මිනිසා ලී මඩුවේ ගේට්ටුව අසල සිටගෙන දකුණත ඉහලට ඔසවා ලේ ගලන ඇඟිල්ලක් රැස්වුනු පිරිසට පෙන්වනු පෙනෙයි. "උඹට පෙන්නං නං මම, තක්කඩියා!" ඔහුගේ මුහුණේ පැහැදිලිව ලියැවී ඇති සෙයක් පෙනෙයි. ඇත්තෙන්ම ඔහුගේ ඉහලට එසවුණු ලේ තැවරුණු ඇඟිල්ල සෙලවුණේ ජයග්‍රහණයේ ධජයක් ලෙලදෙන්නාක් මෙනි. ඔච්චම්යෙලොව් මේ මිනිසා හරූයිකිං නම් රන්කරුවා බව හැඳින්නේය. මේ කලබැගෑනියට මුල්වූ චූදිතයා, උල්වු හොම්බක් සහ පිට මැද කහවන් ලපයක් සහිත සුදු බොර්සෝයි බලු පැටියා, පිරිස මැද බිම, ඉදිරි පාද ඉදිරියට දිගු කරගෙන වාඩිවී, බියෙන් ගැහෙමින් සිටියි. උගේ හැඬුම්බර ඇස්වල අසරණකමත් භීතියත් හොඳින් සටහන් වී තිබෙයි. 

"අහවල් හේතුවකටද මේ?" ඔච්චම්යෙලොව් පිරිස පීරාගෙන ඉදිරියට යමින් අසයි "මොකක් ද මේ උඹ මෙතන කරන්නෙ? අහවල් කාරණාවකටද ඔය ඇඟිල්ල වනන්නෙ... ? කාටද උඹ ඔය බෙරිහන් දෙන්නෙ?"

"අනේ සර්, මම මගේ පාඩුවෙ මේ පැත්තෙන් ඇවිදන් ආවෙ කාටවත් කිසිම කරදරයක් නොකර" හරුයිකිං මිට මෙලවූ අතට කහිමින් පටන් ගනියි... "මම දර ටිකක් ගන්න එක ගැන මිත්රි මිත්රිච්ට කතා කර කර ඉඳිද්දි තමයි මෙන්න මේ පාදඩ තක්කඩියා මොනම හේතුවක් වත් නැතුව පැනල මගේ ඇඟිල්ල හපා කෑවෙ... සමාවෙන්න ඕනෙ මට... මම වැඩකරන මනුස්සයෙක්නෙ... මගේ කර්මාන්තෙ සියුම් වැඩක්... මේකට නම් මට වන්දියක් ඕනෙ... මේ අබලන් ඇඟිල්ලෙන් කිසි වැඩක් කරගන්න බැරුව යයි තව සතියකටවත් මට. නැද්ද මං අහන්නෙ... ? ඒක නීතියක් නෙවෙයි නේ සර්, මේ වගේ තිරිසනෙකුට අපි යට වෙලා ඉන්න ඕනැයි කියන එක... මේ විදිහට හැම එකාවම හපා කෑවොත් ජීවත් වෙන එකේ තියෙන වටිනාකම මොකක් ද සර්...?"

"හ්ම්... බොහොම හොඳයි" කහිමින් සිය ඇස් බැමි ඔසවා බලා තිරසාර හඬකින් ඔච්චම්යෙලොව් කියයි. "බොහොම හොඳයි... කාගෙ බල්ල ද මේකා? මම මේක ලේසියෙන් අරින්නෙ නෑ! මේ වගේ තමුන්ගේ බල්ලො ඉබාගාතෙ අරින උන්දලට මම උගන්නන්නම්! කාලෙ හරි මේ වැදගතුන් ගැන සලකා බලන්න, ඒ ගොල්ල නීතිය පිළිපදින්නෙ නැත්නම්! හොඳ දඩයක් වැදුනාම තක්කඩියට... මම උගන්නන්නං තමුන්ගේ බල්ලන්ව යි හරකුන්ව යි ඉබාගාතෙ යැවිල්ලෙ පල විපාක! උගන්නන්නං මං පාඩමක් අද!... යෙල්ඩයිරින්" 

අධිකාරිවරයා පොලිස් භටයා අමතා කෑ ගසයි, "හොයනවා මේ බල්ල කාගෙද කියල! මට ඕනෙ වාර්තාවක්! බල්ලාව වහාම මරා දාන්න ඕනෙ. කිසි ප්‍රමාදයක් නැතුව! සහතිකෙන්ම මූට පිස්සු... ජල භීතාකාව... මං ආයෙත් අහනවා... කාගෙ බල්ලා ද මේ?"

