Thursday, August 18, 2016

රුබික් ඝණකයට විසඳුමක්...!

Share it Please
අර්නෝ රුබික් එයාගේ මැජික් කියුබ් එක නිර්මාණය කලේ 1974 දී විතරය. ඒක පටන් ගත්තේ කඩා හැලෙන්නේ නැතුව හැම පැත්තටම කරකවන්නට පුළුවන් ගැජට් එකක් හදන්න ගත්ත උත්සාහයකින් වුනත්, කඩා හැලෙන්නේ නැතුව හැම පැත්තටම කරකවන්නට පුළුවන් දෙයක් ඉබේම මැජික් එකක් වන බව එයාට තේරුණේ ඒක හැදුවාට පස්සේ කරකවලා බැළුවාමය. සිරි ලංකාවේ අපි නම් ඕක 48 විතර ඉඳලා අත් දකිමින් හිඳිමු.

රුබික් ගේ ගැජට් එක ටෝයි එකක් වෙලා... වාණිජ භාණ්ඩයක් වෙලා ලංකාවට එද්දී... 81-2 විතරය. තලවකැලේ ටී. ආර්. අයි. එකේ මට කොහොමටවත් නම මතක් කරගන්න බැරි දෙමළ මිත්‍රයෙක් අරගෙන ආපු එක තලවකැලේට ආපු පළමුවෙනිම රුබික් කියුබ් එක විය යුතුය. එදිරිවීරටයි මටයි දකින්න ලැබෙද්දී ඒක තිබුණේ කරකවලාය... පාට කොටු හාමු වෙලාය. මැජික් එක ආපහු පැති හයේ පාට හය තිබුණු විදිහට හදන එකය... !

එදිරිවීර වහාම ක්ල්බ් එකක් ඕගනයිස් කලේය. හවසට හවසට එකතු වී අපි හතර පස්දෙනෙක් කියුබ් එක ගැනත්, ඒක කැරකෙන යාන්ත්‍රණය ගැනත් ඒ යාන්ත්‍රණයේ සුල මුල වටහාගෙන ගණිත සමීකරණ හැට හැත්තෑවක් විසඳා මේ කලවම් වූ රතුපාට නිල්පාට කොළපාට කහපාට තැඹීලි පාට හා සුදුපාට කොටු පාට හයේ මූණත් හයකට ගාල් කර ගැනීමට දීර්ඝ කාලීන සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්විය යුතු යැයි තීරණය කලෙමු. (මේ පාර නම් මේ වැඩේට ලැබී තියෙන්නේ දවස් ගාණක් නේ ද?)

කොයිතරම් කුයි කුයිය තිබුණත් කියුබ් එක අතට ලැබෙන්නේ ටර්න් එක අනුවය. ඒක අතින් අල්ලන එකත් මාර උද්වේගකර මෝමන්ට් එකකි. ඩං ඩං ගාලා හාට් එක දෙදරපු මොහොතකි.... පාට ස්ටිකර් අලවාපු ප්ලාස්ටික් කෑලි ටිකකට මොන තරම් බලයක් තිබේදැයි හැඟුණේ එදා කියුබ් එක පලවෙනි සැරේට මගේ අතට ආ දවසේ ය. ඒ සතිය අග සති අන්තයේ මේ සර්වලෝක පූට්ටුව ටී.ආර්.අයි. රුබික් කියුබ් සමාජයේ නිර්මාතෘ එදිරිවීරගේ කාමරයේ නවතින්නට ආවේ ඒකේ අයිතිකාරයා ගමේ ගිය නිසායි මම හිතමි. එකම චමරියේ උඩ තට්ටුවේ කාමරයක නිදාගත්තත්, එදිරිගෙන් කියුබ් එක ඉල්ලා ගන්නා එක නං අති දුෂ්කර කාර්යයක් බව මට ඒ වෙද්දීත් තේරී තිබුණි. ඒ සිකුරා දා හවස් වරුව වෙද්දී මේ වැඩේ කරන්න නං මැතමැටිකල් ආතල් ගැනීම නවත්තලා මේ කැට එහා මෙහා වෙන විදිහ ට්‍රැක් කර ගන්නට ඕනෑ බව අපි දෙන්නාටම වැටහී තිබුණි. ඒ වෙද්දී මොන කැටේ මොන පැත්තට කැරකුනත් මූණත් හයේ කේන්ද්‍ර කැට හය නොහෙල්ලී තියන බවත් අරමුණ විය යුත්තේ ඒ කේන්ද්‍ර කැට ලඟට අනික් කැට අට ඇදගෙන ඒම බවත් අපේ ටිකිරි මොළ දෙකට අහුවී තිබුණි. කියුබ් එක අරන් මම තරප්පුව දිගේ නැග්ගේ එදිරිට නිදිමත ඉවසන්නටම බැරිවුණු රෑ දොළහ පහුවෙලා බව මතකය.

