Saturday, November 26, 2016

විසිතුන ශ්‍රී හැත්තෑ නවයයි අසූතුන නොහොත් ගාල්ලේ කතාවක්....

Share it Please


අවුරුද්දකටත් එහා දවසක ලියවුණු මේ සටහන අළු දූවිලි ගසා පිහදා මෙතනට දමන්නට හිතුණේ පත්තරයකින් දුටු පහත අවුණා ඇති ආරංචියක් හින්දායි. යාළු මිත්‍රයින්ට සැලකීම නම් මේ ආත්මයේම ආනිශංස ලැබෙන පුණ්‍ය කර්මයක් බව දැන් නම් මටත් විශ්වාසය.
Gamini Dharmawardena appointed SLSI Director General 

http://dailynews.lk/2016/10/19/business/96385


විසිතුන ශ්‍රී හැත්තෑ නවයයි අසූතුන නොහොත් ගාල්ලේ කතාවක්....
June 25, 2015 at 1:01am

විසිතුන ශ්‍රී හැත්තෑ නවයයි අසූතුන අපට මුණ ගැහුනේ එක්දාස් නවසිය හැත්තැනවයේ සැප්තැම්බර විසිහත්වෙනි දාය. ඉහින් කණින් උතුරා ගිය කොළඹ කොටු‍වේ මාතර බස් පෝලිම ලඟටම ඇවිත් අපව එක්කරගන ගිය ගාලු බස් එක ඒකය.

අපය කිව්වේ ප්‍රසාද් ජයවික්‍රමත් මමත් ය. එදා අපේ ගමනේ ගමනාන්තය වූයේ මාතර ය. මාතර රාහුල පාරේ හුණුකොටුව හන්දිය කිට්ටුවම වාගේ ලැටිස් ගහපු ගෙදරක් ය.

අපේ වැඩ අපම කර ගැනීමේ පුරුද්ද හින් දා, අවසාන විභාගයේ අවසාන දවසේ හෘදය වස්තුවම ගලවාගෙන ඉගිල ගිය කිරිල්ලියට සංදේශ ගෙනියන්නට සතා සරපයා පස්සේ යනවාට වඩා රුහුණු කුමාරියේ  නැගලා මාතර යාම වඩාත් උචිත යැයි ඉතාමත් හදිසි තීරණයක් ගෙන කොළඹ සරසවියේ තර්ස්ටන් කෙළවරේ සල්ගහ යටින් පැදකුණු කරන‍ වෙලාවේ අප දෙන්නාගේ මූණට  මුලිච්චි වුනේ කැකුණදුරේ එකෙකි. පහල බැච් එකේ ගාමිණී ය. උගෙත් අවාසනාවට “කවදාද ගෙදර යන්නේ” යි ඇහුවාම කියවුනේ "හෙට උදේ කෝච්චියේ" කියාය.

රුහුණු කුමාරියේ මාතර යාමේ ආසාව කොපමණ වුණත් අපේ වාසනාවට හෝ අවාසනාවට හා හපුරා කියා රස්සාවක් හැටියට විශ්ව විද්‍යාලයෙන්ම ලැබුණු 'ප්‍රදර්ශක' තනතුරේ වැඩ බාර ගැනීම පහුවදා ට යෙදුනු හින්දා ගාමිණි ධර්මවර්ධනට නිවීහැනහිල්ලේ කෝච්චියේ ගෙදර යන්නට ලැබුණි. කෝච්චිය පස්සෙන් බස් එකක පෙර ආත්මයක හෝහපුටු ණය කාරයන් ජෝඩුවක් හඹා එන වග නම් ගාමිණීට අමතක නොවෙන්නට ඇත.