"මට නම් පේන්නෙ ජෙනරාල් ෂිඟාලොව් ගෙ බල්ල වගේ," පිරිස අතරින් කවුරුදෝ හඬගා කියයි. 

"ජෙනරාල් ෂිඟාලොව් ගෙ, හ්ම්... මගෙ මේ කබාය ගලවන්න උදව්වෙයන් යෙල්ඩයිරින්... මේක මිනිමරු රස්නයක්! එකත් එකටම වැස්සක ලකුණක්... මෙතන එක දෙයක් තියෙනවා මට තේරුම් ගන්න බැරි, මොන විදිහෙන් ද මේකා උඹව හපාකෑවෙ?" ඔච්චම්යෙලොව් හරුයිකිං දෙසට හැරෙයි. "පැහැදිලිවම මේ පුංචි බලුකුක්කට බෑ සද්දන්ත උඹේ ඇඟිල්ලට පනින්න... එකත් එකටම උඹ ඔය ඇඟිල්ල සූරගන්න ඇති ඇණේකට. ඉතින් උඹට පහල වෙන්න ඇති මේ වන්දි අරගන්න කල්පනාව. අපි දන්නවනෙ... උඹලව! මම නොදන්නව ද යකෝ?"

"මේ මිනිහා ඔය සතාගෙ මූණට සිගරට් එක ඇල්ලුවා සර්, විහිළුවට... එතකොටයි බල්ල හැපුවෙ... ඔය මනුස්සයා විකාරකාරයෙක් සර්!"

"ඒක පචයක් වපරයෝ! දැක්ක නැති දේවල් ගැන මොකටද උඹ පච ගහන්නෙ? මේ සර් දැන උගත් මහාත්මයෙක්. එයාට තේරෙනව කවුද පච ගහන්නෙ කවුද ඇත්ත කියන්නෙ කියල... දෙයියන්ට වගේ... ඉතින් මම කියන්නෙ බොරු නම් ඒක උසාවිය බලාගනී. නීතිය එහෙමනෙ... අපි හැමෝම එක සමානයි නේ මේ දවස්වල. මතක තියා ගනිල්ලා... මගේ සහෝදරයාත් පොලිස් භට හමුදාවෙ.."

"නවත්තපල්ලා ඔය බැනගැනිල්ල!"
"නෑ, මේකා ජෙනරාල්ගෙ බල්ලෙක් නෙමෙයි," පොලිස් භටයා නිශ්චිත ස්වරයකින් කියයි. "ජෙනරාල් ට මේ වගේ බල්ලෙක් නෑ. එයාගෙ උන් සේරම දඩ බල්ලො."

"තමුන් ඒක හරියටම දන්නව ද?"

"අපොයි ඔව් සර්... !"

"මමත් දන්නව ඒක. ජෙනරාල් ගෙ බල්ලො ජාතකයක් තියෙන වටිනා උන්. ඒකට මේ අවලම් සතා. මවිල් නෑ... කිසි හැඩයක් නෑ.... වල් සතෙක්. මේ වගේ බල්ලෙක් හදා ගන්න එකේ කිසිම තේරුමක් නෑ. මේ වගේ සතෙක් පීටර්ස්බර්ග් වල හරි මොස්කව් වල හරි ගෙනිච්ච නම් දන්නවද මොකද වෙන්නෙ කියල? නීති රීති ගැන කිසි කතාවක් නැතුව ඇහිපිය ගහන්න කලින් බෙල්ල හිරකරල මරා දායි! උඹට තුවාල වුනා නේ ද හරුයිකිං, ඒක ලේසියෙන් ලිස්සල අරින්න දෙන්න බෑ... අපි මුන්ට පාඩමක් උගන්නන්න ඕනෙ! ඒකට කාලෙ හරි දැන්...!"

"ඒත් මේකා ජෙනරාල්ගෙ වෙන්න බැරිමත් නෑ... ,"
 පොලිස් භටයා හඬනගා සිතයි. "මූණෙන් නං ඒ විදිහෙ පෙනුමක් නෑ.... ඒත් ඊයෙ පෙරේද මම මේ වගේ සතෙක් දැක්ක එයාලගෙ වත්තෙ ඉන්නව...."

"ඕකා ජෙනරාල් ගෙ තමයි. ඒක සහතිකයි!" පිරිස අතරින් හඬක් නැගෙයි. 

