සම්බෝල වර්ග කොච්චර තිබුණත් ජනප්‍රියම සම්බෝලය පොල් සම්බෝලයය. අපේ අම්මා පොල් සම්බෝල හැදුවේ ලුනු කැට දෙක තුනක් එක්ක රතුළූනුත් වියලි මිරිසුත් ගලේ අඹරා ඒකටම පොලුත් දමා අඹරා බත්තලාඳේ එකතු කර දෙහි බෑයක් දෙකක් මිරිකලා අතගාලාය.
ඉස්කෝලෙ යන කාලේ යාළුවෙක් එක්ක කට්ටිපැන දවාලට ශත විසිපහක් දීලා කඩේකින් කෑ මුල්ම දවසේ කෑවේත් පාන් කාලක් එක්ක පොල් සම්බෝල පීරිසියකි.
හතරවෙනියේ දී විතරය. ඒ කාලේ ඉස්කෝලය ඇරුනේ හවස තුනටය. ළමයි දවසට පැය හතක් ඉස්කෝලේය. ගුරු වෘත්තිය ෆුල් ටයිම් ජොබ් එකකි.
අනිත් ළමයින් හැමෝම දවාලට කෑම අරගෙන ආවත් රෙක්ස් කීර්ති දවල්ට කන්න ගෙදර ගියේය. ඒ කාලයේ උන්ගේ ගෙදර තිබුණේ ලුණුවිල පාරේ ශ්‍රී ලංකා හෝල් එකට ටිකක් මෙහායින් පාරේ අනිත් පැත්තේය. පාරවල් දිගේ රටතොට බලන්නට පයින් ඇවිදීමේ පිස්සුව හොඳටම මැන්ටල් වුනු දවසක, ඉස්කෝලේ දවාලට විකුණන සීනි සම්බෝල දැමූ පාන් පෙති දෙකක් කන්නට අම්මා දුන් ශත විසිපහත් අරගෙන රෙක්ස් කීර්ති එක්ක ගොස් එතන හන්දියේ අතකොට ජුලයියාගේ කඩෙන් පානුයි පොල් සම්බෝලයි කෑවෙමි.
ජුලයියා වමත් කාරයෙකි. දකුණු අත වැලමිටට පොඩ්ඩක් පහලින් බම්බැට් එකක් සේ ශේප් වී තිබේ. ඒක කොහු මෝල් වල මැෂින් වැඩ කරද්දී චුට්ටි අතපහු වීමක් වීමකි.
ඒ දවස්වල කොහුමෝලේ මැෂින් එක කියන්නේ ඇණ ලෑලි අල්ලාපු කැරකෙන යකඩ රෝදයක් ඉස්සරහ පොඟවාපු මට්ටයක් අතට ගත් මනුස්සයෙක්ව හයිකරලා හදාපු යන්තරයකි. ඕක වැඩ කරන විට මනුස්සයා කැරකෙන ඇන රෝදයට මට්ටය ඔබා අල්ලාන හිට ආයෙත් අරන් අනිත් පැත්තත් ඔබා, ඇණ වලට සීරී කොහු බතුත් හීන් කෙඳිත් සේරම ගැලවී ගිහින් දිගට දිගේ කොහු කෙඳි මිටියක් අතේ ඉතුරු වෙනකන් අල්ලන් ඉන්නේය. මට්ටය වෙනුවට අතේ ඇඟිලි ටික හෝ උරිස්සට යනකං මුළු අතම හෝ ඇතුළු වුනොත් ඒක සෙන්ස් කර ඇංජිම නවත්තන සෙන්සර් ඒ කාලය වෙද්දී හොයාගෙන තිබුණේ නැත.
එදා ඒ ගමනේ අනික් අමතක නොවන පින්තූරය, ජුලයියාගේ කඩේ පාන් කපන පිහියය. ඒකේ තලය පාන්ම කපලා දුන්නක ෂේප් එකට ගෙවී තිබුණි. මිටට කඩදාසි ඔතලා හණනූල් බැඳලා මාත්තුවක් දා තිබුණි. ඒ වගේ එක්ස්පීරියන්ස් ඇති පිහියක් රිටයර් කරන එක අපේ මිනිස්සුන්ගේ සිරිතක් නොවේ. අනික් අතට පිහිය කරන්නේ කපන එක විතරය. පාන්වල ගුණාගුන එක්ක ඒකට සම්බන්ධයක් නැත. සම්බෝලයේ රහ ගුණ එක්ක නම් කොහොමටවත් සම්බන්ධයක් නැත.