අපි දෙන්නා එදා උදේ අළුත් ‘ප්‍රදර්ශක’ තනතුරු වල වැඩ භාරගෙන අපට ලං වෙන්නත් ඉඩ නොතිබුනු කොළඹ කොටුවේ මාතර පෝලිම ලඟින් ගාලු බස් එකක එල්ලෙන්නේ එහෙමය. ඒ හේතුවෙන් ගමනාන්තය මාතර වුනත්, පටන් ගත්තේ කොළඹින් වුනත්, අපේ බොහෝ ජනකතා ඉතිහාස කතා මෙන්ම මේ කතාවත් හරියටම පටන් ගන්නේ ගාල්ලෙනි. ලොරොන්සෝ ද අල්මේදා ටත් කතාව පටන් ගන්න සිද්ධ වුනේ ගාල්ලෙන් හින් දා මේකේ ඒ තරම්ම අරුමයකුත් නැත.

මේ ඉරණම්කාර විසිතුන ශ්‍රී හැත්තෑ නවයයි අසූතුනට ගාලු බස් පොලේදී ආයුබෝවන් කියලා, බස් පෝලිමක හිටි අපේ බැචියක් වූ සීතා එක්කත් ටිකක් කදයක් ගහලා, ගාල්ලේ සල්ගාදු බේකරියෙන් පානුත් පරිප්පුත් දවාලට කාලා මාතර යන බස් බලන්නට එළියට බැස්සත් දෙන්නාගේම ඇහැත් හිතත් දෙකම ගියේ ස්ටේෂන් එක දිහාවට ය. මූලිකම ප්‍රාර්ථනාව වූයේ ‍කෝච්චියේ, හරියටම කිව්වොත් රුහුණු කුමාරියේම මාතර යාම නිසාවෙන්.... 'මචං බලමුද කෝචිචියක්...?' කියා අප දෙන්නාටම හිතුණේත් කියවුනේත් එකටය.

කෝච්චි බලන්නට ස්ටේෂන් එකට ගියත් ඒ ගැන හොයන්නවත් හිතන්නවත් කලින් හමුවුනේ රෝසා අංකල් ය. ඩෙන්සිල් රෝසාගේ තාත්තාය. කෝච්චියේ රස්සාව කල අංකල් එක්ක ආ ගිය කතා කිය කියා ඉඳිද්දී නලාවක් පිඹගෙන ආ කෝච්චි එන්ජිමක සද්දය අසා රෝසා අංකල් 'පුතාලා කෝච්චියෙ යනවා නං ටිකට් ගන්න අන්න එකක් එනවා' යි කිවූ  හින් දා අපි දෙන්නාම ගිහින් මාතරට ටිකට් අරන් ඇවිත් වේදිකාවේ සීරුවෙන් හිටත්තෙමු.

ඒත් ආවේ නම් නිකම්ම නිකං බඩු කෝච්චියකි. ඒ ගැන අහන්නට රෝසා අංකල් ගාලු ස්ටේෂමේ පැත්ත පලාතක හිටියේ නැත.

අංකල් ලා එහෙමය. පාර පෙන්නා අතුරුදහන් වෙන එක අංකල්ලා ගේ පුරුද්ද ය. යාම, ගමනේ යාම, කට්ට කෑම සේරම උරුම වෙන්නේ අංකල් ලා කියූ විදිහට සීරුවෙන් යන අපටය. නැත්තං බස් එකේ යන්න තිබ්බ සල්ලි වලින් කෝච්චි ටිකට් එකක් අරන් තවත් පැයක් හමාරක් ස්ටේෂන් එකේ පාළු කපා හති දම දමා ආ හවහ කෝච්චියට ‍ගොඩවෙන්නට වැඩ සිද්ධ වෙන්නේ නැත.

ඒ හවහ කෝච්චියත් කෝච්චියක් ම බව හරියාකාරව වැටහුනේ වැලිගමට මෙහායින් හිටි අඩියේම රේල්පාර මැද ඉද්දගැහුවා වගේ නතර වුනු වෙලාවේය.....

ටිකකින් ගාඩ් මහත්තයා රේල් පාර අයිනෙන් සැහැල්ලු ගමනින් අපේ පෙට්ටිය පහු කරගෙන ඉස්සරහට යනවා පෙණුනි. මේ කියන කාලයේත්; නිකං එහා මෙහා ඇවිදින ගමන් ඕනෑවට එපාවට කාටත් ඇහෙන්නට නෑහෙන්නට කුටු කුටු සද්දෙන් ඕනෑ දේ එපා දේ කියාගෙන නොකියාගෙන යන ෆ්‍රී කුවන්සි මොඩියුලේෂන්සන්නිවේදන ක්‍රමය; මිනිස්සු ගැවසෙන තැන්වල අද වාගේම භාවිතා විය.