සෙනසුරා දා කොහොමත් පරක්කු වී අවදිවෙන දවසක් හින් දා.... නිදා ගැනීමේ උවමනාවක් තිබුණේ නැත. ඒ වෙද්දී හදාගෙන තිබුණු මුණතේ කැට මට ඕනෑ ඕනෑ තැනට ගෙනියන්නට මොන මොන කරකැවිලි දාන්නට ඕනෑ දැයි හොයන එක ඉවර වුණේ පහුවදා පාන්දරය. උදේ නවයට විතර කූල් එකේ පහලට බැහැලා එදිරිගේ අතට කියුබ් එක දුන්නාම කන් දෙකට දික්වුණු එදිරිගේ කටත්, එළියටම පනින්නට දඟල පු ඇස් දෙකත් කවදාවත් අමතක වෙන්නේ නැත.....! එදා දවසත් පහුවදාත් ගෙවුණේ කියුබ් එකේ කරකැවිලි පහසුවෙන් සටහන් කරන්නට රූපක පෙලක් හා ඒ සම්බන්ධ රීතීන් හදන්නටය. ඒවා ලොකු ඩිමයි කොලයක අඳින්නට ය.

සතියකට දෙකකට පස්සේ අපේ චමරියේ සීනියර් සාමාජික ටී.ආර්.අයි. එකවුන්ටන්ට් නිමල් සිල්වාගේ බ්රීෆ් කේස් එකත් එල්ලාගෙන මම කොළඹ ගියේ ඇක්සයිස් පොතක ලියාගත් 'රුබික් ඝණකයට විසඳුමක්' පිටපතත්, ණයට ඉල්ලාගත් රුබික් කියුබ් එකත් ඒකේ දමාගෙනය.

එදා ඒ ගමන යද්දී හිතේ තිබුණු බලාපොරොත්තු කියුබ් එක හදාපු දවසේ රුබික්ගේ හිතේ වත් තිබුණා දැයි සැකය. ඔය දවස් වෙද්දී ෆේක් කියුබ් කොළඹ පේමන්ට් එකේත් විකුණුනි. ප්ලෑන් එක වූයේ පොත් පිංචක් අච්චු ගහලා කියුබ් එකත් එක්කම විකිණීමයි. පේමන්ට් එකට කියුබ් සප්ලයි කරන ටෝයි සප්ලයර් හමුවුනේ කොටුවේ හරස්පාරවල් දිගේ සෑහෙන්න ඇවිදලා ය. එයා බිස්නස් කාරයෙකි. කඩයක පිටිපස්සේ දොරින් ඇතුල්වෙන ගුහාවක කන්තෝරු කාමරයක ජීවත්වෙන බිස්නස් කාරයෙකි... කියුබ් එක හදන හැටි කියලා දෙන්න ගියොත් මැජික් එක ගහලා යන බවත්, ඒක බිස්නස් එකට අප්සට් එකක් මිසක සප් එකක් නොවන බවත් එයා දැන හිටියේය. අපේ බලාපොරොත්තුව ඇන්ටිසි පේෂන්ට් එකක් වී නැවතුණි.

