Monday, August 22, 2016

හරේ යං හරේ... !!

Share it Please






පාන්දර එකට කිට්ටුව කොටුවෙන් නාස් පුඩු පිඹ හැල්මේ දුවන්නට පටන් ගත් නුවන්ත බස් එක චුට්ටක් හරි හරියාකාරව හුස්මක් ගන්නට අහවරක් ගත්තේ පාන්දර පහට හුන්නස්ගිරිය කන්ද මුදුනේය. භරත නැටුමක් නටන ගිනි කස ලමිස්සියක මෙන් උකුලු තලාව පද්දමින් වංගු, කඳු, පල්ලම් උඩින් පැන පැන නටාගෙන ආ නුවන්ත බස් එකේ සීට් එකකට ගුලිවී පියා ගන්නට දැඟලූ ඇහැ නොදැනුවත්වම පියවී ආපහු ඇරුනේ,
නුවර බයින්න... නුවර නුවර නුවර...අ....යි ගායනා කරන නලින් ගේ අඬහැරයෙනි.

ස්ටෑන්ඩ් එක අයිනේ සී. එෆ්. එල්. බල්බ් වලින් ඔටුණු පැළැන්දූ දොඩං ඇපල් එවරස්ට් කඳු පාමුල සුදු කළු දුඹුරු රෙදි පොරවාගත් වෙළඳ තවුසෝ ධ්‍යානයට සමවැදී හිඳිති. පාර දිගටම බස් ආවරණ වල බංකු දිගේ මුළු නුවරම රෙදි පොරවාගන නිදිගෙනය. මේ සියල්ල පහුකර විත් නුවන්ත බස් එක වැව වටේට රණ හංසී හොයමින් කෝච්චි යයි.

අතක් ඉස්සෙන කෙනෙක් දැකලා එක චුට්ටකට හා ආ  ආ....ආංගාගෙන සැර බාල කරන හැම විඩේකම..... තනි අතින් දොරේ එල්ලී අත සරනේරුව කරගෙන කැරකෙන නලින්..... හරේ.... යාං ..... හරේ....කියයි. නුවන්ත බස් එක ආයෙත් බ්‍රෑ.....ඇං ගාගන ඉගිලෙයි.... ඉස්සරහින් ගිය නමුත් චුට්ටක් නිවී හැනහිල්ලේ ඇවිදින ආරාධනා බස් එක ට චුට්ටි වෙට්ටුවක් දමාගෙන ඉස්සරහට පනින අතරේ, ‘ප්‍රෑං ප්‍රැං ප්‍රෑංකියා කැකිරි හිනාවකුත් හිනැහෙයි. ආරාධනා බස් එකත් ප්‍රැං ප්‍රැං ප්‍රෑං කියා ඔළුව සොලවයි.

කොටුව ස්ටෑන්ඩ් එකේ යකඩ ගරාදි වැටට හේත්තු වී අහල පහල කාණ්ඩය එක්ක විහිළු තහළු හිනා බෙදා ගනිමිනුත්.... විනාඩියකට දෙපාරක් විතර මයියා මයියා මයියාංගනේ බිබිල බිබිල බිබිලංපාරකියන්නට නලින්ට අමතක වුනේ නැත. සුක්කානම කරකවන්නේ වෙන කවුරුවත් වුනත් මේ බස් එක දුවවන්නේ නම් නලින්මය.

හුන්නස්ගිරියෙන් චුට්ටක් ජීවන බර හෑල්ලු කරගෙන, කහට කෝප්පයක් තොලගා විටක් කටේ දාගන හෝන් පාර දෙකක් හඬවා පිටත් වූ නුවන්ත බස් එක දහ අට වංගුව දිගේ ලිස්සා බහින්නේ හිම කඳු පල්ලමක ස්ලාලොම් තරඟයක් දුවන ස්කී ක්‍රීඩකයකු ලෙසිනි. වංගු පලල් කර රවුම් කර කොන්ක්‍රීට් බැමි බන්දා ග්‍රීස් ගෑ දහ අට වංගුවේ, කළු කූඹි මෙන් මූණු ඉඹගෙන පස්සට ගාටා අයින් වී මාරුවන රථ වාහන අද නැත. ඉහලටත් පහලටත් දුවන්නට චුට්ටක් චුට්ටක් නැවතී හැරි හැරී වංගු ගන්නා එකිනෙකා දැක්කාම යාන්තං ඇහි පිල්ලන් ගහන වාහන පේලි දෙකක් සපත්තුවක හිල් පේලි දෙක දිගේ දුවන ලේස් නූලක් මෙන් ඇදී යයි.
වංගු හතරක් පහක් පහුකල නුවන්ත බස් එක, කන්ද පාමුලේ මිදුනු මීදුම් හට්ටියට මෝදුවෙන හිරු මලින් පැණි වැක්කෙරෙන හැටි බලන්නට චුට්ටක්වත් ඉස්පාසුවක් නොගෙන පහලටම දුව ඇවිත්, ‘හසලක, හසලක හසලක.... බාහීන්න..අ....කියන නලින්ගේ හඬට අවනතව චුට්ටක් දණ ගසා හිඳියි. ආයෙත් ඉගිල්ලී වේරගංතොටින් ඇතුළු වී, මයියංගනේ ටවුම මැද්දෑවේ චුට්ට වෙලාවක් පියාපත් හොට ගාමින් වටපිට බලයි.

බිබිලංපාර... බිබිල බිබිල අම්පාරනලින් ගේ අඬහැරය ආයෙත් ඇහෙයි.

ඉගිල්ලෙන බස් එකේ බැෆල් එකෙන් උදා ආසිරි ගීත රාවය ඩුංකු ඩුකුං ඩුකු ඩුංකු ඩුකුං ඩුකු ගාමින් වැක්කෙරෙයි.
පුන්සඳ පායා ගම දිලෙන හැටිත් ඒ ගමේ අපි බයිල කියන හැටිත් කියා ඇරඹුනු උදා ගීතය අතර මැද්දෑවේ බෝල බෝල මැටි අරන් ඇවිත් කූඩු හදන රන් කුඹලා ගැනත්, සෝමෙ අයියා ගැනත් අසමින් වැලි මැටල් ගඩොල් සපයන සුදු පාට යකඩ බොඩි ගැසූ ලොරි පෙල පහුකරගන පියාඹන නුවන්ත බස් එකේ මගියෝ මයියංගනේ උදා සිරි විඳින්නට ඇහැරෙති.

හතරැස් කුට්ටි කුට්ටි කල ගොයම් පාත්ති වල ලා කොල පාට අස්සේ අයිස් කුට්ටි වාගේ හිටගෙන කකුල් මාරු කරන කොක්කු, සුදට සුදේ හිනා කටින් බස් එකට දුවගන එන සුදු යුනිෆෝම් ඇඳගත් කෙලි පොඩිත්තියන් දෙස හොරැහින් බලති. ටිකින් ටික වැඩි වන පොල්ගස් පේලි අස්සේ තනි තල් ගහක් බකං නිලාගන බලා හිඳී. මේ සේරම දිහා නිකමටවත් නොබලන නුවන්ත බස් එක අර කෙලි පොඩිත්තියන් උකුලට ගන්නට ඩිංගිත්තකට නවතියි.

බිබිලංපාර.... බිබිලංපාර....

 හරේ යං හරේ.... !!

2015 දෙසැම්බර






No comments:

Post a Comment

Blogroll

About