ඔය එෆ් එම් තරංග ඔස්සේ අපේ පෙට්ටියේ එහා මෙහා වුනු කතා බහ වලින් කියවුනේ "බැටරි පෙට්ටිය ගිණි අරන්....!" කියලා ය. ගින්දර ගැන කියවුනා ම නොබලා බැරි ම හින් දා අපිත් ටක් ටක් ගා බැහැලා ගිහින් බැළුවෙමු.... ගින්දර කෙසේ වෙතත්, ඇන්ජිමේ පහල ගරාදියක එල්ලා ඇති තරමක පෙට්ටියක කොණකින් හීන් නූලක් වැනි සුදු පාට දුම් රොටුවක් කාන්දු වෙවී තිබුණි. දුමක් ඇත්නං ගින්නක් ෂුවර් ය. ඒ හින්දා ප්‍රවෘත්තිය හෙඩ්ලයින් වෙන්නේ බැටරි පෙට්ටිය ගිණි ගනී කියාමය... අපේ ගමනට මේකෙන් හත වැදුනත්, ඩ්‍රැයිවර් මහත්තයාටත් ගාඩ් මහත්තයාටත් නම් මේක මේ අද අහම්බෙන් සිද්ධ වූ ඉමර්ජන්සියක් නොවන බව වැටහුනේ අහල මිදුලක බට්ටා පැන පැන හිටි කොළු කෙල්ලන් ටිකකට,

බබෝ අපි එනකන් මේ කෝච්චිය ටිකක් බලා ගන්නය  

කියා ඒදෙන්නා බෑග් මළු අරගෙන රේල් පාරට පිළිපන්න නිසාය. අපේ පෙට්ටියේ එෆ් එම් තරංග වාර්තා අනුව ඇහුණේ

'ඔය ගිහින් ගාල්ලෙන් එංජිමක් අරන් එයි' කියාය.

 'මාතරට කෝල් කලත් එවයි' කියා තවත් පැත්තකින් ඇහුණි.

ටිකක් ඉන්න එක තමයි නුවණට හුරු' බවත් කියවුනු හින් දා අපිත් ටිකක් හිටියෙමු.

ටික ටික උනත් හිටපු ටික ටික එකතු වී තරමක ගොඩක් වී ගෙන එන වෙලාව වෙද්දී....

'මේකෙ වාඩිවෙලා බකං නිලාගෙන ඉන්නේ ඔතනින් හන්දියට ගියානං ඕනැ තරං බස් නේ'

කියා කණු කුනු ගෑමක් එහෙන් මෙහෙන් ඇහෙන්නට පටන් ගැණිනි. මේ කතාව කිව්වෙත් වාඩිවෙලා ඉන්නා උන්ම වුනත්, එකා දෙන්නා බැහැ ගන යන බව පෙණුනාම මූණට මූන බලාගෙනම ඉන්නවාට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය සමගම ඉදිරියට යාම අවස්ථාචෝතියැ යි අපිත් තීරණය කළෙමු.

රේල් පාරෙන් බැස වැලි පාරක් දිගේ ගොස් ගාලු මාතර තාර පාරට සේන්දු වූ තැන වූ හන්දියය කිව්වේ ‍තරමක හන්දියක් බව පෙණුනි. ඒ හන්දියේ තරමටම බස් වලට නගින්නට සෑහෙන පිරිසක් පාර අයිනේ රැස්කකා සිටියහ. එක්කෝ අපේ ‍පෙට්ටියට එෆ් එම් ට්‍රාන්ස්මිෂන් එක ආවේ පරක්කු වෙලා වෙන්නට පුළුවන. එහෙමත් නැත්තං ඒ කෝචිචියේ එන අය හැම දාම වාගේ මෙතනින් යන්නේ පාරට ඇවිල්ලා බස් එකක එල්ලිලා වෙන්නටත් පුළුවන....

