Saturday, November 5, 2016

වසන්තයේ මල් කැකුලක් සේ...

Share it Please






එක් දහස් නවසිය අසූ තුනේ ලංකාවෙන් පිටවෙද්දී මානෙල් අරන් ආ දේ වලින් වටිනාම දේවල් අතර තිබුණු සිංහල ගීත අඩංගු කැසට් පටි ටික කැනඩාවේ එඩ්මන්ටන් නුවර මහල් නිවාසයක පාලොස්වෙනි තට්ටුවේ අපේ පුංචි නිවහන නින්නාද දී පිරෙව්වේ මෙවන් ගීත වලිනි. අපි දෙන්නා මේ රටට ඇවිත් හා හපුරා කියා වටිනා කියන අළුත් යමක් මිලට ගත්තා නම් ඒ මේ කැසට් වාදනය වුනු කැසට් වාදන යන්ත්‍රයයි. එක වහලක් යටට වෙන්නට ලෙන්ගතු සුරතල් සිනාවත් අරගන ඈ එනතුරු බලා හිටි දවස් වලින් පසු ගෙවුණු ඒ දවස් ගැන අද හිතද්දී හිතේ තවමත් අැහෙන හඬ මේය

එයින් කලකට පසුව සුමුදුත් මියුරුත් කියා නම් ලැබූ අපේ කොල්ලෝ අමරදේව 'සළමින් සුමුදු පොඩි අත්තටු මියුරු සරින්; නළමුදු සුවඳ විඳගන්නට ගියත් වරෙන්' කියද්දී එකිනෙකා දිහා හොරැහින් බලා හිනාවුනු කාලයකුත් තිබුණි.  උන් දෙන්නාගේම නම් ගීතයක ඇහෙන එක  උන් දෙන්නාටම කිති කැවෙන දෙයක් විය.

ඔයින් සෑහෙන කාලයකට පස්සේ එඩ්මන්ටන් නුවර සිට එහා ප්‍රාන්තයේ සස්කටූන් නගරයට පැය හතරාමාරක් පහක් වාහනය පදවන වෙලාවල ත් තනියට හිටියේ අමරදේවයි. ඉමක් නොපෙනෙන ප්‍රේරි තණබිම වසා තැබුණු නිල්පාට ප්ලාස්ටික් කෝප්පයක් වැනි අහස යට කළුතාර පටියේ දුවයන යකඩ කුඹියෙක් බඳුවු මොටෝරිය තුල ආසනයකට පටි දමා ගැට ගසා තිබුණත්, 'ඉපිද මැරෙන යලි ඉපදෙන නොතිර සසර සාගරය' පුරා හිත පීනවන්නට ගී ගැයූ අමරදේවයි.

මතක සටහන් නම් බොහෝය. දෙදාහ වසරේ අමරදේවයනුත්, රංජනත්, සුභානිත්, ඩී.ඩී., ප්‍රියන්ත, නාලක, නිහාල් ආදීන් සමගත් ගෙවුණු වසන්තයක් ද වෙයි. ඒ එඩ්මන්ටන් හි අමර ගී සර ප්‍රසංගය පැවැත්වුණු අවුරුද්දයි. කල කී දේ, ඇසු දුටු දේ, එකින් එක එකින් එක නෙළුමක පෙති සේ දිග හරින්නට පුළුවන. අමරදේවයන් හිඳ සිටි අසුන පාමුල වාඩිවී, කෙරුනු කියුණු සංවාදත්, 'බයිලා වුණත් ඒවත් අපේ දේවල් නේ' යි ගැයුණු පැදුරු සාජ්ජත් පිළිබඳ මතකයනුත්, ඉන් වසර පහකට පහුව, සුභානි අමරදේව අප අතර ගෙවූ දින කීපයේ මතකත් ඒ අතර වෙයි.

ඉඳු සයුරේ තනිවුනු මේ බ්ම්කඩේ උපන්, හැදුණු වැඩුනු අපි හැමකෙකුටම ඒ බිම්කඩ හා බැඳීමක් තිබේ. ඒ බැම්ම ලිහෙන දියවෙන බැම්මක් නොවෙයි. ඒ බැම්ම හාම බැඳුණු දේත් තිබේ. ඒවා අපේ දේයැයි නොසිතාම ආයාසයකින් තොරවම ඕනෑම තැනක දී හිතට දැනෙයි. ඒ දැනිල්ලෙන් දැනවිල්ලෙන් ගැලවී යන්නට අපේ සිත් නතු නොවේ.

අමරදේවයන් ගේ මධුර ස්වරය, හැඟුම් බර ගායනය, ළමා වියේ සිටම අපේ දේවල් සේ හිතට පිළිපන් දේය. අවුරුදු පහ හයේ දී, සීයලාගේ ගෙදර රේඩියෝග්‍රෑම් එකේ නොනවත්වාම වාගේ වාදනය වූ රන්මුතු දූවේ ගී තැටි දෙකක් තිබුණි. අපේ පරම්පරාවේ සෑහෙන පිරිසකගේ තාරුණ්‍යය ඇරඹෙන ඉසව් ලකුණු කල ගායනා අතර වල්ගාතරු සේ මුදුන්වෙන  මහගම සේකරයන් අතින් ලියැවුණු, අමරදේවයන් හඬ කැවූ ගී පද තිබේ.