මම කඩෙන් කන අතරේ රෙක්ස් කීර්ති ගෙදර ගිහින් කාලා ආවේය. කෑම පැය ඉවර වෙන්න වෙලා තිබුණු හින් දා, රෙක්ස් ගේ ගෙදර පිටිපස්සේ උණ පඳුරේ උණ ගහක් කපලා හදා තිබුණු භූමිතෙල් කාල තුවක්කුව බලන්නට ගියෙමු. ඊට පස්සේ ශ්‍රී ලංකා හෝල් එකේ එළියේ එල්ලා තියෙන චිත්‍රපට පින්තූරත් බලලා ආපහු ඉස්කෝලෙට එනකොට වෙලාව හරිය.
එකම අබ්ලික් එක වුනේ, ලොකු නංගිගේ දවල් කෑමට දුන්නු ශත විසිපහත් මගේ සාක්කුවේ තිබුණු එකය. අයියා නැතිවෙච්ච ඒකිගේ කඳුළු පෙරුණු ඇඬුම් මූණත් එක්ක ඊළඟ පීරියඩ් එකම ගෙවුණේ ප්‍රින්සිපල් සිස්ට හෝලි ෆැමිලි ලඟය.
ඔක්තෝම්බර් 2015.
++++++++
ReplyDeleteතුති ඉයන්.
Deleteබත්තලාඳේ කිව්වෙ?
ReplyDeleteහාල් ගරන කොට නෑඹිලිය එක්ක පාවිච්චි කරන පාදමක් තියන අනිත් වලඳ. සමහර පැතිවල මැටි කෝප්පේ කියාත් කියනවා. මං හිතන්නේ බත්-වලඳ සන්ධි වෙලා ලොප් වෙලා පොප් වෙලා හැදිච්ච වචනයක් වෙන්නැති. අපේ කුස්සි වල කිව්වේ එහෙම තමයි.
Deleteඅනික් බොහෝ වචන මෙන්ම මේකත් උවමනා වෙලාවට නුවුමනා දේ වලටත් භාවිතා වෙනවා අහලා තියනවා. වැඩිපුර කාන්තාවන් පාවිච්චි කරන භාණ්ඩයක් නේ කොහොමත්.
හැලප වලට පිටි අනන්නේත් නම් බත්තලාඳේ තමයි.
Delete/හාල් ගරන කොට නෑඹිලිය එක්ක පාවිච්චි කරන පාදමක් තියන අනිත් වලඳ. සමහර පැතිවල මැටි කෝප්පේ කියාත් කියනවා /
Deleteඅපි කිව්වෙ අඩි වළඳ කියල....
ආ අපි කියන්නෙ මැටි කෝප්පෙ කියල. ඒකෙම ලොකු වර්ෂන් එක කොරහ. දැන් නම් ඔය දෙකම මැටි නොවෙයි ඇලුමිනියම්.
Delete/බම්බැට් එකක් සේ ශේප් වී /
ReplyDeleteඑන්නා දොරේ බම්බැට්?
එල්ලේ ගහන්නේ බම්බැට් එකෙන්. උණ බම්බුවකින් හදාපු පිත්තක් හින්දා, බම්බු පිත්ත වෙලා, බම්බුව බම් වෙලා පිත්ත බැට් වුනා වෙන්නැති. අපි කොල්ලෝ අතර ඉතින් වෙන වෙන දේවලටත් බම්බැට් කියා භාවිතා වුනා. මං කියන්නේ එ් කාලේ. දැන් ඉතින් ක්‍රිකට් බැට් නේ වැඩිපුර තියෙන්නේ.... මේවා එයිට වඩා බොහොම දිගයි.
Deleteබත්තලාඳ...?
ReplyDeleteබම්බැට්.....?
