හැත්තෑ ගණන්වල සන්නිවේදනය තිබුණේ, බිත්තිවල හා තාප්පවලය. පාර අයිනේ, බෝඩ් වලය. කඩවල දොර ලෑලිවල ඇලවූ ඩිමයි කොල වලය.
පත්තර කියන එව්වා හා ගුවන් විදුලිය රටේ ආණ්ඩුවේ සර්වතෝභද්‍ර පාලනය යටතේ තිබුණු කාලයේ, සන්නිවේදන කලාවේ අළුත්ම භූමිකාව හඳුන්වා දුන්නේ චේ ගුවේරා කණ්ඩායම ලෙස කරලියට පැමිණි ජවිපෙ ය.
ඒ එක රැයක් තුල දිවයින පුරාම එකම වචන ටික ලියූ එකම පෝස්ටරයක් ඇලවීමෙන් ය. අපේ ගෙවල් ලඟ පාත නම් මේ පෝස්ටරය ඇලවුනේ, කොස්ගස් හන්දියේ, මැක්සි හවුස් එකේ පාර අයිනේ බිත්තියේ බව මතකය.
එහෙම අලවාපු පෝස්ටර වල තිබුණු එව්වා තේරුම් ගැනීමට ඒ කාලේ ගූගල් වෙබ් සයිට් තිබුණේ නැති නිසා, රටේ දේශපාලනය ගැන තියූ ඒවා හැරුණු කොට, 'දියාගෝ ගාර්ෂියාවට අත නොතබනු', 'වැලි බොබී වහා නිදහස් කරනු' වැනි පෝස්ටර වාක්‍ය වල තේරුම් හොයා ගැනීම නම් පහසු නොවීය.
හැත්තෑ එකේ කැරැල්ල පත්තු වූ කාලයේ, පැතිර ගිය කතාව වූයේ මේ පෝස්ටර කලාවේ ඇලවිලි සංඥාව ආවේ, හවස් යාමයේ 'ඔබ කැමති ගී' වැඩ සටහනේ ප්‍රචාරය වුනු සිංදුවල දවටලා කියාය. ඒ ගීත අතරිනුත් වැඩිම කතාව ආයේ, වීරසේන ගුණතිලකයන් ගේ 'කුරුල්ලනේ වරෙල්ලා' ගීතය පිළිබඳව ය. මේ ගීතය, පෝස්ටර් ඇලවීමට මතු නොව, හැත්තෑ එකේ, ප්‍රහාර දියත් කරන්නටත් සංඥාව ලෙස යොදා ගත්තායි කියූ අතර, ඒ ආනුභාවයෙන්ම ගුවන් විදුලියෙන් වාරණය වුනේ ය.
පරණ බෝතලවල තියෙන්නේ පරණ වයින්ම නිසා, මට මේ කතාවල් මතක් වුනේ, සෙනසුරාදා, මාලිමාවේ අනුර කුමාර දිසානායක සහභාගි වුනු සිරසේ සටන නරඹන අතරය.
සිංදුව නැවත කියන්නට කාලය පැමිණ තිබේ. කලහයට නොව, කතිරය ගැසීමට සංඥාව දීම පිණිසය.
No comments:
Post a Comment