Wednesday, November 9, 2016

හිලරි ද ඩොනල්ඩ් ද?

Share it Please
අද, ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවරණය දවසයි.

ඉතිහාසයේ මුල් වරට කාන්තාවක් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති තනතුරට සමීපතවම සිටින මේ ඡන්දය තීරණාත්මක වන්නා වූ ප්‍රධාන සාධකය ද එයම වෙයි. එසේ වුවත්, ඇමරිකානු ජනපති තනතුරට තරඟ වැදි ප්‍රථම කාන්තාව 1872 දී සමානතා පක්ෂයෙන් (Equal Rights Party) තරඟ කල වික්ටෝරියා වුඩ්හල් බව මෙයට ප්‍රථම ඇමරිකානු ජනපතිවරණයට තරඟ කල කාන්තාවන් දොලොස් දෙනෙකු පිළිබඳව ලියැවුනු මේ හෆින්ටන් පෝස්ට් වාර්තාව කියයි.

http://www.huffingtonpost.com/rebecca-bohanan/12-women-who-ran-for-pres_b_11172668.html


ඩොනල්ඩ් ට්රම්ප් හා හිලරි රොඩ්හැම් ක්ලින්ටන් අතර, පැවැත්වුනු ඡන්ද ව්‍යාපාරය වෙන කවරදාටත් වඩා පෞද්ගලික මඩ ගසා ගැනීම් වලින් පිරුණු, ප්‍රතිපත්තිමය හා දේශපාලනික තර්ක විතර්ක අවම වූවක් බව පොදු මතයයි. මේ තත්වයට දෙපක්ෂයම වගකිව යුතු වුව ද, ඩොනල්ඩ්ගේ දායකත්වය තරමක් ඉහලින් තිබූ බවත් ප්‍රකට කරුණක්. ඒ අතින් දෙපක්ෂය අපේ රටේ ඡන්ද ව්‍යාපාරවල ස්වභාවයම පෙන්වූ අවස්ථාත් තිබුණා. විශේෂයෙන් ඩොනල්ඩ් ගේ දින සීයේ වැඩ පිළිවෙල ඒ ස්වභාවය කැපී පෙණුනු තැනක්. ඉතාමත් විප්ලවකාරීයැයි පෙන්වන්නට උත්සාහ කලත්, මේ දින සීයේ වැඩ පිළිවෙල තුල දැනෙන තරමේ පෙරලියක් සිදුවිය හැකි අමුතු අළුත් දේවල් නම් තිබුණේ ඉතාමත් අල්පයක්.

ලිබරල් හා ඩිමොක්‍රැටික් යැයි පිල් දෙකකට බෙදුනත් මේ දෙපක්ෂයේම පොදු ඉලක්කය, ඇමරිකානු ආර්ථිකය ශක්තිමත් කිරීමත්, ඇමරිකාව ලෝකයේ ප්‍රධාන බලවතාය යන්න තහවුරු කිරීමත් බව පැහැදිලි කරුණක්. මේ සඳහා ගන්නා වූ ක්‍රියා මාර්ග, ලෝකයේ අනෙකුත් රටවලට, විශේෂයෙන්ම මැක්සිකෝව, කැනඩාව වැනි අසල්වැසි රටවලටත්, චීනය, ඉන්දියාව, ජපානය, වැනි ආර්ථික බලවතුන්ටත් බලපානා ආකාරය සම්බන්ධයෙන් නම් මේ දෙදෙනාගේ දැකීම් වෙනස්. ඩොනල්ඩ්ගේ දැක්ම, යම් තරමක සංවෘත ආර්ථික ප්‍රතිපත්තීන් හරහා ඇමරිකානු පහල මධ්‍යම පන්තියේ තත්වය ඉහල නැංවීම වූ අතර, හිලරි වත්මන් රජයේ පිලිවෙත්ම තව දුරටත් පවත්වාගෙන යාම හා වැඩි දියුණු කිරීම පිළිබඳව මුල්තැනක් දෙන බව ප්‍රකාශ කලා.

මෙසේ වූවත්, මෙය ඡන්දයක් බවත්, ඡන්ද දායකයින්ගේ සිත් දිනා ගැනීම හා ඔවුන්ගේ සිතැඟිවලට අමතා, විශේෂයෙන්ම දේශපාලන ස්ථාවරයක් නැති පාවෙන ඡන්ද දායකයින් අමතා, තම පිළට දිනා ගැනීම මේ බොහෝ කතා බස්වල අරමුණ වූ බව අප අමතක කලයුතු නැහැ. කතා බහ වූ දේවල් සමස්ථයක් ලෙස ගොනු කල විට නම්, කවුරු දින්නත්, ඉදිරි කාල සීමාව ඇමරිකානු දේශපාලනයේ මෙන්ම ගෝලීය දේශපාලනයේත් ආර්ථිකයේත් අවිනිශ්චිත කාලයක් විය හැකි බව බොහෝ විචාරකයින්ගේ මතයයි.

අද වනවිට ප්‍රකාශිත පෙර සංගණන දෙස බලද්දී නම් දැනට හිලරි සිටින්නේ ඉදිරියෙන්.


මේ වේලාව වෙද්දී මුල්ම ඡන්ද පොලවල ඡන්ද ගණන් කිරීම ඇරඹීමට කිට්ටුයි. තව පැය හය හතකින්, මේ වැඩේ අවසන්.

මට හිතෙන විදිහට නම් ජයග්‍රහණය හිලරිට විය යුතුයි. මොක ද මේ ඡන්දයෙන් ඇමරිකානු ජනතාවට කරන්නට හැකි එකම වෙනස, මෙතෙක් කලක් පිරිමියෙක් වාඩිවී සිටි ජනපති පුටුවේ ගැහැණියක් වාඩි කරවීම පමණක්ම වීම යි.


ද ඩේ ආෆ්ටර්:
පුදුම හිතෙන දේ නම්, හිලරි පැරදිලා ඩොනල්ඩ් දිනලා තිබුණත්, ඒ ප්‍රතිඵලයට කැමත්තක් දක්වන කෙනෙකුව නම් තවම හමු නොවීම යි. ඇමරිකන් ජනතාව බහුතරයක් ඩොනල්ඩ්ලා බව මිස එයිට වැඩි දෙයක් මේ ප්‍රතිඵලයෙන් නොකියවේය කියා මගේ වැඩපලේ මිත්‍රයෙක් කියයි.

නොදන්න යකාට වඩා දන්න යකාව තේරීම සාධාරණය හිතනවා නම්, මේ සිදුවී ඇත්තේත් ඇමරිකන් ජනතාව දන්න යකාව තෝරා ගැනීමක්ය කියා මට හිතෙයි. එහෙම නැතිව අනිත් අතට හිතනවා නම් දන්න යකා ගැන දන්නා ප්‍රමාණය ඕනෑවට වඩා වැඩි වීමත් නොදන්නා යකා එක්ක සෙට් වෙන්නට හේතුවක් වෙයි.

දැන් ටික ටික බිස්නස් ඈස් යූෂුවල් වීගන එයි. ට්‍රම්ප් හා මෙලනියා නිසා, ඉදිරි කාලය තුල වැඩියම වැඩ ලැබනේනේ නම් ගොසිප් පත්තර වලට යැයි මගේ හිත කියයි. දැනටත් නම් ඒක එහෙම තමයි.

බලමු.... මේක ඉතින් කොකාගේවත් තිත්තයාගේවත් නොව ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ වාරයයි.


No comments:

Post a Comment

Blogroll

About