Thursday, August 11, 2016

ලොකු අකුරු

Share it Please
දැන් ආයෙත් ලොකු අකුරු කාලය ඇවිත්. පොල්ගෙඩි අකුරු වලින් ලියන්න පටන් ගත්තු ලියවිලි, ලිවීම කෙසේ වෙතත්, කියවීමට නම් පොල්ගෙඩි අකුරු උවමනා වෙන කාලය මටත් ඇවිත්. ඒ වුනත් දැන් කාලේ පොල් ඒ කාලේ විතරම ලොකු නැහැ. අකුරුත් ඒ වගෙම තමයි. ඒ කාලේ විතරම ලොකු නැහැ. හා හපුරා කියාලා හෝඩි පංතියේ ලියපු මගේ සිංහල වාර විභාග පත්තරය  අපේ අම්මා පරෙස්සම් කරලා තියාගන හිටිය හින්දා ඒ කාලේ මගේ අකුරු වල තරම තවම බලා ගන්න පුළුවන්. පටන් අරන් තියෙන්නෙම 'අත' කියලා ලියලයි. නවසිය හැට ගණන් නේ. අලිය නවත්තල අත ඉස්සුනු කාලෙනෙ...



ඒ පංතියේ අපට ඉගැන්නුවේ සිස්ටර් ඇන්තනි  ජෝශප්. ශුද්ධවු පවුලේ නිකායේ කන්‍යා සොයුරියක්. එයාලා ඒ කාලේ ඔළුව වැහෙන්න සුදු 'අඹරාවක්' (ඔව් අර කරත්ත අඹරාව වගේ තමයි) දාලා ඒක මුදුනෙන් පටන් අරන් පිටි පස්සට වැටෙන කළු රෙදි 'වේල්' එකක් දාලා, සර්වාංගයම වැහෙන අත්දිග සුදු ලෝගුවක් දාලා උන්නු නිසා අපි පුංචි ළමයි නං හිතුවේ මෙයාලා වෙනම සත්ව කොටසක් කියාලමයි. ඔය හිතිවිල්ල බරපතලෙටම හිතුනේ ගෑණුත් පිරිමිත් නොවන නම් ගම් හින් දා. සිස්ටර් ඇන්තනි ජෝශප්, සිස්ටර් හෝලි ෆැමිලි... සිස්ටර් ඇලෙක්සිස්.... ඉහල බාලාංශෙට ඉගැන්නුවේ නම් දත් නැති සිස්ටර්.... (දත් නෑ කිව්වට උඩු ඇන්දෙ එක දතක් අඩුව තිබුනෙ මට මතක....) එයාට නම් එයිට එහා නමක් තිබුණෙම නෑ....  එයා තමයි වසම සිස්ටර්...  මොකක්ම හරි ප්‍රශ්නයකදි කවුරු හරි දෙමාපියෙක් 'සිස්ටර්ගෙ අඹරාව ගලෝනව අද මම' කියල බැනපු බැනිල්ලක් මතකයි. දත් නැති සිස්ටර්ට වෙන්නැති සමහරවිට. ඒ අඹරාව දකිද්දි මට මතක් වෙන්නෙම ක්‍රීම් ක්‍රැකර් පැකට්වල තියන රැලි රැලි සුදු කොල. මට අද හිතෙන හැටියට නං අඹරාව කැඳ දාල මැදපු සුදු රෙදි නිර්මාණයක්. පින්තූරයක් නම් හොයා ගන්න නෑ මේක ඇරෙන්න. හැබැයි මේකෙ ලෝගුව කළුයි. අපේ අය ඇන්ද ලෝගුව සුදුයි.