නවසිය හැත්තෑවේ දශකයේ අග හරියේ, අපේ විශ්ව විද්‍යාල සමය සිංහල සංගීතයේ, සිනමාවේ, නාට්‍ය කලාවේ හා සාහිත්‍යයේ එක්තරා අන්දමක මං සලකුණක් ලකුණු කල කාලයක් යැයි මම සිතමි. ඒ යුගය දේශීය යැයි හා සිංහල යැයි නොවක්ව හැඳිනිය හැකි වූ සෞන්දර්යය ක්ෂේත්‍රයක් ස්ථාපනය කරලීමට දශක දෙක තුනක් තිස්සේ ක්‍රියාත්මක වූ යාන්ත්‍රණ කීපයක ප්‍රතිඵල ලාංකීය සමාජය තුල කිඳා බැස ගිය යුගයක් යැයි මම සිතමි.

මේ කාලයේ වික්ටර්ගේ 'ස' ප්‍රසංගය නවමු සංගීත ආරක් වේදිකා මතට ගෙනාවේය. ඒ කිට්ටුවම අමරදේව නන්දා එකතුව ඇරඹී පසුව ශ්‍රවණ රමණී හා ශ්‍රවණාරාධනා බවට පත්වූ ගී ප්‍රසංග දෙකක් ද විය. මේ අතුරින් හා හපුරා කියා මා නැරඹුවේ නන්දා ගේ, ශ්‍රවණාරාධනා ය. ඒ මාදම්පේ මධ්‍ය මහා විද්‍යාල ශාලාවේ දී, නවසිය හැත්තෑ හතර අග කාලයේය. ඒ දවස මට මතක තිබෙන්නේ ජීවිතයේ ප්‍රථම වතාවට ගීතයක් 'විඳි' දිනය ලෙසයි.

අද එදා ඒ දවස් දෙස හැරී බලද්දී එක් අතකින් දේශීය සංගීත සිනමා නාට්‍ය කලාවන් වැඩිවිය පත්වූ එ් යුගය සනිටුහන් කරන පරපුරේ ජීව ගුණය ගලා ආ එක් උල්පතක් සේ සැලකිය හැකි අමරදේවයෝ සිය ප්‍රතිභාව නිසා මෙන්ම සරලකම නිරහංකාර කම හා අව්‍යාජත්වය නිසාත් මේ යුගයේ මං සලකුණක්ව පෙනී සිටිති. අමරදේවයන් සිය අත මිටිකර  උපන් හැකියාව යුගයේ අවශ්‍යතාවයන් පිරිමැසීම වෙනුවෙන් උපරිමයෙන් ලබා දුන්නකු බවත්, එ් නිසාම ලාංකීය ඉතිහාසයේ මේ යුගය අාලෝකමත් කෙරුවකු බවත් අපි කවුරුත් දනිමු.






ඉතින් මේ සමුගන්නේ ගායකයෙක්,  ගාන්ධර්වයෙක්, යුග පුරුෂයෙක්, කලාකරුවෙක් පමණක්ම නොව අපේ ආත්ම වලට මුසුවූ, අපේ ජීවිතවල දුකේදී සැපේදී අපේ අත් අල්ලාගෙන අප සමග සිටි ආත්මීය ස්වරයකි. ඒ නම් හිත දෙදරන වැලපිල්ලකින් තොරව සමුදෙන්නට අපහසු හැඟීමකි. එහෙත් ජීවිතය නම් මේය.  ඉතිරි වන්නේ නම් මතකයන් පමණි. ඒ මතකයන් තුලින් ජීවිතය උකහාගැනීම නම් ජීවිතය වන්නේය.















4 comments:

  1. අමරදේව අමරණීයයි...

    මෙහෙම බ්ලොග් එකක් තියෙන බව දැනගත්තෙ මානෙල් අක්කා නිසා... ස්තුතියි සිරිමල්, මානෙල් මල් මල් යුවළට...

    ReplyDelete
  2. ඒ සමගම යූටියුබයටත් ස්තුතියි!

    කැනඩාවේ මියුරු ගී, ඇමරිකා එ. ජනපදයෙන් සිංහල ජූක් බොක්ස් හරහා හඬ පට ආවත් අපි හැමෝම උපුටා දක්වන්නේ බයිට් වැඩියෙන් යන යූටියුබ් ක්ලිප්ම විතරයි නේද?

    ReplyDelete
    Replies
    1. තාක්ෂණයේත් ගැටළුවක් වන තරමට වෙනසක් තියනවා නේ ද? මියුරු ගී, ජුක් බොක්ස් දෙකම දුවන්නේ රියල් ඕඩියෝ වල.
      මියුරු ගී එන්නෙත් යැංකි රටෙන්ම තමයි නේ ද?

      Delete

Blogroll

About