Thursday, December 29, 2022

රජ මැදුරක ඉපදී සිටියා නම්....

Share it Please


 


මේ ගීතය බොරලැස්ගමුවේ ඉපිද ලොස් ඇන්ජලිස් නගරයේදී සමුගත්, මාලිනී ගේ ය. ඕ, එච්. එම්. ජයවර්ධනයන්ගේ බිරිඳය. කසුන් කල්හාරගේ අම්මාය. සංගීතය එච්. එම්. ගේ ය. වචන, ලූෂන්ගේ ය.

මේ විඩියෝවේ මේ ගීය ගයන්නේ නම්, ඒ මාලිනී ගේ සොයුරිය, සන්ධ්‍යා බුලත්සිංහල ය.

ලූෂනුත් බුලත්සිංහල කෙනෙක් නමුත්, රත්මලානේ පැත්තේ පෙරේරා පවුලක උපන් ලූෂන්ට මාලිනීලා එක්ක නෑදෑ කමක් තිබුණාය හිතන්නට බැරි ය. නොහිතන්නටත් බැරිය කියාත් කාට හෝ හිතෙන්නට පුළුවන. 

එහෙම වුනත් මේ හැමදෙනාම නෑයෝ ය. එයාලා අපේත් නෑයෝය මට හිතේ. එහෙම හිතෙන්නේ මේ, පදවල හැංගී තියන හීනය අපි කාගෙ කාගේත් හීනයක් වන නිසාය. තමුන්ගේම බිළිඳෙක් බිළිඳියක් අරභයා මෙන්ම, නෑ නොනෑ කවරම හෝ බිළිඳෙක් බිළිඳියක් අරභයා වුව ද මේ හැඟීම් සමුජ්ජය, රජ මැදුරක ඉපදුනේ නම් අනේ ඉතින් මේ පොඩිත්තාත් රජෙක් ය කියන හිතිවිල්ල නූපන් වැඩිහිටි හිතක් අපි දන්නා කියන අය අතරේ නැති තරම්ය කියා මම සිතමි.

අපේ තාත්තා, එක්තරා කාලයක ‌කෙනඩි  ෆෑන් කෙනෙකු ව සිටියේ ය. ඒ ‌ජෝන් කෙනඩි ඇමරිකන් ජනාධිපතිවරණය දිනා, ඇරඹූ එක්තරා අන්දමක සෝබන යුගය, 1963 කෙනඩි ඝාතනයෙන් අවසන් වූ සමයයි. පනස් නවයේ අපේ රටේ හා හපුරා කියා ලඟටම ගිහින් වෙඩි තියා මරා දැමූ බණ්ඩාරනායකට වඩා කෙනඩිගේ ඝාතනය අපේ තාත්තාට හද කම්පා කරන්නක් වෙන්නට එක හේතුවක් වූයේ එයාලා ඒ කාලයේ ලේත් කොළපාට යූ ඇන්ඩ් පී කාරයන් ව හිඳීමත්, හැටේ ආණ්ඩු බලය ගත් සිරිමා ආණ්ඩුවේ, ඉස්කෝල ආණ්ඩුවට පවරා ගැනීම වැනි, ක‌ොමියුනිස්ට්කාර අණ පනත් වලට එරෙහිව, පල්ලි ඉස්කෝල රැකගන්නට දිවා රාත්‍රි 'අරගල' කරපු අය වීමත්ය නිසාය කියා සිතමි. ඔය මොන අරගල කලත්, හැටපහේ දිනලා හැත්තෑව වෙනතුරු කවුන්සිලේ ඉඳලා, නිදහස් ලංකාවේ, ඉස් ඉස්සෙල්ලාම අවුරුදු පහේ ජීවන චක්‍රය සම්පූර්ණ කල ඩඩ්ලිගේ හත්හවුල් ආණ්ඩුවෙන්, ඉස්කෝල රජයට පවරා ගැනීමේ අන පනත්, 'රිවස්' වුනේ නම් නැත. ඉතින් අපේ තාත්තා, ‌තාත්තා නැතුව අසරණ වූ කෙනඩි පවුලට කොයි තරම් ඥාතීව සිටියා ද කියනවා නම්, ටයිම් හෝ ලයිෆ් සඟරාවකින් කපාගත් කැරොලයින් කෙනඩි ගේ පින්තූරයක් රාමු කරවලා ගෙනවිත් ගෙදර බිත්ති කණුවක එල්ලා තිබුණේ ය. පොඩි කෙල්ලන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් වූ අපේ අම්මාට නම්, අපේ තාත්තාගේ ඇමරිකන් හුරතලය ඇල්ලුවේ නැත. එයා අපිත් එක්ක එකතු වී, දවසක, අර රාමුව ගලවලා, කැරොලයින්ගේ පින්තූරය වහලා, නංගිලාගේ පින්තූර දෙකක් දාලා නැවත එල්ලුවා ය. ඒක රිවස් කරන්නට තරම් ජනාධිපති බලතල අපේ තාත්තාට නොතිබුණාය හිතමි. ඒ කතාව ඔළුවට ආවේ, මේ ගීතය ගැයෙන්නට බොහෝ කලකට පෙර සිද්ධ වූ දෙයක් මුත්, අපේ අම්මාත් එක්ක ඒ පින්තූර මාරුව කරද්දී, අපේ හිත් වල තිබුණේත්, අපේ නංගිලාත් වයිට් හවුස් රෝස් ගාඩන් එකේ කෙලිසෙල්ලම් කරන්නට අයිතිය තියෙන එවුන්මය නේ ද කියන හිතිවිල්ලයැයි සිහිපත් වූ නිසාය.