"හ්ම්, උදව් වෙයන් මට කබාය දා ගන්න, යෙල්ඩයිරින්, මගේ කොල්ලා... මේ හුළඟ සැරවේගනයි එන්නෙ. සීතලයි මට... මේකාව ජෙනරාල්ගෙ ගෙදරට ගෙනිහින් විපරම් කරපන්. කියපන් මට හම්බවෙලා එව්ව විත්තිය. මේ පාරවල් වල අතන මෙතන යන්න දෙන්න එපා කියපන්.... මේකා වටිනා බල්ලෙක් වෙන්න ඇති. මේ හැම රස්තියාදුකාර ඌරම උගේ කටේ සුරුට්ටු ඔබන්න ගියොත් බොහොම ඉක්මනින් ඌ නැති නාස්තිවෙලා යයි. බල්ලෙක් කියන්නෙ සියුමැලි සතෙක්.... දාපන් අලිඔළුවා උඹේ ඔය අත පහලට. උඹේ ඔය තකතිරු ඇඟිල්ල ප්‍රදර්ශනය කරන එකේ කිසිම වැදගැම්මක් නෑ. මේක උඹේම වැරැද්ද…"

"මේ එන්නෙ ජෙනරාල් ගෙ කෝකිරාල, අහමු බලන්න එයාගෙන්... මේ ප්‍රෝහොර්! මෙහාට ආවනං මගෙ මනුස්සයො. බලමුකො මේ බල්ල දිහා... මේ ඔහේලගෙ බල්ලෙක් ද?"

"අරුම කතාවක් තමයි! අපට කවමදාකවත් මේ වගේ එකෙක් හිටියෙ නැහැ!"

"තවත් අහ අහා කාලෙ නාස්ති කරන්න වැඩක් නෑ" ඔච්චම්යෙලොව් කියයි. "මේකා දඩාවතේ යන බල්ලෙක්! තවත් කාල නාස්ති කරන්න වැඩක් නෑ මූ ගැන කතා කර කර ඉඳල... මේකා දඩාවතේ යන එකෙක් කියල මෙයා කියනව නම් ඉතින්... ඌ දඩාවතේ යන එකෙක් තමයි... ඌ විනාශ කර දාන එකයි කෙරෙන්න ඕන. එච්චරයි."

"මේ අපේ බල්ලෙක් නෙමෙයි" ප්‍රෝහෝර් දිගටම කියයි. "ඒකා අයිති ජෙනරාල්ගෙ මල්ලිට. එයා ආවෙ ටික දවසකට කලින්. අපේ සර් මේ ජාතියෙ බල්ලන්ට කිසි ආසාවක් නෑ. ඒකට මල්ලි... එයා කැමතිම මුන්ට..."

"ඔය කියන්නෙ උතුමාණන්ගෙ සහෝදරය මෙහෙ කියල ද? ව්ලැඩිමියර් ඉවානිච්?" ඔච්චම්යෙලොව් අසයි. ප්‍රීතියෙන් කුල්මත්වූ ඔහුගේ මුහුණ සිනහවකින් එළිය වෙයි. "අහා... නිකමටවත්! මම දැනගෙන හිටියෙ නෑනෙ... එයා සංචාරයකට ඇවිල්ල ද?"

"ඔව්"

"ආහ්, මට නිකමටවත් .... එයාට අයියගෙන් ඈත්වෙලා ඉන්න බෑ මනෙ.... බලාපල්ලා මම දැන හිටියෙ නෑනෙ! එහෙනම් මේ පොඩි උතුමාණන්ගෙ බල්ලා? අහන්නත් සන්තෝසයි... අහන්නත් සන්තෝසයි... අරන් යන්න අරන් යන්න. කොහොමටත් නරක කුක්කෙක් නොවෙයි... බොහොම ජව සම්පන්න සතා... මේ මිනිහගෙ ඇඟිල්ලත් ඩැහැගත්තා! හහ් හහ් හා.... එන්න... ඇයි වෙවුලන්නේ? රර්ර්... රර්ර්... දඟකාරයාට තරහ ගිහින්... කදිම පොඩි කුක්කෙක්"


ප්‍රෝහෝර් බල්ලා කැඳවාගෙන ලී මඩුවෙන් පිටත් වී යයි. පිරිස හරුයිකිං දෙස බලමින් සිනාසෙති. 

"මම උගන්නන්නං උඹට දවසක!" ඔච්චම්යෙලොව් ඔහුට තර්ජන ය කර, සිය විශාල කබාය සිරුර වටා දවටා ගනිමින් චතුරශ්‍රය හරහා ඇවිද යයි.
බූන්දි, සඳුදා, පෙබරවාරි 11, 2013 16:40:57

No comments:

Post a Comment

Blogroll

About