පොත කෙසේ වෙතත් නමවත් දා ගන්න ක්‍රමයක් හොයාගෙන ගිහින් නැවතුනේ ලේක්හවුස් එකේ පඩිපෙල නැගලා රුබික් කියුබ් එක ගැන නවයුගයට ලිපියක් ලියා තිබූ එඩ්වින් ආරියදාස මහත්තයා ගේ මේසය ලඟය. බිස්නස් අංකල් මෙන් නොව ඇක්සැයිස් පොතේ පිටු හත අටක් වත් කියවන්නට උන්නැහේට වෙලාව තිබුණි. ආසාව තිබුණි. උද්‍යෝගයත් තිබුණි.

"ඇයි මේක පොතක් ප්‍රින්ට් කරන් නැත්තේ... පත්තරේ දැම්මොත් නිකං ආර්ටිකල් එකක් විතරයි නෙ.... ඉන්න මම කියන්නං අපි මේක තිලකට දීල බලමු...."

එහා මේසයක හිටි තිලකරත්න කුරුවිට බණ්ඩාර පිටපත අරගත්තේය. ඒක එයාගේ ප්‍රින්ටින් බිස්නස් එකේ පාට්නර්ලාටත් පෙන්නලා පහුව දා තීරණයක් දෙන්නං කීවේය. අපේ තාත්තා කිව්වේ 'ඕක රුපියල් සීයකට හමාරකට විකුණලා දාපන්' කියාය. ඒත් ඒ ගාණට අපේ 'සොයාගැනීම' බාල්දු කරන්නට හිත් දුන්නේ නැත. එහෙම වුනත්, පහුවදා දැනගන්න ලැබුණු හැටියට, පොතක් ගහලා ප්‍රින්ටින් වියදම වත් හොයා ගන්නට පුළුවන් වේයැයි, තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්තයාගේ පාට්නර්ලා අපේ 'හොයාගැනීම' ගැන හිතුවේ නැත.

අන්තිමේ දී 'රුබික් ඝණකයට විසඳුමක්' කියවූයේ අතේ ඇඟිලි ගානේ පාඨක පිරිසකි. ඒත් මුල් කොපියය. ඒකත් කොහේ හෝ තියෙන්න ඕනෑ මුත් ලඟක දී නම් කොහේදැයි මතක් වුනේ නැත.  මාතර පිටිසර තේ කඩයක දී අපේ ක්‍රමය ඩිමොන්ස්ට්‍රේට් කරන්නට එදිරවීරට අවස්ථාවක් ලැබී තිබුණි. මගේ ඩිමොන්ස්ට්‍රේෂන් එක කෙරුණේ කොළඹ කැම්පස් එකේ සල්ගහ ලඟ ඕපන් කැන්ටින් එකේ දීය. බලා හිටි උන්ට නං ප්ලාස්ටික් පෙට්ටියක පාට කැට කරකවන එක මහ මැජික් එකක් හැටියට පෙණුනේ නැත.... මතක හිටියම කමෙන්ට් එක... "ආ රුබික් එකක් නේ ද? මට තාම වෙලාවක් වුනේ නෑ ඕක ස්ටඩි කරන්න" කියන එකය.

ඕනෑම ඝණකම් ප්‍රශ්ණයක නොහෙල්ලෙන කේන්ද්‍ර තිබේ. විසඳුම තියෙන්නේ ඒ කේන්ද්‍ර හඳුනාගෙන අනිත් කැට ටික ඒ වටා පෙළගස්සා ගැනීමේ ය.

එක පැත්තක් හදා ගත්තාම, කරකැවෙන අහඹු කරකැවිලි වල දී කැට එහා මෙහා යන විදිහ ඉවසිල්ලෙන් බලාන හිටියොත්... 
ඕනෑ ඕනෑ විදිහට තමුන්ට උවමනා තැනට තමුන්ට උවමනා පාට ගෙනයන මාර්ගය ඉබේටම පෙනෙනවා ඇත.

පොතට වඩා වැදගත් පාඩම ය.



1 comment:

  1. මාත් මුලින් ම, රූබික් කියුබ් එකක් දැක්කේ 1982/83 කාලයේ දී තමයි. කාගෙන හෝ එය විසඳන්න ඉගෙන ගත්තා මතකයි. නමුත් දැන් මතක මුල් තට්ටු දෙක සකසා තුන්වෙනි තට්ටුවේ කතිරය ගන්න විතරයි!

    ReplyDelete

Blogroll

About