මට්ටය......?
????
එන්නා දොරේ....?
මුල් වචන දෙකට අර්ථ කථන කලින් උත්තර වලින් කොපි පේස්ට් කරනවා.
Deleteහාල් ගරන කොට නෑඹිලිය එක්ක පාවිච්චි කරන පාදමක් තියන අනිත් වලඳ. සමහර පැතිවල මැටි කෝප්පේ කියාත් කියනවා. මං හිතන්නේ බත්-වලඳ සන්ධි වෙලා ලොප් වෙලා පොප් වෙලා හැදිච්ච වචනයක් වෙන්නැති. අපේ කුස්සි වල කිව්වේ එහෙම තමයි.
අනික් බොහෝ වචන මෙන්ම මේකත් උවමනා වෙලාවට නුවුමනා දේ වලටත් භාවිතා වෙනවා අහලා තියනවා. වැඩිපුර කාන්තාවන් පාවිච්චි කරන භාණ්ඩයක් නේ කොහොමත්.
එල්ලේ ගහන්නේ බම්බැට් එකෙන්. උණ බම්බුවකින් හදාපු පිත්තක් හින්දා, බම්බු පිත්ත වෙලා, බම්බුව බම් වෙලා පිත්ත බැට් වුනා වෙන්නැති. අපි කොල්ලෝ අතර ඉතින් වෙන වෙන දේවලටත් බම්බැට් කියා භාවිතා වුනා. මං කියන්නේ එ් කාලේ. දැන් ඉතින් ක්‍රිකට් බැට් නේ වැඩිපුර තියෙන්නේ.... මේවා එයිට වඩා බොහොම දිගයි.
මට්ටය කියන්නේ, පොල් ලෙල්ලට. පොල්මට්ටා කියාත් කියවෙනවා. වැඩිපුරම මට්ටා කියා කියවෙන්නේ, වේලිච්ච පොල් ලෙලි වලටයි. කොහු කියන්නේ මට්ටයේ කෙඳි. පොල් ලෙලි ගහනවා කියන්නේ උලේ අැනලා මට්ටයෙන් පොල් ගෙඩිය වෙන් කර ගැනීම. අර කලින් කිව්වා වගේ තව තව තේරුම් තියනවා නං තමයි. පොල් ගහට කියන්නේත් කප් රුක කියලා නේ.
බොහොම ස්තුතියි තේරුං බේරුං කරල දුන්නාට...!
Deleteපොල් ලෙලි ගහනවට නං අපිලාත් හරිම කැමතිය...😂
"පොල් ලෙලි ගහනවට නං අපිලාත් හරිම කැමතිය..."
Deleteඅයිශෙ නාකි විශේ ගෙටත් උශේ. ඔය වයසට පොල්ලෙලි ගහනකොට කරුවකුත් ගහන්න වෙනව අයිශෙ පොල් උලට
ඔය වගේ දැන උගත් ගැටළු තැන් බෙදා හදා ගැනීම පිනක්. කරු-නාරත්න මහත්මයා.
Deleteකොහොමද ලොකු අයියේ මේක කලින් කියෙව්වා වගේ මතකේ තියෙන්නේ? එනිවේ මොකක්ද අර අමාරු වචන දෙක? ඔය උඩිනුත් අහලා තියෙන්නේ?
ReplyDeleteඑකක් මැටි කෝප්පේට කියන නමක්ද?
නංගී හරි. 2015 මූණු පොතේ අලවාපු එකක්. කවුරු හරි පොල් සම්බෝල හදන විදිහ ගැන කතාවක් අැවිත් මතක් වෙලා ලියවුනු එකක්. අතකොට ජුලයියාව නං තවම මතකයි.
Deleteමැටි කෝප්පේ තමයි. මානෙල් කියන්නේත් මැටි කෝප්පෙ කියලායි මට මතක.
උඩින් උත්තර ලිව්වා.
ReplyDelete- ජෑ මා -
තුති මකරා
Deleteපොල් සම්බෝල මොකක් එක්කත් මරු!
ReplyDeleteඉඳියප්පන් හා කිරිහොදි තමයි දේශීය තෝරාගැනීම.
Delete