මේ සටහන ලියන්නට මුල පිරුණේ නම්, අපේ මිත්‍රයෙක් වන කැල්ගරි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජානක රුවන්පුර ගීත තේරූ "සිහිනයකි රෑ" වැඩ සටහනේ යූ ටියුබ් සටහන නැරඹූ දවසේයි.
සිහිනයකි රෑ මෙහෙයවන මහේෂ් නිශ්ශංක, ගී ගැයූ ගීතාංජන කුඩලිගමගේත්, ජානකත් සමග සාමිචි කතාවක අතරමග මෙසේ අසයි... [19:12]
"මහාචාර්ය තුමා ඒ කතාවත් එක්ක මේ.... ඇයි අපේ ලාංකිකයො අපේ නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන අරගන අපේ ලාංකීය මිනිස්සුන්ගෙ මේ රටේ ජීවත්වෙන මිනිස්සුන්ගෙ බදු මුදල් වලින් මිනිස්සුන්ගෙ යහපත සඳහා ප්‍රතිපාදන වශයෙන් අයින් කරපු මුදල් වලින් හොඳට අධ්‍යාපනය ලබල ඔබ ගන්නකො ඔබ කොළඹ නාලන්දා විද්‍යාලයෙ ශිෂ්‍යයෙක් ඇයි මේ ඒ දැනුම උකහාගත්තට පස්සෙ ඇයි ඒක අරගන වෙන රටකට යන්නෙ?"
මේ ප්‍රශ්නය තුල ප්‍රශ්නයකට වඩා චෝදනාවකුත්, පසුතැවීමකුත්, වික්ෂිප්ත භාවයකුත්, අසරණ කමකුත් ගැබ්වී ඇතැයි මම සිතමි. මහේෂ් මෙතැනදී ගොනුකරන වචන මාලාව තුල තවත් අමතර, හරස් ප්‍රශ්න හා ආලේපන ගැබ්ව ඇති නමුත්, උගතුන් රට හැර යාම, බුද්ධි ගලනය ආදී ලෙස විවිධාකාරයෙන් කල එලි බසින මේ කතාවේ ප්‍රධාන මාතෘකාව පිළිබඳ සාකච්ඡා අවසන් වන්නේ බොහෝවිට නිශ්චිත වටහා ගැනීමක් හෝ පිළිතුරක් නැතිවය.
එයිනුත් උගතුන් රට හැර යන්නේ ඇයි යන්නට වඩා, එසේ යාම හරි ද වැරදි ද යන ප්‍රශ්නය ඉස්මතුවීමත්, අතිශයින්ම සංවේදී හා පුද්ගලික වූ කරුණු කාරණා මේ සම්බන්ධයෙන් කියවෙන්නට ගැනීමත් සමගම මෙවැනි සංවාද වල ඉරණම වෙනත් පැත්තකට හැරෙයි.
තැනේ හැටියටත් සාකච්ඡා කරන්නන්ගේ තරා තිරමේ හැටියටත් ඒවායේ අවසානය සම්මුතියක් හෝ විසංවාදී සම්මුතියක් හෝ හිත් රිදවාගත් වෙන් වීමක් හෝ ඔළු පලාගන්නා තරමේ උද්වේගකර ගුටි කෙලියක් හෝ වන්නට පුළුවන.
ප්‍රශ්නයක් වූවත් නැතත්, සත්‍යය නම් අපේ රටේ ආගමනයට වඩා විගමනය වැඩිය යන්නය.
ලෝකයේ දියුණුය සැලකෙන කැනඩාව, ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය හා ප්‍රංශය සමග ලංකාවේ ද පසුගිය වසර කීපයක දල සංක්‍රමණ දත්ත සැසඳෙන පහත ප්‍රස්ථාර සටහන ගූගල් දත්ත ජාල අඩවියෙනි. මේ දත්ත තව දුරටත් කිරා මැන බලන්නට ආසාව ඇති අය සඳහා මේ දත්ත අඩවියට සබැඳියක් මේ සටහන අග තිබේ.