කෙසේ වෙතත්, මේ ගීය කියන්නේ, ‌පොල් අතු බාගෙන හිරිකඩ විසිරෙන, මාළිගාවක සිරි යහනේ සැතපෙන කිරි සප්පයකු ගැනය. ‌මේ වගේ මාලිගා, කටු මැටියෙන් වරිච්චි නග්ගා හෝ පොල් අතුවලින්ම බිත්ති ආවරණය කර, පියස්සට පිදුරු පොල්ලතු හෙවිල්ලා, බිමට ගොම මැටි ගාපු මාලිගා, වල ජීවත් වූ මිනිස්සු ඇතිතරම් අපේ පලාත්වලත් සිටියහ. තමුන්ගේම බිම් කඩක මෙන්ම, අනුන්ගේ බිමක පිනට ගෙවල් හදාගෙන බැලමෙහෙවරකම් කල මිනිස්සු, ගෑණු, ‌බොහෝ දෙනෙකුගේ මාලිගාවී තිබුණේ මෙවැනි පැල්පත් ය. පැල්පතේ ඉන්න එකාගේ හිත්වල, තම දූ දරුවන් ගැන මේ වැනි හැඟීම් තියෙන්නට ඇති නමුත්, ඒ කාලේ ආපු චිත්‍රපටියක් වූ 'හඳපාන' ට සිසිර ඉන්ද්‍රාණි ගැයූ ගීත අතර ‌වූ මේ සිංදුව, ඔය කාලයේ මෙන්ම අද කාලයේ වුනත්, අපේ සංස්කෘතියේ මුල්බැස ගත් සංකල්පයය කියා මට හිතේ.



සීත දියරැළි නීල....ගංගා.... සාර කෙත්වතු මැද ගලා යයි..... ඕලූ, මානෙල් ,නෙළුම් නැළවෙන.. වැව් පොකුණු ගම අලංකාරයි... කියා අරඹන මේ සිංදුව කියන්නේ, පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ කියා ය. ටිකිරි සිතිවිලි බොළඳ හසරැලි, මෙහි තිබේ හොඳ ආදරේ කියාය... කැළෑ මල් වල සුවඳ රැඳි මදනලේ වාසනාවත්, කුරුළු ගීයෙන් හදේ වේදනා මකාගෙන අහිංසකව පියවර මනින ගැමි ජීවිත ගැනත් ය.