කොහොම කොහොම වුණත් බස් ඩ්‍රැයිවර්ලාත් මේ සංසිද්ධිය හරියටම දන්නා අය බව නම් හොඳින්ම පෙණුනි. පාර අයිනේ මිනිස් පොකුරට යාර දෙතුන් සීයක් ඈතින් යාන්තමට බස් එක නවත්තා බහින අය බස්සවා.... මීටර් සීයේ දෙසීයේ රන් එක දෙන අය ලඟට එන්නට කලින් සූ...ස් ගා අද්දා යාම ගොම්මන් අන්ධකාරයත් හෙමි හෙමින් පාත් වෙමින් තිබුණු මේ වැනි අවස්ථාවක පාවිච්චි කරන ගැලවීමේ උපක්‍රමය බව ඒ කාලේ ලංගම ඩ්‍රැයිවර් ලාට කියා දී තිබුනේ පලවැනි ඉන්ටර්විව් එකේ දීම වෙන්නට ඇත.

මේ බස් ස්ලෝ කිරීම... රන් එක දීම.... සූ...ස් ගා ඇද්දීම දෙතුන් පාරක් වෙද්දී... ආයෙත් එෆ්.එම්. තරංග හරහා ජනතා මතය නිවේදනය වීම ඇරඹුණි....

මෙවෙලෙට මෙතන බස් නතර කරනව ද... මෙච්චර සෙනග ඉන්දැද්දි...? කකුල් දෙක හොල්ලලා ඔය ටික ඇවිදලා වැලිගම ස්ටෑන්ඩ් එකට ගියා නං බස් නෙ...!

බණ්ඩා ‍කොළඹ ගියා මිස මාතර ගියා නොකියන්නේ ඇයි ද හිතෙයි.

ස්ටෑන්ඩ් එකට කොච්චර දුර ද

අනේ ඔය පේන දුර නෙ

රෝසා අංකලුත් ජනතා පුත්‍රයෙක් බව සිහිපත් කරමින්, ජනතා මතයට කවදත් ගරු කරන අපිත් ඉතින්... ගොම්මන් කළුවරේම තාර පාර දිගේ වැලිගම ටවුමය කියන පැත්තට කකුල් හෙල්ලීම ඇරඹුවෙමු. හාත්පස අන්ධකාරය.... එක පසක ගොළු මුහුද ය... අනික් පස ලඳු කැලෑ බඩවෙටි හා වෙල් එළියකි. ටිකක් දුර යද්දී ඉස්සරහ පස්ස බැළුවාම පෙණුනු හැටියට පෙණුනේ පාරෙ යන්නෙත් අපි දෙන්නා විතරක්ය... කියාය.

වැල්ල අයිනේ ගිනි මැලයක් අහල මාළු දැල් වල බිඳුනු ඇස් හදන කට්ටියකුත් වැලිගම ටවුමට දුර මැන්නේ නම් ඇහේ මිම්මෙන්ම ය.

ඔය... පේ...න දුර නෙ... කෙලින්ම යන්න

ඇත්ත කතාව නං හාත්පස අන්ධකාරය නිසා ලයිට් කණු නැති පාරේ අඟලක හමාරකට වඩා දුරක් නොපෙනීම යි. ඒත් අපි දෙන්නෙකි. මේ යන්නේ මාතරය. මාතර රාහුල පාරේ හුණුකොටුව හන්දිය කිට්ටුවම වාගේ ඉස්සරහට ලැටිස් ගහපු ගෙදරකට ය...