විදේශගත වන ලාංකිකයින් එකිනෙකා අමතා කරුණු කාරනා විමසා සසඳා සැලකුවොත් 'ඇයි ගියේ?' කියන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර කුමක් වේදැයි මා දන්නේ නැත. මේ සටහනේ අරමුණ ඒ ගැන මගේ අදහස් කීම නොව පෞද්ගලික අදහස් උදහස් මති මතාන්තර කුමක් වූවත්, මේ දත්ත දෙස විමසිල්ලෙන් බැලීමේ දී මතුවන තවත් කාරණයක් මේ සටහන කියවන ඔබ සමග බෙදාගැනීමයි.
මේ දෙවැනි ප්‍රස්ථාර සටහන පෙන්වන්නේ මේ රටවල භූමි ප්‍රමාණයන් ය.
අපි කවුරුත් දන්නා පරිදි කැනඩාව හා ඔස්ට්‍රේලියාව විශාල රටවල් වන අතර අපේ රට ඉන්දියන් සාගරය මැද පාවෙන පුංචි මුතු ඇටයකට වඩා විශාල නොවේ. භූමි වපසරිය එසේ වුවත් ජනගහණය අතින් නම් මේ විශාල රටවල් පස්සට යයි. ප්‍රංශය මේ රටවල් අතරින් ඉහලට එසවෙන අතර අපේ පුංචි ලංකාව, මහාද්වීපයක් වන්නා වූ ඔස්ට්‍රේලියාව හා කරට කර සිටී.
භූමි ප්‍රමාණය එසේ නම්, ජනගහණය මෙසේ නම්, ජනගහණ ඝනත්වය එනම් වර්ග කිලෝ මීටර කොටුවක ඔළු ගෙඩි ගණන කොහොම වේ දැයි මීලඟ සටහන පෙන්වයි.
එතැන දී නම් අපි ආඩම්බර හිතෙන තරමට හිස උස්සාගෙන සිටිමු. අපිට වෙට්ටු දැමූ කොකා පෙන්නූ එංගලන්තයේ සුද්දෝ කොළඅතු අඳින කාලයේ කැසිකිලි වැසිකිලි වල මළපහ කල අප, ජනගහණ ඝනත්වය අතින් උන් පහුකර ගිහිල්ලා දැන් ශතවර්ෂ කාලක් විතර ගත වී තිබේ.
මේ සමගම සමගාමීව යන තවත් සටහනක් තිබෙයි. ජීවන වියදම් දර්ශකය අතිනුත් අපේ පුංචි ලංකාවට බ්‍රිතාන්‍යයත් ප්‍රංශයත් පරදවන්නට පුළුවන් වී තිබේ.
මේ සියල්ල එකතු කල විට, යන එකා, ගිහින් යම් විදිහක රැකියාවක් ලැබී ඊට සරිලන පඩි පතක් අතට ගන්නට පුළුවන් වූ එකා, ආපහු නොඑන්නේ ඇයි ද යන්න යම් දුරකට පැහැදිලි කර ගන්නට හැකි යැයි මම සිතමි.
මෙතැන දී, ජාතිආලය, දේශ මාමකත්වය, නිදහස් අධ්‍යාපනයේ ණය ගෙවීම (ණය ගෙවිය යුතු නම් ඒක නිදහස් හා නොමිලේ කියන්නේ ඇයි කියන එක පැත්තකින් තියමු) ආදී සංවේදී හා ලේ රත්වෙන අත් ඉස්සෙන කතා අමතක කර, ගුරුත්වාකර්ෂණය, විසරණය ආදී ස්වභාවික සංසිද්ධීන් ගැන සිතුවොත් මේ වෙන්නාවූ විගමනය සිදුවිය යුතුම දෙයක් යැයි මට හිතෙයි.
මේ අන්තිම ප්‍රස්ථාරයේත් අපි බ්‍රිතාන්‍යයටත් ප්‍රංශයටත් වඩා නම් ඉහලින් ය.
ගූගල් දත්ත එකතුවට
මේ සටහනට ආසියානු රටක් වෙන බංග්ලාදේශය එකතු කළා නම් අපූරුයි!
ReplyDeleteඒකත් නං ඇත්ත. වෙලාවක් වුනොත් බලන්නං. තුති රසික.
ReplyDelete