මේ වගේ තාල තානම් එක් එක් ආකාර ආලවට්ටම් දමා, දේශපාලන වේදිකා මතත්, දියවන්නාවේ මාලිගාවේ දීත්, එක් එක් ආකාර වලට රැව් පිළිරැව් දෙවනවා අපි කොතෙකුත් අසා ඇත්තෙමු. අභාග්‍යය වන්නේ ඒ පිදුරු සෙවිකල පැල්පත් වල හිටිවුන්, ගාමන්ට් ෆැක්ටරිවල ඉඳිකටු ඇනගෙන, මැද පෙරදිග, ඉතාලියේ, ඇස් ඉස් මස් ලේ දන්දී කඹුරා ඇවිල්ලාත්, තාම ළමයි නලවන්නේ ‌රජ මැදුරක ඉපදී සිටියා නම් තාලයටම වීමය.

දිළිඳු පැල්පතක උපන් එකෙකුට, රජ කිරුළක් පළඳින්නට ලෙහෙසියෙන් වරම් ලැබෙන්නේ නැත. සර්වබලධාරී දෙවියන් වහන්සේ, සිය පුත්‍රයා වූ ජේසුස් ක්‍රිස්තුන්, බෙත්ලෙහෙමේ ගවහලක, දිව්‍ය වරමින් ගැබ්ගත් කන්‍යාවියක කුසින් උපද්දවා, ගව ඔරුවක සතප්පවා මිනිස් සංහතියට ඉගැන්වූ පාඩම් බොහෝ ගණනක් අතර, ‌මෙන්න මේක, එනම්, පැල්පතක උපන් එකා, මේ ලෝකයේ රජ වෙන්නට පැතීම, මතු නොව, 'මිහිපිට නොවේ ය' කියා සථප කල රාජ්‍යයක රජාය කියා ගැනීම පවා, කස පහර ගස්සා, කටු ඔටුණු පළඳා, එල්ලුම් ගහත් කරේ තියාගෙන ගොස්, කන්දක් මුදුනේ කුරුසියක ඇණ ගැසී, 'පියාණනි, ඔබ මා අත් හැරියේ මන් ද?' කියා අවසාන හුස්ම පොද හෙලන්නට තරම් වරදක් බව, සහ සුද්දෙන් පැහැදිලිව කරලාම ඔප්පු කර පෙන්නීම, වැදගත්ම එක වන්නේ ය.

එහෙව් කතාවක සුලමුල හිතද්දී, බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා ලස්සණ බිළිඳෙක් මල් වගේ කියා අපි ගයන බිළිඳා නැලවූ කන්නි මරියාවන්ගේ හිතේත්, 'රජ මැදුරක ඉපදී සිටියා නම්...' කියා නිකමට හෝ ගැයෙන්නට නැද්දැයි අපේ සිත්වලට දැනෙන්නට ඕනෑ යි අද මම සිතමි. ‌ඒ ගවලෙනේ උපන් පුතාගේ ධර්මය රෝමයේ සිංහාසනාරූඨ වෙන්නේ, තවත් කල්ප ගණනක් ලේ හලා ජීවිත පූජා කිරීම් වලින් පසුවය. ඒකත් සාමයේ පණිවිඩය රජ මැදුරකට යාමක් ද නැත්නම්, රජ පරපුර, ටියුන් එක මාරු කර, ජනතාවගේ කන් වලට වංචාවේ අම බිඳු වැක්කිරීමක් ද කියාත් සැක සිතෙයි. මන්දයත්, තවමත් අපේ අම්මලා, මාලිනීගේ ගීතයේ තාලයටම දරුවන් නලවන නිසාවෙනි.