ජීවිතය එහෙමය. හාත්පස අන්ධකාර වුණත් හිතේ එළිය තියේ නං, ඉර හඳ තාරකා යකාට තොලොංචි වුණත් කකුල් වලට පණ එයි. ඉතින් අපි ගියෙමු. චිරාත් කාලයකට පසු හදිස්සියේම, මහ පාරෙන් ඇතුලට වෙන්නට තියන වැලිගම ටවුමේ ලයිට් බුබුළු වෙසක් තොරණක් වාගේ නා නා වර්ණයෙන් දිලිහෙන්නට පටන් ගන්නා තුරුම ගියෙමු. එතැනින් පොරකා එල්ලුනු මාතර බස් එක මාතර ස්ටෑන්ඩ් එකේ නවත්තන වෙලාව වෙද්දී, කැකුණදුර පැත්තට යන අන්තිම බස් එකේ ඇන්ජිමත් පණ ගැන්වී තිබුණි. ගාමිණී උපදෙස් දී තිබුණේ බස් එකේ ඇවිල්ලා, පරවාහැර අම්බලම ලඟ බහින්නටය. එතනින් ඉස්සරහ පාර දිගේ රාළහාමිලාගේ ගෙදර හොයාගෙන එන්නට ය.

"කාගෙන් ඇහුවත් පාර පෙන්නයි..."

කොහොමත් කියන කොට එහෙමය. කරන කොට මෙහෙමය. මාතර කියලා ඒක වෙනසක් නොවෙයි. පාන් බාගේ බස් එක එලවු ක්‍රේල් කොණ්ඩය පස්සට පීරූ ලස්සණ හිනා මූණක් තිබුණු ඩ්‍රැයිවර් යාළුවාට කතා කර වගතුග කිව්වාම කිව්වේ...

‘ආ... අම්බලම ලඟනෙ... හරි බස්සං නං’  කියාය.

ඉස්සරහ වීදුරුවෙන් එළියට එබීගෙන බස් එකේ නිලංකාර ඇස් වලින් එළිය‍ වෙන අන්ධකාර තාර පාර දිහාම බලාගෙන ඩ්‍රැයිවර් කූඩුව ලඟ හරස් පොල්ලක එල්ලී ගිය ඒ බස් ගමන නැවතුනේ.... ක්‍රාං ගා ගියර මාරුවී බස් එක නැවතී.... අර හිනා මූණ අපි දිහාවට හැරිලා...

හරි...අම්බලම ලඟ බහින්නකිව්වාමය.

අම්බලම අම්බලමකි. කිසිම එළියක් පානක් තියා කණාමැදිරියෙක් වත් හිටියේ නැත. බස් එක ඇද්දූවාට පහු කළුවරට ඇස් යාන්තම් හුරු වෙන කොට ඈත මෑත බැළුවාම දැක්කේ තනි ලෑල්ලක් ඇරගෙන අන්තිම පැයේ බඩුවිකුණන කඩයකි.

රාළහාමිලාගෙ ගෙදර ට නං ඔය ඉස්සරහ පාරෙන් දිගටම යන්න. හැබැයි කළුවරයි. ඔය ගෙදර නං හපාකන බල්ලොත් ඉන්නව....

මුදලාලි කිව්වේ එහෙමය. ඒත් එක්කම කඩෙන් බඩු ගන්න ඇවිත් හිටි පුංචි එකෙකුට,

ඔය ළමය ඒ පැත්තට නෙ යන්නෙ... මෙන්න මේ මහත්තුරුන් රාළහාමිලගෙ ගේ ලඟට ඇරලනවයි විධානයක් ද ලැබුණි.

අප දෙන්නාත් පස්සෙන් එල්ලාගෙන අන්ධකාර දෙවට දිගේ ටිකක් දුර ගිය කොල්ලා, පාර අයිනේ ඉන්න යකියා කණ්ඩිය නැග ගෙදරකට ගොඩවිය. මිනිත්තුවක් දෙකක් ගියත් හා හුවක් නැති වුනත් ආයෙත් මූණු බලා ගන්නවා ඇරෙන්න අපට කරන්නට දෙයක් තිබුණේ ද නැත. තවත් මිනිත්තුවකින් දෙකකින් වයසක අම්මා කෙනෙක්, හුළු අත්තක් පත්තු කරගෙන, කොණ්ඩයත් ගැට ගසමින්....

මේකලාට පාරක් තොටක් අහන් ආ මිනිහෙකුට පාරක් පෙන්නන්න යන්ඩ තියෙන කම්මැලිකම.... වරෙන් පුතේ මං පෙඤ්ඤංඤා...