ඒ කාලෙත් ලංකාව කියන්නෙ ඝර්ම කලාපීය රටක්. ඒ නිසා මම දන්න කාලෙම මේ ඇඳුම් නම් ගම් සේරම වෙනස් වෙලා ගියා. මේ පහල පින්තූරෙ 2013 ඉරිදා ටයිම්ස් පත්තරේකින්. බම්බලපිටියෙ ශුද්ධවු පවුලෙ බාලිකාවෙ ප්‍රධානාචාර්ය චාන්දනි ජයසූරිය කන්‍යා සොයුරිය, රදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් සමග, කන්‍යාරාමයේ 110 වෙනි සංවත්සර උත්සවයෙදි. මේ විපර්යාස ගැන හිතුවම හිතුණෙ මේ බුර්කා, නිඛාබ්, හිජාබ් භීතිකාවලුත් දන්නෙම නැතුව මේ වගේම ඉතිහාසගත මං සලකුණු වෙන්න පුළුවන් නේද කියන එකයි.


ලියන්න පටන් ගත්ත තැනින්ම මේ ලියවිලි ටික පටන් ගන්න හිතුණ නිසා මේක තමයි ලොකු අකුරු වල මුල්ම සටහන. 

අර වාර විභාග කොලේ වගෙම මම ලියපු කරපු දේවල් පරිස්සං කලේ අම්මා. රබර් ටියුබ් වලින් අකුරු පින්තූර හැඩ කපලා ලෑල්ලක අලවලා හදපු මුද්‍රණාලයෙන් පෝස්ට්කාඩ් වල මම අච්චු ගහපු නත්තල් කාඩ් ආසාවෙන් ආඩම්බරෙන් නෑදෑයින්ට, යාළුවන්ට තැපැල් කලේ අම්මා. අහම්බෙන් සැරයක් දෙකක් වුණත් නම ලියවුණු පත්තර කෑලි කපලා දින දාලා තියාන හිටියේ අම්මා. පහු කාලෙක ඉංග්‍රීසි ගුරුවරියක් වුනත්, එයා කරල තිබුණු ඉහලම විභාගෙ වුණු එස්. එස්. සී.  විභාගෙට සිංහල භාෂාවයි සිංහල සාහිත්‍යයයි දෙකම ලියල තියනව. නවසිය හතලිස් අටේ නිකුත් කරපු මේ සහතිකේ දැක්කාම මගේ හිතේ මැවෙන්නේ අපේ අම්මාත් අපි වගේම විභාග වලට පාඩම් කරන පින්තූරයක්.


ඉන්න තැන්වල ලොකුකම් කතා නොකලත්, දරුවන්ගෙ වැඩ ගැන ආඩම්බරෙන් නොකියවන තාත්තලා නම් හිඟයි. අද මගේ හිතේ දැනෙන හිතිවිලි මේ විදිහටම තාත්තාගේ හිතේත් පාවෙන්න ඇති. තාත්තාත් ඒ හිතිවිලි වල එල්ලිලා පියාඹන්න ඇති. ඒවා තාත්තලාගේ රහස්.

අම්මාත් තාත්තාත් දෙන්නාම අයියාත් නංගීත් එක්කම අද එකම තැනක. තාත්තා අද හිටියා නම්, අවුරුදු අනුවක් වයස වෙන්න තිබුණා. ඒත් එයාගේ ආයුෂ තිබුණේ අවුරුදු හැට දෙකක්. 1988 ඉඳලා ගැන්නාම මේ අවුරුද්ද වෙද්දී අවුරුදු විසි අටක්. අම්මා ගියේ තවත් අවුරුදු දහයකින්. අවුරුදු හැට හතක්. 

ඉතින් මේ දේවල් මෙහෙම සටහන් වෙන්නේ මේ දවසුත් වැඩි කාලයක් නොගිහින් අවුරුදු වලින් ගණන් හදන අතීතයකට යන නිසයි.

2 comments:

  1. අදයි මේ බ්ලොග් එක ගැණ දැන ගත්තේ!

    ජයවේවා කිව්වා.

    ReplyDelete
  2. ළඟදී ගෙදර ගිය දවසේ තාත්තා ගේ සහතික වගයක් ෆොටෝ ගහගෙන ආවා. අම්මාගේ ඒවා නම් අස්ථාන ගතයි!

    ReplyDelete

Blogroll

About