රෝම අධිරාජ්‍යයේ අණසකට යටවූ දෙවියන්ගේ තෝරාගත් දරුවන් වූ ඊශ්‍රායෙල් ජනතාව, එදා බෙත්ලෙහෙමට වල්ගා තරුව පායන කාලයේ සිටියේත් දියසෙන් කුමාරයා උපදින කල් ය. අපේ රටේ අපි වෝටබරිස් කුමර කුමරියන් කිහිප දෙනෙක් හඹා ගොස්, බිංදුවටම වතුර හිඳී කාන්තාර වූ රටක සිට, කාන්තාරයක කඹුරන ගෑණු පිරිමි ඩොලර් එවන තුරු බලා ඉන්නා අවදියකට සේන්දු වී සිටිමු. දියසෙන් කුමාරයා වෙනුවට, අනුන්ගේ බබෙක් අරන් වැල් පාලමේ යනවායි පාරම් බාන ගෲෂාට ඇඳගෙන කරළියට ගොඩවී කෝනංගි නැටුම් නටන අළුත් නළුවාගේ දෙබස් ට්‍රාන්ස්ලේට් කරමින් අග මුල හොයාගන්නට අර අඳිමින් සිටිමු.

මේ අව් අස්සේ නත්තලය කියා අප සමරන මේ උපන්දින සාදයේ හංගා තියන රහස ගැනත් කල්පනා කල යුතුම කාලයක් අපට පැමිණ තියේයැයි මම සිතමි. එදා ‌දියසේන උපන්නේ රජ මැදුරක් තබා, හරි හමන් නගරයක්වත් නොවුනු, ගම් මණ්ඩියක, ගව හලකය. බඩ දරු අම්මෙක් එක්ක, රාජ අණ නිසා, නම ගම රෙජිස්ටර් කරන්නට ගිහින්, ඉන්න හිටින්න හරි හමන් තැනක් හොයා ගන්නට බැරුව, තම බිරිඳ කුළුඳුලේ දරුවා ප්‍රසූත කරන්නට ගවහලක ගාල් කල වඩුවෙකුට දාව ය.

දේව භාෂිතයෙන් පෝෂණය වූව ද, ඊශ්‍රායෙල් ජාතිය, ඒ කුමාරයා අඳුනාගත්තේ නැත. අන්තිමේ, ගැලවීමේ පණිවිඩය, සිංහාසනාරූඨ වූයේ රාජකීයත්වයේත්, පාලනාධිකාරයේත් අවියක් ලෙසයැයි ඉතිහාසය සාක්ෂි දරයි.

අළුතෙන්ම රටක් හදා දෙන්නට තරම් සුන්නද්ධූලි වූ ඊශ්‍රායලය, අදටත් යුද්ධයක ය. 2022 වසර, 2006 න්ල පසු පලස්තීනයේ මාරාන්තිකම වසර යැයි, එක්සත් ජාතීන්ගේ සංවිධාන ආරංචි මාර්ග පවසයි.

ආදරණීය ‌සොයුරු සොයුරියනි.... ගැලවුම් කරුවා නිවැරදිව හඳුනා ගැනීම ඉතා වැදගත් ය.

 [නත්තල් - 2022]






3 comments:

  1. ගැලවුම් කරුවා තමා හොයා ගන්න අමාරුම. මාලිනි ගේ සොහොයුටියගේ කටහඬ ත් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. අනික් අයගේ රෙදි ගැලවුම් කරුවෝ නං සෑහෙන්න ඉන්නවා.

      සන්ධ්‍යා ගේ පැරණි ගැයුමක්

      https://youtu.be/EfXYNhoGU3A

      Delete
    2. ඒ සින්දුවත් ලස්සනයි. ඇත්තටම දැනන් හිටියේ නැහැ . ඔව් හැමෝම හදන්නේ අනිත් අයගේ රෙදි ගලවන්න නේ

      Delete

Blogroll

About