කියාගෙන කණ්ඩිය බැස ඇවිත්, අප එක්කරගෙන ගිහින් රාළහාමිලාගේ ගෙදර දොරට තට්ටු කරන වෙලාව වෙද්දී... ගාමිණී නං රෑටත් කාලා නිදන්නටත් ලෑස්තිය.

ඒත් යාළුකම නං යාළුකම ම ය. ඒ හින්දා එදා දවසේ අපි දෙන්නාත් ගාමිණීගේ අම්මාගේ පුතුන් වූයෙමු. ඒ රෑ පාන්දර කඹ බාල්දි හොයාගන වත්ත මැද ලිඳට ගිහින් නාලා එද්දි ආයෙත් බත්මාළු ඇරලා රෑට කෑම ලැබුණේත්, පහුවදා උදේම අළුත් පුතාලා දෙන්නාට තේ බොන්නට කිරිබත් ‍මේසයක් හැදුනේත් ඒ හින්දාය.

අපි හරියටම මාතර ගියේ ඉන් පස්සේ ය. මාතර රාහුල පාරේ හුණුකොටුව හන්දිය ලඟම ඉස්සරහට ලැටිස් ගහපු ගෙදරට ය.

කවදාවත් දැකලා නැති වුනත් රන්සිරිමල් අයියා ආපු පණිවිඩය කියන්නට ගේ ඇතුලට දුවගෙන ගිය මල්ලීට තරවටු කරමින්, ගවුමට උඩින් දවටා ගෙන හිටි රෙද්දත් හරි ගස්ස ගස්සා ඇවිත් දොරෙන් එබුණු ඒ මූහුණේ ඇස් ලොකු වී ඇඳුණු විශ්මයාර්තය නම් කවදාවත් අමතක වෙන්නේ නැත.

එදා එක්දාස් නවසිය හැත්තෑ නවයේ සැප්තැම්බර මාසයේ විසි අට වෙනි දා ය.

https://scontent-sea1-1.xx.fbcdn.net/v/t1.0-9/q82/s720x720/11012547_10206809211450909_4600581658605320405_n.jpg?oh=f206e7de55c8219385f4458bff2f6a35&oe=588DAECF

https://scontent-sea1-1.xx.fbcdn.net/v/t1.0-9/q81/s720x720/10177900_10206809212810943_616805867308284305_n.jpg?oh=d76b53efd4698f2a53868808714ae9bd&oe=588E56E1



7 comments:

  1. ලොකු අයියට තරම් අතීත කතා මේ තරම් රහට ලියන්න පුළුවන් වෙන කෙනෙක් ඉන්නවද කියලා හිතාගන්නත් බෑ. කොටින්ම ප්‍රේමය ගැන හිතන හැමවෙලේම මට මුලින්ම මතක් වෙන්නේ ලොකු අයියාවයි මානෙල් අක්කවයි.
    සමහරවිට අර ෆිල්ම් හෝල් එකේ ටිකට් එක බස් ටිකට් එකේ ඉඳන් කතා කියවපු හින්දා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. තුති නංගී. කතන්දර පරණ වෙන තරමට රසවත්. නැද්ද?

      Delete
  2. දැක ඇස් ලොකු වූ නිසා එදා සිට ලොකු යන නමින් ඔහු හැඳින්විණි!

    ReplyDelete
  3. Replies
    1. තුති රසික. ඔබේ සටහන කාලයක හිට ලියන්න හිත හිතා ඉන්නා එස්එල්නෙට්; ලැක්නෙට් ගැනත් මතක් කෙරුවා මට.

      Delete
  4. ලව් එක පටන් ගත්ත විධිහද?

    ReplyDelete
    Replies
    1. ලව් කියන එව්වා ඇතිවෙනවා මිස පටන් ගන්නේ නෑ නේ ද?
      ඒවායේ කතන්දරත් තියනවා. වෙලාවක මෙතනට එකතු කරන්නම්.

      Delete

Blogroll

About